2025 නොවැම්බර් 26 වෙනිදා තිරංජනී චන්ද්‍රිකාගෙ ‘පත්තම්මා’ කෘතිය දොරට වැඩියා. ඒක බොහොම චාම් උත්සවයක්. ඒත් එදා වේදිකාව මත පල වුණේ හරි ම ලස්සන අදහස්. හිතන්න බල කරවන ඔළුව අවුල් කරවන කතන්දර ටිකක්. ඔළුවෙ ලියැවුණු මේ අදහස් කල් ගිහින් හරි අකුරු වෙන්නෙ ඒ හින්දා.
පත්තම්මා ගැන අදහස් දක්වපු කාංචනා කීවේ එහි වන ස්ත්‍රි පිළිබිඹුව ගැන. මයුරි පූරක භූමිකාව කරන ගමන් ස්ත්‍රිය ගැනත් ඇයගෙ ඉරණම ගැනත් බොහොම සෘජු, කථිකාවකට මාර්ගය විවර වෙන අදහස් ගොන්නක් අරන් ආවා. නැවත නැවත වර නැගුණු ‘මව්වත් ගුණය’ නම් මගෙ හිස හොඳට ම කුරුවල් කළා. ඉතිහාසය පරිකල්පනය කිරීම ගැනත් ඒ තුළ වන දේශපාලනය ගැනත් චන්දිම ලස්සනට පැහැදිලි කළා.
මම හිතන විදියට ඉතිහාසය යැයි අප විශ්වාස කරන්නේ ගොඩනැංවූ දෙයක්. ඒ ගොඩනැංවීම හැමවිටම පවතින රජුට පක්ෂපාතීයි. මහාවංශය කියන්නෙ එහෙම දෙයක්. හරියට ලේක්හවුස් පත්තරෙ වගේ. වැදගත් වන්නෙ ඒ තුළ පවතින සිදුවීම්. බර පතළ ම කටයුත්ත ඇත්තේ කියවන්නා තුළ. කියවන්නාගෙ සබුද්ධික බව අනුව එය තීරණය වන අතර පරිකල්පනය ඊටත් වඩා බරපතළයි. ඉතිහාසය තුළ අම්මා වෙත දී ඇත්තේ සුවිශේෂ තැනක්. ආගමික ප්‍රබන්ධ තුළත් එහෙමයි. සිද්ධාර්ථයන්ගෙ මව මහාමායා දේවියටත්, සුළුමව වුණු ප්‍රජාපති ගෝතමියටත් ජේසුන්ගෙ මව වුණු මරියතුමියටත් ලැබෙන්නෙ ඉහළ වටිනාකමක්.
එදා වේදිකාව උඩ වැඩියෙන්ම වර නැඟුණෙ මව්වත් ගුණය. විජේතුංග ශබ්ද කෝෂයට අනුව එහි තේරුම “මවක් මෙන් කාරුණික, ළෙන්ගතු” කියන අදහස. නන්ද කුමාරයා කිරිවමුවරුන්ට දීලා සිද්ධාර්ථව බලාගන්න ප්‍රජාපතිය එනකොට ඇය ළඟ “මව්වත් ගුණය” තිබ්බෙ නැද්ද කියලා ඉතිහාසකාරයා අහන්නෙ නෑ. එහෙම තමයි ආධිපත්‍ය හා බැඳුණු ඉතිහාස ලියැවිලිවල ස්වභාවය.
ඊළඟ අවුල “මව්වත් ගුණය” කියන එක තියෙන්නෙ අම්මලා ළඟ විතර ද? කියන එක. මට අනුව නම සහානුකම්පාව තියෙන හැම මනුස්සයෙක් තුළ ම මව්වත් ගුණය තියෙනවා. ඒකට තමන්ට ම දරුවො ඉන්න ඕන නෑ. නමුත් මං දන්න අම්මලා බොහොමයක් ළඟ මව්වත් ගුණය තියෙනවා තමන්ගෙ දරුවන්ට විතරක්. “මව්වත් ගුණය” කියන එකත් පුරුෂෝත්තම සමාජයෙන් ස්ත්‍රියට පළන්දපු අං තට්ටුවක් හැටියටයි මටනං දැනෙන්නෙ. හරියට ගෙදර බුදුන් අම්මා කියනවා වගේ. වචන අස්සෙ හිර වුණා ම ගෑනුන්ට වෙන්නෙ තමන්ට තමන්ව නැති කර ගන්න.
පීඩකයා පීඩිතයා බවට පත් වන විදිය ගැනත් වේදිකාව උඩ කියවුණා. ඒක හරි. ඇත්ත ම ඇත්ත. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපි හැම කෙනාම Title වෙලා තියෙනවා. කුටුම්භය තුළ නම් ‘අම්මා’ ‘තාත්තා’ විදියට. Title එක ඇතුළෙ මනුස්සයට මනුස්සයා අහිමි වෙනවා. ‘අම්මාට’ පැවරුණු වැඩ තියෙනවා. ‘තාත්තාට’ පැවරුණු වැඩ තියෙනවා. අපි පොඩි කාලේ ව්‍යාකරණ පාඩමට ඉගැන්නුවා “අම්මා බත් උයයි.” “තාත්තා වැඩට යයි” කියලා. දැනුත් ඒක ම තමයි. නමුත් දැන් “අම්මා බත් උයා වැඩට යයි.” ඒ ‘අම්මා’ කියන title එක ඇතුළෙ අම්මාට උයන්න ම දීලා තියෙන නිසා. ඒ හින්දා වෙන්න ඇති ගෙදර ඉන්න තාත්තා, ළමයි, අම්මා කන්තෝරු ගිහින් එනකං බලාගෙන ඉන්නෙ ‘තේ හදා ගන්න’ ‘ වළං හෝදන්න’ උදේට උයන දේවල් ලෑස්ති කරන්න. ඒවා අම්මා title එකට අයත් දෙවල්. මනුස්යො හැටියට වැඩ කරනවනං මේක වෙනස් වෙනවා. කවුරු හරි වෙලාවක් තියෙන කෙනෙක් අවස්ථානුකූලව ඒ ටික කරයි. නමුත් එහෙම වෙන්නෙ නෑ. හැබැයි ගොඩක් ස්ත්‍රීන් ඒ කට්ට කන්නෙ “මව්වත් ගුණය” නිසා නෙවෙයි. මිස් කළොත් අවුල් වෙන නිසා. අවුල් හදා ගන්නවට වඩා පහසුයි පැවරුම් ටික කරන එක. ඉතින් අම්මලා මායාකාරියො වගේ වැඩ කරනවා.
හැබැයි මම දැකලා තියෙනවා එක දරුවෙක් වඩාගෙන තව දරුවෙක් අතින් අල්ලාගෙන ලොකු බෑග් එකකුත් කරේ එල්ලගෙන day care ළඟ ඉන්න තාත්තලා. දරුවෝ වඩාගෙන ඩේ කොයාර්වලට දුවන අම්මලා පිටුපස්සෙ බෑග් එල්ලගෙන දුවන තාත්තලා. සුපර්මාකට්වල විතරක් නෙමෙයි බදාදා පොළෙත් මං දැකලා තියෙනවා කරවලයගේ ඉඳන් අඩුම කුඩුම ගන්න පිරිමි. එතකොට ඒ පිරිමි ගාව තියෙන්න ගුණය “මව්වත්” නෙමෙයි ද? මමනං හිතන්නෙ පිරිමියාගෙ හැසිරීම තීරණය වෙන්නෙ ශිෂ්ටත්වය, අවංකභාවය, ළමා වියෙ දි හැදුණු වැඩුණු පරිසරය සහ චින්තය අනුව.
ඒ අතරෙ මයුරි ලස්සන ප්‍රශ්නයක් ඇහුව්වා. අගබිසව සතුටින් ද? රජු සතුටින් ද? අන්තප්පුර ය සතුටින් ද? ප්‍රමිලා සතුටින් ද? කියලා. ඇය සෙල්ලම් නිරිඳු ගැනත්, සෙල්ලම් පිරිමි ගැනත් කිව්වා. මටනං හිතෙන්නෙ වෙන් වෙන් වශයෙන් ගත්තම, සතුට සෙවීම තුළ ම සතුට නැතිවෙනවා. සතුට අත්පත් වෙන්නෙ නිරුත්සාහිකව. සෙල්ලම් පිරිමි ගැන කිව්වොත්, එයාලා ගෑනුත් එක්ක සෙල්ලම් කරනවා. හැබැයි දෝෂාරෝපණය එන්නේ ගැහැනියට. වැඩියෙන් ම දොස් කියන්නෙත් ගෑනු. ඇයි ඒ?
ඇත්තටම මම හිතාගෙන හිටියෙ ලංකාවේ ස්ත්‍රියට තියෙන්නෙ පුරුෂයා විසින් ස්ත්‍රියට සැලකීම තුළ ඇතිවන පීඩනකක් කියලා. නමුත් මෑතක ගිය පුහුණුවක කියවුණා පොලිසියේ ඉහළ තනතුරු අරන් ඉන්න බහුතරයක් ස්ත්‍රීන් ඒවා අරගෙන තියෙන් නඩු දාලා ඒ තීන්දු මත බව. 2018 මගෙ “තුනු විල” පොත දොරට වැඩි දවසෙ ඒ ගැන කතා කළේ හරිනි සහෝදරිය. ඒ ගැන අපි හමුවෙලා මුලින් කතා කළ දවසෙ ඇය ප්‍රශ්නයක් මතු කළා. ඇය ඇහුවේ “ලංකාවේ ඉහළ තනතුරු බහුතරයක ස්ත්‍රීන් හිටියත් ඉහළ ම තනතුරු දරන්නෙ සාපේක්ෂව ඉතා කුඩා පිරිසක්. ඇයි ඒ?” කියලා. එක තැනකින් පස්සෙ තවත් ඉහළට යන්න නම් විශේෂ මහන්සියක් දරලා පාඩම් කරලා විභාග ලියලා, ලොකු මහන්සියක් දරන්න ඕන. ඒ වැඩේට supportive background එකක් අවශ්‍යයි. ෙගදර ඉන්න අයට තේත් හදලා දීලා විභාග ලියන්න යන පරිසරයක් අපේ කුටුම්භ ඇතුළෙ තියෙන්නෙ.සමාජ දෘෂ්ටිය වගේ ම ඒ හේතුත් බලපානවා ඉහළට ම යාමේ දි.
මයුරි තව ප්‍රශ්නයක් අහනවා. රත්මලි මැරුණා. ගඟ අද්දර නිර්මලා මැරුණා. පත්තම්මාත් මැරෙනවා. ඇයි ඒ? කියලා. මං දැකලා තියෙනවා කුටුම්භ පීඩනය දරාගන්න බැරුව නහර පුපුරලා මැරුණු ස්ත්‍රීන්. සමහරු වෙන දෙයක් වුණාදෙන් කියලා මායාකාරියො වගේ වැඩ කරනවා. “මව්වත් ගුණය” කියලා ඇඳගෙන වැඩ කරන අයත් ඉන්නවා. “දඩයමෙ” රත්මලිගේ කතාව ඇත්ත කතාවක්. එයා සියදිවි නසා ගන්නවා නෙවෙයි. ඇයව මරන්න යන මිනිහත් එක්ක ලොකු ෆයිට් එකක් කරලා අන්තිමට ඒ මිනිහා අතින් මැරෙනවා. නිර්මාණය විසින් නිර්මාණය තුළින් මැරුවා නෙවෙයි. ඇයට බැරි වෙනවා කුණ්ඩලකේසිගෙ වැඩේ කරන්න. “ගඟ අද්දර” දි නිර්මලාගෙ විදියනම් ඊට වෙනස් තමයි.
2004 දි හෝ 2003දි අනුලක්කාගෙන් (අනුල ද සිල්වා) පත්තරේකට සම්මුඛ සාකච්ඡාවක් ගන්න ගිය වෙලාවේ ඇය කියනවා එයාගේ නිර්මාණ ඇතුළෙ කොයි වෙලාවකවත් ඇය ස්ත්‍රියක් මරන්නේ නැහැ කියලා. ඇයගෙ අරමුණ ශක්තිමත්, මරණය විසඳුම කර නොගත්ත, ජීවතයට මුහුණ දෙන, ශක්තිමත් ස්ත්‍රියක් ගොඩනංවන එක කියලා. ඇත්තට ම අපට අවශ්‍ය වෙන්නේ අන්දවන සාහිත්‍යයක් නෙවෙයි. පීඩිතයාට, ඒ තුළ ස්ත්‍රියට හුස්ම දෙන සාහිත්‍යයක්. හැම පීඩනයකදි ම අභියෝගදී ම සැලෙන්නෙ නැතුව තමන්ගේ ගමන යන යකඩවලටත් වඩා හයිය ස්ත්‍රීන් මං දැකල තියෙනවා. සිංහල සාහිත්‍යය භාවිතය තුළ නම් මම එහෙම චරිතයක් දැක්කේ 1976දි සුගතපාල ද සිල්වා විසින් ලියපු” බල්ලෝ බත් කති” නවකතාෙව හිටපු පුසති මැණිකෙ විතරයි. ඇය ගොඩනැඟෙන්නෙ මීට අවුරුදු 49කට විතර කලින්. ඇය ඉක්මවා යන්න පුළුවන් ගැහැණු චරිතයක් ඇයි තවමත් ගොඩ නැඟුණෙ නැත්තෙ?
ඒ කොහොම වුණත්, තිරංජනී චන්ද්‍රිකාවනි, ස්තුතියි ඔබට, බිරිඳක් හැටියට වැඩ කරමින්, අම්මා හැටියට වැඩකරමින්, උපයන්නියක් විදියට වැඩ කරලා විශ්‍රාම ගිහිල්ලා අත්තම්මා කෙනෙක් හැටියට දරුවන්ගේ දරුවොත් බලාගනිමින්, මැල්ලුම් විතරක් ලියනවා වෙනුවට පොතක් ලිව්වාට. ස්තුතියි ඔබට, තියෙන අවුල් මදිවට තව අවුලක් හදලා අපේ ඔළු කුරුවල් කරලා දැම්මාට!

