කදිරගාමර් ඝාතනය ගැන අලුතින් විමර්ශන පටන්ගනියි ද? : රිමාන්ඩ් කර සිටි එක ම සැකකරු මියගිහින් – ඉන්ටර්පෝල් ලැයිස්තුවෙත් සැකකරුවෙක් !

Share post:

කීර්තිමත් විදේශ කටයුතු ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කෙරුණේ 2005 අගෝස්තු 12 වැනිදා ය. මේ ඝාතනයට අදාළ නඩුව දැන් අවසන් ය. කදිරගාමර් ඝාතනය කළ අයෙක් නැත.

මේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ එක් සැකකරුවකු පමණි. ඒ සැකකරු, සැකකරුවකු ලෙස වසර 14ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට වකුගඩු රෝගයෙන් මියගියේය. ඉන්පසුව ය, අධිකරණය නඩුව අවසන් කළේ.

මුත්තයියා සහාදේවන් නම් ඒ සැකකරු ගස්වල අතු කැපීම ඇතුළු එදිනෙදා වැඩ කරමින් ජීවත් වූ අයෙකි. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ කදිරගාමර්ට වෙඩි තැබූ ස්නයිපර් වෙඩික්කරුගේ දර්ශන පථය සකස් කළ බවට චෝදනාවක් එල්ල කරමිනි. එනම් ඔහු ඒ අසල පිහිටි ඉහළ පොලිස් නිලධාරියකුගේ නිවසක පිහිටි ගසක අත්තක් ඊට දින කිහිපයකට පෙර කපා තිබිණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔහු තම පාපොච්ඡාරණයේදී කියා තිබුණේ මීට පෙරත් ඒ ගෙදර, ඒ ගසේ ම ඔහු අනන්තවත් අතු කපා ඇති බවකි.

කෙසේ වෙතත් ඔහුගේ කතාව දැන් අවසන් ය. ජාත්‍යන්තර පොලිසියෙන් රතු වරෙන්තු නිකුත් කර ඇති ශ්‍රී ලංකාවේ සිදු වූ අපරාධවලට අදාළ සැකකරුවන් සංඛ්‍යාව පහකි. ඒ අතර ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට ආධාර-අනුබල දුන් බවට සැක අයෙක් ද සිටියි. ඔහු නඩරාජා සිවරාජා ය. කොළඹ 13 උපන් ඔහුගේ වයස අවුරුදු 51කි.
මේ තීරුවෙන් හදිසියේ ම කදිරගාමර් ගැන කතාකළේ විශේෂ හේතුවක් නිසා ය. කදිරගාමර් පවුලෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. නොනිල වශයෙන් ජනාධිපතිවරයාගේ සමීප සම්බන්ධතාවක් හරහා පැමිණ ඇති මේ ඉල්ලීමෙන් කියන්නේ හැකි නම්, කදිරගාමර් ඝාතනය පිළිබඳ නැවත පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. එයින් බරපතළ ඝාතනයක්, ඝාතන සැලසුමක්, ඊට ඈඳෙන කතා පෙළක් අනාවරණය වනු ඇතැයි ද ඔවුන් කියා ඇත.

ආරංචි වන ආකාරයට ආණ්ඩුව පැත්තෙන් තවමත් ඊට අදාළ නිල පියවරක් ගෙන නැත. කෙසේ වෙතත් ඒ ගැන ආණ්ඩුව අවධානය යොමු කර තිබේ. පවුලේ ඉල්ලීම වගේම ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් චරිතයක් වූ ලක්ෂ්මන් කදිරගාමර්ට සිදුවූයේ කුමක්ද යන්න අනාවරණය කරගැනීම ශ්‍රී ලංකාවේ යුක්තියේ කතාවේදී වැදගත් බවට ද ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා වී ඇත.

Related articles

පහළ අධිකරණවලට පාඩමක් උගන්වමින් වසර 24ක තෑගි ඔප්පු ප්‍රශ්නයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳයි !

නඩුවක තීන්දුවක් ලබාදීමේදී ලේඛනගත වර්තමාන නීතිය පමණක් නොව උඩරට නීතිය වැනි සාම්ප්‍රදායික නීතිමය රාමු ද සූක්ෂ්මව ගලපා ගත...

2009 සැප්. 02 – 2017 පෙබරවාරි 08 : ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයෙන් සහ අයුතු ඇතුළුවීමෙන් මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස් !

ඇත්ත යළිත් දිනුවේය. ඇත්ත ඉදිරියේ, සාධාරණත්වය ඉදිරියේ යළිත් ඔවුහු පරාජයට පත් වූහ. ජනතා සටන් ඉදිරියේ පාලකයන්ට සියල්ල අකුලාගෙන...

පරිවර්තන පහසුකම් හදන්නට පොලිස්පතිට ඇත්තේ තවත් මාසයක් පමණයි !

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයාට කළ නියෝගයක් ලබන මාසයේ 08 වැනිදා වන විට ඉටු කළ යුතු ව තිබේ. එනම් අද...

‘චෙම්මීන්’ – තකලි ශිව ශංකර පිල්ලෙයි

ඉන්දියානු සාහිත්‍යය ඇසුරු කරනා වාරයක් පාසා මා හදවත විශ්මයටත් ආහ්ලාදයටත් පත් කරයි. පෞරාණික ඉතිහාසයක් හිමි ඉන්දියානු සාහිත්‍ය වරින්...