‘කොලාජ්’ – ආරියවංශ අබේසේකර

Share post:

සත්‍යය සහ ප්‍රබන්ධය අතර පරතරයක් තිබේද? එසේ නම් ඒ පරතරය කෙබඳුද? ප්‍රබන්ධය ලෙස සත්‍යයම පාඨකයාහට මුණගැහෙනා විට ඔහු එය කෙසේ බාරගත යුතුද? එසේම සත්‍යය යනුවෙන් අප ඉදිරියට එන ප්‍රබන්ධය තුළ සත්‍යය සහ ඒ අපට මුණ ගැස්වීම පිණිම මාත්තුවට ගන්නා ප්‍රබන්ධයද සත්‍යය වටහා ගැනීමට මගක් නොවන්නේද?

කොලාජ් නවකතාව කියවන විට මගේ සිතට පිවිසි සිතුවිලි එපරිදිය. ආරියවංශ අබේසේකර අප රටේ තරුණ අරගල කාල පරිච්චේදයක් පසුබිම් කරගෙන රචනා කරන නවකතාව එහි ප්‍රබන්ධ සීමාව ඉක්මවා ඒ යුගය ස්පර්ශ කරමින් එහි පිවිසෙන්නට වෙනස් මානයක් විවර කරයි. ඔහුගේ කතාව අතීත යුගයක් කතන්දරයක ස්වරූපයෙන් ගෙන ඒමක් නොවේ. ඒ වෙනුවට ඔහු අපට ගෙන එන්නේ එකී කාල වකවානුවල පැවති තත්වය දෙස වඩා සියුම් ලෙස බලන්නට උත්තේජනයකි. එය විවේචනාත්මකය, වරෙක් ගැටළුකාරීය, තවත් වරෙක ඒ සමග එකඟතා සහ නොඑකඟතා ඇතිවිය හැකිය, කෙනකුට ඊට වෙනස් මානයකින් පිවිස මේ කතාව විවේචනය කරන්නටද හැකිය. එහෙත් නොහැක්ක වනුයේ කතාව මගහැර යාමමය.

අසූව දශකය යනු ලංකාවේ දේශපාලන පද්ධතීන් සසල කළ, නග්න කළ, ලැජ්ජාවට මෙන්ම භීතියටද පත් කළ කාල වකවානුවකි. ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය මුළු ගින්නම ගින්නට අතහැර භීෂණය යන්න පාලනයේ මෙන්ම විකල්ප අරගලයේද බලවත්ම අවිය බවට පත්වීමද මර්ධනය සහ වධහිංසා දෛනික අත්දැකීම බවට ලත්වීමද සමගින් සමස්ත සමාජයම කාලාන්තරයකට ගොඩ එන්නට නොහැකි කම්පනයකට ලක්වූවේ ඒ දශකයෙහිය. එසේම එය උතුරු නැගෙනහිර කරාද පැතිර යමින් රටක් වශයෙන් අප ම්ලේච්ඡත්වයේ මුවවිටට නොව පත්ලටම ඇද දමන ලද්දේද ඒ සමගය.

අසූව දශකයේ අරගලය සහ ඊට එරෙහි මර්ධනය යන දෙපාර්ශවයටම තමන්ගේ ක්‍රියාමාර්ග වෙනුවෙන් තර්ක තිබේ. ඒ තර්ක මත ඉතිහාසයද බොහෝ දුර පැමිණි තිබේ. එහෙත් අප කිසිවකුට හෝ ඒ නග්න යුගය මගහරින්නට නොහැකිය. අප අදද කරනුයේ අප සිටිනා තැන්වල හිඳ ඒ දෙස එබී බැලීමය. ආරියවංශ අබේසේකර ද කරනුයේ නවකතාවක මුවාවෙන් ඒ යුගයෙහි පැතිකඩක් අප හමුවේ තැබීමයි.

ඔහුගේ කතාවහි විශේෂත්වය වනුයේ යුදවන් පාර්ශව දෙකෙහි චරිත ද්වයක් ගෙන ඒ චරිතවල ගැටුම ඉදිරියට ගනිමින් අර්බුද සමයක නාඩිය අල්ලන්නට තැත් කිරීමයි. තමන් යෙදී ඉන්නා අරගලයෙන් ඉවත්ව රහසින් පලා යාමට තීරණය කළ සටන් නායකුයෙකු සහ ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනා හමුදා නිලධාරියෙකු වටා නිර්මාණය වන මේ නවකතාව ඒ යුගයේ මර්ධකයා මෙන්ම මර්ධනයට ලක් කරනලද්දාද විභාග කරයි. එහි වීරයන් නැත. ද්‍රෝහීන්ද නැත. එහෙත් පවත්නා තත්වයේ ගොදුරු බවට පත් තමන් නිවැරදි යයි සිතනා ආස්ථානයන්හී සිට සටන් කරනා මිනිස් චරිත අපට එහිදී හමුවෙයි.
ඔහු සිය නිර්මාණය තුළින් අසූව දශකයේ ආණ්ඩු විරෝධී සන්නද්ධ අරගලයේ විවිධ කෝණයන් සියුම් විමසීමකට ලක් කරයි. ඒ සමගම ඒ අරගලය මෙන්ම එහි විවිධ හැරවුම් පිණිස හේතුවූ කරුණුද, ජාතිකත්වය වැනි සංකල්ප අරගලයට බද්ධ වන අයුරුද එවන් උපක්‍රහම එහිලා සාර්ථක අසාර්ථක වන ආකාරය විමසයි. රටක සන්නද්ධ අරගල සමයක් යනු එ රටෙහි ජනයා අකාලේ වියපත්වන සමයකි. එය ඊට සම්බන්ධ වන්නන්ට මෙන්ම එහි නරඹන්නන්ටද එක සේ අදාලය. අප ඊට බද්ධ වුවද නැතද ඉන් කිසිවකුට හෝ ගැලවීමක් නැත. නවකතාව තුළ අපට හමුවන චරිත වනාහී මේ සත්‍යය අපට යළි යළි පෙන්වාදෙන චරිතයන් බවට පත්වෙයි.

මර්ධන යාන්ත්‍රතණය ක්‍රියාත්මක වූ ආකාරය ගැන බොහෝ විට අපට ඇත්තේ පැතලි විග්‍රහයන් පමණි. එය තීරණය වනුයේ ද්‍රෝහියා යන මානයෙන්ම පමණි. පැවති භීෂණය අති භයංකාර වුවද ඒ මධ්‍යයේ පැවති පුද්ගල සංකීර්ණතා මෙන්ම පාලකයන්ගේ මැදිහත්වීම් යනු සියුම් ලෙස විමසා බැලීමට වටනා සිදුවීම් පෙලකි. පුද්ගල ත්‍රස්තය, පලිගැනීම්, වරදවා වටහා ගැනීම්, ඉලක්කයටම පහරදීම් යනාදියේ සිට සමූහ ඝාතන දක්වා ඇදී ගිය අති බිහිසුණු ක්‍රියාදාමයක අවසන් පලය වූවේ සමූහ ඝාතන, ටයර් සෑයන්, අතුරුදන් කරවීම් සහ විසල් පිරිස් රැඳවුම් කඳවුරු සහ වධ කඳවුරු වලට ගාල් කිරීමෙනි. එතෙක් සාමාන්‍යය සමාජය නොඇසූ හේබියස් කෝපුස් වැනි නුහුරු යෙදුම් සමාජයෙහි භාවිතයට එන්නේද ඒ සමගමය. එසේම ධර්ම චක්‍රය, පෑන් බට කනට ගසා මරා දැමීම, ඇතුළුව විවිධ නව වධක්‍රමයන් නිර්මාණය අතින්ද ඒ යුගය අතිශය ප්‍රසිද්ධය. පසුව උතුරු නැගෙනහිරටද ව්‍යාප්ත වූවේ මේ ශබ්ද කෝෂයමය. එහෙයින්ම උතුරේ තත්වය කියවන්නටද දකුණ එක්තරා ආකාරයක කවුළුවක් සපයයි.

ආරියවංශ අබේසේකර තම ප්‍රධාන චරිතය බවට පත් කරගන්නේ සිදුවීම් හමුවේ සසල වී පලා යාමට තීරණය කරනා නායකයකුගේ චරිතයයි. ඔහු පලායාමට තීරණය කරන්නට හේතුවන පසුබිම සහ ඔහුගේ තීරණය එක් අතකින් එවන් සමයක එබඳු නායකත්වයකට ඔහු නොගැලපෙන බවටද අදහසක් ඇති වෙයි. ඒ යුගය යනු කවරකු කෙසේ කීවද මර්ධනය හමුවේ ව්‍යාපාරය අතැර යනවාට වඩා ඒ කෙරේ තවත් සගයන් ඇදී ආ කාලයක් බව පිලිකෙව් කළ නොහැකි සත්‍යයකි. අසූනවයේ දරුණුතම මර්ධනයෙන් පසුව සිය නායකයා ඝාතනයට ලක් කළ පසුව පවා එකිනෙකා මරා දමද්දීද ඒ අඩුව පුරවාලන්නට ඉදිරියට ආ ක්‍රියාධරයන් හිඟවූවේ නැති. විජේවීර ඝාතනයෙන් පසුවද පාලකයන් හට දිගින් දිගටම හඹා යමින් අනූවේ පවා තවත් විශාල සංඛ්‍යාවක් අතුරුදන් කිරීමට සිදුවූවේ මෙසේ ව්‍යාපාරය හැර නොයා එය තවත් ඉදිරියට ගෙනයාමට පිරිස් උත්සුක වූ හෙයිනි. එය සනාථ වන්නේ අසූ නමයේ සමූලඝාතනය කලැයි සැලකුණු ව්‍යාපාරය අනූ හතරේදී යළි පාර්ලිමේන්තු අසුනක් දිනා ගන්නා තත්වයට ලක්වීම තුළිනි.

කෙසේ වෙතත් ආරියවංශ අබේසේකර තම නවකතාව හරහා මර්ධකයා සහ මර්ධනයට ලක්වන්නා අතර වන නිහඬ සංග්‍රාමය සාර්ථකව ඉදිරිපත් කරයි. ඒ කතාව අතරේ ඇතිවන අතීතාගමනයන් තුළ ඔහු එ සමයේ පැවති දේශපාලන අර්බුදයද සාකච්ඡාවට කැ‍ඳවයි.

රටක බරපතල අර්බුද සමයක ඉතිහාසය ඉදිරියට ගෙනයාමට නිර්මාණකරුවන්ගේ එකිනෙකට වෙනස් කෝණයන්ගෙන් සිදුවන විග්‍රහයන් ඉතා වැදගත්ය. ඒ පූර්ණ අනුමැතියට හෝ ප්‍රතික්ෂේපයට ලක්වන්නක් නොවේ. කවර ප්‍රතිවිරෝධයන් මැද වුව ඒ පිවිසුම් අප පවත්වා ගත යුතුය. ආරියවංශ අබේසේකර කොලාජ් හරහා ගෙන එනුයේ එවන් එක් පිවිසුමකි. ඉන් ඇතුළුවී සිය පරිකල්පනය අවදි කිරීම මෙන්ම තමන්ගේම විශ්ලේෂණයන්ට එළඹීමටද එහිදී පාඨකයා හට බාධාවක් නැත.

චූලානන්ද සමරනායක

Related articles

ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමේ ලිපිය : පාර රාජ්‍යයේ කොන්ත්‍රාත් ඉටුකරන නීතිපති තවදුරටත් තබාගැනීමට හේතු මොනවාද ?

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකුට අදාළ...

නැවත කැඳවූ අගවිනිසුරු ලැයිස්තුවේ නැති අගවිනිසුරු වෙනුවට : හිටපු අගවිනිසුරු ජයසූරිය නිව්යෝර්ක් යවයි !

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තනතුරට හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය පත්කිරීමට නියමිත ය. මේ තනතුර...

අභියාචනාධිකරණයේ සභාපතිගේ ගැලවී යෑම : ආණ්ඩුව මේ කළු පැල්ලමෙන් ගැලවිය යුතු ම ය !

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් බරපතළ චෝදනා රැසක් එල්ල කර ඇති අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්නට පූර්ව විශ්‍රාම නිවාඩු ලබා...

යුක්තිය නොදැකම මිය ගිය මනෝරානී..

එක්තරා මිනිසෙකු කොවුලෙකු මරා සිය පිහාටු ඉවත් කල පසු කන්නට ඉතිරිව ඇත්තේ ඉතා කුඩා දෙයක් බව ට දැන...