ඇත්ත පුවත්පතට සම්බන්ධ වීම සඳහා විමලනාත් වීරරත්න මට දුන් ඇමතුම අනුව ජයතිලක සිල්වා හමුවුණෙමි.මා සම්මුඛ පරීක්ෂණයට ලක් කළේ ඔහු විසිනි.කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය සිංහලට පරිවර්තනය කළ ඔහු සමග කතා කරන්නට ලැබීම ද අනගි අවස්ථාවකි.
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ඇත්ත කර්තෘ ලෙස බඳවා ගත් පසු මා කැඳවනු ලැබීය. ඔහු මෙලෙස යෝජනා කළේය.
“ඔයා නිකම්ම ලියන්නෙක් හැටියට එන්න ඕන්නෑ.සහාය කර්තෘ ලෙස බඳවා ගන්නම්.”
එය යථාර්ථයක් බවට ද පත් විය. ඔහු සමග වැඩ කරන්නට ලැබුණු කාලයෙහි කිසි ම සිත් රිදීමක් ඇති නොවීය.පුවත්පත පළ කළේ කොමියුනිස්ට් පක්ෂය විසිනි.රාජපක්ෂ ආණ්ඩුව සමග ගැටුමකට නොයන අයුරින් පුවත්පත පවත්වාගෙන යෑමට බලධාරීන් කටයුතු කරනු පෙනිණ . ජාතිවාදියකු නොවූ මයිකල් ප්‍රනාන්දුට මෙය දිරෙව්වේ නැත. එය මගේ සතුටට හේතු විය.සම්මුඛ සාකච්ඡාවලදී ජාතිවාදයට විරුද්ධ විද්වත් පාර්ශ්ව සම්බන්ධ කරගතිමු.අපගේ ඇරියුමින් මහාචාර්ය නවරත්න බණ්ඩාර ඇතුළු විද්වත්හු,තීරු ලිපි ද ලියූහ.
පුවත්පතේ සමහර බලධාරීන්ට මෙය දිරවන්නේ නැති බව ද දැනිණ.මේ නිසා අපතර ඇති වූයේ සීතල යුද්ධයකි.ආචාර්ය මයිකල්ගේ ඇරියුමෙන් බණ්ඩාගේ වාක්කියද නැවත පටන් ගතිමි. සම්මුඛ සාකච්ඡා, සාහිත්‍ය පිටුව ඇතුළු විශේෂාංග නිදහසේ සම්පාදනය සඳහා මට අවස්ථාව දුන් ඔහු කතුවැකියට වැඩි බර තබා එය එල්ලය බලා ලිව්වේ ය.
පුවත්පත ව්‍යාප්ත කිරීම සඳහා මා කළ යෝජනා පිළිගත් ඔහු ඇත්ත සම්මන්ත්‍රණයක් සඳහා මා සමග නුවර ගොස් ආපසු පැමිණියේ බසයෙනි.
අප දෙදෙනා අතර තිබූ අවබෝධය නිසා ම ඔහු තම අතීත අත්දැකීම්වල සාරවත් දේවල් ද මට කියා ඇත.
සිරිල් මැතිව් ලියූ “කව්ද කොටියා” පොත කියවා නොමග ගිය පේරාදෙණිය සරසවියේ සිංහල සිසුන් දෙමළ සිසුන්ට පහරදී එළවා දැමීම එක් සිදුවීමකි.
ඒ පිළිබඳ සොයා බැලීමේ කොමිසමක් පත් කෙරිණ.
කොමිෂන් සභා වාර්තාවෙහි කරුණු අනුව සිංහල මහාචාර්යවරයකුට ද චෝදනා එල්ල වී ඇත.
ආචාර්ය මයිකල් එම වාර්තාව මට කියවන්නට දුන්නේ ය. දෙමළ සිසුන්ට පහර දුන් සිංහල සිසුන්ට එරෙහි පොලිස් පරීක්ෂණවලින් පලක් වී නැත.සිංහල මහාචාර්යවරයා තහවුරු කර ඇත්තේ දෙමළ සිසුන් සිංහල සිසුන්ට පහර දී ඇති බව ය.!!!
ඇත්ත පත්‍රයට සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා මහාචාර්ය විශ්වා වර්ණපාල හමුවූ අවස්ථාවෙහි මේ ගැන ඔහුගෙන් ඇසූ විට ඔහු ද කොමිසම් වාර්තාාවේ කරුණු නිවැරදි බව තහවුරු කළේ ය.
ඒ එකක් පමණි .
රාජපක්ෂ ආණ්ඩුව සමයේ “ග්‍රීස් යකෙක් ” රට පුරා සැරිසැරීය. එය ආණ්ඩුවේ සන්නිවේදන උපක්‍රමයක් බව පෙනිණ.
ආණ්ඩුවේ ඇමති කෙනෙකු වූ වාසුදේව මෙය ප්‍රශ්න කරමින් කියා සිටියේ ග්‍රීස් යකා මුවාවෙන් නැගෙනහිර ප්‍රදේශයේ නිවාස කොල්ල කෑ අය අතර ආරක්ෂක භටයන් සිටි බව ය.
එවකට සිටි ආරක්ෂක ලේකම්ගේ අණට එරෙහි ව මැස්සෙකුටවත් පියෑඹිය නොහැකි විය.වැඩේ සිද්ධ වෙන හැටි අපි අනුමාන කළෙමු.වාසුගේ ප්‍රකාශයට ඇත්තේ ඉඩක් වෙන් කළෙමු.
ඇත්ත යන විදිය එම පක්ෂයේ සමහරුන්ට දිරවන්නේ නැති බව පෙනිණ.
දිනක් පත්තරයේ වැඩ නිමකොට ගෙදර ගිය පසු ආචාර්ය මයිකල්ගෙන් දුරකතන ඇමතුමක් ලැබිණ.
“තිඹිරි අපි දාපු ලීඩ් එක මෙයාලා වෙනස් කරලා”
ඔහු මට කීය.
“එහෙනම් එයාලට ම පත්තරේ කරගන්න කියන්න.මම හෙට ඉඳලා එන්නෑ.”
මම කීවෙමි.එය එපරිදි ම විය.
එම සිදුවීමෙන් පසු ද ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මට හමු විය.
“තිඹිරි ගත්තු තීරණේ මටත් ගන්න වෙනවා.”
ඔහු මට කීවේය.
“ඩොක්ටර් පත්තරෙන් යන්න එපා”
මම කීවෙමි.එහෙත් ඔහු ගියේ ය.
කොමියුනිස්ට පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වූ මයිකල් පක්ෂය හරි මගට ගැනීම සඳහා අභ්‍යන්තර යුද්ධයක් කළේය.එහි ප්‍රතිපල ලෙස රාජපක්ෂ ආණ්ඩුවට සහාය දක්වන පිරිස සහ ප්‍රතිපාර්ශ්වය ලෙස පක්ෂය දෙකට කැඩිණ.ආචාර්ය මයිකල් ජාතිවාදයට විරුද්ධ පිළ නියෝජනය කළේ ය.
පසුගිය මැතිවරණවලදී ඔහු ජාතික ජනබලවේගයේ රැස්වීම්වලට ද සහභාගි විය.මාලිමා ආණ්ඩුවේ ජය වෙනුවෙන් ඔහු මතවාදී ව පෙනී සිටියේ ය.එහෙත් තමන් පතන සමාජ වෙනස එයින් ද සිදු නොවන බවට කලකිරීමක් ඔහුට වූ බව මට දැනිණ.ජීවිතයේ අන්තිම දවස්වල කය අක්‍රිය වෙමින් සිටිය දී ද නිරවුල් දැක්මකින් ඔහු පසු විය.
ඇත්තට සම්බන්ධ වීමට පෙර මා ඔහු දැන සිටියේ බර්ට්‍රොල්ට් බ්‍රෙෂ්ට් ගැන ප්‍රමාණිකයකු සහ විචාරකයකු ලෙස ය.ඇත්ත
පුවත්පත නිසා ඔහු මිත්‍රයකු බවට ද පත් විය.
ඉතින් “ඩොක්ටර් මයිකල්”ගේ රූපකාය නැවත මට හමු නොවේ.මතකය කිසි දා නොමියේ.
තිඹිරියාගම බණ්ඩාර
මයිකල් සර් නොහොත් අපේ මයිකල් කුමාරයා
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සූරීන් නික්ම ගොසින්. සුන්දර මතක ගොඩක් කල්පනාවට එනවා. මයිකල් ප්‍රනාන්දු.. ධර්මසේන පතිරාජ.. බර්ටි ජයසේකර ආදීන් සිංහල උපාධිය හැදෑරූ පේරාදෙණි දවස් Peradeni Days කොපමණ විස්මිත වන්නට ඇද්ද… එයාලට උගන්වපු ආරිය රාජකරුණා ආදී ගුරුවරු…
මයිකල් සර් සිංහල අංශය පැත්තකින් තියලා ලලිතකලා අංශය නිර්මාණය කළා. ඉස්සර මට මතකයි ඒ කාලෙ අංශ ප්‍රධාන අතුල සමරකෝන් සොයුරා කීවා නිතර .. මචං මේ මයිකල් ප්‍රනාන්දු වාඩි වුණු පුටුව.. කියලා. ඒ ඇඟවුම තේරුම් ගන්න පුළුවන් .
පේරාදෙණියේ මගේ ආචාර්ය උපාධියෙ එක් බාහිර සමීක්ෂකයෙක් තමයි මයිකල් සර්. වාචික පරීක්ෂණය ඉවර වෙලා සර් මාව එයාගෙ නුවර නිවසට කැඳවලා ආහාර වේලක් දුන්නා. මගේ අනික් සමීක්ෂකයා වූ සුනිල් විජේසිරිවර්ධනත් හිටියා. අමුතු මිනිස්සු.
ජාතික ජනබලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජිකයෙක් මයිකල් සර්. පුළුවන් හැම වෙහෙසක් ම ගත්තා . ඔහු අප සැමගේ මයිකල් සහෝදරයා .
බ්‍රෙෂ්ට් නාට්‍ය විෂයෙහි ප්‍රාමාණිකයා එයා. බ්‍රෙෂ්ට්ගෙ ගමට ගිහින් ජර්මන් බසින් නොවැ වැඩේ කළේ.
.. හුළං පොදක්වත් වදින්න නොදී හදපු මයිකල් කුමාරයා…
ගරු කටයුතු ගුරුතුමා .. පිය සහෝදරයා …
ශාස්ත්‍රීය හා විප්ලවීය ආචාරය පිළිගනු මැන.
… මේ පේරාදෙණි සිසුවෙකුගේ සටහනක්.
ආචාර්ය මයිකල් ප්‍රානාන්දු සුධීමතුනට ප්‍රාර්ථනීය සුගතියක් අත් වේ වා! (1943-2026) ප්‍රගතිශීලී සමාජ-දේශපාලනික ක්‍රියාකාරිකයකු මෙන් ම විද්වතකු වුණු ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පේරාදෙණි සරසවියේ ලලිතකලා අධ්‍යයනාංශයේ ආදි කර්තෘවරයා ය. එතුමා හා සම්මුඛ වීමේ භාග්‍යය පේරාදෙණියේ දී හෝ ඉන් එපිට දී හෝ මා හට හිමි වී නැත. එහෙත් මා ගේ ශාස්ත්‍රාලයීය ජීවිතය ගොඩ නැඟුණේ එතුමා පදනම් දැමූ නිදහස්කාමී බුද්ධිමය පරිසරයක වග මා දැන-ගත්තේ පසු ව ය. එබැවින් ලලිතකලා අධ්‍යයනාංශයෙහි මා ගේ ආචාර්යවරුනට මා දක්වන සදාතන කෘතවේදීතාව ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සුධීමතුනට උපහාරයක් විය යුතු ය.
සිය ක්‍රියාකාරී දේශපාලනික භූමිකාව සහ සංකථන, අධ්‍යාපන පරිපාලන කටයුතු ආදිය හේතු කොට ගෙන එතුමා ගේ ශාස්ත්‍රාලයීය මෙහෙවර බොහෝ දෙනෙකු ගේ අවධානයට ලක් ව නැත. එබැවින් පෙරදිග හා අපරදිග නාට්‍ය කලාව පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වුණු එතුමා සිය ශාස්ත්‍රීය දායකත්වය සපයා ඇති ග්‍රන්ථ කිහිපයක් මේ සමඟ අමුණමි. — “Die Singhalesische Buhne und Bertolt Brecht” (The Sinhalese Stage and Bertolt Brecht) යන හිසින් පළ වී ඇත්තේ එතුමා ජර්මනියේ බර්ලින් නුවර හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය (1978-1982) සඳහා ජර්මන් භාෂා මාධ්‍යයෙන් ඉදිරිපත් කළ නිබන්ධය යි.
හිනිඳුම සුනිල් සෙනෙවි
නිදහස්, නිවහල් ගුරුවරයෙකුගේ නික්ම යාම
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු නික්ම ගිය පුවත ගැන දිලාංජනගේ සටහන දකින විට එය බෙදාගන්නට සිත් විය. මට පේරාදෙණියේදී හමු වූ හොඳම ගුරුවරයෙකු වන අතුල සමරකෝන් සිය උසස් අධ්‍යාපනය ගැන අලුත්ම සුබ පණිවිඩ මට කියන විට ඔහු මේ ශෝක පණිවිඩයද ගෙනාවේය. අප කවුරුත් ඉක්මනින් ඉක්මනින් නික්ම යන බව මා හොඳින්ම දන්නා නිසා ආචාර්ය මයිකල් ප්‍රනාන්දුගේ නික්ම යාම නිසා මා වඩාත් පුදුමයට පත් වූයේ මා එය මෙතරම් ප්‍රමාද වී දැනගැනීමයි. මෙවැනි ආරංචිවල කම්පන සිසාරා විසර යන මේ ෆේස්බුක් අවකාශය ආචාර්ය මයිකල් ප්‍රනාන්දුගේ නික්ම යාම භාරගෙන ඇති ආකාරය මා පුදුම කළ දෙයයි. ලංකාවම නිදි අතරේත් ෆේස්බුක් ඉන්නා මා එය දැනගත්තේ ෆේස්බුක් ගිණුමක්ද නැති මිතුරෙකුගෙනි. පසුව මේ ලියන ඇතැම් වැදගත් සටහනක් දෙකක් දුටුවෙමි. මාගේ ඇල්ගොරිදම්!
ආචාර්ය ප්‍රනාන්දු, මා හඳුනාගෙන සිටින ප්‍රමාණික සිංහල ලේඛකයෙකු තරමට ප්‍රමාණවත් තරම් පොතපත නොලියා තිබීම ගැන මම මේ දිනවල ඔහු සිංහල නාට්‍ය කලාව පිළිබඳ ලියා ඇති Theatre in Politics and Politics in Theatre: Sri Lankan Experience Since Independence. (Sri Lanka Journal of Social Sciences 22, no. 1 & 2 (1999) වැනි ඉතා තියුණු රචනා කිපියක් කියවමින් සිටින අතර සිතමින් සිටියෙමි. මා සිතන්නේ ඔහු විශිෂ්ට බුද්ධිමතෙකු ලෙසයි, ඊටත් වඩා අද මේ ආරංචිය එන මාවත දිගේ අතීතයට පේරාදෙණිය වෙත ඇවිද යන විට, මුණගැසෙන ආචාර්ය මයිකල් මගේ ඉතිහාසයේ අමරණීය මිනිසෙකි.
මා පේරාදේණියේදී ඔහු ඉගැන්වූ නාට්‍ය හා සාහිත්‍ය පාඨමාලා කිහිපයක් උගෙන ඇත්තෙමි. ඒ පන්ති පැවැත්වූ ලලිත කලා දෙපාර්තමේන්තු පන්තිකාමරවල බොහෝ විට මා සමග සිටියේ මුදිතා ධර්මසිරි, කල්පනී වැනි දෙතුන්දෙනෙකු පමණි. බොහෝ විට අපේ වයස්වල ඔහුගෙන් ඉගෙන්ගත් බොහෝ අය ඇතැයි මම නොසිතමි. අප පේරාදෙණියේ සිටි 2008-2013 කාලයේ ඔහු සමග එක් සෙමෙස්ටරයක් මා පමණක් එක් පාඨාමාලාවක්ද හදාරා ඇත්තෙමි. දිලාංජනගේ සටහන දකිනවිටම මට මතක් වූයේ ඒ පන්ති කාමරවල ඔහු හා මා අතර සිදු වූ ඇතැම් දේය. පැයේ දෙකේ පන්ති ඔහු කිසිදු කම්මැලිකමක් නැතිව උගන්වයි. මට මතක ඔහු, ඉතා හෙමින් (අඩු සද්දයෙන්) කතා කරන කෙනෙක් වුවත් ඔහු අපට නින්ද යනතුරු මෙන් එකදිගට කියවන අයුරුනි. ඔහුට කතාබහේදි පුදුම සන්සුන්කමක් තිබිණි. ඔහු සරල චාම් ඔහේ ඉන්නා කෙනෙකු මෙන් පෙනෙන අතරේ මාතෘකාවට එන විට පුදුම සහගත ලෙස සීරියස්ව කතා කරන්නට ගනියි. ඔහුට එවැනි ගලාගෙන යන භාෂාවක් උරුම වී ඇත්තේ අපේ විශ්වවිද්‍යාලවලම සිටි/න ඇතැම් රූපවාහිනී ආචාර්යවරුන්ගේ මුඛරිකම වැනි උද්දාල හෝ වාචාල උරුමයකින් නොවේ. ඔහු නිතර පරීක්ෂාකාරී ලෙස සිතමින් බැරෑරුම් ලෙස කතා කරන මිනිසෙක් බව මම දැක ඇත්තෙමි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නම මතක් නොකළ එක දවසක්වත් මගේ පත්තිවල නොතිබුණු බව මට මතකයි. මේ තරම් බ්‍රේෂ්ට් ගැන කියවන්නේ මන්දැයි ඒ දිනවල මට සිතී තිබුණත්, අද මාර්ටින් පුච්නර් වැනි විශිෂ්ට චින්තකයෙකු ලියා පළ කළ The Drama of Ideas වැනි කෘති හදාරමින්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වැනි නාට්‍යකරුවන් සහ ප්ලෙටොනික් නාට්‍ය කලාව පිළිබඳ විකල්ප අදහස් කියවමින් සිටින අතර දැන් මයිකල් ප්‍රනාන්දුගේ බ්‍රේෂ්ට් චින්තනය මට වඩාත් පැහැදිලිව පෙනේ. මයිකල් ප්‍රනාන්දු මතු කළ සරච්චන්ද්‍රගේ නාට්‍ය කලාවේ එන බ්‍රෙෂ්ටියානු ගති වැඩිදෙනෙක් මායිම් කළ බවක් නොපෙන්. මයිකල් ප්‍රනාන්දු වැනි අය හුදෙකලා බුද්ධිමතුන් සේ සිටීමේ අරුමය මේ ෆේස්බුක්හි පළ වන ඇතැම් නාට්‍ය විචාර නිසාද නිතර සිහිවෙයි. ලංකාවේ නාට්‍ය කලාවේ ඇතැම් තැන් ගැන උනන්දුවෙන් බලමින් සිටින මට ඔහු ලියා ඇති ඇති රචනා ඉතා ඉවහල් වෙයි. ඇත්තෙන්ම පසුගිය වසර දෙකතුන තුළ වරින් වර ඔහු කෙරෙහි මා තුළ බුද්ධිමය ආදරය වර්ධනය විය.
දිනක් මමත් ඔහුත් පමණක් පන්ති කාමරයේ සිටින අතර මගේ දුරකථනය නාද විය. සයිලන්ස් කරන්නට අමතක වී තිබිණි. පේරාදෙණි උපසංස්කෘතික උරුමය දරාගත් ශිෂ්‍යයෙකු වූ මම හොඳටෝම බය වන අතරේ ඔහු කීවේ වහා දුරකථනයට පිළිතුරු දෙන ලෙසයි. මට නිදහසේ කතාකරන්නැයි ඔහු කීවේය. මමත් මොකක්හරි හේතුවක් නිසා එය පිළිගෙන දුරකථනය විසන්ධි නොකර පිළිතුරු දුනිමි. කතාව විනාඩි දහයක් පහළොවක් පමණ ඇදී ගිය බවත් මට මතකය. මා දුරකථනයේ සිටි අතර ඔහු මොනවා හෝ පොතක් කියවමින් සිටි වබ මතකය. මා දුරකථනය විසන්ධි කළ පසු ආපසු අපේ පාඩමේ කතාව පටන්ගැනිණි. දුරකථන කතාව නිකමටවත් ඇසුවේ නැත. එවැනි ආකාරයේ බොහෝ නුපුරුදු ගුරු භූමිකාවක් ඔහු ඉදිරියේ මා දැක ඇත්තෙමි. මා-තින් පන්තිකාමරයේ දී එදා වූ සදාචාර විරෝධී, අසංස්කෘතික දේ නිතර සිදුවන ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක උගෙනිමින්, ඊට දසකයකට හමාරකට පසුව ආපසු හැරී බලන විට මට මුණගැසී ඇති ඉතාම සුන්දර ගුරුවරුන් කිහිපදෙනා අතර ආචාර්ය මයිකල් සිටින බව මට දැනේ. මා කියන ඇමෙරිකානු පන්තිකාමරවල අර නිදහස් පැවැත්මේ (අසංස්කෘතිකකම්) බොහෝ ඇතත්, අපේ පන්තිකාරවල ලෙහෙසියෙන් හමු නොවන ආචාර්යධාර්මික සහ සංස්කෘතිකවත් ඇකඩමික් මිනිසුන්, ගුරුවරුන් නිතර හමුවෙයි. එහෙත් මට පුද්ගලිකව ලංකාවේදී ඉගෙනගන්නට ලැබී ඇත්තේ ලියනගේ අමරකීර්ති, පී. බී. මීගස්කුඹුර, ආරිය රාජකරුණා, වැනි ඒ ඒ පරම්පරාවල විශිෂ්ට ගුරුවරුන් කිහිපදෙනෙකුගෙන් පමණි. ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ඒ අතර හමුවුණ ඉතා නිදහස් ඇකඩෙමික් මිනිසෙකි.
ෆේස්බුක් අවකාශයක මෙවැනි මිනිසෙකු ගැන උනන්දුවක් නැතිකම මා තුළ යළි අර ප්‍රශ්නය උපදයි. අපි ඔහු ගැන උනන්දු අඩු, ඔහු ඉතා අඩුවෙන් ලියා ඇති ලේඛකයෙකු හෝ බුද්ධිමතෙකු නිසාද? එදිරිවීර සරච්චන්ද්‍ර ගැන ලියවී ඇති විශිෂ්ටතම අදහස් ඇති රචනයක් වන Sarachchandra of Sri Lanka Among 20th Century Experimental Dramatists ලියූ මෙවැනි බුද්ධිමතෙකු ඔහු ජීවත්වන සමාජයෙන් මෙතරම් ඈත්වීම ඔහු නික්මගිය ශෝකය අතර මා තවත් පාරවයි. නිතර මෙවැනි සිදුවීමක් වන විට ශෝකය ෆේස්බුක් නොලියන මා-තින් මේ ටික ලියැවුණේ එබැවිනි.
දිලාංජනගේ සටහන ඔස්සේ ගොස් ඔහු ලියා දේ පිළිබඳ විමසා බලන්න පුළුවන්.
ආචාර්ය මයිකල්, ඔබට සුබ ගමන්!
(ඒ ලෝකයේදීත් ඔබේ ශිෂ්‍යයෙකු වී එන්නට සදා කැමැත්තෙන්)

