මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් ගොනු කරනු ලැබ තිබූ මෙම පෙත්සම ඊයේ (17) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.එම්.එස්. දිසානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම තුළ ඉතා වැදගත් අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් වග උත්තරකරුවන් ලෙස නම් කර නොමැති බව සඳහන් කළේ ය.
ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම්වරයා නම් කර නොතිබීම බරපතළ නීතිමය ඌණතාවක් බව සඳහන් කළේ ය.
ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සිය මූලික විරෝධතා දක්වමින් සඳහන් කළේ ය.
මෙම අවස්ථාවේදී වගඋත්තරකාර අමාත්‍ය ආනන්ද විජේපාල වෙනුවෙන් නීතිඥ චාමර නානායක්කාරවසම් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බැවින් ජනාධිපතිවරයාගේ නිල ක්‍රියාවක් අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළහ.
ඒ අනුව, මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සිය මූලික විරෝධතා ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විශ්ව පෙරේරා සඳහන් කළේ, වග උත්තරකාර අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කිරීම තමන් විසින් කිසිසේත් ම අභියෝගයට ලක් නොකරන බව ය.
තමා අවධාරණය කරන්නේ වග උත්තරකාර අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති බව පමණක් යැයි ද නීතිඥවරයා සඳහන් කර සිටියේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා කියා සිටියේ, මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් වග උත්තරකරුවන් මූලික විරෝධතා මතු කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් මුලින් ම තීන්දුවක් ලබා දීමට තමාට සිදුවන බව ය.
ඒ අනුව, මූලික විරෝධතාවලට අදාළව ලිඛිත දේශන තිබේ නම් ඒවා මාර්තු මස 18 වන දා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සමේ සියලු පාර්ශවකරුවන්ට නියෝග කරනු ලැබීය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ, වග උත්තරකර ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 18 වන දා පත්කරන ලද බව ය.
පසුව ඉකුත් දෙසැම්බර් මස 10 වන දා නිකුත් වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත් කර තිබෙන බව වාර්තා කර තිබූ බවත් පෙත්සමේ සඳහන් වෙයි.
පසුව මේ පිළිබඳව තමා තොරතුරු දැනගැනීමේ වන යටතේ ඉල්ලීමක් කළ අතර එහිදී අමාත්‍ය ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කර තිබෙන බව තහවුරු කර ගත් බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයේ නිරත අයෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන බව දක්වා ඇතැයි පෙත්සම්කරු ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා යනු රාජ්‍ය තනතුරක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරු ඒ අනුව එවැනි තනතුරක් දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට අමාත්‍ය ආනන්ද විජේපාලට සුදුසුකමක් නොමැති බවට තර්ක කරයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ආනන්ද විජේපාල අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුකොට ඔහුගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම හා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.
එසේ ම, ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.