ස්ත්‍රී පැවැත්මකින් ‘ශ්‍රාවය වූ කතා’

Share post:

මේ වසරේ ගොඩගැසුණු පොත් කන්ද ටිකින් කියව ගන්න උත්සහ කරද්දී ඒ පොත් කන්ද බරක් සේ නොව ආස්වාදයක් සේ දැනෙන පොත් තියෙනවා නම් වඩාත් හොඳයි.
සුරේඛා සමරසේනගේ ඊස්ට්‍රජන් කෙටිකතා සංග්‍රහය එහෙම මිහිරක් දැනවූ කතා පොතක්.පිටු 64ක් ඒ පොතේ කතා හයක් තියෙනවා.
ලංකාවේ ග්‍රාමීය පහළ පන්තියේ, පහළ මැද පන්තියේ හා මැද පන්තියේ ජීවන වපසරියට අයත් වන ස්ත්‍රීන් පිරිසකගේ ජීවිතය සමරසේන තම කතාවලට හසු කරගන්නේ කෙටිකතාවේ කලාත්මක ශිල්පීය කාරණා ගැනද සැලකිල්ලට ගනිමින්. කතා හය හය විදියකින් කියනවා. එක් කතාවක් තව කතාවකට වඩා ටිකක් හෝ වෙනස් ප්‍රතිනිර්මාණ තාක්ෂණ ඔස්සේ ඇය ඉදිරිපත් කරනවා.

ආර්ථික පසුබිම අතින් එකිනෙකින් වෙනස් ගැහැනුන් සමූහයක් ඇසුරින් විවාහය නම් ආයතනය තුළ ස්ත්‍රීන් සිරගත වන ආකාරය සමරසේන එක්තරා සමාජ සැත්කමකින් වගේ පෙන්නනවා. එක් කතාවක චරිතයක් කියනවා වගේ ‘මාත් ඇතුළුව මගෙ කිසිම යාළුවෙකුට හොඳ විවාහ ජීවිත නෑ..’ කියන තේමාව පොතේ සමස්ත තේමාවක්.

තිළිණා වීරසිංහ හා තරංගා රණසිංහ වැනි ප්‍රවීණ ලේඛිකාවන්ගෙ වගේම නිසංසලා ගම්ලත් වැනි නවක කෙටිකතාකාරියන්ගෙ කතා මාලාවක් මේ පොතේ කතා නිසා අපට සිහි වෙනවා. පුරුෂ කේන්ද්‍රීය ආයතනයක් වගේම පිතෲමුලිකත්වයේ කේන්දීය ආයතනයක් වන විවාහය ලේඛිකාවගේ පරීක්ෂාවට ලක් වෙනවා.

විවාහය නම් ආයතනය ගැන දැඩි සැකයක් අලුත් පරම්පරාවේ බුද්ධිමත් ස්ත්‍රීන් තුළ තියෙන බව තරුණ ස්ත්‍රීන්ට ප්‍රථම උපාධි මෙන්ම පශ්චාත් උපාධි පාඨමාලාවල උගන්වන අතරත් තරුණ මිතුරියන් ආශ්‍රය කරන විටත් පේනවා. ඒ අවිශ්වාසයේ උපත කොතැනද යන සාකච්ඡාව ඇති වීම හොඳ දෙයක්. මේ කතා ඊට උපකාර කරනවා. මේ කතා පිරිමින්ගේ විශේෂ අවධානයට ලක් වෙන එක වටිනවා. අපි ගන්න අකමැති අපේ සෙල්ෆියක් සුරේඛා අපට අරන් දෙනවා.

එක් තනි විවාහය සිටින පිරිමියෙකුට ආලංකාරික ප්‍රහාර එල්ල කරනවාට වඩා ඒ ආයතනයෙහි ව්‍යූහමය සැකැස්ම ගැන ආවර්ජනය කරන කතා පොතේ තියෙනවා.

හැම කතාවකම වගේ න්‍යෂ්ඨික පවුලෙන් යුත් විවාහයේ නොයෙක් සීමා ගවේෂණය කරන අතරම ඒ සීමාවලින් තොර නව ආදර ව්‍යූහයක් සංවිධානය කරගන්නට බැරි සමාජය ගැන අනුකම්පාවක් ඇතැම් කතාවලින් මතු වෙනවා. මේ පොතේ මගේ ප්‍රියතම කතාවක් වන ‘පොට්ටු’ තුළ එක්තරා විකල්ප ආදර ආකෘතියක් තියෙනවා වගේ පේනවා.

‘තොරණක්’ කතාව ව්‍යූහමය වශයෙනුත් ආකර්ෂණීයයි. ඒකෙ තියෙන්නෙ විවාහය තුළ ලිංගික තෘප්තිය නැති ගැහැනියක් කොටු පනින අවස්ථා නමයක්. තොරණෙ කොටු වගේ තමයි ඒවා විස්තර වන්නෙ.

ඒත් කතාව අවසන් වන්නේ ඒ කොටු පනිමින් හොයන ලිංගික ප්‍රීතියත් මුලාවක් බව පෙන්නමින්. කොටුව පැනීමේ වික්‍රමයෙහි ප්‍රීතිය ඇර කොටු පැනීමේ ලිංගික ප්‍රීතිය අඩුයි. අනික කොටු පැනීම යනු පිරිමි ක්‍රීඩාවක්. ඒ පිරිමි ක්‍රිඩාවේ ගැහැනියක යෙදීමෙන් පවා ලැබෙන්නේ තවත් ‘දෙවෙනි විවාහයක්’ වැනි ව්‍යූහයක්. නීතිමය පසුබිම නැති වුණත් ඒකත් විවාහයේම අඳුරු ඡායාවක්. ඒකත් ප්‍රීතියේම ආයතනයක් නෙමෙයි. විවාහය නමැති කොටුවෙන් එළියට යැයි සිතා පනින කොටුවත් කොටුවක්ම තමයි. ඒ නිසා පනින්නෙ කොයි කොටුවටද කියන එක වගේම පනින්නෙ කා සමගද කියන එකත් අර්ථවත් තෝරා ගැනීමක්.

කතාවේ අවසන කතා නායිකාව ස්වයං මෛථුනය නම් ‘දහවෙනි කොටුව’ තෝරාගැනීම ස්ත්‍රීයට ජීවත්වීමට ඇති විකල්ප ව්‍යූහයක් ඉඟි කිරීමක්ද? එහෙත් එය සම්පූර්ණ මනුෂ්‍ය කායික ප්‍රේමයේ ව්‍යූහයක්ද?
ඇතැම් කතාවකදි විවාහය නම් ආයතනයේ ආර්ථික ව්‍යූහය යනු පිරිමියා පවා පීඩාවට හෙළන ව්‍යූහයක් බව ලේඛිකාව පෙන්වනවා. වැලි සිමෙන්ති කතාවෙ සැමියා බිරිඳට සලකන අකාරුණික ආකාරයේ උපත ඔහු පවා විඳින ආර්ථික පීඩනය කියන කාරණය ලේඛිකාවගේ සැලකිල්ලට ලක් වෙනවා. එහෙත් ඒ ආයතනය ඇතුළත සිටින පිරිමින් තමන් වෙත බැහැරින් එන පීඩනය තමන්ටත් වඩා ඒ ආයතනය තුළ පීඩාවට පත් ගැහැනිය වෙතම එල්ල කිරීම වැරදියි. ඒත් ඒ පිරිමි අපි බොහෝ දෙනෙකුට අමතක වෙන දෙයක්. ඒක ‘පිරිමි අපට සංස්කෘතියෙන් උරුම වෙන අධ්‍යාපනයේ වගේම අපෙත් වරදක්. ඒ වරද ගැන තැවෙන පිරිමි සුරේඛාගෙ කතාවල නෑ. ඒත් සමාජයේ ඉන්නවා.

කතුවරියගේ ස්ත්‍රිවාදී දෘෂ්ටිය කතාවලින් පේනවා. හැබැයි ඒක කොළඹ හතේ එන්ජීඕ එකකින් ගම වෙත නිකුත් වෙන ස්ත්‍රීවාදයක් නෙමෙයි. බෙහෙවින් ඓන්ද්‍රීය ස්ත්‍රීවාදයක්. කතාවල නිරූපිත ජීවිතය සුහද ලෙස දන්නා කෙනෙකුගේ ස්ත්‍රීවාදයක්. න්‍යායික පොතක් ළඟින් තියාගෙන මනසින් ගොඩනැගූ කතා හැටියට මේ කතා නොපෙනෙන්නේ ඒකයි. ‘කනදරාවෙ කාන්ති’ වගේ කතාවකින් ඒ ඓන්දීය ස්ත්‍රිවාදය හොඳින් පේනවා.

මේ කතාවල නිරූපිත ස්ත්‍රී චරිත ආශ්‍රිත ඇතැම් අවස්ථා ගොඩනගා තියෙන හැටි හරි අපූරුයි. නොයෙක් ආකාරයෙන් පීඩාකාරී විවාහ සංස්ථාව තුළ ලිංගික තෘප්තිය නොතිබීමේ පීඩනය කතා බොහොමයක් වක්‍ර හෝ සෘජු තේමාව. මේක සාහිත්‍යයට අලුත් තේමාවක් නෙමෙයි. හැබැයි සිංහල සාහිත්‍යයේ ඒ තේමාව මුවහත් කොට වරනැගීම නිතර සිදුවන්නේ නෑ. ඒ නිසා මේ ප්‍රකාශනය අගය කරන්න ඕනෙ.
හැබැයි ඒ ප්‍රධාන තේමාව එතරම් ප්‍රකාශ නොවන කතාවක් වන ‘අපි දෙන්නා’ ත් මම කැමති කතාවක්.
තරුණ සාහිත්‍යකාරයො හා සාහිත්‍යකාරියො එක් ප්‍රධාන තේමාවක් වරනගන අය පමණක් වෙන්න අවශ්‍ය නෑ. සමරසේන වගේ දක්ෂ ලේඛිකාවක් කොහොමත් එහෙම විය යුතු නෑ.

දැනට තියෙන කතාවල පඨිතය තුළින්ම වුණත් බහුවිධ තේමා මතු කරගන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් ආවර්ජනයේ යෙදෙන විට කතාව තව ටිකක් දිග වෙයි. දක්ෂ ලේඛිකාවකගේ කතාවක් තරමක් දිග වන නිසාම කතාවේ කලාත්මකයට හානි වෙන්නේ නෑ.
මේ අනික් ඡායාරූපයෙන් දැක්වෙන පොතේ බොහෝ කතා පිටු 15ට වැඩියි. සිංහල පොතට වඩා ලොකු පිටු. ඒ පොතෙන් කතාවක් තමයි මහින්දපාල මහත්තයා පරිවර්තනය කළේ ‘වැසි වැටෙන ගඟ අසබඩ’ කියලා.

ලියනගේ අමරකීර්ති (FB)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...