එරික් ඉලයප්ආරච්චිගේ ‘තව සිංහයකු ළඟ’

Share post:

සංචාරක සටහන් යනු මේ වනවිට සීග්‍ර ජනප්‍රියත්වයක් අත් කරගනිමින් තිබෙන සාහිත්‍ය ශානරයකි. මෙය චාරිකා සාහිත්‍ය නැතහොත් ගමන්විත්ති සාහිත්‍ය යනුවෙන් ද හැඳින්වේ. මෙවන් සංචාරක ආඛ්‍යානවලදී විවිධ ලේඛකයෝ විවිධ ශෛලීන් භාවිත කරති. සමහරු හුදෙක් ස්ථානීය විස්තර පමණක් ලියා තැබීමෙන් සෑහීමකට පත් වෙති. තවත් අය චාරිකාවලදී තමන් මුහුණ දුන් අත්දැකීම් සමඟ සංකලනය කර සංචාරක සටහන රචනා කරති. දාර්ශනික සහ සාහිත්‍යමය විවරණ ඇසුරින් ස්වකීය චාරිකා සටහන ඔපමට්ටම් කරන්නෝ ද සිටිති.එමෙන්ම විශේෂිත තේමාවලට පමණක් සීමා වී තම ගමන්විත්තිය විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන ලේඛකයන් ද නැත්තේ නොවේ. එරික් ඉලයප්ආරච්චිගේ නවතම සංචාරක ආඛ්‍යානය වන ‘ තව සිංහයකු ළඟ’ එවන් නියත තේමාත්මක පදනමක් මත ලියූ විග්‍රහාත්මක චාරිකා සටහනකි.

මෙම කෘතියේ දී කතුවරයා ස්වකීය ආඛ්‍යානය ගොඩනංවනුයේ ඔහු සිංගප්පූරුවේ (සිංහපුරය) කරන ලද චාරිකාවකදී ඇසුරු කළ පුස්තකාලවලින් සහ ඒවායේ එකතුවලින් අනුප්‍රාණය ලබමිනි. මෙය එරික් ඉලයප්ආරච්චි මීට පෙර රචනා කළ ‘මගේ පුස්තකාල ‘ කෘතියේ දිගුවක් ලෙසද සැලකිය හැකිය. සිංගප්පූරු නගර කේන්ද්‍රයෙන් එපිට පිහිටි පුංගොල් ප්‍රජා පුස්තකාලය ද සුපිරි වෙළඳ සංකීර්ණයක පිහිටි සෙංකෙං පුස්තකාලය ද සිංගප්පූරු ජාතික පුස්තකාලය ද ගේලෑං පුස්තකාලය ද ඔහුගේ ප්‍රමුඛ සංචාරක ගමනාන්ත වේ. මෙහිදී පුස්තකාලයේ ස්ථානීය සුවිශේෂත්වයත් එහි ගෘහනිර්මාණ කලාවත් භූමිදර්ශනයත් එරික්ගේ අවධානයෙන් ගිලිහී නොයයි. ඔහුගේ සිත ප්‍රධාන වශයෙන් යොමු වන්නේ ඒවායේ ඇති ග්‍රන්ථ සම්භාරය වෙතය. ඔහුගේ ම වචනවලින් පවසන්නේ නම් , ඒවා නමගිය නමුත් හමගිය නැති පොත්වලින් සමන්විත පුස්තකාල වේ. එහිදී ඔහු ‘ පොතක් සහ සඟරාවක් කියවීමේ මොහොතෙහි වෙනස’ අත්දකී. එමෙන්ම ‘ අහඹු පාඨක සහෝදරත්වයේ ආධ්‍යාත්මිකත්වය විඳ ගනී. තවද, බහුසංස්කෘතිකත්වය රජයන සිංගප්පූරු සමාජය තුළ පුස්තකාලය බුද්ධිමය වශයෙන් භාෂාමය ජාතිකත්වය ඉක්මවා යන ආකාරය දකී. රචකයා මෙම පුස්තකාල චාරිකාව තමා සමඟ සම්බන්ධ කරන්නේ එය’ බුද්ධිමය සරණාගතයෙකුට ලැබෙන තාවකාලික නවාතැනක්’ යනුවෙන් හඳුන්වමිනි. මෙම කෘතියේ දී අපට අභිමුඛ වන්නේ පුස්තකාලයේ භෞතික වටපිටාව විස්තර කිරීමෙන් ඔබ්බට ගමනේ යෙදෙන සංචාරකයෙකි. ඔහු මෙම භෞතික සීමා ඉක්මවා යන්නේ සංචාරක ආඛ්‍යානයට පුස්තකාල එකතුවල පවත්නා සාහිත්‍යමය සහ දාර්ශනික සාරය සමෝධානය කිරීමෙනි. මේ සැරිසරන්නා ශෝෂ් ලුයී බොහේස්, ජේම්ස් ජොයිස්, ෆ්‍රාන්ස් කෆ්කා, ඇල්බෙයා කැමු, ඉතාලෝ කැල්විනෝ, ජේ.එම්.කොඑට්සි, ටී.එස්.එලියට්, ඊ.එම්. ජොරාන් , ඩාන්ටේ, විටගන්ස්ටයින්, හෙයිඩෙගර්, ⁣ජෝර්ජ් බැතයිල් ඇතුළු සාහිත්‍යධරයන්ගේ සහ දාර්ශනිකයන්ගේ කෘති සහ චින්තනය හරහා පාඨක අපව පුස්තකාලය නම් භෞතික අවකාශයෙන් බොහෝ ඈතට ගෙන යයි.

‘තව සිංහයකු ළඟ’ කියවන විට ලාංකීය පුස්තකාල කතිකාවේ පවත්නා ප්‍රාථමිකත්වය, පටු බව මෙන්ම විලාසිතාවාදිත්වය ද නිරායාසයෙන් සිතට නැඟේ. මේ අනුව , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලමහිමයෙන් බිහිවන අතථ්‍ය සහ ඩිජිටල් පුස්තකාල හේතු කොටගෙන පුස්තකාලයීය භෞතික අවකාශයේ වැදගත්කම වියැකී යන බව ඇතැම් බලධාරීන් මෙන්ම පුස්තකාල වෘත්තිකයන් ද පුන පුනා පවසන අයුරු අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ. තොරතුරු වෙත ප්‍රවේශය , තොරතුරු හුවමාරුව හා පරිහරණය යන අර්ථයෙන් ගත් කල මෙම තාක්ෂණික නූතනත්වය ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට රුකුලක් බව අවිවාදිතය. එහෙත් පුස්තකාලය සහ පාඨකයා අතර පවත්නේ තොරතුරු හා බැඳුණු යාන්ත්‍රික සබඳතාවක් ම නොවේ. එහි ආත්මීය හා රොමැන්තික පාර්ශ්වයක් ද තිබේ. එරිකියානු සිංගප්පූරු චාරිකාව අපට පෙන්වා දෙන්නේ එම ආත්මීය හා රොමැන්තික බැඳීමේ ආධ්‍යාත්මික සාරයයි. නූතනත්වය තුළ පුස්තකාලයේ භෞතික අවකාශය අන් කවරදාටත් වඩා ශිෂ්ටාචාරමය අවශ්‍යතාවක් වී තිබේ. මෙකී ශිෂ්ටාචාරමය අවශ්‍යතාව වටහා ගත් පාලකයන් සහ ජනතාවක් සිටින රටක විනෝද මාර්ග කොතෙකුත් තිබුණද රාත්‍රියේ පුස්තකාලය වසා දමන තෙක් බොහෝ පාඨක පිරිසක් එහි රැඳී සිටීම අරුමයක් නොවේ. සංකීර්ණ , කාර්යබහුල ආර්ථික ක්‍රියාකාරිත්වයක යෙදී සිටින ජනතාවකගේ ජීවිතයේ සමතුලනය රැක ගැනීමට අවශ්‍ය සංස්කෘතික සැහැල්ලුව අතපත් කර ගැනීමට පුස්තකාල භෞතික අවකාශය අනිවාර්ය අංගයක් වී තිබේ. මෙම කෘතියේ රචකයාට චීන නලඟනක් හරහා ඩාන්ටේ දැකීමටත් දෘෂ්ටිවාදයට ගොදුරු නොවී සෞන්දර්ය විඳ ගැනීමටත් දුම්රිය ස්ථානයක සිට හෙයිඩෙගර් ගැන පොතක් කියවීමටත් සංස්කෘතික වයෝවෘද්ධභාවයේ සහෝදරත්වය අත්විඳීමටත් හැකියාව ලැබෙන්නේ මෙම පුස්තකාල චාරිකාව තුළින් අත්පත් කරගන්නා සංස්කෘතික සැහැල්ලුව නිසාය.

මෙය ප්‍රධාන වශයෙන් සිංගප්පූරු පුස්තකාල අත්දැකීම් පිළිබඳ රචිත කෘතියක් වුවද එය කියවන පාඨකයෙකු නිරායාසයෙන් ම ලාංකීය පුස්තකාල සන්දර්භය සමඟ සන්සන්දනාත්මක කියවීමකට පෙලඹෙනු නියතය. මෙම කෘතිය එලෙස කියවීමට බල කරන ඉඟි එරික් කෘතියේ අතරින් පතරට රිංගවා තිබේ. එහෙයින් මෙය මූලිකව මෙරට පුස්තකාල වෘත්තිකයන්ගේ විශේෂ අවධානයට ලක්විය යුතු කෘතියක් ලෙස නම් කළ හැකිය .මන්ද , පුස්තකාල පිළිබඳ නූතන කතිකාව ප්‍රතිඅර්ථකථනය කිරීමට අවකාශයක් ‘තව සිංහයකු ළඟ’ හරහා එරික් අපට විවර කර දෙන බැවිනි . එමගින් ආර්ජන්ටියානු ලේඛක ශෝෂ් ලුයී බොහේස් පවසන්නාක් මෙන් ‘ සුරලොව යනු අන් කිසිවක් නොව පුස්තකාලයයි’ යන්න ඒ සිංහ දේශයේ පමණක් නොව මේ සිංහ දේශයේ ද යථාර්ථයක් බවට පත් කරගත හැකි වනු ඇත.

උදිත අලහකෝන්

Related articles

මා දැකපු නිහාල් ප්‍රනාන්දු (2025 ජනවාරි 31 – පෙබරවාරි 06 දා බෙයාෆුට් ගැලරිය)

මා ග්‍රාන්ට් මකෑන් එරික්සන් ඇඩ්වර්ටයිසිංවල වැඩකරන කාලෙ (ලෝකෙ ඩිජිටල් වෙන්න ඉස්සර) ඉඳහිට ස්කෙල්ටන් පාරේ තිබුණු ස්ටුඩියෝ ටයිම්ස් එකට...

ප්‍රතිවිරෝධී නායකත්වයේ සංකේතය හෙවත් විළාසිතා කලාවේ සෙලෙන්ස්කිකරණය

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කල 2022 පෙබරාවාරි 24 වන දින, භූගත බංකරයක දින කිහිපයක් සැඟවී සිටින ජනාධිපති වොල්ඩිමියර්...

අතුල අයියා(රාවයේ වික්ටර්) යුගයකි, යුග නිර්මාපකයෙකි

අතුල අයියා, රාවයේ වික්ටර් අයිවන්, 71 අරගලයේ පොඩි අතුල නික්මගිය පුවත ලැබෙන විට මා සිටියේ කෑගල්ලේ සිට කුමාරි...

අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම හැමෝටම තියෙන අයිතියක් ද?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් ව අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස කළ ඉල්ලීමකට අධිකරණයෙන් අවසරය ලැබිණි. හිටපු ඇමැති, වර්තමාන...