ගෝලීය මට්ටමේ දේශපාලන වෙනස්කම් නිසා ඇති වූ රික්තකය පිරවීම !

Share post:

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම වෙනුවෙන් නව ක්‍රම සොයාගැනීම සඳහා රජය අවධානය යොමුකර ඇත. මේ අතරට රටේ ඩිජිටල් තාක්ෂණයන් භාවිතය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද ඇතුළත් වේ. මේ සඳහා බලමුලු ගැන්වා ඇති ශ්‍රී ලාංකික විශේෂඥයන් සංඛ්‍යාව ගැන රජය ආඩම්බර වේ. ජංගම දුරකථන සම්බන්ධතා සැපයුම්කරුවකු ලෙස ‘ඩයලොග් ශ්‍රී ලංකා’ දේශීය සන්නාමයක් බවට පත්කළ ආචාර්ය හාන්ස් විජයසූරිය, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක ලෙස පත්කර ඇත. කොළඹ පැවැති “බෙදාගත් සමෘද්ධිය සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් ගොඩනැගීම”  මැයෙන් වූ 2025 BIMSTEC ඩිජිටල් සමුළුවේදී ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ දළ සටහනක් අනාවරණය කළේය.

BIMSTEC (බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක මුලපිරීම) යනු දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් හතකින් සමන්විත කලාපීය සංවිධානයක් වන අතර, එය ඉන්දියාවේ නායකත්වයෙන් යුක්ත, බෙංගාල බොක්ක කලාපයේ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණු කරගත් සහයෝගීතාවකි. මෙම කණ්ඩායමේ රටවල් වන්නේ බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තයයි. චීනයේ ‘තීරයක් සහ මාර්ගයක් මුලපිරීම'(Belt and Road Initiative) වැනි අන්තර්ජාතික සහයෝගය බලමුලු ගැන්වීම අරමුණු කරගත් අනෙකුත් කලාපීය වැඩසටහන් සැළකිල්ලට ගනිමින් ඉන්දියාව කලාපීය සහයෝගීතාව සඳහා ප්‍රධාන වේදිකාවක් ලෙස BIMSTEC ප්‍රවර්ධනය කර ඇත. එය දකුණු සහ අග්නිදිග ආසියාව සමඟ සම්බන්ධතාවය වැඩිදියුණු කරමින්, ඉන්දියාවේ ‘අසල්වැසි පළමු’ සහ “නැගෙනහිර සමග ක්‍රියාකරන්න’ යන ප්‍රතිපත්ති සමඟ පෙළගස්වා තිබේ. BIMSTEC හි සහයෝගීතා රාමුව යටතේ ත්‍රස්තවාදයට එරෙහිවීම, ආපදා කළමනාකරණය සහ සයිබර් ආරක්ෂාව සඳහා ඉන්දියාව වැඩසටහන් මෙහෙයවනු ලබයි.

මෙම සමුළුවේ වැදගත්කම වූයේ, ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පහත වැටීම හේතුවෙන් එවැනි අන්තර්ජාතික සමුළු පැවැත්වීමට ශ්‍රී ලංකාවට නොහැකි අවස්ථාවක එය ශ්‍රී ලංකාවේ පැවැත්වීමයි. අසල්වැසි රටවල් ගණනාවක විශේෂඥයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවූයේ ඉන්දියානු හොඳහිත සහ අරමුදල් නිසාය. සමුළුවේදී සාකච්ඡා කරන ලද මාතෘකා අතර ඩිජිටල් පොදු යටිතල පහසුකම්, ඩිජිටල් අනන්‍යතාව, ඩිජිටල් ගෙවීම්, ව්‍යාපාරවල ඩිජිටල් පරිවර්තනය සහ ඩිජිටල් පාලනය ඇතුළත් විය. ඩිජිටල්කරණයේ ප්‍රධාන ලක්ෂණ අතර ආර්ථික කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ දූෂණය අඩුකිරීමට හැකිවීම වැදගත් වේ. ඩිජිටල්කරණයේ මෙම අංගය නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් ඉස්මතු කරන ලද අතර, නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ඉදිරිපත් කිරීමේදී දූෂණය තුරන්කිරීම සඳහා රජයේ කැපවීම අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පුළුල් කිරීමට සහ ශක්තිමත් කිරීමට සහායවීම සඳහා ඉන්දියාවේ කාර්යභාරය, පවතින සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීම සහ බුද්ධිමය සම්පත් වැඩිකිරීම තුළින් රටේ සංවර්ධන අපේක්ෂාවන් වැඩිදියුණු කිරීමට සැළකිව යුතු අවස්ථාවක් සපයයි. වේගයෙන් වර්ධනය වන ඩිජිටල් යටිතල පහසුකම් සහිත කලාපීය බලවතකු ලෙස, ඉන්දියාවට ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ ආදර්ශයක් සහ ප්‍රධාන හවුල්කරුවකු ලෙස පහසුකම් සැපැයිය හැකිය. BIMSTEC ලේකම් කාර්යාලයේ වත්මන් අධ්‍යක්ෂ ආචාර්ය සජ් මෙන්ඩිස් අවධාරණය කර ඇත්තේ, ඉන්දියාව ගෝලීය ඩිජිටල්කරණයේ ඉදිරියෙන්ම සිටින බවත්, වේගවත් තාක්ෂණික දියුණුව සහ ඩිජිටල් මූල්‍ය ඇතුළත් කිරීම තුළින් ලොව ප්‍රමුඛ ආර්ථිකයන් අතර ස්ථානගත වී ඇති බවත්ය.

ගෝලීය භූ විශේෂතා අනුව කලාපීය කණ්ඩායම්වලට බෙදීගොස් තමන්ගේම උපායමාර්ගික අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන ප්‍රධාන බලවතුන් විසින් ලෝක ආධිපත්‍යය දරන යුගයක, අසල්වැසි ඉන්දියාව සමඟ සහයෝගීතාව ගැඹුරු කිරීම ශ්‍රී ලංකාවට ප්‍රායෝගික සහ ප්‍රයෝජනවත් වේ. 2022 දී ඇතිවූ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තුළ ඉන්දියාවේ වැදගත්කම වඩාත් පැහැදිලිව දැකගත හැකිවිය. එහිදී ඉන්දියාව දැවැන්ත හා ක්ෂණික මූල්‍ය ආධාර ලබාදෙන එකම සහ වැදගත්ම රට ලෙස ඉදිරියට පැමිණි අතර, සෘජු විදේශ මුදල් හුවමාරු කිරීම් හරහා ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු තීරණාත්මක භාණ්ඩ ආනයන සඳහා පහසුකම් සැලසීය. කුඩා රටවල් පසෙකට තල්ලු කරනු ලබන හෝ නොසළකා හරිනු ලබන භූ දේශපාලනික සන්දර්භයක් තුළ එවැනි සහයෝගයක් මිලකළ නොහැකි ය. ශ්‍රී ලංකාවේ කලාපීය සහකරු ලෙස ඉන්දියාවේ භූමිකාව, අනාගතයේදී එරට සමඟ සමීප ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාවයක අවශ්‍යතාව ශක්තිමත් කරයි.

බොහෝ විට ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමේදී ඉන්දියාවේ භූමිකාව පිළිබඳ අතීත මතභේද සැළකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව සිය ප්‍රතිපත්ති වාර්ගික හා සංස්කෘතික සම්බන්ධතාවල සිට වඩාත් නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති දක්වා වෙනස් කර ඇති බවට වන මෑත කාලීන ඇඟවීම් දැකගත හැකිය. ජනාධිපති අනුර දිසානායක පසුගිය මාසයේ ඉන්දියාවේ කළ සංචාරයේදී මෙය පැහැදිලි විය. එහිදී නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය ඔස්සේ දෙරට අතර ඇති කරගත් හෝ ඉක්මණින් අත්සන් කිරීමට පොරොන්දු වූ වෙළඳ හා ආර්ථික ගිවිසුම් කෙරෙහි මූලික අවධානය යොමුකළේය. ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සම්බන්ධයෙන් වැදගත් වන ආරක්ෂක අංශ පිළිබඳව ද එහි සඳහන් විය. එහෙත් අසල්වැසි දිවයිනේ ජනවාර්ගික ගැටුමට සාමය ගොඩනැගීම සහ අභ්‍යන්තර දේශපාලන විසඳුමක් පිළිබඳව එහි කිසිදු සඳහනක් නොතිබිණි. ඉන්දියාව තම ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය යැයි සළකන ප්‍රදේශයක් වන දකුණු ආසියාව සහ ඉන්දියානු සාගරය තුළ සිය බලපෑම පුළුල් කිරීමේ චීනයේ පුළුල් උපාය මාර්ගයේ කොටසක් ලෙස හඳුනාගන්නා ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි අවධානයක් යොමුකරයි.

ජනාධිපති දිසානායකගේ ඉන්දීය සංචාරය අවසානයේ නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ කැපීපෙනෙන ලක්ෂණයක් වූයේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රජාවන් අතර බලය බෙදාගැනීම තරමක් හෝ සහතික කරන පළාත් සභා මැතිවරණ පැවැත්වීම පිළිබඳව කිසිදු සඳහනක් එහි නොමැති වීමයි. 13 වැනි සංශෝධනය 1987 ඉන්දු-ලංකා සාම ගිවිසුමේ ප්‍රතිඵලයක් වූ අතර, එමඟින් ඉන්දියාව විසින් දිග්ගැස්සුණු ජනවාර්ගික ගැටුමට විසඳුමක් සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පාලනයට බලපෑම් කිරීමට උත්සාහ කළේය. බහුතර ප්‍රජාවට සාපේක්ෂව කුඩා දෙමළ සුළුතරයට ජාතික හෝ උප-ජාතික තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි හවුල්කරුවන් වීමට නොහැකි වීම තුළ ජනවාර්ගික ගැටුමේ මූලයන් පවතී. ඉන්දියාව ශ්‍රී ලංකා රජයට පීඩනය යෙදීමට අපොහොසත් වීම දෙමළ ජනතාව බහුතරයක් වන ප්‍රදේශවල බලය බෙදාහරින ලද ස්වයං පාලනයක් සඳහා වූ ඔවුන්ගේ බලාපොරොත්තුව නිෂේධනය කිරීමට හේතු වනු ඇතැයි දෙමළ දේශපාලන පක්ෂ අතර කනස්සල්ලක් පවතී.

රටේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ජනවාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ඇති බාහිර බලපෑම්, එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසුව සහ වර්තමානයේ සිදුවෙමින් පවතින එක්සත් ජනපද ප්‍රතිපත්තිවල රැඩිකල් වෙනස හේතුවෙන් තවදුරටත් අඩුවීමට ඉඩ ඇත. දේශපාලන ප්‍රතිසංස්කරණ තුළින් පශ්චාත් යුධ වගවීම සහ සංහිඳියාව ඉල්ලා සිටිමින් 2011 සිට ශ්‍රී ලංකාව පිළිබඳ නැවත නැවතත් යෝජනා සඳහා නායකත්වය දුන් එක්සත් ජනපද රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. මෙය රට තුළ පවතින මතභේදාත්මක එම ක්ෂේත්‍ර දෙක සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා රජයට එල්ලවන පීඩනය අඩුකිරීමට ඉඩ ඇත. නව එක්සත් ජනපද පාලනය තමන්ගේම අන්තර්ජාතික පරිත්‍යාගශීලී ආයතනයක් වන USAID හරහා ලබාදුන් විදේශ ආධාර අත්හිටුවා ඇති අතර, එය බහුත්ව සමාජයක් සඳහා අවශ්‍ය දේශපාලන ව්‍යුහයන් පිළිබඳ අවබෝධයක් ඇති කරන, තිරසාර සාමය සඳහා විවිධ රටවල අත්දැකීම්වලින් ආශ්වාදයක් ලබාගන්නා ශ්‍රී ලංකා සිවිල් සමාජ සංවිධාන කෙරෙහි බලපායි. නව පාලනය දේශපාලන ප්‍රතිසංස්කරණ දෙසට මාරුවීමක් සංඥා කරන විට, මෙම කැපවීම් අර්ථවත් ක්‍රියාවක් බවට පරිවර්තනය කිරීම සහතික කිරීමේදී සිවිල් සමාජයට සැළකිව යුතු කාර්යභාරයක් ඉටුකළ හැකිය.

සාමය ගොඩනැගීමේ සහ ජාතික සංහිඳියාවේ ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉතිරි කර ඇති රික්තය දැන් එම ක්ෂේත්‍රයට නව පිවිසුමක් මගින් පුරවනු ඇත. ජාතික ජනවාර්ගික කටයුතු කොමිසම භාර චීන අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිසක් පෙබරවාරි 19 සිට 23 දක්වා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ජනමාධ්‍ය වාර්තා කළේය. ජනවාර්ගික කටයුතු සඳහා කැප වූ එවැනි අමාත්‍යාංශයක් චීනයට ඇති බව නොදැන සිටි ශ්‍රී ලාංකික ජනතාවට මෙය ඇස් ඇරීමක් වනු ඇත. නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී අමාත්‍ය පෑන් යූ, ජනවාර්ගික සමගිය සහ සංහිඳියාව සඳහා වන උත්සාහයන් සම්බන්ධ මාතෘකා පිළිබඳව ශ්‍රී ලංකා සගයන් සමඟ සාකච්ඡා පවත්වනු ඇත. “චීනය තවදුරටත් ජීවනෝපාය ආධාර වැඩසටහන් සමඟ ශ්‍රී ලංකාවේ උතුරට අඛණ්ඩව මැදිහත්වන” බව ද ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් විය. නව එක්සත් ජනපද පාලනය තම විදේශ ආධාර තමන්ගේම ජාතික අවශ්‍යතා සමඟ පෙළගැස්විය යුතු බව අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාව දුරස්ථ දූපතක් වන බැවින්, එය එක්සත් ජනපද රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම සිටීමට ඉඩක් නැත. එහෙත් අසල්වැසි ඉන්දියාවට, ශ්‍රී ලංකාව ඉහළ ප්‍රමුඛතාවයක් ලබාදෙන අතර, මෙම තත්වයන් වාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් ලබාගැනීම සඳහා ඉන්දියානු උනන්දුව නැවත වරක් ඇති කළ හැකිය.

  • ජෙහාන් පෙරේරා

Related articles

Yakaduru Yala Booking.comහි 9.6ක ඉහළ ශේණිගත කිරීමක් ලබයි !

යාල ජාතික වනෝද්‍යානයේ මායිමෙහි පිහිටි, තිරසාර සංචාරක කර්මාන්තයට හොඳම උදාහරණයක් වන යකැදුරු යාල සෆාරි කඳවුර 2025 වර්ෂයේ booking.com...

ගනේමුල්ල සංජීව – අපරාධ නඩු විධාන සංග්‍රහය – වෙඩික්කරුගේ උපක්‍රමය !

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදු වූ වෙඩිතැබීමට ආධාර සහ අනුබල දුන් කාන්තාවක් හඳුනාගෙන ඇති...

කුල්ටූර් අගනුවරා’වියන්ගේ ප්‍රොජෙක්ට් තුළ වියැක ගිය පෙරිමියන්කුලමේ කැලෑ කුසුම

'පැපිලියවල ඩෙන්සිල් රාමනායක, පෙරිමියන්කුලමේ සීතා රංජනී, මාගාල්ලේ පත්මාවෝ මහේෂ්වරී……' යනාදී වශයෙන් මීට දශක හතරකට පහකට පෙර ලංකා ගුවන්...

මේක ජනාධිපතිගෙ තීරණයක් – අපි ඒක අභියෝගයට ලක්කරන්නෙ නෑ : මහජන ආරක්ෂක ඇමැතිගේ මන්ත්‍රී ධුරයට මොකද වෙන්නෙ?

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන...