‘මහවැලි මහ නදිය වෙන අතක හැරී ගලා බසී.
මහවැලි ගඟ මහවේතැන්නේදී උතුරා යෑම නිසා වෙනත් මාර්ගයක් ඔස්සේ ගලාබසින්නට පටන්ගෙන ඇති බැවින් විල්ගමුව ජනපදයේ පන්දහසක් පමණ දෙනා ගංවතුරට වටවී සිටිති.’
1957 වසරේ දෙසැම්බර් 24 අඟහරුවාදා ‘දිනමිණ’ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂපාඨයේ එසේ සඳහන් විය. කෘෂිකර්ම ඇමැති කේ.ඩී.ලාල්කාන්ත පසුගියදා පැවැති රැස්වීමකදී පැවසුවේ ගංවතුරෙන් පසු ඇතැම් ගංගා පැරණි පාරවල් ඔස්සේ ගලාබසින්නට පටන්ගෙන ඇති බවකි. ඒ, ලාල්කාන්ත ඇමැතිවරයා පැවසුවේ අඹන් ගඟ ගැන ය. 1957 වසරේදී මහවැලි ගඟ පාර වෙනස් කළාක් මෙන්, 2025 වසරේදී අඹන් ගඟ පාර වෙනස් කර ඇත.

අඹන් ගඟේ පාර වෙනස් වෙයි
දිට්වා සුළිකුණාටුවෙන් පසු ඇතිවූ ගංවතුරෙන්, ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ඉපැරණි ඇලහැර අමුණ අසල වේල්ල කඩාගෙන ගියේය. මේ නිසා අඹන් ගඟ දැන් යන්නේ වෙනත් පාරක ය. අඹන් ගඟ මෙසේ වෙනත් පාරක යෑම නිසා ප්‍රදේශ රැසක ජනතාවට ජලය සැපයෙන ජල මූලාශ්‍රයක් සිඳීයමින් තිබේ. ඒ, ඉපැරණි යෝධ ඇළ ය. සුළිකුණාටුවත් සමග ඇති වූ මිලිමීටර් පන්සීය ඉක්මවූ අධික වර්ෂාව නිසා දැනට එම ප්‍රදේශවලට සහ කුඹුරුවලට ජල ගැටලුවක් නැත. එහෙත් කඩිනමින් අඹන් ගඟ තිබූ පාරට ගත යුතු ව තිබේ. ඒ වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, යුද හමුදාව, ප්‍රදේශයේ ගොවි සංවිධාන එක් ව සිටී.
යෝධ ඇළ ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී ඉදිකළ බව සැලකේ. මේ ඇළට ජලය ලබාගෙන ඇත්තේ මහවැලි ගඟේ ප්‍රධාන ම අතු ගංගාව ලෙස හැඳින්වෙන අඹන් ගඟ හරස් කර තැනූ ඇලහැර අමුණෙන් ය. ක්‍රිස්තු වර්ෂ 67 – 111 කාලයේ මෙරට රජ කළ වසභ රජු මේ ඇලහැර අමුණ ඉදිකරවූ බව සඳහන් වේ.
දැවැන්ත වැව් 03ක ජල මාර්ගය අවහිරයි

පසු කාලයකදී මහසෙන් රජු විසින් මින්නේරිය සහ කවුඩුල්ල වැව් තැනවීමට පෙර, එම වැව්වලින් පෝෂණය වන ප්‍රදේශවලට ජලය ගෙනයෑම මේ අමුණ මගින් සිදු වී තිබේ. මේ අමුණ හරහා යෝධ ඇළෙන් එන ජලය මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ හරහා කන්තලේ වැව දක්වා ම ගමන් කරයි. වසභ රජු විසින් තනවා පසුව මහසෙන් රජු විසින් තවත් උස් කර, අලුත්වැඩියා කරවන ලද බව සඳහන් ඇලහැර අමුණ, පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකු වූ හෙන්රි වෝඩ් විසින් ප්‍රතිසංස්කරණය කර ඇති බව ඉතිහාස වාර්තාවල දැක්වේ. එම වාර්තාවලට අනුව දෙවැනි අග්ගබෝධි රජු විසින් ඉදිකරවූ බව සඳහන් ගිරිතලේ වැවට මේ හරහා ජලය ලබාගැනීම සඳහා ද ඇලහැර අමුණ වඩාත් ශක්තිමත් කර තිබේ.
මාතලේ ඇතුළු තෙත් කලාපයට ලැබෙන ජලය වියළි කලාපය වෙත ගෙන යෑම සඳහා ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවසේදී ඉදිකළ පැරණි අමුණ තිබූ ස්ථානයේම මෑතකදී ඉදිකළ කොන්ක්‍රීට් අමුණ ද ඉදිකර ඇත. අංගමැඩිල්ල අමුණේ මෙන් මෙහි ද පාදම සඳහා පිහිටි කළුගලක් භාවිත කර ඇත. ඒ පිහිටි කළු ගලත් සමග එකට බැඳුණු දිග වේල්ලක් ඇත. අඹන් ගඟ මෙහිදී වංගුවක් ගනී. එහිදී ඉහළින් එන ජලය පාලනය කරන්නේ මේ වේල්ල මගිනි. දිට්වා සුළි කුණාටුවෙන් පැමිණි අඹන් ගඟේ සැඩ පහර මේ වේල්ලේ මීටර් සීයක පමණ කොටසක් සම්පූර්ණයෙන් ම අතුරුදන් කළේය. මේ නිසා දැන් අඹන් ගඟ වංගුවෙන් හැරෙන්නේ නැත. කැලෑවක් ලෙස පැවැති භූමියක් මැද්දෙන් අලුත් පාරක ගලයි. එම නිසා දැන් යෝධ ඇළට අඹන් ගඟේ ජලය ලබාගත නොහැකිය.
අවශ්‍ය තැනට අවශ්‍ය තීරණය

ඇලහැර ප්‍රාදේශීය වාර්මාර්ග ඉංජිනේරුවරුන්ගේ මගපෙන්වීම යටතේ අඹන් ගඟ පරණ පාරට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක ය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් රාත්‍රිය තෙක් වැඩ කරති. ඇලහැර ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරුවරුන් මේ සියල්ල අධීක්ෂණය කරති. යුද හමුදාවේ ඉංජිනේරු බලකාය ඇතුළු විවිධ බලකාවල විශාල පිරිසක් වැලි කොට්ට අතුරමින් දැවැන්ත ජල කඳක් පාලනය කරමින් සිටිති. පසු කාලයක අඹන් ගඟ හරස් කර ඉදි කළ මොරගහකන්ද ජලාශයෙන් පිටකරන ජලය ද එන්නේ මේ පාරෙන් ය. තවමත් තැනින්-තැනට වැස්ස පවතින නිසාත්, ඊසාන දිග මෝසම් තත්ත්වය වර්ධනය වනු ඇතැයි අනාවැකි පළවී ඇති නිසාත් මොරගහකන්දේ ජලය මුදාහැරීම ක්‍රමයෙන් සිදු වේ. වැලි කොට්ට ගැසීමේ තාවකාලික මෙහෙයුම සිදු කළ හැකි පරිදි සහ මොරගහකන්ද සුරක්ෂිත වන පරිදි පැයෙන්-පැය එහි ජල ප්‍රමාණය මනිමින් අවශ්‍ය තීරණ ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරයි. මහවැලි අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන තම ආයතන සතු බැකෝ යන්ත්‍ර මෙහි ගෙනැවිත් ඇත. පෞද්ගලික ආයතන ද ඊට හැකි උපරිමයෙන් සහාය දක්වයි.

තවත් වැදගත් කරුණක් වන්නේ ඇලහැර අමුණෙන් හරවා යෝධ ඇළ දිගේ එන ජලයෙන් ගොවිතැන් කරන සිය ගණනක් ගොවීන් මෙහි සේවයට පැමිණීමයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ එය ගොවීන්ගෙන් ම පැමිණි යෝජනාවක් බවයි. මින්නේරියේ, කවුඩුල්ලේ, ගිරිතලේ ගොවි සංවිධාන සාමාජිකයෝ දවස් බෙදාගනිමින් සිය ශ්‍රමය මේ සඳහා ලබාදෙමින් සිටිති. ඇලහැර ව්‍යාපාරිකයෝ මෙවැනි විශාල පිරිසකට ආහාර සපයති. සාමූහික ප්‍රයත්නයක් මගින් නැවත අඹන් ගඟ පුරුදු පාරට වැටෙනු ඇත.
මෝය කටවල් 431ක් පිරී උතුරයි
ස්වභාවික විපත්වලින් කොටසක් අපට වළක්වා ගත හැකිය. තවත් කොටසක් වළක්වා ගත නොහැකිය. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා මේ ආපදා තත්ත්වය තීව්‍ර වූ බවට කරුණු ඕනෑ තරම් තිබේ. ඒ අතර මිලිමීටර් 500 ඉක්මවූ දැවැන්ත වර්ෂාවක් එක්වර ප්‍රදේශ රැසකට කඩාවැටුණු පසු, එයින් සිදුවන හානිය කිසිවකුට පාලනය කළ නොහැකිය.
මෙය මෙසේ ද කිව හැකිය. මධ්‍යම කඳුකරයේ සිට රට වටෙන් මුහුදට ගලාබසින ගංගා ගණන 103කි. එහෙත් භූවිද්‍යාඥයන්ට අනුව ලංකාව වටා ගංගා හෝ ඔයවල් හෝ මුහුදට ගලාබසින මෝය කටවල් 431ක් තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ ගංවතුරෙන් මුහුදට ගෙනා ජල ප්‍රමාණය කොතෙක්ද යත්, මේ සියලු මෝය කටවල්වල කරදිය සහ මිරිදිය සමාන තත්ත්වයකට පත්විය. එය ඉක්මනින් වෙනස් වුවද, ඔවුන් පවසන්නේ එවැනි තත්ත්වයක් මෑත ඉතිහාසයේ කිසිදු අවස්ථාවක වාර්තා වූ බවට තොරතුරු නොමැති බවයි.

ජල ගැලුම් නිම්නය ඉගැන්වූ පාඩම
එවැනි ස්වභාවික ව්‍යසනයකි, සාමූහිකත්වය විසින් යළි ගොඩනංවමින් සිටින්නේ. මනම්පිටියේ මහවැලි ගඟේ පාලම ආසන්නයට පැමිණි ජල කඳ රේල් පාරේ තැන් ගණනාවක් විනාශ කර දැමීය. ඒවා කඩිනමින් සකස් කිරීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය රාත්‍රියේත් වැඩ ය. මනම්පිටියේ සිට යක්කුරේ දක්වා මහවැලි ගඟට සමාන්තරව විහිදුණු ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පාරක් හැදීමේ උත්සාහයක් කාලයක් තිස්සේ පවතී. ජල ගැලුම් නිම්නය, ජාතික වනෝද්‍යානයක් කරන්නට පෙර මේ මාර්ගය භාවිතා කර ඇත. එහෙත් පසුව එය අත්හැර දමා තිබේ. ඊට හේතුව වසරේ මාස පහකට ආසන්න කාලයක් මේ මාර්ගය ජලයෙන් යටවීම හෝ අධික මඩ සහිත වීම ය.
කෙසේ වෙතත් දැනට භාවිතයට ගන්නා දිඹුලාගල හරහා මනම්පිටියට එන මාර්ගයට වඩා යක්කුරේ ප්‍රදේශවාසීන්ට මේ කැලේ මැද පාර පහසු ය. ලංකාවේ විශාලම විල්ලු පද්ධතිය මැදින්, හඳපාන් විල්ලුව පසුකරමින් එම මාර්ගය විහිදී ඇත. ජනතාවට කිලෝමීටර් 20කට වඩා නගරයට ළඟ ය. මේ පාර විවෘත කර දෙන ලෙසත්, මේ පාර ආසන්නයේ ඇති වැලි කැණීමට ඉඩ දෙන ලෙසත් ආණ්ඩු ගණනාවකින් ව්‍යාපාරිකයෝ ඉල්ලීම් කළහ. දේශපාලනඥයෝ ඊට උදව් කළහ. ජනතාව පාරට බැස්සූහ.
‘හොඳ වෙලාවට මේ පාර ඇරියෙ නැත්තෙ. මේ පාර ඇරිය නම් මට ගෙදර යන්න තියෙන්නෙ කිලෝමීටර් 20ක් විතර. දැන් 60ක් විතර යන්න තියෙනවා. එක පැත්තකින් මේ පාර ඇරිය නම් පාරෙ මිනිස්සු යනවා. මෙහෙම ගංවතුරක් වෙලාවට මොනවා වෙන්න බැරිද. අනෙක් පැත්තෙන් මොනව කිව්වත් පාර ඇරියට පස්සෙ මෙතැන මොනවහරි ව්‍යාපාර ටිකක් කෙරෙනවා. වැලි තොටුපොළවල් ඇරෙනවා. ජල ගැලුම් කියන්නෙම ගඟට අයිති කොටසක් කියලා අපිටත් තේරුණේ මේ මහ වතුර කඳ දැක්කට පස්සෙ. ඒක ලොකු ආරක්ෂාවක්. මාත් මේ පාර ඉල්ලලා පාරට බැහැපු මිනිහෙක්.‘
දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතුවලට සහාය වෙමින් සිටි අයෙක් එසේ පැවසීය. ඒවා මේ මහා ජල කඳ විසින් පෙන්වා දුන් යතාර්ථයේ කතා ය. හානිය අස්සේ මිනිස්සු ඇස් අරිමින් සිටිති.
මනම්පිටියෙන් හෙබරව කිලෝමීටර් පුවරුව වෙත

මනම්පිටියේ වැලි ගොඩදමන ප්‍රසිද්ධි වැලි තොටුපොළේ කොටසක් ද පිහිටා ඇත්තේ මේ ජල ගැලුම් නිම්නයේම ය. එහෙත් ඊට විශේෂ අවසරයක් ලබාදී තිබේ. ඒ අවසරයට අනුව වාර්ෂිකව මේ වැලි කැණීම් නිරීක්ෂණය කිරීමත්, ගඟේ ඉවුරුවලට එමගින් සිදුවන හානිය පිළිබඳ වාර්තා තැබීමත් භූවිද්‍යා නිලධාරීන්ගේ වගකීමකි. ඇතැමුන් කියන ආකාරයට ඒ ක්‍රියාවලිය නිවැරදිව සිදු නොවේ. එම නිසා ඇතැම් තැන්වල විශාල හෑරීම් මීට පෙරත් තිබිණි. දැන් ඒවා දෙගුණ-තෙගුණ වී අවසන් ය.
ගිරාඳුරුකෝට්ටේ සිට ලග්ගල දක්වා එන මාර්ගයේදී ද මහවැලි ගඟ හමුවේ. නිපෝන් පාලම යනුවෙන් හඳුන්වන මෙහි ඉහළ නැගි ජල කඳ හෙබරව මංසන්ධියේ නිවාස යටකරගෙන පැතිර ගියේය. ඒ ජල කඳේ තරම කොතෙක්ද යන්න පෙනෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දඹුල්ලට, ලග්ගලට ආදී වශයෙන් දුර සඳහන් කරමින් සවිකර ඇති පුවරුව සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් ය. මේ ප්‍රදේශයට පැමිණීමට මාර්ග ගණනාවක් ඇතත්, ඒ සියලු මාර්ග ජලයෙන් යට වීම නිසා අවතැන් ජනතාවට සහනාධාර පැමිණ ඇත්තේ ද බොහෝ ප්‍රමාද වීය. නිපෝන් පාලමේ සිට හෙට්ටිපොල දක්වා මාර්ගයේ ද කැඩුණු තැන් බොහෝ ය. මහවැලි ගඟ දෙගොඩ තලා ගොස් ඇත්තේ කුඹුරු අක්කර සිය ගණනක් වැලි සහ මඩවලින් පුරවමිනි. එහෙත් මිනිසුන් පරාජය වීමට සූදානම් නැත. ඔවුහු දැන් යළි කුඹුරු වැපිරීමට සූදානම් ය.
මහවැලි ගඟේ වංගුවේදී විදුලි කම්බියේ රැඳුණු ඇඳ
මහියංගනය රෝහලේ සිට, හෙබරව පසු කරමින්, දෙහිඅත්තකණ්ඩිය – සල්පිටිගම ප්‍රදේශය පසුකරද්දී මහවැලි ගඟ ද අඹන් ගඟ මෙන් විය. එම ප්‍රදේශයේ ද මහවැලි ගඟ තරමක වංගුවක් ගනී. එහෙත් මෙවර දැවැන්ත ජල කඳක් රැගෙන ආ මහවැලි ගඟට සල්පිටිගම, රන්හෙළගම ඇතුළු ගම්මාන ගණනාවක ජනතාවගේ නිවාස බේරන්නට තරම් හයියක් නොවීය. පෙර දැනුම්දීම් නිසා ජනතාව නිවාසවලින් ඉවත් වී සිටියේය. එහි එක් නිවසක ඇඳක් තිබුණේ විදුලිබල මණ්ඩලයේ කම්බිවල රැඳී ය. මහවැලි ගඟ දෙහිඅත්තකණ්ඩිය හරහා ගෙන ගිය ජල ප්‍රමාණය කොතෙක්ද කියන්නට ඒ උදාහරණය ප්‍රමාණවත් ය.
තනි මිනිසුන් එක්ව මිනිස් සමූහ ගොඩනගයි
දකුණෙන්, රට වටෙන් උඩරටට ආදරය ගෙන එමින් සිටින විට, විශේෂයෙන් සඳහන් නොවූ ඡායාරූපයක් ගැනීම පවා ප්‍රතික්ෂේප කළ තනි මිනිසුන්ගේ අපූර්ව වැඩ ද විය. එක් තැනක නිවැසියන් සමග නිවස පිරිසිදු කරමින් සිටියේ ඔවුන් කිසිදිනක නොහඳුනන මිනිසෙකි. එක්කෝ දෙදෙනෙකි. ඔවුන් යතුරුපැදියෙන් වෙනත් ගමනක් යන අතර, නිවස පිරිසිදු කරන නිවැසියන් දැක ඊට සහාය වීමට තීරණය කර තිබිණි. තවත් තැනක සිය දරුවන් ද සමග නිවාස පිරිසිදු කරන්නට පැමිණි මව්පියන් ය. තවත් තැනක උසස් පෙළ දරුවන් කණ්ඩායමක් සමග නිවාස පිරිසිදු කරන ගුරුවරුන් ය.
‘හැමතැනම ඉන්නෙ මගේ අය‘
දිට්වා උතුරට කළ විනාශය ද සුළුපටු නොවේ. මාවිල්ආරු සොරොව්ව කඩාගෙන යෑමෙන් පසු අවතැන් වූ මුතූර්, කිලිවෙඩ්ඩි ආදී ගම්මාන රැසක ජනතාවට පහසුකම් සැපයීම පහසු කටයුත්තක් නොවීය. පෙර අනතුරු ඇඟවීම් ඔස්සේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ බලධාරීහු එහිදී කිසිවකුට අනතුරක් සිදුනොවීමට වගබලාගත්හ. රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 25,891ක් මේ ව්‍යසනයෙන් අවතැන් වූහ. මාවිල්ආරු විපතින් විනාශයට පත් කරුක්කාමුනෙයි රජයේ දෙමළ මිශ්‍ර පාසල ගොඩනැගීම පවා දැනටමත් ආරම්භ වී තිබේ. තවත් කාරණයකි. මහියංගනයේදී හමුවූ එක් මිනිසකුගේ ගම සේරුවාවිල ය. ඔහුගේ ඥාතීන් ද අවතැන් ය. එහෙත් ඔහු මහියංගනය ගොඩනැගීමට එකට-එක්ව දායකවෙමින් සිටී.
‘මගේ අය ගැන එහෙ කට්ටිය බලනවා. මං වැඩ කරන්නෙ මෙහෙ. මං වැඩිපුර ගනුදෙනු කරන්නෙ මෙහෙ මිනිස්සු එක්ක. මට මේ මිනිස්සු අමාරුවෙ වැටුණු වෙලාවෙ දාලා යන්න බෑ. අපි වතුරෙන් බේරුණෙත් එකට.‘
අපි බේරුණෙත් එකට, අපි මේ ආපදාවෙන් රට ගොඩනගන්නෙත් එකට ඔවුන් නිහඬව ම තම කාලය, ශ්‍රමය වගුරමින් කියන කතාව එයයි.

