නීතිපතිට විරෝධය පළකරන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ ලිපිය ලන්ඩන් මහ කොමසාරිස් බාරගනී : පොරොන්දුවකුත් දෙයි !

Share post:

සැකකරුවන් නිදහස් කිරීම සඳහා උපදෙස් දෙමින් නීතිපති පාරින්ද රණසිංහ යොමුකර ඇති ලිපියට විරෝධය පළකරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයෝ එංගලන්තයේ ලන්ඩන්හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ද ලිපියක් බාර දුන්හ.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක සභික කසුන් පුස්සෙවෙල විරෝධතා ලිපිය බාරදෙමින්…

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනය පිළිබඳ ගවේෂණාත්මක කෘතිය ලියූ මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් මේ ලිපිය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් මනෝරි මල්ලිකාරච්චි වෙත ඊයේ (06) බාරදුන්නේය.
ඊට සමගාමීව මහ කොමසාරිස් කාර්යාලය අසල නිහඬ විරෝධයක් ද පැවැත්වීමට එරට පදිංචි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටයුතු කර තිබිණි.

ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය අසල පැවැත්වූ නිහඬ විරෝධතාවයේ අවස්ථාවක්

ලිපිය බාරගනිමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සඳහන් කළේ තමන් මෙය විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළු අදාළ ආයතනවලට යොමුකරන බවයි.

මහ කොමසාරිස් කාර්යාලයට බාර දුන් සම්පූර්ණ ලිපියේ සිංහල පරිවර්තනය පහත දැක්වේ. එය අත්සන් කර තිබුණේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන සහ එහි විධායක සභික කසුන් පුස්සෙවෙල විසිනි.

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, උප පොලිස් පරීක්ෂකවරයා සහ යුද හමුදාවේ හිටපු සැරයන්වරයාට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි හෙළා දකිමු.
නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වෙත බාරදුන් ලිපිය
නීතිපති පාරින්ද රණසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයකු වූ ජනක බණ්ඩාර මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මෙම සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්කි ඇති බැවින් ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙස 2018 අප්‍රේල් 23 වැනිදා ඇතුළු දින කිහිපයකදීම මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීම් කර තිබියදීය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින 92/2009 අංක දරණ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාල නඩුවේ සැකකරුවකු ලෙස 2010 වසරේදී අත්අඩංගුවට ගත් කන්දේගෙදර පියවංශ නම් යුද හමුදා නිලධාරියාට එරෙහිව ද මෙලෙස නීති මගින් කටයුතු නොකරන බව කියමින් ඔහු මුදා හැරීමට සැලැස්වූ අතර ඉන් පසු විමර්ශන අතරමග නතර කර තිබිණි. යළි 2015 වසරේදී මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමෙන් පසු විමර්ශන සිදුවූයේ වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්න මහතාගේ සහ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේය.
නීතිපතිවරයා සැකරකුවන්ට එරෙහිව ඉදිරි කටයුතු නොකිරීමට තීරණය කර ලිපිය යොමු කරන්නේ කළු ජනවාරිය සිහිපත් කරමින් ජනමාධ්‍ය සංවිධාන සහ මාධ්‍ය සමාජය විවිධ වැඩසටහන් සිදු කරන අතුරතුරදී සහ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතතය කළ දිනය වූ ජනවාරි 08 අනුස්මරණය කර සති තුනක් ඉක්ම යද්දී වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යාම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් එවකට විපක්ෂ මන්ත්‍රීවරයකු වූ වර්තමාන ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස 2016 නොවැම්බර් 18 වැනිදා එවකට නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක වාර්තාවක් ඉදිරිපත් කරමින් සිද්ධි 125ක් ගැන කරුණු ඉදිරිපත් කළේය. එම කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු සාක්කි විනාස කිරීම ගැන බරපතල ලෙස විවේචනය කළ නලින්ද ජයතිස්ස මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටියදීම මෙවැනි නිදහස් කිරීමක් සිදුවීම උත්ප්‍රාස ජනක කාරණයක් වන අතර ජනමාධ්‍ය අමාත්‍යවරයා හෝ අධිකරණ අමාත්‍යවරයා මේ වන තෙක් පිළිගත හැකි ප්‍රකාශයක් මේ වන තෙක් සිදු කර නැතිවීම ද බරපතල තත්ත්වයක් සේ අපි සලකමු.
එසේ හෙයින් නීතිපතිගේ ක්‍රියාකලාපය ගැන වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස අපි බල කර සිටිමු.

විරෝධතාවයේ තවත් ඡායාරූප පහතින්…

Related articles

‘කොලාජ්’ – ආරියවංශ අබේසේකර

සත්‍යය සහ ප්‍රබන්ධය අතර පරතරයක් තිබේද? එසේ නම් ඒ පරතරය කෙබඳුද? ප්‍රබන්ධය ලෙස සත්‍යයම පාඨකයාහට මුණගැහෙනා විට ඔහු...

ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමේ ලිපිය : පාර රාජ්‍යයේ කොන්ත්‍රාත් ඉටුකරන නීතිපති තවදුරටත් තබාගැනීමට හේතු මොනවාද ?

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකුට අදාළ...

නැවත කැඳවූ අගවිනිසුරු ලැයිස්තුවේ නැති අගවිනිසුරු වෙනුවට : හිටපු අගවිනිසුරු ජයසූරිය නිව්යෝර්ක් යවයි !

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තනතුරට හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය පත්කිරීමට නියමිත ය. මේ තනතුර...

අභියාචනාධිකරණයේ සභාපතිගේ ගැලවී යෑම : ආණ්ඩුව මේ කළු පැල්ලමෙන් ගැලවිය යුතු ම ය !

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් බරපතළ චෝදනා රැසක් එල්ල කර ඇති අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්නට පූර්ව විශ්‍රාම නිවාඩු ලබා...