යෞවන සමය ජීවිතයේ අභිරමණීය අවධියකැයි සාමාන්‍ය පිලිගැනීමයි. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වුවත් යෞවනය නිතරම පවත්නා කවර තත්වයක් යටතේ වුව කෙලිලොල් බවින් ගෙවන්නට ඉඩ පාදා ගනියි. එය කවර අසීරු තත්වයක් යටතේ වුව සිදුවන්නකි. ඈන් ප්‍රෑන්ක් සිය ජීවිතය අන්ත දරුණු ඉරණමකට මුහුණ දී සිටියදී වුව තම දින සටහන් තුළ ජීවිතයේ සුඛ දුක්ඛ දෙපක්ෂයම ස්පර්ශ කරන්නට සමත්වූවාය. Children of war යනුවෙන් 2016 වසරේ මොස්කව් නුවරදී පල කරන්නට යෙදුන කෘතියෙහි අඩංගු වනුයේ දෙවන ලෝක යුද සමයේ යෞවනයන් ලියූ දින සටහන් වලින් තෝරාගත් එකතුවකි. එයටද මේ තත්වය පොදුය. එහි යුද්ධයේ ඛේදය මෙන්ම ජීවිතයේ සුන්දරත්වයද විවිධාකාරයෙන් ගැබ්වෙයි.
නමුදු ලංකාවේ යෞවන දිවිය යනු තරගකාරීත්වය, වැඩිහිටි බිඳවැටුනු සිහින, උන්නතිකාමය වෙනුවෙන් පරදු තැබෙනා දඩයමකි. පාසැල යනු එහිදී ඒ දඩබිමෙහි දරුණුතම අවස්ථාවකි. අද වන විට සරසවියද එපරිදිමය. එහෙයින් අපට දක්නට ලැබෙන්නේම බ්‍රොයිලර් පන්නයේ පුරවැසියන් තනනා මැසිමක් මිස නිදහස් ඉගෙනුම් පරිසරයක් නොවේ. එවන් පරිසරයක නිර් මාණශීලී ජීවියෙකු බිහිවීම යනු විරල සිදුවීමකි. අප ආලෝකාගේ කවි කෙරෙහි අවධානය යොමු කල යුත්තේ එහෙයිනි. ඇය සිය කවිය හරහා මේ බලකොටු බිඳින්නට තැත් දරන්නීය.
ඇගේ කවිය තම වයස ඉක්මවා දකින්නට සමත් යෞවනියකගේ මැදිහත්වීමක් ලෙස සැලකිය හැකිය. ඇගේ වයසේ පසුවන සගයන්ට දොපු අත්දැකීම වන අධ්‍යාපනය විසින් නියම කරනා හොඳ ළමයෙකු වන්නේ කෙසේද, පාසලට ආදරය කරමු, ගස් වවමු වැනි උපදේශාත්මක එළඹුම් ඇයට අදාල නැත. ඇය ඒ වෙනුවට ස්වකීය සමාජයේ විවිධ පැති විමසන්නට කවිය මාවතක් කරගනියි. එහිදී ඇය කාන්තාව, ආදරය, සමාජ අසාධාරණය, සමාජ වෙනසක් උදෙසා වන අපේක්ෂාව, සමාජ වචාරය වැනි විවිධ අංශ කෙරෙහි සිය නිර් මාණ ඇස යොමු කරයි.
සුනඛ සුරතලී මැයෙන් වන කවිය ඇගේ කවි ඇස ගැන වටහා ගන්නට කදිම පිවිසුමකි. මානව බන්ධූත්වයන් හමාර වී ගිය විපරීත සමාජයක මිනිසා සහ සත්වයා අතර වන අනුවේදනීය එමෙන්ම ආදරණීය බැඳීම ඇය මෙහිදී විෂය කරගන්නීය. සියළු අපේක්ෂාවන් සුන්ව ගිය මොහොතේදී පවා තම ස්වාමියා හැර නොයනා සත්ව ස්වභාවය ඇගේ කවියෙන් අපට දක්නට ලැබෙයි. මිනිසා සහ සත්වයා අතර වන මේ අසිරිමත් බැඳීම යනු සාහිත්‍යෙය් නොයෙක්වර භාවිතාවට ගැනෙනා කරුණකි. මිනිසා අශ්වයා ඔවුටා සහ සුනඛයා මෙහිදී අපට සාහිත්‍ය තුළ හමුවන චරිත බවට පත්වෙයි. ආලෝකා සිය කවියට විෂය කරගන්නී සුනඛ ධේනුවකි.
ස්ත්‍රී නම් කවියෙහිදී ඇය පිරිමි ආධිපත්‍යය සහිත ලෝකයක නිරන්තරවම වරදකාරිය බවට පත්වන කාන්තාව වෙනුවෙන් සිය අකුරු මුවහත් කරන්නීය.
සියලු දේට වැරදි කාන්තාවක් වූ මාද…
කාන්තාව අතවරයට ලක්වූ තැනදීත්
වරදකරු බවට පත්වන්නේ කාන්තාවමය.
(පිටුව 22)
ඇය අයිස් වූ හදවත නම් කවියෙහිද කතා කරනුයේ සමාජ විපරීතභාවය හමුවේ ගල්වූ හදවතක් ඇත්තියක බවට පත්වන කාන්තාව පිළිබඳවය. දොස් පවරන්නට සැදී පැහැදී සිටිනා සමාජය අමතමින් ඇය ගොනු කරනා චෝදනාවන්හී ඉලක්කය යනු අන් කිසිවක් නොව සමාජයමය. ඇගේ මේ කවිය සමාජ විපරිණාමය සහ ඊට බලපානා තත්වයන් කෙරේ අවදි වූ මනසින් පසුවන්නියකගේ මැදිහත්වීමක් ලෙස ගත හැකිය.
ඇය කෙටි කවිය කෙරෙහිද ආශක්ත බවක් දක්වයි. ඇගේ කවි සියල්ලම පාහේ සංක්ෂිප්ත ගුණය රැඳි කවි බව කිව යුතුය. ඇය විෂාදය නම් කවිය ඉදිරිපත් කරනුයේ මේ අයුරිනි.
කළුවර කාමරයකි
තනි වුන හදවතකි
නිහඬ ශබ්ද රැසකි
බිඳී ගිය සබඳතාවකි
විෂාදයෙන් පෙනෙ තරුණියකි
ඇය සිය කවියෙන් මතුකරලන්නී කාන්තාව තවත් එක් පරිභෝජන භාණ්ඩයක් සේ ගන්නා නූතන සමාජයෙහි කතකගේ ඉරණමෙහි අඳුරු පැහැයයි.
කවුද වැරදිකරු නම් කවෙහිදී ඇය සිය අවධානය යොමු කරන්නී මනමේ කතා පුවතටය. ඇය එහිදී සෘජුවම වරද පටවන්නී මනමේ, වැදිරජු නැතිනම් කුමරිය යන මේ කිසිවකුට නොව කුමරියගේ ජීවිතය විනාශ කල දිසාපාමොක් වෙතය. සම්ප්‍රදාය හිසින් ගත් පාසල් පද්ධතියක සිටිමින් ඇය මෙසේ ලිවීමම අගය කල යුත්තේ වෙනස් ලෙස සිතන්නට පාසල මාරක බාධකයක්ව පවතින නිසාවෙනි. කෙසේ වෙතත් ඇගේ කවි එකුතව පල කරන්නට මැදිහත් වන්නේද පාසලමය. එහෙයින් ඒ ගැන පාසල සහ ඊට සම්බන්ධ සියළු දෙනා අගය කිරීමට ලක්විය යුතුව තිබේ.
පරාක්‍රම කොඩිතුවක්කු කවියා දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් යනුවෙන් අපූරු කවියක් රචනා කරයි. එය ජීවිතය අත්හැරීම වෙනුවට ජීවිතයට නිබයව මුහුණ දීම යෝජනා කරන්නකි. ආලෝකාගේ අත්හැරීම නම් කවියද ඒ ගුණයෙන් පොහොසත් කවියක් ලෙස හඳුන්වා දිය හැකිය. ඇයද සිය කවියෙහි මතුකරලන්නී වියෝව හමුවේ හදවතට නොව බුද්ධියට ඉඩ සැලසීමේ වැදගත්කමමය. එක්තරා වීදියක නම් කවෙහිදී ඇය සානුකම්පිතව බලන්නී සමාජයේ විෂමතා හමුවේ ලේ මස් දන්දී දිවි රැක ගන්නට බල කෙරෙනා කාන්තාවන්ගේ ඛේදනීය තත්වය කෙරෙහිය. ඇගේ තවත් කවියකදී ඇය කතා කරන්නී ගබ්සාව පිලිබඳවය. එහිදී ඇය ගබ්සාවෙහි වගකීම පටවනුයේ චොදනා කරනුයේ එවන් තත්වයකට කාන්තාවක පත් කරනා සමාජය කෙරෙහිමය.
ආලෝකාගේ කවි ගැන අවධානය යොමු කළ යුතු වන්නේ ඇය මේ කවි රචනා කරනුයේ පාසල් සිසුවියක ලෙසින් සිටියදී වීමයි. වර්තමාන වියවුල් මැද පාසල් සිසුවියකට මෙවන් කවි ලිවීම ලෙහෙසි නැත. පද්ධතිය නිර් මාණයවී ඇත්තේම වෙනස් ලෙස සිතන්නවුන් තලා මට්ටම් කර දැමීමටය. එහෙත් ආලෝකා ඒ නොතකා සිය හැඟුම් කවුළු විවරකරන්නීය.
කෙසේ වෙතත් ඇය තම කවියෙහි පරිස්සම් විය යුතු කරුණක් තිබේ. ඒ තම කවිය හුදු ප්‍රකාශන ආකෘතියෙන් මුදා කාව්‍යමය මගට ගැනීම කෙරෙහිය. ඇගේ බොහෝ කවි වල දක්නට ලැබෙනා දුබලතාව වනුයේ එහි ඇති ප්‍රකාශන ස්වරූපයයි. එහෙයින් පාඨකයාට එය වඩාත් දැනෙනුයේ කාව්‍යමය එළඹුමකට වඩා කෙටි සටහන් ලෙසටය. එහෙත් දැක්මක් ඇති යෛෟවනියක ලෙස ඇයට මේ තත්වය පහසුවෙන් මගහරවා ගත හැකිබව සහතිකය. ඒ සඳහා විවිධ කාව්‍ය නිර් මාණ කියවීම මෙන්ම ලිවීම සමීප අභ්‍යාසයක් කරගැනීම ඇයට මහත් පිටිවහලක් වනු ඇත.