ධවල මන්දිර ගැටුම – පැරදුණේ කවුද ?

Share post:

ඊයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම සහ සෙලෙන්ස්කි ප්‍රමුඛ යුක්‍රේන කණ්ඩායම අතර ද්වීපාර්ශවික හමුව මම සජීවීව නැරඹුවා.

මේ සාකච්ඡාවේ උණුසුම් ස්වභාවයක්, මාධ්‍යයට රසවත් පුවතක් නිර්මාණය වනු ඇති බවට මුලු ලෝකයේම අදහසක් තිබුණා.
එයට හේතුව ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර කවදත් හොඳ හිතක් නොතිබීම, ඔවුන්ගේ ප්‍රතිපත්ති අතර විෂමතා. ඒ වගේම මේ සාකච්ඡාව ඇරඹීමට සතියකට පෙර පවා නායකයන් දෙදෙනා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ එකිනෙකා විවේචනය කරගත්තා.
නමුත් සාකච්ඡාවට පෙර ඉතාම රාජ්‍ය තාන්ත්‍රික අයුරින් ට්‍රම්ප් එම පුද්ගලික ආරෝවන් අමනාප සියල්ල නොසලකා මේ සාකච්ඡාව වෙනුවෙන් පසුබිම හැදුවා.

ඒ ඔහුට මේ යුද්ධය අවසන් කිරීමට දැඩි අවශ්‍යතාවයක් තිබෙන නිසා. සතියකට පෙර සෙලෙන්ස්කිට ‘ඒකාධිපතියා’ සහ ‘විකට නළුවා’ යැයි කියූ ට්‍රම්ප් ම ඔහුට ආසන්න දිනවල ‘නිර්භීත පුද්ගලයෙක්’ යැයි කිව්වා.
ට්‍රම්ප් සාමාන්‍යයෙන් සිය වචන වෙනස් කරන නායකයෙක් නොවෙයි. ඔහු සෙලෙන්ස්කි පිළිබඳ මාධ්‍යයට ලබා දුන් ආකල්පය පවා වෙනස් කළේ මේ සාම සාකච්ඡා වෙනුවෙන්.

කෙසේවෙතත් සෙලෙන්ස්කි මේ සාකච්ඡාව ආරම්භයේ සිටම වැරදි කිහිපයක් කළා. මේ ගැටුමට, ගැටලුවට සම්පූර්ණ වැරදිකරුවා සෙලෙන්ස්කි.
පළමුවැන්න, සෙලෙන්ස්කි මේ සාකච්ඡාව සඳහා තෝරාගත් ඇඳුම. ඔහු සාම්ප්‍රදායික බටහිර නිල ඇඳුම (Full suit) තෝරා නොගැනීම.
ඊට ඔහු සරල (Casual) ඇඳුමක් තෝරාගෙන තිබුණා.

සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයන් සංචාර සඳහා සම්පූර්ණ නිල ඇඳුම හෝ අනන්‍ය සංස්කෘතියක් ඇති නායකයෙකු නම් සිය ජාතික ඇඳුම ඇඳීම මූලික රාජ්‍ය තාන්ත්‍රික ආචාරධර්මයක්. (නරේන්ද්‍ර මෝදි වැනි නායකයන් එලෙස ජාතික ඇඳුම තෝරාගන්නවා)
සැබවින්ම රාජ්‍ය නායකයෙක් තමන්ගේ නිල ඇඳුමෙන් පෙන්වන්නේ තමන් කොතරම් ලස්සනට අඳිනවාද, ඇඳුම් වෙනුවෙන් කොතරම් මුදල් වැය කරනවාද යන්න නොවේ. තමන් සංචාරය කරන රටට සහ එහි නායකයාට ඇති ගෞරවය.

යම් රාජ්‍ය නායකයෙක් සම්පූර්ණ නිල ඇඳුමක් වෙනුවට සරල ඇඳුමක් ඇඳීම තමන්ට කරන අගෞරවයක් ලෙස සත්කාරක රට විසින් දකිනවා. එය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල මූලික නියමයක්

සෙලෙන්ස්කි එම වරද කළා. අනිත් අතට මේ රැස්වීම පැවැත්වුණේ ධවල මන්දිරයේ ඉතා ගෞරවාන්විත ඕවල් කාර්යාලයේ.
ඕවල් කාර්යාලයට රාජ්‍ය නායකයෙක් සරල ඇඳුමකින් පැමිණීම ට්‍රම්ප්ට වගේම ඇමෙරිකාවටත් කළ අගෞරවයක්. ට්‍රම්ප් එය ඉවසුවේ නැහැ.
ඔහු ආරම්භයේ සිටම එය උපහාසයට ලක් කළා. ඔහු පළමු මිනිත්තුවේදීම සෙලෙන්ස්කිට ‘මම ඔබේ ඇඳුමට කැමතියි, ඔබ ලස්සනට ඇඳලා’ කිව්වා.
එය හාස්‍යය මුසු උපහාසයක්. එමෙන්ම එය රාජ්‍ය නායකයන් දෙදෙනෙකු අතර හුවමාරු වන සංවාදයකට වඩා වැඩිහිටියෙක් සහ දරුවෙකු අතර සිදුවන සංවාදයක්.

රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වල නායකයන් දෙදෙනෙක් සමාන වූවත්, පළමු මිනිත්තුවේදීම ට්‍රම්ප් සෙලෙන්ස්කිට වඩා ඉදිරියෙන් සිටින බව හැඟවූයේ එම වාක්‍යයෙන්.
ඉන්පසුව පවා ට්‍රම්ප් මේ සාකච්ඡාව යහපත් තැනකට ගෙන ඒමට උත්සාහ කළා. නමුත් සෙලෙන්ස්කිට ආරම්භයේ සිටම අවශ්‍ය වූයේ එය කඩාකප්පල් කිරීම බව පැහැදිලියි.

ඔහු මාධ්‍ය ඉදිරියේ දිගින් දිගටම රුසියාව විවේචනය කළා. මෙවැනි සාම සාකච්ඡාවක් අභියස සැබෑවටම සාමය අවශ්‍ය පුද්ගලයෙක් ප්‍රතිවාදියා දරුණු ලෙස විවේචනය කරන්නේ නැහැ.
එය සාම සාකච්ඡාවට බාධාවක්. එමෙන්ම තෙවන පාර්ශවය වී සිටින ඇමෙරිකාවට සහ එහි නායකයාට කරන අගෞරවයක්.
උප ජනාධිපති ජේ.ඩි වාන්ස් සංවාදයට මැදිහත් වන්නේ එතනදී.

මාධ්‍ය ඉදිරියේ සිය රටට සහ සිය නායකයාට (ජනපති ට්‍රම්ප්ට) සිදුවන අපහාසය ඉවසීමට වාන්ස් කිසිම විටෙක සුදානම් වුණේ නැහැ.
ජේ.ඩි වාන්ස් දැඩි පෞරුෂයක් සහිත පුද්ගලයෙක්. හිටපු මැරීන් සෙබලෙක්. බොහෝ ඇමෙරිකානුවන් ඔහු දකින්නේ මීළග ජනපති ලෙස.
ඔහු පැහැදිලිව සෙලෙන්ස්කිට විරෝධය මතු කළා. සෙලෙන්ස්කි විසින් ට්‍රම්ප් ට එක් වරක් හෝ ස්තූතිය පළ නොකොට, මෙලෙස අගෞරවාන්විතව හැසිරීම පිළිබඳ සිය අප්‍රසාදය පළ කළා.
සෙලෙන්ස්කි ඒ අවස්ථාවේදී පවා ගැටුමකට උත්සාහ කළා.

ඔහු ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව ලංසුවකට තබා ගනිමින් ඇමෙරිකාව බිය ගැන්වීමට පවා උත්සාහ කළා. පූටින් ඇමෙරිකාවට පහර දෙනු ඇති බවට මාධ්‍ය ඉදිරියේ අනියමින් ප්‍රකාශ කරමින්, දරුණු කතාවක් කිව්වා.
එයත් සෙලෙන්ස්කි මේ රාජ්‍ය නායක හමුවේ සිදුකළ ඓතිහාසික වරදක්.
ට්‍රම්ප් ට සංවාදයට මැදිහත් වීමට සිදුවුණේ එතනදී. ඔහු සෙලෙන්ස්කි දැඩිව විවේචනය කළා. ඔබ තෙවන ලෝක යුද්ධය ඇති කිරීමට කටයුතු කරමින්, ලෝක යුද්ධයක් සමග සූදු කෙළිමින් සිටින බවට චෝදනා කළා. (Gambling with WW3)
ඒ මොහොතේ ඇමෙරිකානු නායකයා සහ උප ජනාධිපතිවරයා සෙලෙන්ස්කි නැවතත් ඔහුගේ ස්ථානයට ඇද දැමුවා.

සෙලෙන්ස්කි රාජ්‍ය තාන්ත්‍රිකව පරාජය වුණා. ඇතැම් විටෙක අප එය පරාජයක් ලෙස දුටුවත් සැබැවින්ම ඔහුට අවශ්‍ය වූයේත්, යුරෝපා නායකයන් ඔහුට උපදෙස් ලබා දුන්නේත් මේ සඳහා විය හැකියි.

දැන් යුද්ධය දිගටම පවත්වාගෙන යාමට පූටින්ට කිසිඳු බාධාවක් හෝ වගවීමක් නැහැ.
අනෙක් පැත්තෙන් සෙලෙන්ස්කි මෙය මාධ්‍ය ඉදිරියේ, මාධ්‍ය සංදර්ශනයක් ලෙස කළා නම් එයත් ඔහු පරාජය වුණා.

ඇතැම් විටෙක ඔහුගේ උත්සාහය වන්නට ඇත්තේ මාධ්‍ය ඉදිරියේ ට්‍රම්ප් අපහසුතාවයට පත් කරමින්, ඔහුගේ ප්‍රතිපත්ති පිළිබඳ ඇමෙරිකානුවන් අතර අප්‍රසාදයක් ඇති කිරීම විය හැකියි.

නමුත් ට්‍රම්ප් සමග විවාදයකින් ජය ගැනීමට හෝ වැඩි ලකුණු රැස් කිරීමට සෙලෙන්ස්කි ට කිසිඳු හැකියාවක් නැහැ.
එයටත් හේතුවක් තිබෙනවා.

මෙවැනි සංවාද කොතරම් රාජ්‍ය තාන්ත්‍රික වූවත්, අප කොතරම් අකමැති වුනත් එවැනි තැනක සාමාන්‍ය මිනිස් ඇසට පෙනෙන්නේ සහ හැඟෙන්නේ මූලික මානව චර්යා. එය විද්‍යාත්මක කාරණයක්.
නායකයන් දෙදෙනා අතර පෞරුෂයෙන් ට්‍රම්ප් ඉදිරියෙන් සිටිනවා.
ට්‍රම්ප් සෙලෙන්ස්කිට වඩා උසින් වැඩියි. ශරීර ප්‍රමාණයෙන් වැඩියි. ඉතින් කැමරාවක වැඩි ඉඩක් ට්‍රම්ප්ට වෙන් වෙනවා.

දෙවැන්න ට්‍රම්ප් ගේ කටහඬ. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ කටහඬ ගැඹුරුයි. ඒ වගේම උස් හඩක් ඔහුට තිබෙනවා. සෙලෙන්ස්කිට එවැනි උස් ගැඹුරු හඬක් නැහැ.
ඉතින් මෙවැනි සංවාදයක සෙලෙන්ස්කිගේ හඬ පරයා සාමාන්‍ය මිනිස් කනට ඇහෙන්නේ ට්‍රම්ප් ගේ හඩ. එය විවාදයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට ප්‍රබල හේතුවක්.

තෙවැන්න ශාරීරික භාෂාව (Body language). සෙලෙන්ස්කි ඉතා දුර්වල ශාරීරික භාෂාවක් ඇති පුද්ගලයෙක්.
සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙකුට දුර්වල ශාරීරික භාෂාවක් තියෙන්නට බැහැ. රටක් නියෝජනය කරන රාජ්‍ය නායකයෙකුගේ ශාරීරික භාෂාව ප්‍රබල සහ ස්ථිර (Firm) විය යුතුයි.

පුටුවේ වාඩි වන මොහොතේම සෙලෙන්ස්කි ගන්නේ අඩු ඉඩක්. එය දුර්වල ශාරීරික භාෂාවක ලක්ෂණයක්.
සාමාන්‍යයෙන් ශක්තිමත් පෞරුෂයක් ඇති පුද්ගලයෙක් තමන් සිටිනා තැන වැඩි ඉඩක් (Space) වෙන් කරගන්නවා.

එමෙන්ම රාජ්‍ය නායකයෙකු ඇස් සහ බැල්ම සෘජු විය යුතුයි. සාකච්ඡාව ආරම්භයේ සිටම සෙලෙන්ස්කි වටපිට බලමින් දුර්වල පෞරුෂයක් ප්‍රදර්ශනය කළා.
එමෙන්ම ජේ.ඩි වාන්ස් සහ සෙලෙන්ස්කි අතර මතගැටුම ඇති වූ මොහොතේම සෙලෙන්ස්කි දෑත් බැඳ ගත්තා. එයත් දුර්වල පෞරුෂයක සහ ශාරීරික භාෂාවක ලක්ෂණයක්.

අවසානයේ සෙලෙන්ස්කි රාජ්‍ය තාන්ත්‍රිකව පරාජය වුණා. එමෙන්ම ඔහු මාධ්‍ය මෙහෙයුමෙන් ද පරාජය වුණා.
එහි අවසන් පරාජය වොලැදිමියර් සෙලෙන්ස්කි නම් තනි මිනිසාට නොවෙයි.

පරාජයේ පල විපාක යුක්‍රේනය නම් රාජ්‍යයට, මේ මොහොතේ යුද පෙරමුණේ රුසියාව සමග සටන් කරමින් තත්පරයක් ගානේ ජීවිත අහිමි කරගන්නා යුක්‍රේන තාරුණ්‍යයට, දෙමාපියන් අහිමි වන දරුවන්ට, දරුවන් අහිමි වන දෙමාපියන්ට, රැකියා අහිමි වන මිනිසුන්ට, කුසගින්නේ සිටිනා මිනිසුන්ට සහ අනාගතයේ ඉපිදීමට සිටිනා දරුවන්ට විඳීමට සිදුවේවි.

Ireshan Siriwardhana (fb)

2025. 03. 01

Related articles

ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් අතුරුදන් වූ කීත් නොයාර් !

කීත් නොයාර් මේ වන විට අතුරුදහන් කළ මාධ්‍යවේදියෙකි.ඔහු ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් කීත් නොයාර් නාමය අතුරුදහන් වී ඇත.2008...

‘අයිස් වූ හදවත’ – ආලෝකා නයනහාරී

යෞවන සමය ජීවිතයේ අභිරමණීය අවධියකැයි සාමාන්‍ය පිලිගැනීමයි. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වුවත් යෞවනය නිතරම පවත්නා කවර තත්වයක් යටතේ...

මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීම : දේශබන්දු ඇන්ස්ලම් ඇතුළු අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් !

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රාජකාරි කිරීම අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන...

සංවිධානාත්මක අපරාධ අවම කිරීමට අවශ්‍ය දේ අපි නොකරන්නේ ඇයි?

යුද්ධය, යුදමය වශයෙන් අවසාන වීමෙන් පසු පශ්චාත් යුද මානසිකත්වය සම්බන්ධයෙන් ලංකාවේ විධිමත් සංවාදයක් ඇති වූයේ නැත. අවස්ථා කිහිපයකදී...