අතුල අයියා(රාවයේ වික්ටර්) යුගයකි, යුග නිර්මාපකයෙකි

Share post:

අතුල අයියා, රාවයේ වික්ටර් අයිවන්, 71 අරගලයේ පොඩි අතුල නික්මගිය පුවත ලැබෙන විට මා සිටියේ කෑගල්ලේ සිට කුමාරි දයානන්දගේ පද්මරාගය නවකතාවේ එලිදැක්වීම හමාර කර ආපසු එමිනි. එහිදී හමුවූ ලසන්ත ද සිල්වා හට අතුල අයියාගේ තත්වය අයහපත් බව කියා යාන්තම් හෝරාවක් ඉක්ම යන්නට ඇත. ජයේ-ජයසිරි ජයසේකර මා අමතා අතුල අයියාගේ තත්වය කියා ඔහුගේ භූමිකාව ගැන අප යමක් කල යුතුයයි කීවේ ඊයේය.
ඉදින් අද ඔහු නික්ම ගොසිනි.
මට සිහිපත් වූවේ පුනරුද ව්‍යාපාරයේ අප සක්‍රීයව සිටි අවධියේ ඔහු වරෙක කී දෙයකි.
“මට සුව කරන්න බැරි අසනීපයක් හැදුනොත් මගේ මරණය ලං කරගන්න සහය වෙන්න කියල මං යාලුවෙකුගෙන් ඉල්ලුවා, මිනිහා ඒකට කොහෙත්ම එකඟ වුනේ නෑ”
ඔහු ජීවත් වූවේ හිතුවක්කාරයෙකු ලෙසිනි. එහෙත් ප්‍රතිවිරෝධයන්ගෙන් ගහන ඒ හිතුවක්කාරයා ලාංකීය පුවත්පත් කලාව දෙපයින් නගා සිටුවීමට දැවැන්ත මැදිහත්වීමක් කලේය.
ඔහු සටන්කාමියෙකි. තමන් ඇරඹූ සටනක් තනිවම හෝ අවසානය දක්වා ගෙන යාමට හේ කිසි විටෙක හෝ පැකිලුනේ නැති.
ඔහු ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කතා කලේය. එහෙත් සංවිධාන කටයුතුවලදී විටෙක හේ දරුණු ඒකාධිපතියෙකි.
තවත් විටෙක හේ උග්‍ර මුරණ්ඩුවෙකි. වරෙක සිගරැට් බීම ගැන ඔහු විවේචනයට ලක් කරමින් දුමින් කරනා පරිසර දූෂණය ගැන කී විට ඔහු පෙරළා අප බිම හෙලුවේ මගෙ සිගරැට් එකට වඩා ඔයාලගෙ වාහන දුම දරුණුයි කියමිනි.
ඔහු හා වාදය අතිශය දරුණුය. එහෙත් ඒ වාදයනට පසුවද ඔහුගේ මැදිහත්වීම ගැන මගේ ගෞරවය බිඳවැටුනේ නැති.
පුනරුදය, අයිවන් භූමිකාව ගැන මගේ නොඑකඟතා මතුවූ විට මම පසෙකටවීමි. එහෙත් ඔහු හා කතාබහ පැවැත්වීමී.
රාවය සම්බන්ධයෙන් ඔහුගේ පසුකාලීන මැදිහත්වීම් මෙන්ම දේශපාලන මතයන් පිළිබඳවද මගේ නොඑකඟතා කොතෙක් වුවද මා සැමවිටම ඒ බෙදාගත්තේ සීමිත පිරිසක් සමග පමණි. ඒ ඔහුගේ අමිල භූමිකාව ගැන මා තුල වූ ගෞරවය නිසාවෙනි.
ඔහු පුරෝගාමියෙකි. රාවය එහි ඉහළම සලකුණයි.
ඔහු අයුක්තිය හමුවේ කොන්දේසි විරහිත ප්‍රහාරකයෙකි. සරත් සිල්වා හා කල අරගලය එහි කැපී පෙනෙනම සලකුණයි.
ඔහු විඩා රහිත ගවේෂකයෙකි. ලංකාවේ කුල සාධකය ගැන ඔහුගේ ගවේෂණ මෙහිලා ප්‍රමුඛය.
ඔහු උග්‍ර කියවන්නෙකි. ඔහු විසින් නිර්දේශ කරන ලද කෘති සියල්ලම පාහේ මම සැමවිටම සොයාගතිමි. ඉතා වෙහෙසව සෑම කටයුත්තක්ම කල ඔහු එවන් කැපවීමක් අන් අයගෙන්ද අපේක්ෂා කලේය.
ඔහු සර්ව නිර්දෝෂී මිනිසෙකු නොවේ. එහෙත් ඔහු තුල වූ බොහෝ ගුණාංග බොහෝ නිර්දෝෂී ලෙස රැඟූ අය අහලකවත් නොවී.
මා ගල්වල පාරට ගියේ රාවය සඟරාව පළවන කාලයේය. ජවිපේ පූර්ණකාලීනයෙකු වූ මට අපේ දේශපාලනයේ විවේචකයෙකු වූ ඔහු එකල සතුරෙකි. එහෙත් රාවය මට මිතුරෙකි. එහෙයින් මම ඔහු සමග කතා නොකර රාවය සඟරාවන්ගෙන් මගහැරුණු කලාප ගෙන පිටව ආවෙමි.
යලි මා ඔහු දකින්නේ මහරගම කාර්‍යාලයේදීය. ඒ මා නුවන් උදය වික්‍රමසිංහ නමින් හයවෙනි මහල කොලම ලියද්දීය. එකල මා ජනරංජන හමුවී විමලනාත් සමග කතා කරන විට අතුල අයියා විමලේ සමග කතා කරයි. මම නිහඬව බලා සිටියෙමි. මා කවුදැයි එක් එවන් දිනෙක ඔහුට හඳුන්වා දුන්නේ විමලේය. ඉතා කෙටි කලකින් එය සමීප ඇසුරක් වූවේ රාවය ගොඩගැනීමේ අරමුදල සහ පුනරුද ව්‍යාපාරය දක්වා ඇදී ගියේය.
පොඩි අතුල, අතුල අයියා මෙන්ම වික්ටර් අයිවන් මගේ ජීවිතයේ චරිතාදර්ශයකි. ඒ විය යුතු නොවියයුතු යනදෙපාර්ශවයෙන්ම සැපයූ පාඩම්ද සමගිනි.
ඔහු එක් යුගයක් නිර්මාණය කලේය. එහිලා ඔහුගේ මැදිහත්වීම අද්විතීයය. එය ඔහුටම අනන්‍යවූ මැදිහත්වීමකි. ඔහු අනුකරණය කල නොහැක්කෙකි.
ලාංකීය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඔහු සද්දන්තයෙකි. ඒ පීඨිකාවෙන් ඔහු බිම හෙළිය නොහැකිය. ඔහුගේ උග්‍රම විවේචකයාට වුව අවංකව එය ප්‍රතික්ෂේප කල නොහැකිය.
අප යලි හමු නොවන බව සැබැවි. එහෙත් ඔහු තැබූ සලකුණු නොමැකෙන බවද එලෙසම සැබැවි.
අතුල අයියා යුගයකි, යුග නිර්මාපකයෙකි. මා ඔහුට සමුදෙන්නේ ඒ ගෞරවයද සමගිනි.
අදහස් අතින් කවර පරිවර්තන සිදුවුවද ඔහු මියෙන තුරාම ජීවත්වූවේ හැත්තෑ එකේ අරගලයේදී මරණයට නිභයව මුහුණ දුන් අයුරින්මය.
ඉදින් මම ඒ මිනිසාට හිස නමමි.
අතුල අයියේ සුබ ගමන්.
අසූ නමයේදී මගේ රාවය සඟරා එකතුව ගෙදර බිත්ති අල්මාරියක් යට වලලන ලදුව දිරා ගියේය. යලි එහි පිටපත් මට තම එකතුවෙන් ලබා දුන්නේ බන්දුල ආර් ගුලවත්තය.

චූලානන්ද සමරනායක

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...