රටේ සෑම ප්‍රදේශයකටම දිට්වා සුළි කුණාටුව එක හා සමානව බලපෑවේ නැත. මධ්‍ය කඳුකර ප්‍රදේශ අනෙකුත් ප්‍රදේශවලට වඩා අධික වර්ෂාවෙන් හා ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත්විය. දැන්, නැවත ගොඩනැගීම ද අසමාන ය. මේ නිසා, මලයියාහ දෙමළ ප්‍රජාව පසුපසට ඇදවැටෙමින් තිබේ. ස්වාභාවික විපත් ඇතිවන්නේ ස්වභාවධර්මය නිසා ය. එහෙත් මිනිසුන් ඒවායින් පීඩා විඳින ආකාරය දේශපාලනය, ඉතිහාසය සහ දිගුකාලීන වෙනස්කම් කිරීම මත රඳාපවතී. වතුවල ජීවත්වන සහ වැඩකරන මලයියාහ දෙමළ ජනතාව, සුළි කුණාටුවට පෙරද දුර්වල තත්වයක සිටියහ. ඔවුන්ට පැවැතියේ අඩු සම්පත්, දුර්වල ජීවන තත්වයන් සහ සීමිත සහයෝගයක් පමණි. දිට්වා සුළිකුණාටුව පැහැදිලිවම මෙම ප්‍රජාව පරම්පරා ගණනාවක් තිස්සේ මුහුණ දී ඇති ගැටලුවක් පෙන්නුම් කර ඇත. ව්‍යසනය විසින් ඔවුන්ට පවතින අවාසිසහගත බලපෑම තවත් නරක අතට හැරවූ අතර, ප්‍රතිසාධන ක්‍රියාවලිය ඔවුන්ට සාධාරණ ලෙස සැලකුවේ නැත. මෙම අර්බුදය මලයියාහ දෙමළ ජනතාවගේ ජීවිතවලට ගැඹුරින් මුල් බැසගත් අසමානතාව තවමත් බලපාන ආකාරය ඉස්මතු කර තිබේ.
යුක්තිය පිළිබඳ මූලික අදහසක් නම්, විවිධ තත්වයන් යටතේ සිටින පුද්ගලයන්ට සෑමවිටම එක හා සමානව සැලකිය යුතු නැති බවයි. සෑම කෙනෙකුටම එක හා සමානව සලකන්නේ නම්, දැනටමත් අවාසි සහගත තත්වයකට පත්ව සිටින අයට කෙරෙන සැලකීම වඩාත් නරක අතට හැරිය හැකිය. මෙය නව හෝ අන්තගාමී අදහසක් නොවේ. එය යහපාලනයේ වැදගත් අංගයකි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ සමානාත්මතාව, වෙනස්කම් නොකිරීම සහ සමාජ සාධාරණත්වය පිළිබඳ අන්තර්ජාතික නීතිවල ද පිළිබිඹු වේ. රාජ්‍ය අයවැයෙන් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 200ක සහනාධාරයක් ලබාදුන් විට, රජය විසින්ම මෙම අවබෝධය පෙන්නුම් කරන ලදී. මෙය සිදුකරන ලද්දේ වසර දහයකට ආසන්න කාලයක් වතු සමාගම්වලින් ඉල්ලා සිටි වැටුප් වැඩිවීම නොලැබුණු කම්කරුවන්ට උපකාර කිරීම සඳහා ය. අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සාධාරණ ලෙස යථාතත්ත්වයට පත්වීමට අමතර සහාය අවශ්‍ය වන බැවින්, දිට්වා සුළි කුණාටුවෙන් පසු එම තර්කය වඩාත් ප්‍රබල ලෙස අදාළ වේ.
දිට්වා සුළි කුණාටුවෙන් පසු සහන සහ නැවත ගොඩනැගීම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විසින් පසුගිය සතියේ පවත්වන ලද සාකච්ඡාවකදී, මලයියාහ දෙමළ වතු කම්කරුවන් මුහුණ දෙන දැඩි දුෂ්කරතා පිළිබඳ තොරතුරු ඉස්මතු විය. මෙම කම්කරුවන් වසර දෙසීයකට පෙර බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් ඉන්දියාවෙන් ගෙනඑන ලද කම්කරුවන්ගෙන් පැවත එන්නන් වේ. ආරම්භයේ සිටම, ඔවුන්ට ඉතා කටුක තත්වයන් යටතේ වතුකරයේ ජීවත්වීමට සහ වැඩ කිරීමට බලකෙරිණි. රට නිදහස ලබා නව නීති සහ ව්‍යවස්ථා සම්මත කළද, මෙම මූලික ක්‍රමය අර්ථවත් ආකාරයකින් වෙනස් නොවීය. වතු කම්කරුවෝ වතුවලට බැඳී සිටියහ. රජය හෝ වතු සමාගම් විසින් ඔවුන්ගේ නිවාස නිසි ලෙස වැඩිදියුණු කර නොමැත. බොහෝ පවුල් තවමත් ස්ථිර නිවාස බවට පත්නොවුණු සහ ගංවතුර හා අධික වැසි වැනි ආන්තික කාලගුණයට ඔරොත්තුදීමට තරම් ශක්තිමත් නොවන ‘ලයින් කාමර’වල ජීවත් වෙති.
ක්‍රියාත්මක කළ නොහැකි පොරොන්දුව
සුළිකුණාටු ව්‍යසනයෙන් පසු, රජය සෑම බලපෑමට ලක් වූ පවුලකටම උපකාර කිරීමට පොරොන්දු විය. මෙම ආධාරය ඔවුන්ගේ නිවාස පිරිසිදු කිරීම සඳහා රුපියල් 25,000 කින් ආරම්භ වූ අතර, හානියට පත් නිවාස නැවත ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 5 දක්වා වන්දි ලබාදෙන බවටද පොරොන්දු විය. කෙසේවෙතත්, බොහෝ මලයියාහ දෙමළ පවුල්වලට පළමු රුපියල් 25,000 පවා ලැබී නැත. බොහෝ මලයියාහ දෙමළ වතු කම්කරුවන්ට ඔවුන් ජීවත් වන ඉඩම හෝ ඔවුන් රැඳී සිටින නිවාස හිමි නොවේ. මේ නිසා, අනෙකුත් සුළිකුණාටු වින්දිතයන්ට ලැබෙන රජයේ සහනය සඳහා ඔවුන් සුදුසුකම් නොලබන බව සැලකේ. මෙම අසාධාරණ තත්ත්වය පෙන්නුම් කරන්නේ, පැරණි ඓතිහාසික අසාධාරණයක් වර්තමාන ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයක් බවට පත්ව ඇති ආකාරයයි. මධ්‍යස්ථ සහ දේශපාලනික නොවන පාලනයක් ලෙස විස්තර කර ඇති වත්මන් දේශපාලන ක්‍රමය, අවසානයේ එය නිවැරදි කිරීම වෙනුවට අඛණ්ඩව වෙනස්කම්වලට මග පාදා තිබේ.
ගැටලුව නිවාස සඳහා පමණක් සීමා නොවේ. එකම නීති ඉතා වෙනස් තත්වයන්ට අදාළ වන විට, ප්‍රතිඵල අසාධාරණ වේ. වතු කම්කරුවන්ට තම කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමට නොහැකි වන්නේ, ඔවුන් භාවිත කරන ඉඩම වතු සමාගම්වලට අයත් බැවිනි. ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි කර නොමැති බැවින්, ව්‍යාපාර පාඩු සඳහා රජයේ වන්දි සඳහා ඔවුහු සුදුසුකම් නොලබති. ඊට අමතරව, බොහෝ රජයේ තොරතුරු සිංහල භාෂාවෙන් බෙදාහැරේ. එමනිසා බොහෝ ක්‍රියාපටිපාටි, ඔවුන්ට අවශ්‍ය ලියකියවිලි හෝ ඊට සම්බන්ධ කාල රාමු පැහැදිලිව තේරුම් ගැනීම දුෂ්කර වේ. මෙම තොරතුරු නොමැතිකම ඔවුන්ට වඩාත් බල රහිත හැඟීමක් ඇති කර තිබේ. මෙම තත්වය තුළ, සිදුවෙමින් පවතින දේ ජාතිවාදයට සමාන බව මලයාහ දෙමළ දේශපාලනඥයයෝ පවසති. යථාර්ථය නම්, ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ප්‍රජාවක් පුරවැසිභාවයේ සම්පූර්ණ ප්‍රතිලාභවලින් තවමත් ඉවත් කර ඇති බවයි.
මෙම බැහැරකිරීම විශේෂයෙන් අසාධාරණ වේ. මන්ද එය සම්පූර්ණයෙන්ම අනවශ්‍ය තත්වයක් වන බැවිනි. වැවිලි සමාගම් විසින් හෙක්ටයාර 200,000ත් 240,000ත් අතර ඉඩම් ප්‍රමාණයක් පාලනය කෙරෙයි. සෑම මලයියාහ දෙමළ පවුලකටම පර්චස් දහයක ඉඩමක් පමණක් ලබාදෙන්නේ නම්, පවුල් 150,000 ක් පමණ සඳහා පර්චස් මිලියන එකහමාරක් පමණ අවශ්‍ය වනු ඇත. මෙය හෙක්ටයාර 4,000 කට සමාන වේ. නැතහොත් ලබාගත හැකි මුළු වතු ඉඩම්වලින් දළ වශයෙන් සියයට දෙකක් පමණි. සාපේක්ෂව, නැවත පදිංචි කළයුතු සිංහල ගම්මාන සඳහා පවුලකට පර්චස් විස්සක ඉඩමක් පොරොන්දු වේ. මේ දක්වා මලයියාහ දෙමළ පවුල්වලට කිසිදු ඉඩමක් පොරොන්දු වී නොමැත.
ප්‍රමාණවත් ඉඩමක්
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සාකච්ඡාවේදී, මලයියාහ දෙමළ ප්‍රජාවට ලබාදිය හැකි වතුකරයේ ප්‍රමාණවත් ඉඩම් ඇති බව පැහැදිලිව ප්‍රකාශ කෙරිණි. මෑත වසරවලදී, සංචාරක, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ වෙනත් ව්‍යාපාරික කටයුතු වැනි වෙනත් බොහෝ අරමුණු සඳහා වතු ඉඩම් භාවිත කර ඇත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නිල වාර්තා මගින් ද විශාල වතු ඉඩම් ප්‍රදේශ සම්පූර්ණයෙන් භාවිත නොකරන බව හෝ ඵලදායි නොවන බව පිළිගෙන ඇත. පැරණි තේ පඳුරු, ශ්‍රම හිඟය සහ අඩු ලාභ හේතුවෙන් ඵලදායී ඉඩම් භාවිතය අඩු වී ඇති තේ අංශයේ මෙය විශේෂයෙන් සත්‍ය වේ. මේ නිසා, ලබාගත හැකි ඉඩම් නොමැති බවට කරන ප්‍රකාශ ඒත්තු ගැන්විය නොහැක. සැබෑ ගැටළුව වන්නේ ඉඩම් නොමැතිකම නොව, දේශපාලන කැමැත්ත සහ පැහැදිලි ප්‍රතිපත්ති නොමැතිකමයි.
වතුකර ප්‍රජාවන්ට ඉඩම් අයිතිවාසිකම් ලබාදීම සංවිධානාත්මකව හා ප්‍රවේශමෙන් කළ යුතුය කර්තව්‍යයකි. ඒ සඳහා නිසි සැලසුම් සකස්කිරීම, උපදේශනය සහ වතුකරයේ දිගුකාලීන ආර්ථික තත්වය ආරක්ෂා කිරීම සඳහා අවධානය යොමුකිරීම අවශ්‍ය වේ. මලයියාහ දෙමළ ජනතාව රටේ දුප්පත්ම ප්‍රජාවන්ගෙන් එකක් බවට පත්වීමට විශේෂ ඓතිහාසික වශයෙන් හේතු වූ කරුණු බහුතර ශ්‍රී ලාංකික මහජනතාවට පැහැදිලි කිරීමේ අවශ්‍යතාවක් ද ඇත. කෙසේවෙතත්, මේවා සැලසුම් කිරීමේ ගැටළු මිස ක්‍රියාමාර්ග ප්‍රමාද කිරීමට හේතු නොවේ. වතුකරය දැනටමත් හිමිකාරිත්වය, ශ්‍රම පද්ධති සහ ඉඩම් භාවිතයේ ප්‍රධාන වෙනස්කම්වලට අනුවර්තනය වී ඇත. නිවාස වෙනුවෙන් ඉඩම් ලබාදීම සඳහා හොඳින් සැලසුම් කරන ලද වැඩසටහනක් විසින්, එයට හානිකිරීමට වඩා, එමගින් දිගුකාලීන ස්ථාවරත්වය වැඩි දියුණු කරනු ඇත.
මලයියාහ දෙමළ ජනතාව මිලියනයක් පමණ අතරින්, දැන් වතුකරයේ සේවය කරන්නේ 100,000 ත් 150,000 ත් අතර සංඛ්‍යාවක් පමණි. වතුකර ප්‍රජාවන්ට ඉඩම් අයිතිවාසිකම් ලබාදීමෙන් වතු ආර්ථිකයට හානි සිදුවන බවට ඇති පැරණි විශ්වාසය මෙම කරුණ පමණක් ප්‍රශ්න කරයි. වෙනස් වී නොමැති දෙය නම්, කම්කරුවන්ට ඉඩම් නොමැතිව ජීවත්වීමට සහ අන් අය මත යැපීමට ඉඩ සලසන නීතිමය සහ සමාජ ක්‍රමයයි. නිවාසවලට සිදු වූ හානිය දැන් ඉතා දරුණු බැවින් වතු සමාගම් පවසන්නේ, ඒවා නැවත ගොඩනැගීමට අපහසු බවය. ඔවුන් පවසන්නේ, ඔවුන්ට මුදල් නොමැති බවයි. අතීතයේ සිට මෙම සමාගම්, දිගුකාලීන ප්‍රජා සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට වඩා වතුවලින් වටිනාකම් ලබාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත. එමනිසා මෙම වගකීම සමාගම් විසින් පැහැදිලිවම රජය මත පටවයි. විශේෂයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති පුරවැසියන් සමඟ කටයුතු කිරීමේදී, ආපදා ප්‍රතිසාධනය ගැටලුකාරී වූ විට, එය වගකීම ප්‍රතික්ෂේප කරන සමාගම්වලට භාරදිය නොහැක.
ජාතික ජන බලවේග ආණ්ඩුව තේරී පත්වූයේ ක්‍රමය වෙනස්කරන බවට පොරොන්දුවක් සමඟිනි. සැමට එක හා සමානව සැලකීම යනු මලයියාහ දෙමළ වතු කම්කරුවන්ට නිවාස සඳහා ඉඩම් අයිතිය ලබාදීමයි. යුක්තිය විසින්ද මෙය ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතු බව ඉල්ලා සිටී. රට පුරා, බොහෝ රජයේ වැඩසටහන් දැනටමත් හරහා ඉඩම් නොමැති පුද්ගලයන්ට ඉඩම් ලබාදෙයි. මෙම සන්දර්භය තුළ, මලයියාහ දෙමළ පවුල්වලට ඉඩම් අයිතිය ලබාදීම සරලවම යහපාලනයකි. ඉඩම් හිමිකම වතු කම්කරුවන්ට ඔවුන්ගේ නිවාස, ව්‍යාපාර සහ සමුපකාර නිල වශයෙන් ලියාපදිංචි කිරීමට ඉඩ සලසයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට සහතික කර ඇති මූලික අයිතිවාසිකම් වන බැංකු ණය, රක්ෂණ සහ වන්දි ලබාගැනීමට ද ඔවුන්ට උපකාරී වනු ඇත. වඩාත්ම වැදගත් දෙය නම්, ඉඩම් හිමිකම සමාගම්වල හොඳ හිත හෝ නිලධාරීන්ගේ තීරණ මත යැපීමෙන් තොරව ඔවුන්ට ආරක්ෂාව සහ ගෞරවය ලබාදීමයි. දැන් සැබෑ ප්‍රශ්නය වන්නේ, රජය මෙම අවස්ථාව නිවාස නැවත ගොඩනැගීමට පමණක් නොව, නැවත කැඩී නොයන පුරවැසිභාවය පිළිබඳ පොදු හැඟීමක් නැවත ගොඩනැගීමට ද භාවිත කරයිද යන්නයි.
- ජෙහාන් පෙරේරා

