1928 දී සියනෑ කෝරළේ කිරිඳිවැල දියවාල නම් සුන්දර ගම්මානයේ ඉපිද පසුකාලීනව පාසල් ගුරුවරයෙක් හා විදුහල්පතිවරයෙක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක් කළ විතානගේ ජයවර්ධන නම්වූ ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ‘කිරිඳිවැලේ ජයවඩුවිතාන’ යන හෙළ නමෙනි.
1965 දී ‘කාක්කෝටු’ නමින් පද්‍ය සංග්‍රහයක් පළ කරමින් ස්වකීය නිර්මාණ ජීවිතය ඇරඹූ ජයවඩු පිළිවෙලින් 1984 දී ‘කලාළයක් වියමුව අපි’ සහ 1986 දී ‘කිණිහිරයේ පිපුණු මල’ නම් කාව්‍ය සංග්‍රහ දෙකක් එළි දැක්වීය.
‘කලාළයක් වියමුව අපි’ තුළින් ‘තල් කොළයයි පොල් කොළයයි’ එකට තබා උතුරත් – දකුණත් එකට යා කෙරෙන ‘කලාළය’ වියමන් කළ හෙතෙම ස්වකීය කවි වලින් ප්‍රකාශ කළ ජාතික එකමුතුකම හා සංහිඳියාවේ සියුම් හැඟීම්වල වර්ණය තවමත් අපගේ රසික සිත් ආලෝලනය කිරීමෙහි සමත්ය.
”මොහොතකට
සුවඳ දෙන
රෝස මල්
මට එපා,
සදා වේදනා දෙන
රෝස කටු මට හොඳා,
ලේ එන්න
අනින්නට
ලේ උරන
රුපුන් හට,
ලේ වලින් පිපෙන මල්
සදා සුවඳයි රතුයි
සහෝදරයින් වගේ
එකමුතුයි බලගතුයි….”
(කලාළයක් වියමුව අපි/1984)
ජීවිතයේ අපමණ දුක් දොම්නස් සමුදායක් මැද ජයවඩු කවි ලිව්වේය. ඒ තමා සඳහාම නොව තමා අවටවූ අපමණ දුක් විඳින ජනතාව සඳහාය. ජයවඩු තම කවි තුළින් විශද කළ සමාජ දර්ශනය කොයි තරම් නම් සර්ව සාධාරණද, කොයි තරම් නම් සෞන්දර්යවාදීද…
” නූල විඳින දුක
නොදනී සරුංගලේ……”
ජයවඩු වරෙක එසේ ලිව්වේය. මහ උන් ඉහළ තැන්වල වැජඹෙන්නේ පහළ සමාජ පන්තියේ ක්‍රියාකාරකම් නිසා බව ඔහු ඒ කවි කිණිත්තෙන් ඉතා ළයාන්විතව හා අර්ථාන්විතව පවසන්නේ කිසිවෙකුගේ සිත් නොරිදවමිනි.
එතෙකුදු වුවත් උග්‍ර සමාජවාදියෙක් ලෙස ස්වකීය ජීවිත කාලය පුරාම කටයුතු කළ ජයවඩු වැදිය යුත්තාට රිදෙන්නම කවි ලිව්වේ එකල බී.ඒ. සිරිවර්ධන සූරීන් කතුකම් කළ ‘ඇත්ත’ පත්තරයටය.
සිරිලාල් කොඩිකාර සූරීන් විසින් තෝරාගෙන ‘ඇත්තේ’ පළ කළ ඔහුගේ කවි සංඛ්‍යාවෙන් අපමණය. රසයෙන් හා අරුතෙන් පරිපූර්ණය.
ඒ අතර ඔහු ලියූ ‘කබරගොයි සන්දේශය, හෙලිකොප්ටර් සන්දේශය’ වැනි සදය උපහාසය පෙරදැරිකරගත් සරල කවි වෙඩි වගේ වැදිය යුතු ඉලක්කයට වදී.
ඒ බව හරි අපූරුවට කියන්නේ එස්.ජී. පුංචිහේවා සූරීන්ය. ඔහු ජයවඩුගේ ‘කිණිහිරයේ පිපුණු මල’ ට පසුවදන ලියමින් මෙසේ කියයි.
” අපේම දුක්කම්කටොළු පිරිවරාගත් ගරාවැටෙන සමාජයක කවිය කුමක් සඳහාද ?
ඇස් ඇරවීමටත් මඟ පෙන්වීමටත්ය.
හැම යුගයකටම යයි සිතා ලියැවෙන කවි මේ යුගයේම මියයයි.
මේ යුගයට ලියන දේ තව යුග ගණනක් සිත් සතන්හී ජීවත්වනු ඇත.
මේ යුගයටත් යුගයේ කවිය අවශ්‍යය.
ජයවඩුවිතානයෝ දැනුවත්වම එම මෙහෙය ඉටු කරති.
‘කලාළයක් වියමුව අපි’ කවි පොතින්ද පුවත්පත් වලින්ද ඔහු මෙතෙක් පළ කළ කවි විසම සමාජයට විසය. වෙඩි වගේ ඉලක්කයට වදී.
කවියෙකු අමාරුවෙන් ජයගත යුතු බොහෝ දෑ ඔහු ජය ගෙන ඇත.
කටුකොහොළින් මිදී පදම්වූ කවි ගුණයෙන් සාර අරුතක් විකසිත කිරීම ඔහුගේ කවි හැසිරුමය.
විටෙක ඔහුගේ නිර්මාණයෙන් ගිනි පුපුරු විසිවෙයි.
යළි දයාවේ කඳුළක් දිලිහෙන හැටි අසිරිමත්ය.
ඒ සියල්ල මිනිස්කම් පිරුණු ලෝකයක් සඳහාය.
මිනිසා සක්‍රීය ජීව දහරක් සේ ප්‍රගතියට මෙහෙයැවීම ඔහුගේ අරමුණය.
ඔහුට මෙන් පැහැදිළි දර්ශනයක් හා විශිෂ්ට පරමාර්ථයක් තිබීම ලේඛකයෙකුට තිබිය හැකි මහම සම්පතයි…..”
(එස්.ජී. පුංචිහේවා/කිණිහිරයේ පිපුණු මල – පසුවදන)
එලෙස මිනිසුන් වෙත පතළ දයාවෙන් කවි ලියූ ජයවඩු ස්වකීය රාජකාරි ක්ෂේත්‍රය වූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවත්නා සියලු ගුණාගුණ එකට කැටිකොට ‘පත අට එකට සිඳුවා’ ‘කිණිහිරයේ පිපුණු මල’ බිහි කළේ පාලක පන්තියේ ජඩ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් එවක යූ.එන්.පී. ආණ්ඩුව වේරහැර බණ්ඩාරනායක විදුහල්පති වූ ඔහුගේ වැඩ තහනම් කොට බලෙන්ම විශ්‍රාම යවා නොබෝ දිනකින්ය.
එතෙකුදු වුවත් එම පාලකයින්ටම ඒ වෙනුවෙන් ජයවඩු වෙත රාජ්‍ය ගෞරවය පිදීමට සිදු වූයේ දෛවෝපගත අයුරිනි. ඒ හොඳම කාව්‍ය කෘතිය ලෙස 1986 පැවති රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී ජයවඩුගේ ‘කිණිහිරයේ පිපුණු මල’ තෝරා ගැනීම නිසාය.
කුපිත වූ පාලකයෝ එම සම්මානය බාල කළේ තම සුවච කීකරු ‘කුකවියෙක්’ වෙතද එම සම්මානය ‘සම සම්මාන’ ලෙස දෙකට බෙදා පිරි නමමිණි.
ඉන් පසු ජයවඩු 1989 දී කවියේ සමාන්තර අනෙක් මඟ වූ කෙටිකතා කලාවේ හක්කලන් කරන්නට වූයේ ‘සේතන් ආතාගේ පුත්තු’ පළ කරමින්ය. සුපුරුදු කවියේ මෙන්ම නුපුරුදු කෙටිකතාවේද ඔහුගේ අව්‍යාජ ගැමි සුවඳ රැඳී තිබුණේය.
සාධාරණය ඉල්ලමින් සමාජයේ පීඩිතයින් නඟන කර්කෂ අඳෝනාවත් ඊට අවනත නොවෙන කුහක ධන හිමියන්ගේ කුරිරු ගොරහැඩි බවත් ඔහුගේ කෙටිකතා වලින් පාඨක අප හමුවේ ඔහු චිත්‍රණය කළේ ඔහුට හුරුපුරුදු දයාවාහිනී ගුණයෙන් රසික හදවත් ප්‍රකම්පනයට පත් කරවමිනි.
1990 දී ‘බිම දිග දුවන වැල්’ නමින් තවත් කෙටිකතා පොතක් පළ කළ ජයවඩු 1993 දී ‘උණහපුළු පැටව්’ අත්පිටපත ලියා තබා කලාවෙන් මෙන්ම ජීවිතයෙන්ද සමුගෙන ගියේ අප කිසිවෙක් නොසිතූ නොපැතූ ලෙස ඉතාම හදිසියෙනි.
‘උණහපුළු පැටව්’ කෙටිකතා පොත ඔහුගේ මරණයෙන් පසුව ප්‍රකාශයට පත්විය.
‘වනපස මල්’ හා ‘නූල විඳින දුක නොදනී සරුංගලේ’ නම් කාව්‍ය කෘති දෙකක් ඔහුගේ නොපළ කෘතීන් අතර වෙයි.
කවියෙන් හා කෙටිකතාවෙන් රසික හදවත් ස්පර්ශ කළ ජයවඩු සැබෑ ජීවිතයේදීද ස්වකීය නිර්මාණ වලින් විශද කළ මනුස්සකම සුරැකගත් අතළොස්සක්වූ කලාකරුවන් අතරින් අයෙකි.
එසේම ජයවඩු යනු වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම සැබෑ ගැමියෙකි. ගමේ අහළ පහළ මිනිසුන්ගේ ලෙන්ගතු ඉස්කෝලෙ මහත්තයා ලෙස ඔහු හැමවිටම බුහුමන් ලැබුවේය.
ඔහුගේ අව්‍යාජ සිනාව දහසක් මිනිසුන්ගේ හදවත් වලට මනුෂ්‍යත්වය කැඳවා දුන්නේය.
ගමේ ගොඩේ ඇවිද කොයි කාගේත් ගෙදරට ගොඩවදින ඔහු අහිංසක ගැමියන්ගේ අනේක සත්කාර වින්දේ පොඩි එකෙකු සේ හිනැහෙමිනි. ගැමි ගෙවලින් කහට උගුරක් බී බුලත් විටකින් සප්පායම් වෙන ඔහු දෙඩූ රස කතා තවමත් දියවාල කිරිඳිවැල අවට ගම්වල වැඩිහිටියන්ගේ මතක පොත්වල ලැගුම් ගෙන සිටී.
ගැමි ගෙවල් වලට මෙන්ම ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් අගතැන්පත් බමුණු ගෙවල් වලටද ජයවඩු ගොඩ වැදුණේය. හිනැහුණේය. දොඩමළු වුණේය.
කමතද කෙතද පිලද පන්සලද ජයවඩු ඒ සැමතැනකටම පිරිමැසුණු මිනිසෙකි.
මඟුළට, මරණයට, පින්කම් පොළට ඔහුගේ කවියක් කතාවක් නැතුවම බැරිය. දේශපාලනයේදී අනම්‍ය දෘඩතර අයෝමය මිනිසෙක් වූ ජයවඩු හමුවේ ප්‍රතිගාමී ප්‍රතිවාදීන් ගොළුව ගියේය.
රට්ටුන්ට මෙන්ම ඔහු ස්වකීය අඹුදරුවන්ටද එකසේ ආදරය කළේ ඔහු සැබෑ කොමියුනිස්ට්වාදියකු නිසාය.
ඔහු තම ‘කාක්කෝටු’ පිය බිරිඳ ශීලාට පිරිනැමුවේ මෙලෙසිනි.
”රමණි වැනි දුවණියක
දෙමින් මා පියෙකු කළ
මා බිරිඳ ආදරිය
නාමයට තිළිණයකි. ‘
1993 ජනවාරි 25 එනම් මීට වසර 32 කට පෙර සිදුවූ ජයවඩුගේ අකල් මරණයෙන් පසුව තනිවූ ගුරුවරියක වූ ඔහුගේ පිය බිරිඳ ශීලා දැනට වසර කිහිපයකට පෙර මෙලොවින් සමුගත්තාය.
ඔහුගේ වැඩිමහළු දියණිය රමණි විවාහක මවකි. ඇය කෘෂි සංවර්ධන නිලධාරිනියක ලෙස රජයේ සේවයේය.
වෛද්‍යවරියක ලෙස සෝවියට් දේශයෙන් අධ්‍යාපනය ලැබූ ඔහුගේ දෙවැනි දියණි උපුලීද විවාහක මවකි. ඇයද තවමත් රජයේ වෛද්‍ය නිලධාරිනියක ලෙස සේවයේ යෙදී සිටී.
ඔහුගේ එකම පුතු කමලවර්ණද ජයවඩු මෙන්ම ගුරුවරයෙක් ලෙස රජයේ සේවය කරමින් මහගෙදර පදිංචිව සිටී. ඔහුද විවාහක අතර දරුවන් සිටින පියෙකි.
ජයවඩු යළි මෙ බිම ඉපදිය යුතුම මිනිසෙකි. ඔහුගේ රුව, කටහඬ හා ගති සිරිත් ‘අපේකම’ යනු කුමක්දැයි සොයා වෙහෙසෙමින් අපමණ දුකට පත්ව සිටින වත්මන් පරපුරට මහානුභාව සම්පන්න ජීවයකි. මඟ සලකුණකි.
සියනෑවේ අපට මහගමසේකර, කේ. ජයතිලක වැන්නවුන්ගෙන් පසුව තරු ලකුණ වූයේද ඔහුය.
අද අපි ඔහු නැති ලොවක ඔහු පැතූ ලෝකය ඉදිකරමින් අපමණ වෙහෙසෙමින් සිටිමු.
අනන්ත වූ කැපවීම් වල ඵළයක් ලෙස බිහිවෙමින් පවත්නා සාධුතර සමාජය ඉතා ඈත කාලයක සිට ස්වකීය පෑන් තුඩින් සරිකරන්නට තැත් කළ ඊට පුරෝගාමී මෙහෙයක් කළ ජයවඩුගේ අඩුව වඩාත්ම දැනෙන යුගයක් අප පසුකරමින් සිටින බව ලියා තබමින් මේ අසම්පූර්ණ මතක සටහනට කුණ්ඩලිය තබමි.
කුමාර අලගියවන්න
2025.01.25 දින පෙ.ව.1.20 ට
කිරිඳිවැල
නාරංගස්පිටිය
බදුවත්ත නිවසේදීය.