ගාන්ධි සහ අම්බෙඩ්කාර් දෙදෙනා අතර පැවති විවාදය පිලිබඳව ලියවුණු අරුන්දතී රෝයිගේ කෘතිය

Share post:

කේරළ ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිල්ල ඉදිරිපිට නොසැලී සිටිනා තිදෙනෙකි. මැදින් සිටින්නා හිඳගත්වනමය. හේ මහත්මා ගාන්ධි ය. ඔහුට වම් පසින් සිටිනුයේ ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර් ය. දකුණු පසින් සිටින්නේ ජවහර්ලාල් නේරු ය. මේ තිදෙනාගේ දැවැන්ත ප්‍රතිමාවන් ඉන්දීය නිදහස් සටන මූර්තිමත් කරන්නාක් මෙන්ම කේරළ ව්‍යවස්ථාදායක සභාවේද ගෞරවණීය බව පෙන්වා සිටියි.

පොත් ප්‍රදර්ශණයේ පලින් පල මේ තිදෙනා ගැනම ලියවුණු පොත් ගණනාවක් දකින්නට ලැබිණි. ඉන්ද වැඩියෙන්ම දක්නට ලැබුණේ අම්බෙඩ්කාර් ගැන ලියවුණු පොත්ය. මලයාලම් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකින්ම ලියවුණු පොත් අතර අම්බෙඩ්කාර් ගැන ලියවුණු පොත් වැඩි ප්‍රමාණයක් පිටු හත් අට සියය ඉක්මවන තරම් විශාලය. ඉන්දීය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට මෙන්ම නිදහස් සටනටද දායකවූ දැවැන්තයකු වන ඔහු නේරුගේ ආණ්ඩුවේ නීතිය සහ අධිකරණ කටයුතු පිලිබඳ අමාත්‍යවරයාද වූවේය. මේ සියල්ල අතරේම ඔහු විශේෂයෙන්ම වැදගත් වනුයේ කුලවාදයට එරෙහිව ගෙනගිය සටන නිසාවෙනි. වර්තමානය වන විට ඒ අරගලය ඉදිරියට ගෙන යනුයේ ඔහුගේ අනුගාමිකයකු වන කන්චා ඉලයා විසිනි. ඔහු තම කුලයට අයත් වෘත්තිය සිය නමට එක් කරගෙන තමන් කන්චා ඉලයා ෂෙපර්ඩ් යනුවෙන් හඳුන්වමින් කුලවාදීන්ගේ ප්‍රහාර මධ්‍යයේ සිය අරගලය අඛණ්ඩව ගෙනයයි.

අම්බෙඩ්කාර් සහ ගාන්ධි අතර කුලය සම්බන්ධයෙන් පැවති විවාදය ඉන්දීය කුල ක්‍රමයට එරෙහි අරගලයේ කැපී පෙනෙනා කොටසකි. එහිදී අම්බෙඩ්කාර් තර්ක කරනුයේ ගාන්ධි හට කුළ ක්‍රමයට එරෙහිව කටයුතු කරන්නට නොහැකි බවයි. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ ගාන්ධි කුල ක්‍රමය පිලිගන්නා හින්දු දහම පිලිගන්නෙකු වීම ය. මෙවර පොත් ප්‍රදර්ශණයේදී මා ලද වටනාම අවස්ථාවක් වූවේ මේ සම්බන්ධයෙන් අරුන්දතී රෝයි විසින් රචනා කරන ලද The Doctor and the Saint කෘතිය මිලදී ගන්නට ලැබීමය. මේ වනාහී කුලය, ජනවර්ග සහ කුලය මුලිනුපුටාදැමීම පිලිබඳව ගාන්ධි සහ අම්බෙඩ්කාර් දෙදෙනා අතර පැවති විවාදය පිලිබඳව ලියවුණු කෘතියකි. එහිදී අරුන්දතී රෝයි මෙසේ කියන්නීය.

‘ප්‍රජාතන්ත්‍රවාදය කුලය පිටුදැක නැත. එය කළේ කුලය වඩා තහවුරු කිරීම සහ නූතනත්වයට පත් කිරීම පමණි.’
අම්බෙඩ්කාර් ගැන ලියවුණු පොත් ගණනාවක් දුටුවද මෙවර කේරලයේදී ඇම්බැසඩර් කාර් නම් දුටුවේම නැත. අන්තිමේදචී ත්‍රිශූර් හිදී කේ ජී එස් සමග පාන්දර ඇවිදින්නට ගිය අවස්ථාවේදී ගාල් කර තිබූ ඇන්ටික් ඇම්බැසඩරයක් පමණක් දුටිමි.

‘මට තිරුවේන්ද්‍රම් පුර මහජන පුස්තකාලයට යන්න ඕනැ.’
මම කීවෙමි. අභිලාෂ් වහා වාහනයක් රැගෙන ආවේය. එය පිහිටා ඇත්තේ කේරළ ව්‍යවස්ථාදායක මභාවට පෙනෙන දුරිනි. මේ සමස්ත ඉන්දියාවේම පැරණිතම මහජන පුස්තකාලයයි. 1829 දී බ්‍රිතාන්‍යයන් විසින් පිහිටුවන ලද එය එදා මෙන්ම අදත් ඒ රත් පැහැති ගොඩනැගිල්ලේ විරාජමානව සිටී. අප යන විට එය වසා තිබිණි. එය දහවල් දෙක සහ තුන අතර වසනු ලබයි. එහෙත් මා කවුදැයි හඳුන්වා දුන් විගස සහකාර පුස්තකාලාධිපතිනියක් මා සමග පුස්තකාලය පුරාම ඇවිදිමින් මට එය පෙන්වන්නට යුහුසුළු වූවාය. අද එහි ඇති පොත් එකතුව දුර්ලභ කෘතිවලින් සමන්විතය. ඇතැමි පොත් ඉතා පැරණි වන අතරම ඒවා මනාව සංරක්ෂණ්‍ය කර පාඨක ප්‍රයෝජනයට සපයනු ලබයි. එසේම ඊට යාබදව පැරණි ගොඩනැගිල්ලේ ආකෘතියටම ඉදිකරන ලද තවත් ගොඩනැගිල්ලක ඔවුන් අගනා ළමා පුස්තකාලයක්ද පවත්වාගෙන යති. කේරළයේ බ්‍රිතාන්‍ය පුස්තකාල පොත් එකතුවද 2010 දී මීට එක් කර මේ මධ්‍යම පුස්තකාලය තවත් පුළුල් කර තිබේ. අප ඇවිදිනා අතර අභිලාෂ් මට ආඩම්බරයෙන් මෙසේ කියයි.

‘මාත් මේකෙ සාමාජිකත්වය අරගෙන තියෙනවා. ‘
මේ පුස්තකාලයට පෙනෙන දුරින් සෑම කෙරළ වැසියකුම පාහේ ආඩම්බරයෙන් පෙන්වන දෙයක් තිබේ. ඒ ස්ථානය පසුකර ගිය සෑම විටකම මා සමග සිටි සෑම දෙනාම මට එය පෙන්වන්නට සහ එහි විශේෂත්වය පවසන්නට අමතක කළේ නැති. එය සැබැවින්ම ඔවුන්ට මහා අභිමානයකි.

ඒ එක ළඟ ඉදිකිර ඇති ආගමික ස්ථාන තුනකි. එයින් කේරළයේ ප්‍රධාන ආගම් තුනම මූර්තිමත් කෙරෙයි. පාරෙන් වම් පස ඇත්තේ යටත්විජිත සමයේ ඉදිකරන ලද ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරය. ඊට මුහුණ ලා පරෙන් අනෙක් ජුම්මා මස්ජිදය සහ යාබදව ගණපති කෝවිලය.
‘අප අතර ඇති ආගමික සංහිඳියාව පෙන්වන වටිනාම සංකේතය තමයි මේ.’

ඔවුහු ආඩම්බරයෙන් එසේ කියති. ආගම සහ ජාතිය මත පදනම්ව වරින් වර ගිනි ඇවිලෙන ඉන්දියාවේ ඔවුහු කේරළය ඉන් වෙනස් වන ආකාර ගැන එසේ ආඩම්බර්යෙන් පවසන විට මම අපේ ගිනි පුළිඟු සිහි කර නිහඬ වෙමි.

පළමු වතාවට කේරළය බලා ගිය 2005 වසරේදී ඒ ගමන සඳහා මට උපදෙස් දුන්නේ කේරළ ආයුර්වේද වෛද්‍යවරයෙකි. මා එවක සේවය කළ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පැමිණි ඔහු සියළු විස්තර පවසා අවසන මෙවන් උපදෙසක් දුනි.
‘කීයටවත් වෙන රටක කියලා කියන්න එපා. අපේ අය ගාන හතර කරනවා. විශේෂයෙන්ම ටැක්සි වල යද්දි.’

එසේ කියූ ඔහු ගුවන් තොටේ සිට නගරයට ඒම සඳහා එකල ගුවන් තොටේ ටැක්සි අධිරාජ්‍යයාගේ නමද මට දී ඔහුට තම නම කියන්නට යයිද උපදෙස් දුනි.
එහෙත් කේරළයේදී අප ගිය සෑම තැනකදීම අප ලද්දේ වෙනත් අත්දැකීමකි. අප ලංකාවෙන් බව කී විට සෑම කෙනෙකුම ‘අඩේ මේ අපේම කට්ටියනෙ’ කියමින් අපට මහත් සේ උදවු කළෝය. තේ වගාවෙන් විභූෂිත පලාතක් වන ඉඩුක්කි දිස්ත්‍රික්කයේ කුමිලි කරා එදා අප ගිය ගමනේදී නවාතැන් සොයන්නට ගිය විට හෝටල් කලමනාකරු මුලින්ම මගේ බිරිඳගෙන් ඇසුවේ අප ගෝවෙන්ද කියාය. ඇය ලංකාවෙන් යයි කියූ විට ඔවුහු එහිවූ හොඳම කාමරයක් අපට වෙන් කර දුන්නෝ මුළු මුදලින් අඩකටය. එද මෙසේ කියමිනි.

‘ලංකාවෙන් නම් අපි උදවු කරන්න එපායැ.’
කුමිලි හී මං දෙපස එදා අප දුටු කෙසෙල් පෙති බදින සහ ඒ පැකට් කරනා කඩ පෙල තවමත් සොඳුරු මතකයකි.
මෙවර තිරුවේන්ද්‍රම් හී කුලී රථ සම්බන්ධයෙන් ගසා කන්නන් ගැන ප්‍රශ්ණයක් නැති. සෑම ත්‍රිරෝද රියක්ම වහල කහ පාටින් සහ බඳ කොල පාටින් පින්තාරු කර ඇති සේම මීටර් සවිකර තිබේ. ඒ අතර ඌබර්ද වෙයි. කිසිවකුට හෝ තවෙකකු ගසාකෑමට ඉඩක් නැති. අපේ මෙන් සංචාරකයන්ගෙන් ඩොලර් ගේන්නට කියමින් පසික්කාඩු ලෙස විදේශිකයන් සූරාකන්නට එහි ත්‍රිරෝද රියදුරන් පොර කන්නෙ නැති. මුල් කිලෝමීටරයට ගාස්තුව ඉන්දීය රුපියල් තිහකි. එක් අවස්ථාවක මම අභිලාෂ්ට හොරෙන් ත්‍රිරෝද රියක නැග මදක් දුර ගමන් කළෙමි. මා ඉංග්‍රිසි බසින් කතා කල විට ඔහු මා කේරළයෙකු නොවන බව දැනගත්තද මීටරය බලා ගමන අවසන සතයට මට ගණන් බේරන්නට පැකිලුනේ නැති. කේරළ ත්‍රී වීල් වල දක්නට ලැබෙනා තවත් වෙනසක්ද තිබේ. ඒ එහි කේරළ ත්‍රී වීල් සාහිත්‍ය පාඨ දක්නට නැති කමයි. ඒ අතින් නම් ඔවුන් අප තරම් දියුණු නැත. එසේ දියුණු වුනා නම් ඔවුන්ද සල්ලි ගස් වල හැදෙන දෙයක් නම් කෙල්ලො වඳුරන්ටත් ලව් කරයි, මා ලිඳේ නම් ලිඳ මගේ නම් කාටවත් ඇයි වේදනා වැනි මහඟු පාඨ වලින් තම වාහනය සරසනු නියතය.
ඩොලර් උපයන්නන් යයි කියමින් දේශීය මෙන්ම විදේශීය පුද්ගලයන්ද සූරා කන අපේ ජාතිමාමක ත්‍රී වීල් බාප්පලාට මීටරය අනිවාර්ය කරන්නට අපේ ආණ්ඩුවට කොන්දක් නැතිකම කෙතරම් ඛේදයක්ද!
සන්ධ්‍යාවේදී පුෂ්පා කුරුප්ගෙන් ඇමතුමකි.

‘තෙයියාම් බලන්න එරන්නෙ නැද්ද? මේක මිස් කරගන්න එපා. තිවේන්ද්‍රම් වල පදිංචි අයටත් මේක දුර්ලභ අවස්ථාවක්.
නොවැරදීම එනවා.
මම ඇයට පිළිතුරු දුනිමි. ඉදින් අභිලාෂ් මට එහි අසුනක් ලබාදීමේ කාරිය බාරගති.

චූලානන්ද සමරනායක

Related articles

කේරළයේ දැන් වසර දහයක් තිස්සේ ඇත්තේ කොමියුනිස්ට් පක්ෂය යටතේ ඇති ආණ්ඩුවකි

කේරළයට ගිය කෑරළා (01) කෙටි පිම්මකින් ඉන්දියන් සයුරින් එතෙරට පිනූ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් බැස ආගමන නිලධාරීන්ගේ කවුළුව සහ...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇපගන්න නීතිපති සූදානමින් : පොලිසිය විරුද්ධ වෙයි – උසාවියේ සිදු වූ සම්පූර්ණ සිදුවීම මෙන්න !

වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින්, ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නීති විරෝධී ඉදිකිරීමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් පවරා ඇති...

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...