නීතිපති ස්ථාවරය අබිබවා යන්න මට බෑ : ඒත් අභියාචනාධිකරණයේදි මේ ඝාතන ගැන මහෙස්ත්‍රාත් අධිකරණය දැරූ මතය අදාළ කරගන්න – වැලිසර මහෙස්ත්‍රාත්ගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට අතුල් පහරක් !

Share post:

නීතිපති ස්ථාවරය අබිබවා නඩු කටයුතු පවත්වාගෙන යෑමට මහෙස්ත්‍රාත් අධිකරණයට අධිකරණමය බලයක් නැති නිසා මහර බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ නඩුව අවසන් කළ ද, අභියාචනාධිකරණයේදී මේ ඝාතන සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය දැරූ මතය අදාළ කරගන්නා ලෙස වැලිසර මහෙස්ත්‍රාත් ධම්මික උඩුවේවිදාන අවධාරණය කළේය.

මහෙස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කළේ නීතිපති උපදෙස් මත එම නඩුව අවසන් කරමිනි.
මහර බන්ධනාගාරයේ සිරකරු ඝාතන නඩුව අවසන් කිරීමට නීතිපතිවරයා ගත් ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව නීතිපතිවරයා ඊයේ (17) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව නීතිපති ස්ථාවරය අබිබවා නීති කෘත්‍ය පවත්වාගෙන යා නොහැකි බැවින් මහර සිරකරු ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු කටයුතු අවසන් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන තීරණය කළේය.

කොවිඩ් වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පීසීආර් පරීක්ෂණයක් ඉල්ලා 2020 නොවැම්බර් 29 වැනිදා මහර බන්ධනාගාරයේ රැඳවියන් සිදුකළ උද්ඝෝණයට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වෙඩි තැබීමේදී රැඳවියෝ 11දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

අදාළ මරණ සිදුකිරීම අපරාධයක් වන බැවින් ඊට සම්බන්ධ වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස වැලිසර මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබියදී, ඊට අදාළ ඉදිරි පියවර නොගෙන නඩු ගොනුව වසාදැමීමට නීතිපතිවරයා ගත් පියවර සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර එහිදී කරුණු පැහැදිලි කළේය.

‘ස්වාමීනි, සාමාන්‍යයෙන් නඩු ගොනුවකට නීතිපති උපදෙස් දුන්නාට පස්සෙ යළි අධිකරණයේ කරුණු පැහැදිලි කරන්න අපි බැඳිලා නැහැ. සිද්ධිය වූ දින ගැටුම් මැඩපැවැත්වීමට නිලධාරීන් කඳුළු ගෑස්, රබර් උණ්ඩ, අහසට වෙඩි තැබීම්, දණහිසෙන් පහළට වෙඩි තැබීම සිදුකර තිබෙනවා. නිලධාරීන් දෙදෙනෙක් රැඳවියන්ගේ භාරයේ සිටියදී බන්ධනාගාර ගබඩාව ගිනිගෙන රැඳවියන් 107 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිදුවීමේදී රජයේ දේපොළවලට වූ අලාභය රුපියල් මිලියන 18.5ක්.මෙහිදී බන්ධනාගාර අවි ගබඩාව කඩන්න ඉඩ තිබුණා. ඒ වගේම බන්ධනාගාරයේ ගේට්ටුව කැඩුවා නම් සිරකරුවන් 2,000 ම පිටතට පැන යනවා. එවැනි තත්ත්වයකයි, මේ නිලධාරීන් පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය සහ බන්ධනාගාර ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියා කරලා තියෙන්නෙ. මියගිය පුද්ගලයන්ගේ ශරීරවලින් ගන්නා ලද වෙඩි උණ්ඩ කොටස් කිසිදු ගිනිඅවියකට ගැලපීම කරන්න බැහැ. එහෙම තත්ත්වයක නීතිපතිවරයා අදාළ දිනයේ බන්ධනාගාරය තුළ රාජකාරි කළ සියලු‍ බන්ධනාගාර නිලධාරීන්ට සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනුකරන්නද?

මෙන්න මේ වගේ කුමන නෛතික ප්‍රතිපාදන යටතේ චෝදනා ගොනුකරනවද කියලා දෙගිඩියාවක් තිබුණු නිසයි නීතිපතිවරයා නඩු ගොනුව වසාදැමීමට තීරණය කළේ. නීතිපතිගේ මතය අවසානාත්මක නැහැ. අතෘප්තියට පත් පාර්ශ්වයන්ට අභියාචනාධිකරණයට යන්න පුළුවන්. නීතිපතිවරයාගේ මතය ස්ථිරයි. අධිකරණ තීරණයකින් හැර නීතිපතිගේ තීරණය වෙනස් වෙන්නෙ නැහැ.’

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මෙසේ පැවසීය.

‘ස්වාමීනි, නීතිපතිවරයා මේ කියන්නෙ මේ සියලු‍ මරණ නීත්‍යනුකූලයි කියලද? නීතිපතිවරයාගේ මතය අවසානාත්මක නැහැ. පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීම නීත්‍යනුකූලද, නැද්ද කියලා තීරණය කරන්න ඕනෙ නඩු විභාගයක් සිදුකරලා. නැතුව නඩුවක් නැහැ කියලා ගොනුව වහන්න බැහැ. බන්ධනාගාර ආඥා පනතින් රැඳවියන් පාලනය කරන්න මිසක් මරණය සිදුකරන්න බලය ලැබෙන්නෙ නැහැ.’

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් පසු වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවේවිදාන මෙසේ විවෘත අධිකරණය හමුවේ සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.

‘මහෙස්ත්‍රාත්වරයාට නීතිපති බලය අබිබවා යන්න ව්‍යවස්ථාවෙන් බලය දීලා නැහැ. නමුත් මෙම කරුණු සඳහන් කළ යුතුයි. නීතිපතිවරයා මෙහිදී කරුණු දක්වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 296 යටතේ එන මිනීමැරීමේ වරද ගැන පමණයි. මිනීමැරීමේ වරදට සංඝටක පරිපූර්ණ නොවුණත්, 298 යටතේ නොසැලකිලිමත්කමින් මරණය සිදුකිරීම යන වරදට සංඝටක පවතින බව මේ අවස්ථාවේත් අධිකරණයේ මතයයි. කෙසේ වුවද මින් ඉදිරියට මේ සම්බන්ධයෙන් නෛතික කටයුතු සිදුකිරීමට අධිකරණයට බලයක් නැහැ. අගතියට පත් පාර්ශ්වය විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට අදාළව කරුණු සනාථ කිරීමේදී නීතිපති මෙම අධිකරණයේදී දැරූ මතය සහ ඒ සම්බන්ධයෙන් මෙම අධිකරණය දැක්වූ මතය අදාළ කරගන්න.’

Related articles

‘මගෙ කොරියානු පෙම්වතී’ – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

2020 ජනවාරි 8වන දින ඔස්ට්‍රේලියානු පරිසර සහ ජලසම්පත් දෙපාර්තමේන්තුවේ තීරණයක් පරිදි දින පහක වැඩ සටහනක් තුළ හෙලිකොප්ටර් වල...

‘වැහි පීල්ලක අතරමංව’ – යසස් සමන්ත වීරසිංහ

අපි සියළු දෙනාම සමනළ ගිරක නගිමින් සිටිමු. අපේක්ෂා බොහෝය. බාධකද එමටය. පය ලිස්සන තැන්, විඩා දැනෙන තැන්, අතහරින්නට...

මාසික වැටුප රුපියල් 150,000 දක්වා උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් : වැඩි ආදායම් ලබන අයට අඩු සහනයක් – අඩු ආදායම් ලබන අයට වැඩි සහනයක්...

උපයන විට බදු සීමාව (බදු රහිත) මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

PTA – OSA ඇතුළු මර්දන අණ-පනත් වහාම අහෝසි කරන්නැයි වෘත්තීය සමිති – සිවිල් සංවිධාන 66ක් ජනපතිගෙන් ඉල්ලයි !

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සහ මර්දනකාරී නීති අහෝසි කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සිවිල්...