ආසියානු කලාපයේ ගැහැනිය සිය ජීවන ස්වරූපය ගොඩ නගා ගනු ලබන්නේ පිරිමියාගේ ආධිපත්‍ය තුල වීම දැකිය හැකි පොදු ලක්ෂණයක්. තමන් ගේ ස්වාභාවිත හැඟීම් දැනීම් හකුලාගත් ගුහාගත පොදු ගැහැණියෙක් එහිදී අපට සම්මුඛ වෙනවා.
සාහිත්‍යකරණයේ නියැලී සිටින බොහෝ ගැහැනුන් මේ කොටුව කඩා ඉන් මිදෙන්නට ගන්නා උත්සාහයන් ද ඒ අතර අපට දකින්නට ලැබෙනවා. අරුන්දතී රෝයි, කමලා දාස්, මහේස්වතා දේවි, තස්ලිමා නස්රීන්, බෙගම් රොකෙයා හොසේන්, මොනිකා අලි වැන්නවුන් විශ්ව සම්භාවනාවට පාත්රවූවන්.
ලාංකේය සාහිත්‍යකරණයේ ද රචිකාවියන් රැසක් ගැහැනිය මුහුණ දෙන ජීවන අත්දැකීම සීමා කිරීමි වලින් තොරව නිදහසේ ලියන්නට උත්සාහ ගන්නවා. අතීතයේ දී ගැහැනිය කලාකටයුතු වලට විවර වීම දැඩි ලෙස සිමා කර තිබූ යුගයක් ද අප පසු කර තිබෙනවා. නමුත් වර්තමානයේ අප දකින්නේ පිරිමින් හා සම සමව සාහිත්‍ය කලා විෂයන් හි නිමග්න වන ගැහැනුන්. එය සැබැවින්ම ප්රගතිගාමී ස්වරූපයක්. විශේෂයෙන් පද්‍ය සාහිත්‍ය තුල නිරත වන ගැහැනුන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවන ආකාරයක් ද දකින්න පුලුවන්.
උපෙකලා අතුකෝරල කිවිඳියගේ ʺතුංග මතක මැදුරකිʺ කෘතිය තුල ද අපට දකින්නට ලැබෙන්නේ ප්‍රතික්ෂේප විම, අතැරයාම, නොසලකා හැරීම, දෙවැනි තැනට ලෑම වැනි කාරණා හමුවේ ගැහැනිය උපේක්ෂා සහගතව ජීවිතය ගවේෂණය කරන්නට ගන්නා උත්සාහයන්.
කුමකට ලැබී තටු දෙක
ගගනත සරනු මෙලෙසට
අත්තටු රිදෙන කිසිවිට
මේ නිදහසට නැවතුම
නැතිකම බරකි හිතකට
ʺදෙනවද දළඹු සැනසුමʺ නිර්මාණයේ ඇය කතා කරන්නේ විවිධ සමාජ කාරණා හේතුකොට ගෙන ගැහැනිය විඳින පීඩනය. එහිදී ඇය සමනලයාගේ ජිවන චක්‍රය සංකේතාත්මකව උපයෝගී කරගන්නවා. සමනලයෙක් වී හැඩ වැඩ වනවාට වඩා කාගේවත් අවධානයට ලක් නොවන දළඹුවෙකු ලෙස සිටීම ජිවිත නිදහස බුක්ති විඳීමක් බවයි ඇය පවසන්නේ.
තටු දෙක අනේ අරගෙන
දෙනවද දළඹු සැනසුම
පරවන නියති නොදකින
මොකටද මෙහෙම පුප්පන
මල්වල බලනු ලොකුකම.
(පිටුව 14, 15)
ʺජයාʺ නම් වු නිර්මාණයේ දී ද උපෙකලා පොදු සමාජය ගැහැනිය මනින පුරුෂ මූලික මිනුම් දඬු ගෙනහැර දක්වනවා.
ʺකෝලයක් නැතිකම – නැලවෙන්න බැරිකම
නැමෙන්නෙ ම නැතිකම – චැරයක් නැති කටʺ
ගෑනුකම්වල මිම්ම වුණු ටික
හැමදාම තිබුණේ ම මිටියට
ˊජයාˊ වාගේ වෙන එක හෙමිහිට
ˊඡායාවක්ˊ වෙලා මැකුණේ එහෙම
කොච්චර උස උනත් පිරිමි ළඟ
මිටිවෙලා මිඩිකම් කෙරුම අතහැර
ˊරේඛාˊ වගේ ඇඳ පැලඳ ගෙන
හැම ˊමගුලට මˊ යන එක තනිය ම
ඈතින් ඉඳන් ˊඅමිතාබ්ˊ ලා සිඹින එක
ඇබ්බැහියක් උනේ ඒ වගෙයි ටික ටික.
(පිටුව 16, 17)
පුරුෂ මූලික සමාජය තුල සිය නිදහස කොටුකරගත් ගැහැනිය ඉන් මිදීමට යටි මනසින් දක්වන්නේ අසීමිත කැමැත්තක්. සමාජය විසින් තත්වාරෝපිත ඇය තමාගේ නිසඟ ස්වාභාවය සොයා යන්නට ඇති උවමනාව මනා ලෙස ගොනු කළ කවියකි ʺඕනෑ ය.ʺ නම් වූ කව.
මක මකා යළි යළි අඳින
ජීවිතේ සිත්තමට පණ පොවන
සිත්තරෙකු නොසොයම්
හිතු හිතු විටෙක ඒවා මට
ඇඳ ඇඳ මකන්නට ඕනෑ ය
අනුන් සාදා දෙන රාමුව තුල ජීවිතය කොටු කරන්නට ඇය අකමැතිය. ඇයට අවශ්‍ය වන්නේ තමන්ට අවැසි ලෙස ජීවිතය කියවා ගැනිමට හා වර්ණ ගැන්වීමට ය.
පස්කම්හි රේඛා මිමි අඳින
බෝසත් පරපුරක නෑකමක් ලද
තවුසෙකු ව නොසොයම්
ඉඳහිටක මී වතක තුඩග හිඳ මට
ළං ළංව නිවෙන්නට ඕනෑ ය
පින්තූරයක මුවට මුව සිඹින
වේලෙන් වේල ආදරේ පිණිවුඩ තබන
පෙම්බරෙක් ඉතින් නොසොයමි
තබා බත් පතෙහි කවක් ඉඳහිට
අවේලාවක නුරා තෙපුලක සැඟව
නොනිවී දැවෙන්නට ඕනෑ ය මට.
මේ ආසියාතික ගැහැනියකගේ අභ්‍යන්තර වේදනාව යැයි නොකිය හැක්කේ කාටද? මේ ගැහැනිය සොයන නිදහසයි. මේ ඈ තමන්ව මුදවා ගන්නට ඇති කැමැත්තයි.
උපෙකලා ගේ කවියේ දැකිය හැකි තවත් සුවිශේෂ කාරණයක් වන්නේ ඇය කවිය සඳහා භාවිතා කරන භාෂාව. එය පුරාතන විදග්ධ භාෂාවේ සිට අද්‍යතන සමාජයේ භාවිත භාෂාව දක්වා පුළුල් පරාසයක පතුරවන්නට ඇය සමත් වෙනවා.
කව් නළු සොබා සිරි රැඳි
ඉඳහිට දිනˊග මත්වෙමි
උර උර සැඳෑ එළි දිලි
පදිකා දිගේ පියඹමි
භාෂාව පමණක් නොව ඇත පුරාතන පද්‍ය ආකෘතීන් ද නූතන අත්දැකීම් සංන්නිවේදනය සඳහා ඉතා හුරුබුහුටි ලෙස භාවිතා කරනවා.
රිය සක නොරිසි වේගෙනි
මග දිග මුසා රස වැකි
ඉස ඉස පැනිˊති අත රැඳි
රෑ කෑ සැල ද දැන් නැති
(තුංග වූ මතක මැදුරකි, පිටුව 41)
ප්‍රේමය, ආදරය, දයාව වැනි මිනිස් වේදයිතයන් දෙස පවා ඇය බලන්නේ උපේක්ෂාභරිත හැඟීම් පෙරදැරිවය. එහි කිසිම තැනෙක වෛරී හැඟීමකුදු දක්නට නෑ.
මතකයි ද ඒ දුර දවස්වල
මං ඔබට ලොබ බැන්ද කාරණ
ʺකොහේ උන්නත් හොඳ තාත්තෙක්
වෙනවමයි ඔබ ˊඇයටˊ, දරුනටʺ
(හොඳ තාත්තෙක් වෙනවමයි ඔබ, පිටුව 21)
බිඳ වැටුන ප්‍රේමය දෙස පවා ඇය බලන්නේ උපේක්ෂාවෙන්. කිසිම විට අහිමිවිම තුලින් ප්‍රති සතුරෙක් ගොඩ නගා ගන්න ඇය සූදානම් නෑ.
පෙත් මගක
එකලා ව පිය මනින
ඔබ සමග
හෙමි හෙමින්
නොගෑවී ගෑවී
පසු ගමන් එමි
ඇගේ ප්‍රේම සිහිනය එබඳුය. නමුත් ප්‍රේමයෙන් උත්පාදිත වේදනාවට, රිදුමට ඇය බියවෙනවා. නමුත් ඇයට ප්‍රේමය අවශ්‍ය බවත් ඇඟවෙනවා. මේ උභතෝකෝටිකය ඇය ඉතාම නිර්මාණශීලී ලෙස කවිය අවසානයට ගොඩ නගන්නේ මේ ආකාරයෙන්.
අලුත් රිදුමක
ස්පන්දනයට බිය වෙමි
පවුරක් තනා හද වට
යතුර
ඔබ වෙත විසිකරමි.
(යතුර, පිටුව 18)
මානව සම්බන්ධතා තේරුම් නොගන්නා, යල්පැන ගිය සමාජ තුලින් නිදහස් ගැහැනියක හුදකලාවීමට දක්වන කැමැත්ත අනුභූතිය කරගත් ʺහිස් විය යුතුය දැන් මටʺ නිර්මාණය තුලද අපට හමුවන්නේ පීඩනයට ලක්වූ ගැහැනියයි.
ප්‍රියය,
පැමිණිය හැකි ද හනිකට
මා රැගෙන යන්න දුරකට
කවුරුත්ම නොසොයන
දුර ම දුර ඈත දුරකට
මිනිස් කිලුටින් හිස් වූ
විජන වූ පෙදෙසකට
නිර්මාණය අවසානයේ ඇය තමන්ගේ පීඩනයේ තරම මෙලෙසින් පවසනවා.
ප්‍රියය,
සිප්සත දමමු කෝවක
අපි යමු ඉතින් දුරකට
මේ ගල් අරන් දෑතට
එක එක දමා දියකට
ඔබ උර බදා මොර දී
හිස් විය යුතු ය දැන් මට.
(පිටුව 32, 33)
උපෙකලා අතුකෝරල යනු තමන් තුලම අරගලයක් කරන, සමාජ විසින් මවා දෙන ගැහැනිය අතික්රමනය කිරිමට නොතිත් උවමනාවෙන් පෙළෙන, සමාජ සම්මත රාමු බිඳ ගැහැනියට අවශ්‍ය නිදහස හා ස්වයං තීරණ ගැනීමේ අයිතිය ඉල්ලා සිටින කිවිඳියක්. ඇය මේ සොයා යන්නේ ඓතිහාසිකව පිරිමින් විසින් අහිමිකළ ගැහැනු නිදහස. සම්මත පිරිමියාගෙන් මිදී නිදහස්කාමී පිරිමි සහ ගැහැනු වෙසෙන සමාජයක් දැඩිව උවමනා බව සිය කවියෙන් හඬගා කියන්නියක් උපෙකලා අතුකෝරල නම් කිවිඳිය තුල ඉන්නවා. ඇය මේ උස් හඬින් කියනා දෙය පිරිමි ඔලුවකින් තේරුම් ගන්නේද? ඇයම කියනා ලෙස,
මේ කිසිදු කවියක්
ඔබට නොවැටහෙන බව
ඉඳුරා ම මම දනිමි
එනමුත්
මම ලියමි.