මතක මල් පැස හා අපේ කතාව!!

Share post:

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.
ඒ අතර විටින් විට තැනක් දෙකක් කියවපු රසවත් පොතක් තමයි ‘මතක මල් පැස.’ ඒක ලියල තියෙන්නෙ ප්‍රදීප් ඉඳුනිල් පියරත්න.
ඒක ටිකක් අමුතු පොතක්. පොතේ හැඩේ ඉඳලම අමුතුයි. සිංහල සාහිත්‍යයෙ ශානරීය හා උපශානරීය විවිධත්වය අඩුයි. මේ වගේ මතක පොත් හෙවත් Memoirs ලියවෙන්නෙ ඉඳලා හිටලා. නවකතාව, කෙටිකතාව, කවිය තමයි ප්‍රධාන ඒවා.

මතක මල් පැස ලංකාවේ ග්‍රාමීය හැදීවැඩීමේ ස්වරූපය එක්තරා සමාජ තීරුවක ජීවිතය ඇසුරෙන් විස්තර වෙන්නෙ ඉතා රසවත් ලෙස. නාගරීකරණය, නගරයට සංකීර්ණවීම, විස්තෘත පවුලේ විසිරයාම, ඒකපුද්ගල වැටුප් ආදායම් කේන්ද්‍රකරගත් පැවැත්ම ඇතිවීම ආදිය නිසා නැතිව ගිය ජීවන විලාසයක් පොතේ විස්තර වෙන්නෙ අතීතකාමීව නෙමෙයි. නමුත් ඒ පැවැත්මේ පැවති බොහෝ අංගවල පැවති නෛසර්ගික පරිසරවේදයක් ගැනත් හිතන්න ඉඩ සලසමින්. විශේෂයෙන් නොවැම්බර් මාසෙ ලංකාවේ සිදුවූ දේ ගැන එක්තරා පරිසරවාදී පරිකල්පනයක යෙදීමේ අවශ්‍යතාවත් තියෙන පසුබිමක.
කතුවරයා මාතෘකෘ විසි නමයක් යටතෙ තමයි ඒ ගැමි ජීවිතයේ ස්වභාවය විස්තර කරන්නෙ. ඒ මාතෘකා මා එක් කළ ඇති ඡායාරූපවලට හසු වෙනවා.
ඒ සෑම මාතෘකාවක් ගැනම කතුවරයා සිත්ගන්නා භාවනාවක යෙදෙනවා.

එක පරිච්ඡේදයක් තියෙනවා ‘සැවුල්’ කියලා. ඒ ඉස්සර ගැමි ගෙවල්වල කුකුළන් ඇති කරපු හැටි ගැන. මේ එක ඡේදයක්:
“දෙල් ගහේ ඉඳල රතු කුකුල අඬලනවා. රඹුටන් ගහේ ඉඳල කාබේරි කුකුල අඬලනව. කුකුළු කූඩුවෙ ඉඳල තව එකෙක් අඬලනව. පැදුර අකුලල නැගිටල යද්දි සමහර දාට අම්ම දර ලිපේ බිත්තරයක් බදිනව පේනව. ලාම්පු එළියට තාච්චියෙ කහ මදේ තවත් දිලිසෙනව. අම්ම ගම්මිරිස් පොඩ්ඩක් ඒක මැද්දට දානව. ඒ බැදිල්ල සියුම්. ඒ මතකය ලස්සනම රූපයක්. දැන් නිදිමරගාතෙ උදේට බිත්තර බදිද්දී එහෙම සෞන්දර්යක් කොහෙත්ම නෑ.”
පිටු හත අටක ඒ පරිච්ඡේදයෙදි ගැමි ගෙදරක මනුෂ්‍යයන් හා කුකුළන් අතර පැවති සාකල්‍යවත් රඳාපැවැත්ම විස්තර වෙනවා. ඒක බිත්තර හා මස් ලබා ගැනීමට කෙරෙන තර්කානුකූල උපයෝගීතා කාර්යයක් නෙමේ.

එහෙම මිනිස් පවුලක් සමග කුකුළු පවුලක් හැදී වැඩෙනකොට පවුල් දෙක අතර භාවමය සම්බන්ධතා ඇති වෙනවා. මිනිස් පවුලේ දරුවන් තුළ අසරණ කුකුළු පවුල ගැන වගකීමක් වර්ධනය වෙනවා. ඒ කුකුළු පවුලේ සමාජිකයන්ට මිනිස් පවුලේ අය නම් දානවා. කුකුළු පවුලේ කෙනෙක් කලවැදි ප්‍රහාරයකින් අකාලෙ මියගියාම මිනිස් දරුවන්ට දුකක් ඇති වෙනවා. ඒකෙන් ඔවුන් මරණය හා ජීවිතයේ ස්වභාවය ගැන ඉගෙනගන්නවා.
පියරත්න මේ ජීවිතය ලස්සන වචන සිත්තමකට නගනවා.

ගස් ගැනත් පරිච්ඡේදයක් තියෙනවා. රත්නපුර පැත්තෙ ගැමි ගෙවත්තක ගස් සහ මනුෂ්‍යයන් අතර සම්බන්ධය ඒකෙ විස්තර වෙනවා. පැත්ත රත්නපුර නිසා රඹුටන් හා දූරියන් දෙකම තියෙනවා.

මේ එක ඡේදයක්:

“දුලියන් මතකෙත් ටිකක් කටු තියෙයි. දූරියන් කියල නෙවේ අපි කිව්වෙ. සමහරු ජූලියන් කියලත් කිව්වා. අපේ ගෙවල් ළඟ මහපත දුලියන් ගහක් තිබ්බා. අතු පුරෝල ගෙඩි. අපි සමහර දාට ඉස්කෝලෙ ඇරිල එද්දි ඒ ගහ ගාවින් යද්දි කෙළ ගිල ගිල බල බල යනව. දුලියන් කාලෙට ඒ ගහ බදු ගන්නවා. බදු ගත්ත අය ඊට පස්සෙ එතන පැලක් ගහං රකිනව. මැණික් මුදලාලිල එහෙම වාහන නතර කරං ඉන්නව ඒව කන්න. ඉස්සර දැනට වඩා දුලියන් ගස් අඩුයි. සල්ලිවලට හොඳ දුලියන් ගෙඩියක් කන්න අමාරුයි. ඒව දරන්න බෑ. ඔය එතන වැඩෙන පොඩි ගෙඩියක් තමා අපට හම්බ වෙන්නෙ. ඒකත් ගල උඩට වැටිල ටිකක් පැලිච්ච එකක්. ඒක කට අවුස්සන්න හොඳයි. කනව නෙමෙයි ලෙව කන්නත් මදි.”

මේ ඡේදය ආරම්භ වෙන්නෙ ‘දුලියන් මතකෙත් කටු තියෙයි’ කියල. ඒක ඉතා රූපකාර්ථවත් යෙදුමක්. අදත් මං හිතන්නෙ දූරියන්න කැමති දුප්පත් ගැමි දරුවන්ගෙ හිත්වල දූරියන් මතකවල කටු ඇති. මොකද අදත් සාමාන්‍ය පවුලක කෙනෙකුට හොඳ දූරියන් ගෙඩියක් සල්ලි දීල ගන්න බෑ. 2025 දුරියන් වාරෙ නුවර පළාතෙ ඉතා විශාල දුරියන් පලදාවක් තිබුණා. ඒත් හොඳ දුරියන් මදුලක් රුපියල් 80ත් 120ත් අතර වෙනවා ගෙඩියක් අරන් කපලා බැලුවම.
ගහකොළ ගැන පියරත්නගේ විස්තර හා මතක ගහකොළ හා මිනිසා අතර භාවමය අන්තර්පෝෂණය හසු කරගන්නවා. සෑම වසරකම මම උගන්වන පරිසරවාදී සාහිත්‍ය විචාරය පාඨමාලාවට භාවිත කළ හැකි පොතක්.

පරිසරය හා මිනිසා අතර වඩා සාකල්‍යවත් හා අන්තර්පෝෂණීය සම්බන්ධයක් පරිකල්පනය නොකළොත් මේ නොවැම්බරයේ වූ දේවල් විය හැකි බව අපි ඒ පාඨමාලාවේ අවුරුදු ගාණක් පුරා සාකච්ඡා කරලා තියෙනවා.
මේ පොතේ තියෙන සියලු මතක පරිසරය ගැන නොවන බව පටුනෙන් පේනවා.
සමාජ, සංස්කෘතික මතකත් ඒකෙ තියෙනවා.

ග්‍රාමීය නිර්ධන-පාන්තික පසුබිමක ඉපිද හැදී වැඩී කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වූ හැටි ගැන කතුවරයා ලියන්නේ ඉතා සිත්ගන්නා ලෙස.
ඒ විතරක් නෙමෙයි මේ තමයි ගැමි උගතුන් පරම්පරා කීපයක කතාව. ඒ පරම්පරාවල දුබලතා මෙන්ම ප්‍රබලතාවල කතාවයි මේ.
“ඒ කාලෙ අපි කාපු රස ම කෑම තමා සැමන්. අම්ම උපන්දිනේට අනිවාර්යෙන් ම සැමන් එකක් උයනව. විභාග පාස්වුණාමත් එහෙමයි. පහේ බැදල උයන ඒ සැමන් හරි රහයි. ජැක් මැකරල් සැමන් එකක් ගන්නව කියන්නෙත් ඒ කාලෙ ටිකක් අමාරුයි. ඒත් සතුටු හැම දවසක ම ගෙදර සැමන් හොද්දක් ඉදුණා. දැනුත් මං සැමන් උයනවා. මොනව දැම්මත් අම්ම ගෙ රහ ගන්න බෑ. සැමන් එක්ක පොල් සම්බෝලෙත් හදනව. සැමන් තමයි ඒ කාලෙ අපට තිබ්බ සුඛෝපභෝගීම කෑම.”

මේ ඡේදය සමග අපි බොහෝ දෙනෙකුට අනන්‍යය වෙන්න පුළුවන්. හැබැයි මෙතන මේ සැමන් කියන වචනෙ භාවිතයත් එක්තරා අනුවේදනීය දෙයක්. මේ කියන මැකරල් ටින්මාලුවලට ‘සැමන්’(salmon)කියන්න අපිට පුරුදු කරල තිබුණට සැමන් කියන්නෙ මැකරල්වලට වඩා වටින, පෝෂ්‍යදායී, රස මෙන්ම ඇසටත් ප්‍රිය රෝසපාටකින් යුතු මාළු වර්ගයක්. මිරිදිය මත්ස්‍ය වර්ගයක්. බටහිර රටවල වුණත් ටිකක් ගණන්.

ආර්ථික ප්‍රශ්න නැතුව විදේශයක ජීවත් වුණ කාලෙ අපි ආසාවෙන් සැබෑ සැමන් රස බලනතුරු, මගේ සැමන් අත්දැකීමත් පියරතන ඉහත විස්තර කරන අත්දැකීමම තමයි.

අපි ඒ ඡේදයේ එන සැමන් දරුවො. අපේ අගමැතිනිය වගේ කීපදෙනෙක් ඇරුණම පාර්ලිමේන්තුවෙ ඉන්න බොහෝ දෙනෙක් ඒ සැමන් දරුවො.
මැකරල් හෝ සාඩීන් ටින් කරල ඒවට සැමන් කියන්න අපට පුරුදු කරවන එකත් පශ්චාත් යටත්විජිත ලංකාවේ රාජ්‍ය පාලනය එක්තරා ප්‍රභූ ස්ථරයක් අත පවතින හැටියට ව්‍යුහය සකසලා ඒකට ප්‍රජාතන්ත්‍රවාදය කියනවා වගේ එකක්.
අලුත් පාලකයො කළ යුත්තේ ඇත්ත සැමන්වල රස, ගුණ, පෙනුම බොහෝ දෙනාට දැනගන්නට සලස්වන එක.
හැබැයි මැකරල් ‘සැමන්’ නම් ටින් මාළු තරමක් ‘ කුණු-ලුණු’ රසය මිහිරි රසයක් සේ අපේ සාමූහික විඥානයේ තියෙනවා. දෙරණ-හිරු නටන ජනවිඥාන වේදිකාව එතන. ඔන්න පියරත්න නොකියන ටිකකුත් කිව්වා.

නවකතා, කෙටිකතා, කවි නොවන පොත් තමයි මමත් වැඩපුර කියවන්නෙ. ඉතිහාසය, දර්ශනය, විද්‍යව වගේ. 2025 මගේ ඒ කියවීම්වලින් ටිකකුත් ඔන්න ඡායාරූපයකට එකතු කළා. හැබැයි එහෙම පොත් සිංහලෙන් කියවන්න අඩුයි.

කවුරුහරි එහෙම පොතක් කියවන්න කැමති නම් මතක මල් පැස අපූරු පොතක්. ටික ටික කියවමින් විඳිය හැකි පොතක්.
ප්‍රගීතිකා ජයසේකර කිවිඳියගේ හොඳ හැඳින්වීමකුත් පොතේ තියෙනවා.

ලියනගේ අමරකීර්ති (fb)

Related articles

ස්ත්‍රී පැවැත්මකින් ‘ශ්‍රාවය වූ කතා’

මේ වසරේ ගොඩගැසුණු පොත් කන්ද ටිකින් කියව ගන්න උත්සහ කරද්දී ඒ පොත් කන්ද බරක් සේ නොව ආස්වාදයක් සේ...

රාජන් හූල් නම් මහා පොත සොයා ගියෙමි

ඇත්තම කියන්නේ නම් මට හිතෙන්නේම මගේ දෛවය විසින් මම යාපන අහසට තියා ඇණ ගසා ඇති වගකි. යාල් පානම්...

කොස්ගොඩ සුජීගේ සහ කරන්දෙනියේ සුද්දාගේ ඝාතන කොන්ත්‍රාත්තුව කළ සැකකරුවන් හිටියේ දේශබන්දුගේ නිවසක – පොලිසිය තවම ප්‍රකාශයක් අරන් නෑ !

පළාත් පාලන මැතිවරණයේදී අම්බලන්ගොඩ නගර සභාව සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත් වූ හිරාන් කෝසලට...

ගීත ලතාව – යුගයක මනමෝහනීය ස්වරාලංකාරය

සිංහල සිනමාව සහ සංගීතය අපගේ යෞවුන් කාලයේ අප මුසපත් කළ අංක එකේ කලාවයි. එකල තිබූ චිත්‍ර කතා පත්තර...