කොත්මලේ ජලාශයේ බැම්ම පුපුරාගොස් ඇති බවට ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. තවත් තැනක දැක්වුණේ බැම්ම බරපතළ අනතුරක තිබෙන බවයි. මේ තොරතුරු දැකීමෙන් පසු එයින් දැඩි කම්පනයට පත් කාන්තාවක මියගොස් තිබිණි. ඇය දියවැඩියාවට සහ අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ගනිමින් සිටි අයෙකි. ඇය මියගොස් විනාඩි විස්සකින් පමණ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කළේ කොත්මලේ බැම්මේ එවැනි කිසිදු අනතුරුදායක තත්ත්වයක් නැති බවයි. ඉන්පසු මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු නිලන්ත ධනපාලගේ ප්‍රකාශයක් ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා ප්‍රසිද්ධ කෙරිණි. එය කෙටියෙන් මෙසේ විය.
‘කොත්මලේ ජල මට්ටම පිටාර මට්ටම පසුකර ඇති නිසා නිදහස් කරනවා. එහෙත් අනතුරුදායක නෑ.’
ගම්පොල ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න ඉදිරියේ මේ කතාව පැවසුවේ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා ය.

සමාජ මාධ්‍ය කැළඹූ අසත්‍ය තොරතුරු
ආපදා තත්ත්වයකදී, ජනතාවට තමන්ගේ සහ තම සමීපතමයන්ගේ ජීවිත පිළිබඳ භීතියක් ඇති වී තිබෙන අවස්ථාවක තොරතුරු බෙදාගැනීමේදී දැඩි ලෙස වගකීම් සහගත විය යුතු බවට මේ එක් උදාහරණයක් පමණි. වික්ටෝරියා ජලාශයේ වේල්ල කඩාගෙන යෑමේ අනතුරක් ඇති බවට ද තොරතුරු හුවමාරු විය. එය සම්පූර්ණයෙන් අසත්‍ය බව වික්ටෝරියා විදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ජී.ඩී.අයි ශාන්ත තහවුරු කළේය. සුප්‍රසිද්ධ කැලණිය බන්ට් එක කැඩීයෑමේ අනතුරක් ඇති බව සඳහන් තොරතුරු ද ඒ ආකාරයට ම ප්‍රචාරය විය. එය ද ප්‍රතික්ෂේප කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ බන්ට් එක යටින් උල්දිය ගලායෑමක් පමණක් සිදු වන බවත්, 2016 සහ 2018 ගංවතුර අවස්ථාවලදී ද එසේ සිදු වූ බවත් ය. කෙසේ වෙතත් අසත්‍ය තොරතුරු තටු ගසා ඉගිල්ලුණු වේගයට සාපේක්ෂව නිල තොරතුරු ජනතාව ළඟට ගියේ අඩු වේගයකින් ය. එම නිසා ගම්පොළ කාන්තාව මෙන් සිය ජීවිතයෙන් ම අසත්‍ය තොරතුරුවලට වන්දි නොගෙව්වත්, ඒවා හේතුවෙන් පීඩාවට පත් ජනතාව කොතෙක් විය හැකිද?
පාරු හැදූ ග්‍රාම නිලධාරි
ගම්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පල්ලේවෙල ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරිවරිය ගැන ද කිව යුතුය. ඇය, ඒ බිහිසුණු 27 රාත්‍රියේ සිය ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් සමග කෙසේ හෝ පාරුවක් සාදාගෙන ඇත. එයින් තමන්ගේ වසමේ 30 දෙනකුට අධික පිරිසක් ගංවතුරෙන් බේරාගැනීමට ඇය ප්‍රමුඛ පිරිස සමත් වී ඇත. බොහෝ පිරිස් බෝට්ටු සොයමින් සිටින විට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෝට්ටු නැති බව දැන සිටි ඇය, නවදෙවිට හමුදා කඳවුරෙන් බෝට්ටුවක් ගෙන ආවත් තමන්ගේ පැත්තට දැන්ම ලැබෙන්නේ නැති බව වටහාගත් ඇය සිය යුතුකම ඉටුකළාය.
එදා, 27 වැනිදා රාත්‍රියේ ගම්පොල ජනතාව බේරාගත් එකම බෝට්ටුව ද රැගෙන එන්නට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසට විශාල වෙහෙසක් දරන්නට සිදු විය. ඊට හේතු වී තිබුණේ වාහනයක් සොයාගැනීමට නොහැකි වීම ය. විශාල වාහන තිබෙන ආයතනවල ඊට අදාළ වගකිවයුත්තන් නොමැතිවීමත්, එම නිසා යතුරු නොමැති වීමත් ඊට හේතු වී තිබිණි. බෝට්ටුව නොමැති වීම නිසා බේරාගැනීම් ප්‍රමාද වුවත්, ඒ වෙලාවේ සිටි රජයේ නිලධාරීන් ඇතුළු පිරිස නගරය දිගේ කෑගසමින් දිවගොස් ඇත්තේ වහාම ආරක්ෂිත ස්ථානවලට ජනතාව යොමුකිරීමටයි. මේ ආපදා අවස්ථාවේ ආරක්ෂක අංශ, විදුලිබල, ජල සම්පාදන ඇතුළු සියලු නිලධාරීන් කළ සේවා ගැන වෙනම ලිවිය යුතුය. ඒ අතර ගඟ ඉවුරේ ම අලුතින් තනන ලද පන්සලේ භික්ෂූන් වහන්සේ එම ස්ථානයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරද්දී, බලහත්කාරයෙන් උන්වහන්සේ එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද පොලිස් නිලධාරීන්ට සිදු වී තිබේ. එම පන්සලේ වැඩි කොටසක් සහ චෛත්‍යය ගංවතුරෙන් ගඟට ගොස් ඇත.
අම්බුළුවාවේ විනාශය


ගම්පොලට විශේෂ වූ අනෙක් ස්ථානය අම්බුළුවාවයි. අවිධිමත්, සැලසුමක් නොමැති ඉදිකිරීම් නිසා අම්බුළුවාවේ මාර්ග ඉරිතලා ඇත. කන්දේ ඉහළට යන මාර්ගය බරපතළ නායයෑම්වලට ලක්වී ඇත. කන්දෙන් ආ පස් සහ ගල් නිසා කාන්තාවක් මියගොස් ඇත. හෙම්මාතගම පාර සම්පූර්ණයෙන් අවහිර වන විට, අලුතින් කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීමට සැලසුම් කර ඇති ස්ථානයට ද පස් කඳු කඩා වැටී තිබේ. ප්‍රදේශයේ ජනතාව එක් ව ඒවා ඉවත් කිරීම ක්ෂණිකව අරඹා තිබිණි. අම්බුළුවාවේ පහළට යන විට, ගම්මානයට ඉහළින් ද පොළොවේ විශාල පැළුම් ය. 2024 වසරේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ අනෙකුත් රජයේ නිලධාරීන් ගොස් අවදානම් බව කී තැන්, ඒ කී ලෙස ම නායගොස් ඇත.
ජනාසා වාහනයත් වැඩට ගනී

එහෙත් පරාජය බාරගන්නට මිනිසුන් සූදානම් නැත. අවසන් ගමන යන තැනින් පවා ඒ දින කිහිපයේ අලුත් ජීවිත ගොඩනැගීම ඇරඹිණි. ඉස්ලාම් ආගමානුකූලව ජනාසා සේවය යනු අවසන් කටයුතු සිදුකිරීමට මෘත දේහ රැගෙන යන වාහනයයි. තිබුණු, බේරුණු වාහනවලින් වැඩගත යුතුය. ජනාසා සේවය අවතැන් ජනතාව තාවකාලිකව වෙසෙන කඳවුරුවලට භාණ්ඩ ප්‍රවාහනයට යොදාගැනිණි. ආගම්, පක්ෂ තවදුරටත් එහි නොතිබිණි.
‘අපි මේක කරනවා. මේ වෙලාවෙ අපි හැමෝම එක ම විදිහෙ මිනිස්සු.’ ගම්පොල රෝහලේ වෛද්‍ය අෆ්සාල් එසේ කීවේය.

උසස් පෙළ එක් විෂයයක් ලියන්නට තිබෙන, සාමාන්‍ය පෙළට පාඩම් කරන ආදී වශයෙන් සිසු-සිසුවියෝ අහුලාගත් පොත් වේලති. තිබෙන සෙල්ලම් බඩු කිහිපයෙන් දරුවෝ එක් ව සෙල්ලම් කරති. සියල්ල අහිමි වුවද, එක් බලාපොරොත්තුවක් තිබේ.
‘මගෙ තට්ටු තුනේ ගේ තුන්වැනි තට්ටුව ළඟටම වතුර ඇල්ලුවා. අඩි 35කට වඩා වතුර. වාහන ටික ඉවරයි. බැංකුවෙ සල්ලි තියෙනවා. ඒත් පහුගිය ටිකේ ම ගන්න විදිහක් තිබුණෙ නෑ. අපි කාගෙවත් අතේ සල්ලි නැතුව හිටියෙ. ඒත් මේ මිනිස්සු එකා වගේ අපිට උයලා දෙනකොට, ඇඳුම් ගේනකොට අපිට පුළුවන් කියලා හිතෙනවා.’ වතුර බැරල් දෙකට කපා, පාරු හදමින් වයස්ගතවූවන් සහ ආබාධිත පුද්ගලයන් බේරන්නට ඔවුන් එකා මෙන් මහන්සි වී තිබිණි. එහෙත් ඔවුන්ට හති වැටී නැත.
හදබිම – ස්මාරකයක් හැදිය යුතු තැනක්

ගම්පොල නගරයේ පිහිටි අවතැන්වූවන් රැඳී සිටි ස්ථානවලට අවශ්‍ය පහසුකම් වේගයෙන් ලැබෙමින් තිබුණද, නගරයෙන් පිටතට යන විට ඒවාගේ ප්‍රමාදයන් රැසක් තිබිණි. ඊට හේතුව වූයේ මාර්ග නැතිවීම ය. ගලහ පාරේ සරසවිගම පසුකර යනවිට හමුවන හදබිම ජනපදය අයත් වන්නේ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ය. හදබිම මේ ආපදාවේදී හදවතේ ස්මාරකයක් තැනූ ප්‍රදේශයකි.
27 වැනිදා පස්වරු හය පසුවන විට ඇසුණු කෑගැසීමට ගමේ තරුණයෝ කන්ද දෙසට දිවූහ. කන්ද පහළ එක් ගෙයක් මතට කුඩා පස් කොටසක් වැටී තිබිණි. පිරිස දිවගොස් එහි නිවැසියන් බේරාගත්හ. තුවාල වූ අයකු ප්‍රතිකාර සඳහා ගෙන යා යුතු විය. එක් අයකු වාහනයක් ගෙනඒමට පිටත් විය. ගතවූ ඊළඟ විනාඩියේදී දැවැන්ත පස් කන්දක් එහි කඩා වැටුණේ නිවස සහ හිතවතුන් බේරාගන්නට ගිය 27 දෙනකු සම්පූර්ණයෙන්ම යටකර දමමිනි. ඒ අතරින් 18 දෙනකුගේ මළසිරුරු සොයාගැනිණි. මේ කඩාවැටුණු කන්දේ එහා පැත්තේ විශාල ගල්කොරියකි. එහි අනුමැතිය පිළිබඳ ගැටලුවක් සහ විරෝධයක් නිසා කාලයක් නැවතී තිබුණත්, පසුගිය කාලයේ නැවත ආරම්භ කර ඇත. ඒ කියන්නේ ගල්බෝර දිනපතා ඒ කන්දේ පිපිරිණි.
එතැනින් ඉහළට ගිය විට ඇත්තේ අප්ලන්ඩ් වත්තයි. ඊට එහායින් අක්කර 40 කොටසයි. මේ කොටස්වල සිදු වූ නායයෑම්වලින් අවතැන් වූ ජනතාවට ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේ ලැබුණේ බොහෝ ප්‍රමාදව ය. ඊට හේතුව වාහනයකින් ගමන් කළ හැකි අවසාන ස්ථානයේ සිට සෑහෙන දුරක් පයින් ගමන් කිරීමට සිදුවීමයි. එනම් ඔවුන් හුදෙකලා වීමයි. එය පසුව විසඳිණි.
ඊළඟ අනතුර අත ළඟ?
බරපතළ ම ගැටලුව ඇත්තේ ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමඟ ය. මේ කොටසේ නිවාස රැසක ඇතුළේ පැලුම් මතු වී තිබේ. පස් කන්දටම අල්ලා ඉදිකර ඇති නිවාස යටින් වතුර ගලයි. නිවාස පිටුපස පස් කන්දේ පැලුම් රැසකි. වරින්-වර කන්දේ ගල් පහළට පෙරළෙයි. කන්දේ පස් කුට්ටි මැදින් විශාල වතුර පාරවල් මතුවී ඇත. ප්‍රදේශවාසීන් ඒ වතුර පහරවල්වලට ප්ලාස්ටික් බට ගසා වතුර ගනී. පොළොවේ පැලුම් පස් දමා වසාදමමින් සිටී. 27දා පසුවී දින ගණනාවක් ගියත්, වසම බාර ග්‍රාම නිලධාරිවරයා එහි පැමිණ තිබුණේ නැත. භූවිද්‍යා නිලධාරීන් හෝ වෙනත් රජයේ නිලධාරීන් ද පැමිණ නැත. අවදානම ගැන කී විට, ඔවුන් කියන්නේ ‘අපි කොහෙටද යන්නෙ, අවතැන් වුණු අයට නම් සහනාධාර දෙනවා. අපිට ඒවත් නෑ’ යනුවෙනි. ඔවුන්ගේ ඇස් මානයේ, මීටර් 200 – 300ක දුරින් ජීවිත 27ක් පස් යට අවසන් ගමන් ගියේය. මිනිසුන් බේරන්නට ගොස් මියගිය ඒ ජීවිත වෙනුවෙන් ස්මාරකයක් හෝ හදන්නට මේ ජීවිත බේරාගත යුතුය.
පැරණි කතාවලින් ඉගෙන ගත යුතු පාඩම්
මෑත අතීතයේ කඳුකරයේ තිබූ කතාවක් වන්නේ කන්දක් ආසන්නයේ යම් ඉදිකිරීමක් කරන්නේ නම්, එය සහ පස් කන්ද අතර අලි දෙදෙනෙකුට මාරුවන්නට තරමේ ඉඩක් තැබිය යුතු බවයි. එහි අදහස වන්නේ විශාල අනතුරු නැතත්, කුඩා ප්‍රමාණයේ අනතුරු වළක්වා ගැනීමත්, කන්දට හානි සිදුවීම වළක්වා ගැනීමත් ය. ඉදිරි සැලසුම් සකස් කිරීමේදී මේ පැරණි කතා වැදගත් වේ.
ගලහ පැත්තට පමණක් නොව මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ෆයිනස් ව්‍යසනයක් බව බොහෝ පිරිස් කීවත්, ඒවා ඉවත් කිරීම ප්‍රමාණවත් පරිදි සිදු වූයේ නැත. දිරන්නට කාලයක් ගතවන ෆයිනස් කොළ වැටී හැදුණු පස් තට්ටු පිටින් පහළට ගලවාගෙන පැමිණ ඇත. කන්දේ ඉහළ සිට එන වතුර, ෆයිනස් තට්ටු අස්සට ගොස්, නැවත කන්ද මැදින් පටන් ගනී. මුළු කඳුකරය ම බය හිතෙන තරම් ජල තටාකයකි.
රජයේ ආයතන සහ සියලු පාර්ශ්ව මේවා ගැන ජනතාව දැනුවත් කර ඇත්තේ අවම වශයෙනි. ඒ නිසා ය, ඔවුන් දැනුත් මෙසේ කියන්නේ.
‘අපිට මේ කැලේ තියෙන කොටස්වල හොඳ හරියෙන් පර්චස් දහය ගාණෙ හරි දෙන්න පුළුවන්නෙ.’
දැනුවත් මිනිසුන් දැනුම බෙදාහැරිය යුතුය. හදබිමේ අවදානම් නිවාසවල බොහෝ පිරිසක් රාත්‍රියට සිටින්නේ එක්කෝ දළු මඩුවේ ය. නැත්නම් කුකුළු කූඩුවක ය. සැලසුමක් නොමැතිව ඉඩම් බෙදාදෙමින් ජනතාව පදිංචි කර තිබේ. එහි ප්‍රතිවිපාක විඳින්නේ ඒවාගේ පදිංචිකරුවන් ය. අවුරුදු 16ක දරුවකු ද පස් කොටසින් යට වූ නිවසේ සිටි පුද්ගලයන් බේරන්නට ගොස් මියගොස් ඇත.
නිල්ලඹ, කුරුස හන්දියේ නායයෑමෙන් පසු එහි සිටි බල්ලා දිගටම එහි ම සිටී. බල්ලා ආදරය කළ, ඉව සහිත කිසිවකු එහි මිහිදන් ව ඇත. ඒ නායයෑමෙන් පසු මළ සිරුරු ගොඩගැනීමට සම්බන්ධ වූ තරුණයකු කිව්වේ ‘මට නිදාගන්න බෑ’ යනුවෙන් පමණි. යාන්තම් පණ ගැහෙමින් තිබියදී පස් අතරින් උඩට ගත් අයකු, ඔහුගේ අතේදී මියගොස් තිබිණි.
‘ඔතැන්ට පේන්නෙ නෑ – මෙතැන්ට එන්න’

රඹුකේඇළ ග්‍රාම නිලධාරි වසමේ සිදු වූ නායයෑමෙන් පුද්ගලයන් 39 දෙනකු මියගොස් ඇති බව දැනට ඇති වාර්තා ය. එය ඊට වඩා වැඩි විය හැකි බව කියන්නේ ප්‍රදේශවාසීන් ය. මහනුවර, මාතලේ පාරේ ගොස් අලවතුගොඩින් හැරී රඹුකේඇළට යා යුතුය. නායගිය ස්ථානයට යන්නට නම්, සෑහෙන දුරක් පයින් ගමන් කළ යුතුය. සිසු-සිසුවියන් 2,000කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන රඹුකේඇළ මහා විද්‍යාලයට ඉහළින් තිබූ කන්ද මෙසේ නායගොස් තිබියදී, පයින් යෑමේ වෙහෙස අතහැර සිය ගණන් ජනතාව සිය දරුවන් ද සමග නායගිය ස්ථානය බලන්නට පැමිණෙමින් සිටියහ. ඒ නායයෑමෙන් දින කිහිපයක් ගතවූ පසු නොවේ. ඊට පසු දින, එනම් 28 වැනිදා ය. ඔවුහු පැමිණ නායගිය ස්ථානයේ මැදට යෑම වළක්වමින් ඇද තිබූ ලණු ඉවත් කරමින් ඇතුළටම ගියහ. සිය දරුවන් ද සමග නායයෑම හොඳින් බලන්නට ගියහ. මළ සිරුරු 12ක් පමණක් ගොඩගත්, අනෙක්වා ගොඩගැනීමට නොහැකි තවත් අනතුරුදායක තැන් ඇති ඒ කන්ද යට ඔවුහු අවදානම් දැරූහ.
‘ඔතැන්ට පේන්නෙ නෑ, මෙතැන්ටම එන්න. අවුලක් නෑ. දැන් වෙන්න තිබුණු දේ වෙලා ඉවරයි.’
මේ ඔවුන් අතර හුවමාරු වූ දෙබස් අතරින් කිහිපයකි.
වෙන්න තිබුණු දේවල් කියා දෙයක් නැත. අප, අප විසින් ම සැලසුමක් නැතිකම, නිසි දැනුවත් කිරීමක් නැතිකම ආදී වශයෙන් කරගත් දේවල් නම් රැසක් ඇත. ‘දිත්වා’ සුළි කුණාටුවකි. ස්වභාවික ව්‍යසනයකි. එහෙත් එහි හානිය අවම කරගන්නට අපට හැකියාව තිබිණි. දැන්වත් නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු, කඩිනමින් ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ, අන් සියල්ලටමත් වඩා අවතැන් කඳවුරුවල විදුලි ආලෝකය හෝ නොමැතිව කළුවරේ – සීතලේ ගුලිවෙමින් සිටි, ඇතැම් විට අම්මා හෝ තාත්තා හෝ පවා අහිමි වූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙනි.

