ලංකාව නූතන ලෝකයෙහි ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම් කවර පාලකයෙකුගෙන් වුව සිදුවිය යුතු දැවැන්තම මැදිහත්වීම සිදුවිය යුත්තේ අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයටය. එය අධ්‍යාපනයට සියයට හයක් යන සටන් පාඨයද ඉක්මවා යන ප්‍රතිපාදනයන් පමණක් නොව තවත් බොහෝ කරුණු අතින් අතිශය දියුණු දැක්මක් සහිත මැදිහත්වීමක් විය යුතුය. ඒ මැදිහත්වීමෙහිදී බරපතල සැලකිල්ලක් යොමුකළ යුතු කරුණක් විය යුත්තේ අපේ ගුරු භූමිකාව දෙපයින් සිටුවීම කෙරෙහිය. වරෙක අප රටේ සිටි අගනා ලේඛකයෙකු වූ එසේම ගුරු භූමිකාවෙහි කැපී පෙනෙන මැදිහත්වීමක් කළ ඇන් ටී කරුණාතිකල ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි යනුවෙන් නවකතාවක් රචනා කළේය. ඉන්පසුව ඔහු දිගු ගමනක කෙටි සටහන් යනුවෙන් සිය දිවි සැරිය පිළිබඳව රචනා කළ කෘතිය ගුරු භූමිකාව ගැන ලියවුනු අගනා කෘතියකි. මා ඔහුගේ ඒ කෘතිය කියවූවේ සිර කුටියක හිඳිමිනි. එය කියවා අවසන මම ඒ ගැන මගේ අදහස් ලියා අප මුර කල පොලිස් රැකවලෙකුගේම සහයෙන් ඔහුට යැවීමි. ආපසු ලිපිනය ලෙස නිවසේ ලිපිනය සඳහන් කලෙන් හැරෙන තැපෑලෙන් ඔහුගෙන් පිලිතුරක්ද ලැබිණි. ඒ සමගම ඔහු එවක ලියමින් සිටි නවකතාවක අත් පිටපතද මගේ අදහස් අසා එවා තිබිණි. එහෙත් ඔහු මා සිර කුටියක පසුවන බව දැන සිටියේ නැති. මා ඒ ගැන ලියන්නද ගියේ නැති. පසු දවසක ඔහු මා සොයා අපේ නිවෙසට ගොස් තිබූ අතර පාවහන් යුවකල් හෝ නොපැළඳි මේ මිනිසා ඔත්තුකාරයෙකැයි ගමේ අය වරදවා වටහාගෙනද තිබිණි. මියෙන තුරා මට ඔහු හමු නොවූවද අප අතර දිගටම ලිපි හුවමාරු වූ අතර මට අදත් ඔහු සිහිවන්නේ මගේ ජීවිතය පුබුදු කළ මිනිසකු ලෙසිනි. ඔහුගේ දිගු ගමනක කෙටි සටහන් යනු මා කියවූ ගුරු අත්දැකීම් අතර අගනා කෘතියකි. ඒ කෘතියේ ඇති වටිනාකම වැඩියෙන්ම රඳන්නේ එහි ඇති අව්‍යජත්වය තුළය.
ඇන් ටී ගේ පරම්පරාවට බොහෝ පසු පරම්පරාවක පුරුකක්ද දැන් ගුරු ජීවිතය ගැන නිර්මාණ කෘතියක් රචනා කර තිබේ. ඔහු සුජීව විජේරත්න ය. අද වන විට ඔහු ගුරු භූමිකාවෙන් ඉදිරියට ගොස් අධ්‍යාපන පරිපාලකයෙකු ලෙස කටයුතු කරයි. ඔහු තම කෘතිය රචනා කරනුයේ ස්වයං කථනයක් ලෙස නොව නවකතාවක ආකෘතියෙනි. එනම් අත්දැකීම් සහ පරිකල්පනය මුසු ප්රොබන්ධයක් වශයෙනි. ඔහු ඊට පාදක කරගනුයේ හැත්තෑව-අනූව දශකයන් අතර අපේ පාසල් ක්ෂේත්‍රයයි.
ඔහුගේ කෘතිය තුළ අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අවධානයට ලක් කළ යුතු අංශ කිහිපයක්ම සාකච්ඡාවට ගැනෙයි. ඒ අතරින් වැඩිම ඉඩක් වෙන් වනුයේ ගුරු භූමිකාව කෙරෙහිය. ගුරුවරයා යනු අප සමාජයෙහි අතිශය ගෞරවාදරයට පාත්‍රවන, රැකියාව ඉක්මවා යන සමාජ සේවයක් සේ සැලකෙන වෘත්තියකි. බොහෝ විට අප ගුරුවරයා අමතනුයේ දිසාපාමොක් පරම්පරාවේ පුරුකක් ලෙසිනි. තවත් විටෙක එය සෝවියට් සාහිත්‍යයේ එන දුයිෂෙන් හට සමාන කෙරෙයි. එහෙත් අදවන විට ගුරු භූමිකාව වාණිජ ලෝකයේ ගිලී යමින් තිබෙනුයේ ගුරුවරයාද ටියුෂන් තරගයෙහි සෛන්ධවයකු බවට පත් කරමිනි. එහෙත් ඒ අතරෙහි සීමිත පිරිසක් තවමත් සිය භූමිකාව සමාජය වෙනස් කිරීමේ කාර්යයේ ම කොටසක් ලෙස ගෙන පංති කාමරය යනු විෂය කරුණු උගන්වන තැනකි යන අදහස ඉක්මවා විවිධ බාධක මැද ඉදිරිය බලති. මෙය වර්තමාන තත්වයන් තුළ ලෙහෙසි කාර්යයක් නොවේ.
සුජීව සිය කෘතිය තුළ ගුරු භූමිකාව දෙස විවෘත බැල්මක් හෙලයි. ගුරුවරයාගේ විභවයන්, දැක්ම මෙන්ම ඔහු සතු සීමිතකම්ද සාකච්ඡාවට ගනිමින් ඔහු ගුරුවරයාගේ මැදිහත්වීම කෙරේ සිය අවධානය යොමු කරයි. ඉගැන්වීම මෙන්ම. සිසුන්ගේ ජීවිතය පොහොසත් කිරීම උදෙසාද ගුරුවරයකු සතු දක්ෂතාවන් නිර්මාණශීලීත්වය මෙන්ම උපායශීලීත්වය සහ ස්ථානීය එළඹුම් ආදී වශයෙන් ඔහු විවිධ පැති මෙහිදී සිය අවධානයට ලක් කරයි. විටෙක හාස්ය දනවන අයුරින් සහ විටෙක සංවේදී අයුරින් ඔහු මේ කරුණු කෙරේ අවධානය යොමු කරනුයේ ගුරු බූමිකාවෙහි ඇති අභියෝගාත්මකබවද පාඨකයා වෙත ඉදිරිපත් කරමිනි.
ඔහු මේ සමගම සිසු භූමිකාවද ගුරු භූමිකාව හා සම්මුඛ කරමින් තම කෘතිය ගොඩ නගයි. සිසුවා යනු සාවිහිංසක චරිතයකි යන පුර්ව නිගමනය මත නොපිහිටා ඔහු සිසුවා යනුද මේ සමාජයේම නිෂ්පාදනයකි යන්න මත පිහිටා ඒ පාර්ශවය ගැන කතා කරයි. සිසුන්ගේ කුසලතා, ඔවුන් සතු අවිහිංසකකම මෙන්ම ඔවුන් තුළ වන දඟකාරකම්, කපටිකම් මෙන්ම ගුරු භූමිකාව වෙත ඔවුන් තුළ වන සියුම් නිරීක්ෂණයන් හරහා සිසුවා තුළින් එන උපහාසය මුසු නිර්මාණශීලී මැදිහත්වීම් ඔහු මේ කෘතිය තුළ ඉදිරිපත් කරන්නේ උපහාසය මෙන්ම උත්ප්‍රාසයද මුසු බස් වහරකිනි.
ඔහු මේ කෘතියෙහි පාසලක අනිවාර්ය කොටස්කරුවා වන දෙමවුපියන් මෙන්ම පාසල් පද්ධතියට විටෙක විශාල අවහිරයක්ද වන දේශපාලක මැදිහත්වීමද අවධානයට ලක් කරයි. ඒ සියල්ල අතරේ පාසලක වැඩ කිරීමෙහිදී ගුරුවරයකු හට මුහුණ දීමට සිදුවන විවිධ අගතීන් ගැනද ඔහු කතා කරයි. ගුරු-විදුහල්පති භූමිකා අතර සම්බන්ධය සහ ගැටුම්, මේ දෙපාර්ශවයේම ආකල්පමය ගැටළු, ගුරු සිසු සබඳතා මෙන්ම යොවුන් සිසුන්ගේ සබඳතාවන්හිදී ඒ කෙරේ වන ගුරු ආකල්ප ආදියද ඔහුට මගනොහැරෙයි. පාසල පද්ධතිය තුළ සිසුන්ගේ යහපත උදෙසා භාවිතා කල යුතු භාණ්ඩ පවත්නා නීති යටතේ බඩු වට්ටෝරු පොතෙහි සටහන් බවට පත්ව බහිරව චරිතයන්හී ආරක්ෂාව යටතේ අල්මාරිගත වන ආකාරය වරෙක ඔහු සඳහන් කරනුයේ හාස්ය් දනවන අයුරිනි. එහෙත් මේ වර්තමාන පාසල් පද්ධතිය තුළද දක්නට ලැබෙනා එක් බරපතල ගැටළුවකි. පුස්තකාල පොත් පරෙස්සම් කිරීම උදෙසා ඒ පොත් සිසුන්ගෙන් ඈත් කර තබන්නට තැත් දරන විදුහල්පති සහ ගුරුවරුන් අදද දුලබ නැත. එසේම එවන් පැත්තකට ගුරු-විදුහල්පති යොමුවීම කෙරේ අපේ නීති පද්ධතියෙහි ඇති දරදඬු එළඹුම්ද බලපානා බව සුජීව මෙහිදී මතු කර දක්වයි. ඔහුගේ කෘතිය කියවාගෙන යද්දී මට සිහි වූවේ වරෙක වැඩමුළුවකදී මා හමුවට ආ ගුරුවරයෙකි. ඔහු මගෙන් ඉල්ලා සිටියේ තමාට ස්ථාන මාරුවක් ගැනීමට උදවු කරන මෙනි. හේතුව ඇසූ කළ ඔහු කීවේ තම පාසලෙහි තමන් හට පැවරී ඇති රාජකාරිය පුස්තකාලය පාලනය බවත් විදුහල්පති වසර දෙකක් තිස්සේ තමාට පුස්තකාලය විවෘත කරන්නට නොදෙන බවත්ය. මේ බහිරව භූමිකාව පාසල් පද්ධතියෙහි විවිධ අවස්ථාවල අපට හමුවන නමුදු එවන් චරිතයන්හී බිහිවීමට මේ පද්ධතියෙහි අනම්‍ය රාමු වල අඩුපාඩුද බලපානා බව අප අමතක නොකළ යුතුය.
සුජීවගේ කෘතිය ගෙවුන දශක කිහිපයකට ඉහත අපේ පාසල් පද්ධතිය කෙරේ යොමු කරන නිර්මාණාත්මක බැල්මකි. එය රසවත් කියවීමකි. එසේම එය අපේ පාසල් පද්ධතිය මෙන්ම ගුරු භූමිකාව සම්බන්ධයෙන්ද වන කතිකාවක අවශ්‍යතාව සාකච්ඡාවට ගන්නකි. මෙවන් කෘති හරහා අප ඉදිරියට ගෙන යා යුතුව ඇත්තේ ඒ සාකච්ඡාවයි.