මේක ඓතිහාසික තීන්දුවක් !!

Share post:

නීතියේ ආධිපත්‍යය පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය කඩවුවහොත් යළිත් අරගලය වැනි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් තිබෙන බව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් අවධාරණය කරයි.

මෙවැනි තත්ත්වයක ප්‍රතිඵලයක් වශයෙන් ජනතාව තමන් විසින් ම ආරවුල් විසඳා ගැනීමට යොමු විය හැකි අතර, එමගින් නීතිවිරෝධී ක්‍රියා, මැර ක්‍රියා සහ නීතිය හා සාමය බිඳ වැටීමේ සිදුවීම් ඉහළ යෑමේ අවදානමක් ද මතු විය හැකි බව පෙන්වා දෙන විනිසුරුවරයා, මේ පිරිහීම නිසා පුද්ගලයන් යුක්තිය තමන්ගේ අතට ගනු ඇති බවත්, අවසානයේ දී එය නීත්‍යනුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සමස්ත අත්තිවාරම බිඳ දමනු ඇති බවත් පෙන්වා දෙයි.

මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් සභාපති විනිසුරුවරයා මේ බව සඳහන් කළේය. 

පොලිස්පතිවරයා මුලින්ම කළ යුතු වූයේ මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයට අවනත වී අධිකරණයට ඉදිරිපත් වීම බවත්, ඉන්පසු එහි ගැටලුවක් ඇත්නම් ඉහළ අධිකරණයට පැමිණිලි කළ හැකි ව තිබූ බවත් මෙහිදී පැවසූ සභාපති විනිසුරුවරයා, පෙත්සම්කරු එම නීතිමය මූලධර්ම අනුව කටයුතු කර නැති බව ද අවධාරණය කළේය. පහළ අධිකරණවලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ තිබිය යුතු බව ද මෙහිදී පෙන්වා දුන් ඔහු, එම කටයුතුවලට මැදිහත්වීමට ඉහළ අධිකරණ අපේක්ෂා නොකරන බවත් පැවසීය.

පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියකු නොව රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම දරන පොලිස්පතිවරයා බවත්, එවැන්නකු දින 18ක් තිස්සේ අධිකරණය මගහරිමින් සිටීම බරපතළ වරදක් බවත් මෙහිදී සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. පොලිස්පතිවරයා ඉහළ අධිකරණයට පැමිණ ඇත්තේ පිරිසිදු දෑත්වලින් නොවන බව පෙනීයන්නේ යැයි ද සඳහන් කළ සභාපති විනිසුරුවරයා, වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එසේ ම ඔහුට සැඟවීමට සහාය දුන් පාර්ශ්ව සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළ අභියාචනාධිකරණය, මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති විවෘත වරෙන්තුව නීත්‍යනුකූල බව ද අවධාරණය කළේය.

මේ තීන්දුව ගනු ලැබුවේ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මගිනි. රුපියල් 10,525ක ගාස්තුවකට යටත්ව පෙත්සම ප්‍රතික්ෂේප කරන බව ද විනිසුරු මඩුල්ලේ තීන්දුවේ දැක්වේ.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, පැලෑන වට රවුම ආසන්නයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩිතැබීම සහ ඉන්පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයෑම සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව තවදුරටත් විග්‍රහ කරමින් අභියාචනාධිකරණය ඊයේ සිය තීන්දුව මගින් අවධාරණය කර ඇත්තේ රටේ පොලිස්පතිවරයා විසින් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති මේ අපරාධය අතිශය බරපතළ බවයි. මෙවැනි අපරාධ හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳව මහජන විශ්වාසය කඩවන ආකාරය, අධිකරණයේ ස්වාධීනත්වයට මෙමගින් සිදුවන බලපෑම, නීතියේ පාලනය සහ පොලිසියේ ක්‍රියාකාරිත්වය වැනි කරුණු රැසක් පිළිබඳව මේ තීන්දුවේ දීර්ඝ ලෙස සඳහන් කර ඇත. 

තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විවෘත අධිකරණයේදී පැවසුවේ මෙය ඓතිහාසික තීන්දුවක් බවයි. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙහිදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටියේය. මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල ඇතුළු 14 දෙනකු මේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

Related articles

සම්මානී ගේ සිහිනලන්තය යනු ළමා වියේ පරිකල්පනය අවදි කරන්නට භාවිතා කල හැකි යතුරකි

'සිහිනලන්තය' - සම්මානී විජේසිංහ මගේ පැටි වියෙහි මුල්ම මතක සැබෑ සිදුවීම් නිසා ඇතිවූවක්ද නැතිනම් ඒ මගේ පරිකල්පනීය ලෝකය තුළ...

‘මන්දාකිණී තිබේ හැන්දෑවකදි හමුවන’ – චම්පිකා විජේසිංහ

කවියක සියුම්බව නිසි මාත්‍රාවෙන් සංතෘප්ත කරන්නට හැකිවීම යනු නිර්මාණකරුවෙකුගේ මෙන්ම පාඨකයකුගේද ලෝකය විචිත්‍රවත් කරන්නට හේතුවන්නකි. එවන් කවියක් කියවන...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කාගේ ද?, ඉතිහාසයේ පාඩම් දැන, අරමුණු ජය ගමු ද?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට මේ රජය විසින් සැලසුම් සකස් කොට ඇතැයි අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය...

ට්‍රම්ප් දිගට හරහට නෙලයි…

යුරෝපා සංගමයට, මෙක්සිකෝවට, 30% යි. කැනේඩියානු භාණ්ඩ වලට 35% යි.. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් දෙදෙනෙකු...