“හෙවණැල්ල වී පවතිමි “මහාචාර්ය ලියනගේ අමරකීර්ති

Share post:

මේ, ගද්‍යයත් පද්‍යයත් අතර මිහිරිතම නැවතුම් සොයා ගිය අමරකීර්තිමය කාව්‍යානුභූතීන්හි අසිරිමත් පෙළහරකි. ස්වයංවරයක් සඳහා එක සමාන වටිනාකම් සහිත මාණික්‍ය ප්‍රදර්ශනයකට රඳවා තැබූ විට, ඒ වරණය කෙරෙහි හට ගන්නා අතරමංවීමෙන් කවි 44ක කුටිය පුරා කීපවරක් ම සරන්නට සිදු විය.අහඹු ලෙස තෝරා ගත් කීපයක් පිළිබඳ ගොනුකර ගත හැකි තරමේ සත කීපයක් මෙසේ තබන්නේ, එය තරම් වේදැයි සිතමිනි.
කවියාගේ ස්ත්‍රීවාදී චින්තනයේ කුලුණැ’ස තැන් කීපයක මුණ ගැසේ.

-දර්පණ දර්ශන-

කවියා විසින් සැමියා හඳුන්වනු ලබන්නේ “ගෙදරිඳු” නමිනි. (ගෙදර නායකයා)ඒ උත්ප්‍රාසාත්මක ප්‍රහාරයට අපමණ පෙම් බඳිමි.

මගෙම පඩියෙන් ගත්ත
ඇඳුමකට අබරණට
වුව ඇනුම්පද කියන -බලය ලද
ගෙදරින්ද!කෙසරින්ද!මා බැන්ද!

විවාහේ කැඩපතේ-වියළි වීදුරු තලේ
සිරගතව වියළි වූ – අස්පර්ශනීය වූ
රූපයකි ඔබ සබඳ

ආසියාතික ගැහැනිය, ගේහසිත පෙම රැක ගන්නේ අපමණ දුක්ඛ දෝමනස්සයන් සඟවා ඒවා සුඛ සෝමනස්සයන් සේ දොරට වඩම්මවා බව කියවෙන කවියකි.

-සුවඳ එන තෙක් ඉඳිමි-

යට කී ගැහැනිය ම කවියෙකුගේ බිරිඳ වූ කල්හි සානුකම්පිත කවි සිතක නැගුණු තෙත දක්වන කවියකි මේ.

අනිද්දී ඇය පිහියෙන්
කුකුල් මස් හදවතට
නාඳුනන සතුරෙකුට
අනින්නට අතින් ගත්
අසිපතක්, කිනිස්සක්
දිලෙන්නේ ඈ සුරත
ලෙයින් රතු වී නැගේ එය
සීත කළ මස වෙතින

වදී ඒ පිහි පාර
මගේ කවි හදවතට.

කවියා කවි ලියන අතර බිරිඳ ගිනිහල් ගෙයි තනිව කරන සටන කවි සිත බොඳ කරයි.යම් තරමකින් හෝ හිත හදා ගන්නට ඔහු උදවු කරන්නට යයි.ඒවා සාමාන්‍ය පිරිමි කරන උදවු ය.බැල්මකින් හෝ ඇගෙන් ලැබෙන ස්තුතිය කවි සිත තෘප්තිමත් කරවයි.

ලොව බොහෝ මහරු කවි
බිරිඳ උයනා අතර
ඇය ගෙදර වැඩ අතර
ලියූ කවියනට වැඩි
කවිකමක් මට ඇතැයි
තුටින් මම බලා ඉමි
සුවඳ එනතෙක් හිඳිමි.

-ප්‍රීතිමත් නගරයක්-

කවිකම බිහිවී කවියෙකු නිර්මාණය වන්නේ කවර භූමි භාගයකදැ’යි විමසන තැනක මෙතෙක් ලද පිළිතුර බොහෝ විට ශෝකය,පරාජය ඇති තැනින් ය යන්නයි.

සකියනි සොයා ගත්තෙමි
ප්‍රීතියෙන් ඉන්නට
එක ම හදවතක්වත්
නොබිඳෙන නගරයක්

එහෙත් මේ නගරය කවියාට නොරිසි එකකි.ඒ ප්‍රීතිය කවියා නුරුස්සයි. .කවිය අවසන එය කියවේ.

නොලියවෙයි ඒ නගරේ
කිසිම කවියක් ,කතාවක් හෝ නළුවක්
සෑම කවි සිතක ම පතුල නොපෙනෙන ගැඹුර විශද කළ කවියකි, ඒ.

-මිනිසියා ගංගාව-

පෙර කී ලෙස ම කවි සිතක මානවවාදී ගුණය ඉස්මතු කෙරෙන කවියකි. භෞතිකය කවි සිතක් රිදවන කල පෙරළා රිදවිය නොහැකි තරමේ බහීර්වර්ථ නොවන කවියෙකු සිත නිවා ගන්නා අයුරු ප්‍රතිනිර්මිත කෙරෙන තැනකි.

රිදෙන විට හදවත
පහර වැද මිනිස් ලෝකෙන්
සෙල්ලම් කරමි මම
“මිනිස්” යන වචනෙ හා
භාවනාවක යෙදෙමි
“මනුෂ්‍ය “තත්සමය හා

අවසන කවියා ඒ ඒ සියලු බාහිර රිදවීම්-පෙළීම් හඳුනා ගන්නේ මිනිස්කම ලෙසිනි.එය අකුරු පෙරළියක් කරන’යුරු මනකල් ය.

මිනිසා ගලා යයි මා හා යාබද ව
අල්ලා රවුම් වූ වචනෙක අගිස්සක්
හදමි මම ‘මිනිසියාව’
මුමුණමි එය තනිව
මියැසියාවක් සේ මට
මා හා පාව යන
මිනිසියා ගංගාව

-මනරම් උයන-

මේ උයන ද ස්ත්‍රිත්වය හෑල්ලු නොකරන කවියාගේ ස්ත්‍රිය පිළිබඳ ප්‍රකම්පනයයි. පුරුෂවාදී ලොවක කෘත්‍රිම ලෙස නිර්මාණය කළ පුහු බමුණු ශිෂ්ටාචාරයේ සළුවෙන් බලහත්කාරයෙන් වෙළූ සම්මත ස්ත්‍රිත්වය දෙස දැල්වූ පහන් ඇසකි.

පන්සලක් කරපු අය
ඒ අසිරිමත් උයන
“උපාසක අම්මලා”
කිය කියා බැණ වදිති
තමන් විඳිනා ගැහැනු

පිරිමි පිරිමි ම එක්ව තනිව බොන තැන්වල

ඇතැම්විට පිරිමින් පමණක් එතෙර වන නුරා ගඟුලක, ගැහැනිය මළකඳකැයි’ ගරහන පිරිමිකමට කවියා එරෙහි වෙයි.

පියවුරක තුඩක් යනු මිහිරි සැණකෙළි බිමකි
දවසක්ම ගෙවිය හැකි ගෙවිය යුතු….

ඇඟිලි තුඩු යානයෙන් දවසක්ම ඇවිදින්න
නිතඹ රේඛා දිගේ යැවෙන තැනකට යන්න
මේ උයන සංචාර නොදන්නා ඔබ නේද
පන්සලක් පල්ලියක් කෝවිලක් අසපුවක්
කළේ මනරම් උයන
පිරිමි පිරිමිම එක්ව බොන අතර බැණ වදින?

ස්ත්‍රින්ගේ සරාගී නිල අතෑරුණු පිරිමින් අවදි කර තැබූ කවියකි ඒ.

“සිසුවා හා සිසුවිය” කවිය ද දුෂ්කර සේවය සඳහා පළමු පත්වීම ලද තමාගෙන් ඉගෙනුම ලද සිසුවියගේ අදහසකට ප්‍රතිචාර දක්වන කවියාගේ පරිකල්පනීය සටහනකි.සිසුවිය උකටලී වී ඇත්තේ රසඥතාවෙන් තොර ගුරු-සිසු සබඳතා තමාට ලැබෙතැ’යි යන බියෙනි.

ප්‍රතිභාව,ඥානය, ප්‍රඥාව ගැන
විසිතුරු ම කතා කියවෙන
හරිතවත් සරසවි උයනක ද
දුර්ලභය සිනිඳු කවි සිත්
තනි තනිව නොවෙද අප
හොඳම කවි කියෙව්වේ

සරසවි තුළද රසඥතාවේ නියංසාය විරල නොවන බව කියා පෑ අයුරු අපූරුය.කවියා සිසුවියට තවම මඟ පෙන්වයි

කර්කශ ම තැනක වුව
ගසක් නැති තැන්වල
ගසක් පැළ කොට
එහි හෙවණ විඳීම ය
මා දත් සොඳ ම සිසිලස
හොඳම ගුරුවරයෙකුට හෝ ගුරුවරියකට හමුවෙයි
එක් හොඳම ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක
තමා ඇතුළෙම වසන නොමියෙන

සැබැවින්ම ගුරුවරයෙකුට හොඳම ප්‍රීතිය ලැබෙන්නේ ,තමා තමාටත් සිසුන්ටත් දීප්තිය ලබා දෙන සාර්ථක පාඩමකින් පසුවයි.

“සර්ගෙ පණිවිඩයකට මචං මං ආව” කවියේ බස දේශපාලකයන් රකින,අනාගතයේ දී ආයුධ පෙන්වන්නට ගොස් වෙඩි වැදී මිය ගිය හැකි චණ්ඩියෙකුගේ අත්දැකීමක් චණ්ඩි භාෂාවෙනි.එහි පළමු කවිය හිනාවෙන එකා අඬවන්නට ගත් කොන්තරාත්තුවකි. අවසාන කවිය නිතර අඬන තමාගේම සමාජ පන්තියේ එකෙකු හිනස්සන්නට යාමට කරන කැඳවීමකි.

රළු ම රළු දේශපාලන අනුභූතියක් වුව මුදු ලෙස සංස්පර්ෂණය කරන්නට කවි බස නම්‍ය වූ අයුරු පොත විඳීමෙන් ම දත යුතු ය.
“නොගයන නැළවිලි “ද යමක් නොලියා ම මඟ හැර යාමට ලෝබ කවියකි.එහි පද කීපයක් පමණක් අමුණමි.

තාත්ත ගෙන ගියා මනමාල ඒ දෙතොල
ආයෙමත් ඇඟ පුරා
කියද්දිත් මට හිනා
පාන්දර වෙනකල් ම
ඔය ටිකම කළ නමුත්
ඒත් මදි!හොර ගෙඩියා!

ඒ තමයි තාත්තා

හිටිය නම් හරි ඒ මිහිරි රසවතා
ඒ උදේ පාන්දර පවා මා සැනසුවා.
අන්න ඒ පාන්දර එළඹුණා සුදු ඇතා
නෙළුම්මල සොඬින් ගෙන
ඒ තමයි මගෙ පුතා
ආයෙමත් ආවෙ නෑ තාත්තා

මේ සත දෙක කව්පොත පිදුමට ප්‍රාමාණික නොවනු ඇත.ලියූ ඒවාට වඩා නොලියූ ඒවායෙ රස අපමණ විය යුතු ම ය.ඔබ ඒවා කියවා අනිවාර්යයෙන්ම ඒ මත අසෙනිය කුසුමක් තබනු ඇත.

ධම්මිකා විජේසිරි

Related articles

පාස්කු වාර්තාව අධ්‍යයනයට ශානි පත්කිරීම ගැන නාමල්ගේ කනස්සල්ල – බරපතළ තත්ත්වයක් බවත් කියයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද පොලිස් කමිටුවට මධ්‍යම අපරාධ...

විල්පත්තු පාර අරින්නට පෙර මේ තීන්දුව කියවගත්තොත් හොඳයි !

විල්පත්තුව මැදින් පාරක් හැදීමේ කතාවක් ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ කියන්නේ අලුත් පාරක් ගැන ද, තිබුණු පාරක් පුළුල්...

දේශබන්දු ඉවත් කිරීමේ කමිටුව පත්කරයි : ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු සූරසේනත් සාමාජිකයෙක් !

පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවට අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ කමිටුවට සාමාජිකයන් පත්කරයි. 2002 ඉහළ රාජ්‍ය නිලධරයන්...

අවදානමට පෙර ආණ්ඩුව සූදානම් ද?

මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව විවේචනයට ලක්ව ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම වඩාත් ජනතාවට...