‘පියාසර සමය’ – චන්ද්‍රරත්න බණ්ඩාර

Share post:

සරාගයේ සිට අසීමිත කරුණාවක් දක්වා වෙනස් වූ හැඟීම් රැසක් විසින්, හමුවීමේ හෝ වෙන්විමේ අන්තයන් බොඳ කෙරුණද, යථාර්ථ මහපොළවෙන් ඉහළද රොමැන්තික අහසින් පහළද පිහිටි හැඟීම් වලට ඉලක්කයක් සපයා ගැනීමට හැකි වුණු ඔහු සමඟ බැඳුණු ඇයට ඔහුට වඩා අත්දැකීම් බහුල වුවද එය කළ නොහැක්කක් වන්නේ වෘතාන්ත බඳු මිනිසුන් ඇගේ රහස් ගුහාව තුළ ලැගුම්ගත් නිසාද? එසේ වතුදු ප්‍රේමය සැබවින්ම මුණගැසුණ තැන එය කොතරම් බාධක මතුයේත්, විෂමතා හමුවේත් ගලායන්නේ සුන්දරව නොවේද? අතින් අල්ලන්නට ලොබ සිතෙන තරම්, මල්පෙත්තක මටසිලිටි බව දැනී දැනෙන තරම් එය උත්කෘෂ්ට නොවන්නේද?

මෙකී කතාව කියවන්නා විසින් අත්විඳින ලද යුගයක කතාවෙ වීරත්වය ආරෝපණය කළහැකි චරිතයක් සහ ප්‍රතිවාදී ලෙස ගැණෙන චරිතයක් අතර
ගොඩනැඟෙන ප්‍රේම කතාවක් වීමම සතුටකි. පියාසර සමය තුළ කියවෙන්නේ එවන් වූ කතාවකි. ප්‍රේමයෙන්ම ඉපිද, එයින්ම දිවි ගෙවන , ප්‍රේමයෙන්ම මියයන උත්තරීතරත්වය එයට හිමි නොවන්නට හේතුව සියළු දෙය තුළ මුහුවුණ, මුහුවන දේශපාලනය එය තුළද කියවෙන හෙයිනි. නමුදු එය දැවැන්ත සෙවණැල්ලක්ව මෙකී කතාව වසාගන්නේ නැත. එහි ප්‍රධාන චරිත දෙක ලෙස මට හැඟෙන මිලංකාගේ සහ චමත්ගේ චරිත එකී සෙවණැල්ලෙන් මිදීමට තරම් ප්‍රබලය. ඒ මට හැඟෙන අයුරු විය හැකිය. එක්කෝ කතුවරයා විසින් එසේ ගොඩනංවන්නට ඇත.

අරගලය විසින් සියල්ල වෙනස් කරන ලද ජීවිතයක් හිමිවූ තරුණයෙක් ලෙස චමත්ව හඳුන්වාදෙන්නට නොහැකි නමුදු ඔහුගේ ජීවිතය වෙනස් කරන්නට අරගලයේ බලපෑම ඉමහත් ය. එය එසේ වූ සියළු තරුණ පරම්පරාව නියෝජනය කරන්නට ඔහු සමත් නොවන බව පියාසර සමය කියවන්නාට පැහැදිලි වේ. එය ඔහු පිළිබඳව සතුටකුත් ඔහුට මෙන් එවන් මුක්තියක් හමුනොවූ අනෙකුන් පිළිබඳව කණගාටුවකුත් ඉතිරි කරන්නකි.

දේශපාලනය නම් මඩ ගොහොරුව තුළ පිපී සියපතක් වන්ව ඉහළට නැඟෙන චරිත අපට ආගන්තුක වුවද එවන් මඩ ගොහොරුවක්ව පවතින ලාංකීය දේශපාලනය සමඟ කොතරම් මුසුවුවද තම ඕරාවේ දීප්තිමත් බව මැකෙන්නට නොදී පවත්වාගන්නා චරිතයක් ලෙස මිලංකා හඳුන්වන්නට මා කැමතිය. සියළු සුඛ විහරණ මැද ජීවත්වෙමින්, එයින් අභිනිෂ්ක්‍රමණය කරන්නටද නොසිතමින් තමාවම සොයායන ගමනේ ඇය පියවර තබන්නේ අනෙකාගෙ සිතෙහි ඇය ගැන කිසිදු වරදක් නොදැනෙන ලෙසින් යයි සිතේ.

පංති බේදය යනු සියළු දේශපාලකයින් විසින් තමන්ගේ චන්ද ව්‍යාපාරය තුළ වඩාත් ප්‍රයෝජන ගන්නා වචනයයි. එය නැති කරන බව ඔවුන්ගේ පොරොන්දුවයි. දුක, දුකට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය යන තැනින් ඔවුන්ගේ සියළු කතා අවසන් වන්නේ දුක නැතිකළහොත් එහි ප්‍රයෝජනය ඔවුන්ගේ මතු පරම්පරාවට ගන්නට නොහැකි වන නිසා වියහැකි නොවේද? ඉතින් එය තළුමරන්නට පමණක් සීමාවූවක් වී කුමන පසෙක දේශපාලකයා බලයට පැමිණියද පංති බේදය නැති නොවී එලෙසම පවතී. එය පියාසර සමය තුළද පැහැදිලිව පෙනෙන්නකි. එසේම එය වඩාත් සුරකින්නට පෙළඹෙන්නේද පහළ සිට පැමිණ ඉහළ පංතියට කෙසේ හෝ නැගගත් හෝ නැගගත්තා යයි සිතන උන් විසිනි. පුෂ්පදේව නම් ඇමතිවරයාද එවන් චරිතයකි.

කෙසේ හෝ බලය ලබාගන්නා පාලක පංතිය නියෝජනය කරන මුදු පුෂ්පදේවට ඔහුට එකී පංතියට නඟින්නට ඉඩහසර ලබාදුන් ඉණිමඟේ බලපෑමෙන් මිදෙන්නට නොහැකි බවද බාහිර සමාජයට කෙතරම් ප්‍රබල ලෙස පෙනී සිටියද ඔහු නිදිකුම්බා මලක් මෙන් හැකිලෙන තැන්ද කියවන්නට පාඨකයාට ඉඩහසර ලබාදෙන පියාසර සමය තුළ එයිනුදු මිලංකාගේ චරිතය ප්‍රබල කරවන බවක් හැඟේ. එසේම මිලංකාගේ මවගේ චරිතය නිහඬ කුණාටුවක් සේ හමායන්නේ මිලංකාගේ, පුෂ්පෙගේ චරිත මතින් පමණක් නොවේ. ලාංකීය දේශපාලන වංශ කතාවේද බොහෝ පරිච්චේද ලියවෙන්නේ නිදන කාමර තුලින් බව කියන්නට ලෝක ඉතිහාසය පවා නිදසුන් කොට ගන්නා පියාසර සමය තුළ මිලංකාගේ මව, එනම් විජේවික්‍රම මහත්මියද එකී වංශ කතාව ලියන්නට හවුල් වන්නියක බව කියවෙනුයේ කඨෝර ලෙසින් නම් නොවේ.

සියළු මතුපිට හේතු කාරණා මැද දිවෙන ප්‍රේම කතා එකක් නොව කිහිපයක් මෙහි ඇත. බිඳුණු ප්‍රේමයන් හැර කියවෙන එකී සියළු කතා වල එක් විශේෂත්වයකි. එනම් ඒ සියල්ල සමාජයට අනුව අසම්මත ගනයේ ලා ගැනෙන ඒවාය. එහෙත් එවන් කතාවක් යයි නොහැඟෙන තරම් ප්‍රේමාන්විත ලෙස ප්‍රධාන ප්‍රේම කතාව දිගහරින පියාසර සමය තුළ ජුගුප්සාජනක ප්‍රේමයන් පිළිබඳව සෘජුව නොකියා වක්‍රෝත්තියෙන් කියවෙන තැන් ඇත. අසම්මතය වුව එසේ සිතන්නට නොසිතෙන තරම් රමණීයව ගලායන කතාවක්ද, අසම්මතය නම් අසම්මතයමැයි සිතන්නට බල කෙරෙන කතාද කියවේ.

මේ සියල්ල සමඟ ප්‍රබලවම කියවෙන, පාඨකයාට කියවාගන්නට තිබෙන කතාව වනුයේ සංස්කෘතිකව නිදහස් වීම මිනිසා කොතරම් සැනසිල්ලකට පත් කරන්නේද යන්නයි. කැනඩාවේදී හමුවන මිලංකා සහ චමත් විසින් මහත් පිපාසයකින් පෙළෙන්නවුන් සේ, නමුදු ඉවසිලිමත්ව එකී සංස්කෘතික දිය සැනසිල්ලේ පානය කරමින් කියවන්නාටද ඔවුන් සමඟ එක්වන්නට ඇරයුම් කරයි. එය කැනඩාවෙන් නතර නොවී චාරිකාවක්ව කියුබාවටද ගමන් කරයි. එකී චාරිකාව චමත්ගේ දේශපාලන අනුරාගයට හානි කරන්නේ නමුදු ඉපැරණි රෙනෝල්ට් රථයක සිට Pinar del Rio දුම්කොළ වල ඉස්තරම් බව මතක තබාගන්නට තරම් පාඨකායාට රසවත් ය. එසේම එය හානි කරන්නේ නම් කරන්නේ චමත්ගේ දේශපාලනික අනුරාගයට පමණකි. ඔහු තුළ සිටින්නාවූ රොමැන්තික පෙම්වතාට නම් අවදිවීමක් මිස වෙනත් බලපෑමක් නොමැත.

පියාසර සමය තුළ සමාජයේ වඩ වඩාත් සාකච්ඡාවට බඳුන් වියයුතු මාතෘකා කොතෙක් ඇතත් එහි කියවෙන්නාවූ ප්‍රේමය ඒ සියල්ල යටපත් කරයි. එනම් මිලංකා සහ චමත් අතර පවතින්නාවූ ප්‍රේමයයි.

“මගෙන් ගන්න පුළුවන් හැම දෙයක්ම ගන්න. මගෙන් විඳින්න පුළුවන් හැම දෙයක්ම විඳින්න. ආදරේ වුණත් වෙන දෙයක් වුණත්” පිටුව 319
එකී ප්‍රේමය කොතෙක්ද කියන්නට මේ වචන කිහිපය වුවද ප්‍රමාණවත්‍ ය.

ඉරේඛා සෙනෙවිරත්න

        21/01/2024

Related articles

එරික් ඉලයප්ආරච්චිගේ ‘තව සිංහයකු ළඟ’

සංචාරක සටහන් යනු මේ වනවිට සීග්‍ර ජනප්‍රියත්වයක් අත් කරගනිමින් තිබෙන සාහිත්‍ය ශානරයකි. මෙය චාරිකා සාහිත්‍ය නැතහොත් ගමන්විත්ති සාහිත්‍ය...

මා දැකපු නිහාල් ප්‍රනාන්දු (2025 ජනවාරි 31 – පෙබරවාරි 06 දා බෙයාෆුට් ගැලරිය)

මා ග්‍රාන්ට් මකෑන් එරික්සන් ඇඩ්වර්ටයිසිංවල වැඩකරන කාලෙ (ලෝකෙ ඩිජිටල් වෙන්න ඉස්සර) ඉඳහිට ස්කෙල්ටන් පාරේ තිබුණු ස්ටුඩියෝ ටයිම්ස් එකට...

ප්‍රතිවිරෝධී නායකත්වයේ සංකේතය හෙවත් විළාසිතා කලාවේ සෙලෙන්ස්කිකරණය

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කල 2022 පෙබරාවාරි 24 වන දින, භූගත බංකරයක දින කිහිපයක් සැඟවී සිටින ජනාධිපති වොල්ඩිමියර්...

අතුල අයියා(රාවයේ වික්ටර්) යුගයකි, යුග නිර්මාපකයෙකි

අතුල අයියා, රාවයේ වික්ටර් අයිවන්, 71 අරගලයේ පොඩි අතුල නික්මගිය පුවත ලැබෙන විට මා සිටියේ කෑගල්ලේ සිට කුමාරි...