ණයවලින් ගොඩයන්න මෙන්න පාරක් : ජනාධිපති අනුරට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කියයි !

Share post:

ණය අර්බුදය සම්බන්ධයෙන් ලංකාවේ ඇත්තේ බරපතළ සංවාදයකි. රට ණය කළේ කවුද, රට ණය කළේ ඇයි, රටට ගත් ණය මුදල්වලට මොකද වුණේ යනු මේ සංවාදයේදී මතු වන ප්‍රධාන ප්‍රශ්න තුනකි. ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවට ලෝක බැංකුවෙන් තීරණාත්මක ණය මුදලක් ඉදිරියේදී ලැබීමට නියමිත් බව ද ඒ අතර මාධ්‍ය වාර්තා කර තිබිණි.
‘අපට ලැබෙන ණය කළමනාකරණය කළ යුත්තේ කෙසේද?’ යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද ලිපියකි, මේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය පිළිබඳ අලුත් තත්ත්වයක් තිබේ. එය ඉතිහාසයේ නොතිබූ තත්ත්වයකි. 2022 අප්‍රේල් මාසයේදී ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු එවකට පැවැති ආණ්ඩුව කළේ ලංකාව පිළිබඳව ලෝක බැංකුව සමග වෙන ම කතාකිරීමයි. එහිදී කළ ඉල්ලීම වූයේ ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර තිබුණද, දිළිඳූ රටක් ලෙස සලකන ලෙසයි. ලෝක බැංකු ඉතිහාසයේ ප්‍රථම වරට ඔවුන් ඊට එකඟ විය. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 3,800 මට්ටමේ පවතී. එවැනි රටක් සැලකෙන්නේ පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ය. එවැනි තත්ත්වයකදී සාමාන්‍යයෙන් ලෝක බැංකුවෙන් මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවෙන් ද සහන ණය ලැබෙන්නේ නැත. එහෙත් විශේෂ තත්ත්වය යටතේ ඔවුන් අප සලකන්නේ දිළිඳූ රටක් ලෙස ය.
එම නිසා සහනදායී පොළී මත ණය ලැබේ. සාමාන්‍යයෙන් මෙසේ ලැබෙන ණය ආපසු ගෙවීමට වසර හතළිහක පමණ කාලයක් හිමි වන අතර, වසර කිහිපයක පොළිය පමණක් ගෙවීමේ කාලයක් ද ලැබේ. බංග්ලාදේශය, අප්‍රිකානු රටවල්වලට මේ පදනම යටතේ ය, ණය ලැබෙන්නේ. එම අනුග්‍රහය ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට ද ලැබේ.
එම නිසා ප්‍රධාන වශයෙන් ම පැවසිය යුත්තේ මෙසේ සහනදායී කොන්දේසි මත ලැබෙන ණයට විරුද්ධ වීම නොකළ යුතු බවයි. නමුත් අපි විශේෂයෙන් සැලකිය යුත්තේ අප ණය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

ලංකාවට බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබෙන විට අපේ සමස්ත ණය ප්‍රමාණය තිබුණේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 4කි. බි්‍රතාන්‍යය පාලකයන් ණය පාලනය කළ ද, ශ්‍රී ලාංකික පාලකයන් එය කළේ නැත. අපේ ණය කළමනාකරණයේ තරම කොතෙක්ද කියන්නේ නම්, අද වන විට රටේ සමස්ත ණය ප්‍රතිශතය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 70 ඉක්මවා ඇත. මෙයින් පැහැදිලි වන්නේ ඉතා ප්‍රඥාගෝචර සහ සූක්ෂ්ම ලෙස අපේ ණය අප කළමනාකරණය කර ගත යුතු බවයි.
ඉතිහාසය පුරා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අපට ලැබුණු ණය වැඩි වශයෙන් යොදාගැනුණේ සංවර්ධන ව්‍යාපෘතිවලට ය. උදාහරණයක් ලෙස මහවැලි කඩිනම් ව්‍යාපෘතියට මේ හරහා ණය ලැබුණේය. එහිදී ජර්මනිය සහ ස්විඩනය වැනි රටවලින් ද සහනදායී ණය ලැබිණි. ගැටලුව ඇත්තේ එම ණය මුදලට සාපේක්ෂව අප එයින් වත්කම් උපයාගෙන ඇද්ද යන්නයි.
1977ට පෙර ලංකාවේ නිතරම විදුලිය කප්පාදු කෙරිණි. එහෙත් දැන් එවැනි තත්ත්වයක් නැත. එය ණය නිසා සිදු වූ සාධනීය තත්ත්වයකි. නමුත් එයින් අදහස් වන්නේ අප ණය නිවැරදිව කළමනාකරණය කර ගත් බව ද? කිසිසේත්ම නැත. බි්‍රතාන්‍යයන් විසින් ප්‍රඥාගෝචර ලෙස කළමනාකරණය කළ ණය, අපට ප්‍රඥාගෝචර ලෙස කළමනාකරණය කිරීමට නොහැකි විය.

බි්‍රතාන්‍යයන්ගේ කාලයේ ද අපි විදේශ රටවලින් ණය ගත්තෙමු. උදාහරණයක් ලෙස අපේ සමස්ත දුම්රිය පද්ධතිය ආරම්භයේදී සකස් කෙරුණේ ලන්ඩන් මූල්‍ය වෙළෙඳපොළේ බැඳූම්කර නිකුත් කිරීමෙන් ලද ණය මුදල්වලින් ය. ඒ මොහොතේ ලංකාවේ පැවැති කොලෝනියල් ආණ්ඩුවට, එනම් බි්‍රතාන්‍යයන් විසින් පවත්වාගෙන ගිය පාලනයට දුම්රිය මාර්ග ඉදිකිරීමට මුදල් තිබුණේ නැත. විශේෂයෙන්ම ආරම්භයේදී කොළඹ – මහනුවර දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී මෙය තීරණාත්මක ලෙස බලපෑවේය. එම නිසා ලංකාවේ සිටි ආණ්ඩුකාරවරයා කළේ බි්‍රතාන්‍යයේ යටත් විජිත ලේකම්වරයාගෙන් විශේෂ අවසරයක් ඉල්ලා සිටීම ය. එනම් ලන්ඩන් මූල්‍ය වෙළෙඳපොළෙන් සියයට හයේ පොළියට රන් පවුම් දස ලක්ෂයක් ණයට ගැනීමේ අවසරයයි.
කොන්දේසි දෙකක් මත ලේකම්වරයාගේ අවසරය ලැබිණි. ඒ අතරින් පළමු කොන්දේසිය වූයේ දුම්රිය සේවය ලාබ ලබන සේවයක් ලෙස පවත්වාගෙන යෑමයි. දෙවැනි කොන්දේසිය වූයේ මෙයින් ලැබෙන ලාබයෙන් කොටසක් වෙනම අරමුදලකට බැර කර, එම අරමුදලේ මුදල් වාර්ෂික ව ණය සහ පොළිය ගෙවීම සඳහා යෙදවීමයි. ඊට නිධන් අරමුදල යන නම භාවිත විය.
ලන්ඩන් වෙළෙඳපොළෙන් මෙන්ම දේශීය වෙළෙඳපොළෙන් ද මේ සඳහා ණය ගැනිණි. 1905 වසරේදී ය, ලංකාවේ පැරණි දුම්රියා මාර්ග පද්ධතිය සකස් කොට අවසාන කළේ. ඒ වන විට මුලින් ආරම්භ කළ දුම්රිය මාර්ග සහ දුම්රිය සේවය ක්‍රියාත්මක විය. එම කාලයේදී, එනම් 1905 වසරේ වාර්තා බැලූ විට පෙනෙන්නේ දුම්රිය සේවය රුපියල් මිලියන 39ක් ලාබ ලබා ඇති බවයි. ඒ වන විට පෙර සඳහන් කළ නිධන් අරමුදලේ තිබූ මුදල රුපියල් මිලියන 41කි.
සාමාන්‍ය ජනතාවට බරක් නොදී අදාළ ණය මුදල සහ පොළිය ගෙවන ලද්දේ එසේ ය. එය කොතරම් සූක්ෂ්ම ද?

නිදහස ලැබීමෙන් පසුව ද මේ නිධන් අරමුදල් ක්‍රමය පැවතිණි. නමුත් 1972 දී ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමැති ධුරයට පත්වීමෙන් පසු විදේශ විනිමය නිධන් අරමුදල අහෝසි කෙරිණි. මා මහ බැංකුවට බැඳූණු සමයේදී ද දේශීය නිධන් අරමුදල තිබිණි. එය පාලනය කළේ මහ බැංකුවෙන් ය. මම ද ඊට සම්බන්ධ වීමි. සෑම වසරක ම අයවැය ලේඛනයෙන් මේ නිධන් අරමුදලට මුදල් වෙන්කෙරිණි. උදාහරණයක් ලෙස අයවැය ලේඛනයෙන් රුපියල් මිලියන 100ක් වෙන්කරන විට, නිධන් අරමුදලට රුපියල් මිලියන 20ක් වෙන්කෙරිණි.
දේශීය නිධන් අරමුදල මෙසේ කිසිදු ගැටලුවකින් තොරව 1983 දක්වා පැවතිණි. එහෙත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මුදල් ඇමැති රොනී ද මැල් විසින් එය අහෝසි කර දමන ලදි. ඊට හේතු වූයේ කිසිවකු විසින් ඔහුගේ ඔළුවට දමන ලද අදහසකි. එම අදහස වූයේ මෙසේ වාර්ෂික ව අයවැයෙන් නිධන් අරමුදලට මුදල් වෙන්කිරීමේ තේරුමක් නැති බවත්, ගත් ණය ගෙවීම සඳහා නැවත ණය ගැනීමේ හැකියාවක් ඇති බවත් ය. එම නිසා අයවැය ලේඛනයෙන් මේ අරමුදලට වෙන්කරන මුදල් ද සංවර්ධන කටයුතුවලට වෙන්කළ හැකි බව එම අදහසේ ඊළඟ කොටස විය. අදහස ක්‍රියාත්මක කෙරිණි. නිධන් අරමුදල අහෝසි විය.

ඉන්පසු සිදු වූයේ කුමක්ද? කිසියම් විධිමත් ක්‍රමවේදයකට උපයන මුදල් හරහා ණය සහ පොළී ගෙවීම නතර විය. උදාහරණයක් ලෙස අප රුපියල් මිලියන 100ක ණයක් ගත්තේ නම්, එහි පොළිය රුපියල් මිලියන 50ක් නම්, මේ තීරණයෙන් පසු අපි අදාළ මුදල ගෙවීමට රුපියල් මිලියන 150ක නව ණයක් ගත්තෙමු. එහිදී මුළු ණය මුදල පමණක් නොව, පොළිය ගෙවීමට ද ණය ගැනිණි. එම නිසා දිනෙන්-දින රටේ ණය ප්‍රමාණය ඉහළ ගියේය. මේ තත්ත්වය නිසා ය, සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 128ක් ඉක්මවන තත්ත්වයකට අද වන විට පැමිණ ඇත්තේ.
මේ නිසා සමස්ත රජයේ ආදායමෙන් සියයට 80ක් පමණ ණය සහ පොළී ගෙවීමට වැයකිරීමට අපට සිදු වී තිබේ. බි්‍රතාන්‍ය පාලකයන් ආරම්භ කළ ක්‍රමයේ ගැටලු තිබිය හැකිය. එහෙත් එහි සාධනීය කොටස අප ගත යුතු විය. එය පවත්වාගෙන යා යුතු විය. එහෙත් අප කළේ එම සාධනීය කොටස එක්වරම අත්හැර දැමීමයි. ණය ගෙවීමට ණය ගැනීමයි. ණය අර්බුදයේ පදනම එයයි.

අපට මෙය නැවත හැරවිය නොහැකිය. 2025 වසරේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජයේ සමස්ත ආදායම රුපියල් ටි්‍රලියන 4.5කි. ඒ සමස්ත ආදායම වෙන් කළද, අපට ණයවල සමස්ත වගකීම දැරිය නොහැකිය. අප සිටින්නේ එතරම් ම දරුණු අර්බුදයක ය.
මේ ගැටලුව විසඳීමට නම් අප වේගයෙන් දේශීය ආර්ථිකය වර්ධනය කළ යුතුය. ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය සියයට 5 මට්ටමේ තිබේ. ලංකාව නිදා සිටියද, අපට සියයට 4 ඉක්මවන වර්ධනයකට යා හැකිය. එය හරියටම කිසිවක් පාඩම් නොකර විභාගයක් ලිව්වත්, අවම ලකුණක් ගන්නට හැකි වීම වැන්නකි. එම නිසා අප වේගයෙන් සියයට 10ක ආර්ථික වර්ධනයක් කරා යා යුතුය. එවැනි වර්ධනයක් ළඟා කරගතහොත් පමණකි, ආදායම් ඉහළ යෑමෙන්, විදේශ විනිමය තත්ත්වයන් ද පාලනය වීමෙන්, සංචිත ඉහළ යෑමෙන් මේ අර්බුදය තරමක් කළමනාකරණය කරගත හැක්කේ ඒ පාරෙන් යෑමෙන් පමණි.
එම නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක සැලසුම් කළ යුත්තේ මේ ලැබෙන ණයෙන් ලබන ආදායම්වලින් ණය ගෙවීමේ ක්‍රමයක් දක්වා යෑමට මිස, ජනතාවට බරක් වෙමින් ණය ගෙවීමට නොවේ. එය පවතින තත්ත්වය යටතේ අසීරු විය හැකිය. තරමක් කාලය ගත විය හැකිය. එහෙත් අනිවාර්යෙන් ම කළ යුතුය.

  • සාකච්ඡා සටහන – ශාලික විමලසේන

Related articles

1925 – 2025 : වසර 100ක් පිරෙද්දී ශ්‍රී ලංකා ගුවන්විදුලිය ගෙන යා යුත්තේ කොතැනට ද?

ලෝක ගුවන්විදුලි දිනය පෙබරවාරි 13 වැනිදාට යෙදී තිබිණි. මේ වසරේ එහි තේමාව වූයේ ‘ගුවන්විදුලිය හා පාරිසරික විපර්යාස’ ය....

මාස 21කදී රුපියල් බිලියන 965ක රාජ්‍ය ආදායමක් රටට අහිමි කළ බදු සහනවලින් ජනතාවට සිදු වුණේ කුමක්ද?

රජයේ සමාජ හා ආර්ථික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ලබා දී ඇති නිදහස් කිරීම්, දීමනා සහ බදු අනුපාත සහන...

Yakaduru Yala Booking.comහි 9.6ක ඉහළ ශේණිගත කිරීමක් ලබයි !

යාල ජාතික වනෝද්‍යානයේ මායිමෙහි පිහිටි, තිරසාර සංචාරක කර්මාන්තයට හොඳම උදාහරණයක් වන යකැදුරු යාල සෆාරි කඳවුර 2025 වර්ෂයේ booking.com...

ගනේමුල්ල සංජීව – අපරාධ නඩු විධාන සංග්‍රහය – වෙඩික්කරුගේ උපක්‍රමය !

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදු වූ වෙඩිතැබීමට ආධාර සහ අනුබල දුන් කාන්තාවක් හඳුනාගෙන ඇති...