2020 ජනවාරි 8වන දින ඔස්ට්‍රේලියානු පරිසර සහ ජලසම්පත් දෙපාර්තමේන්තුවේ තීරණයක් පරිදි දින පහක වැඩ සටහනක් තුළ හෙලිකොප්ටර් වල හිඳ වෙඩික්කරුවන් විසින් තබන ලද වෙඩි පහරවලින් ඔටුවන් 4000- 5000 අතර ප්‍රමාණයක් මරා දමන ලද්දේය. සෝවියට් යුගයේ ආහාර අවශ්‍යතා සපුරා ගැනුම පිණිස මෙවැනිම ආකාරයෙන් කරන ලද මහා සත්ව ඝාතනයක් පිළිබඳව චිංගීස් අයිත්මාතොව් සිය සියවසක් පවත්නා දවස නම් කෘතියෙහි සාකච්ඡාවට ගනියි. මිනිසාගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම පිණිස සතුන් දඩයම් කිරීම මානව ඉතිහාසය පුරාම පැවතියකි. එසේම පංතියක අවශ්‍යතා වෙනුවෙන් මිනිස් ඝාතනය සිදුකිරීමද ලෝක ඉතිහාසය තුළ එපරිදිම සුලබ අත්දැකීමකි. මේ ලියන මොහොතේද එවැනි ඝාතන ලොව පුරා සිදුවෙයි.
තරුණ කවියෙකු තම රටෙහි පිරිසිදු ජලය සඳහා වන තම හිමිකම ඉල්ලා සිටීම හේතුවෙන් මූනිස්සමින් සංග්‍රහ ලද ජනතාවක් පිළිබඳව කවියක් රචනා කරයි. ඔහු එය නම් කරනුයේ රතුපස්වල ඔටුවෝ නමිනි. 2013 වසරට පෙර අප රටේ රතුපස්වල යනු හුදු පෙදෙසක නමක් පමණි. එහෙත් 2013 වසර ඒ නමට අර්ථයක් එක් කලේ සැබැවින්ම මිනිස් ලෙයින් පොලව රතු පාටට හරවමිනි. අදට ඒ සිදුවීමට වසර එකොළහක් ගෙවී හමාරය. එහෙත් ඒ රතුපස්වල මතකය අදටත් මිනිස් හදවත්හී උඩ යට යමින් පවතී. මේ කවියා සිය කවිය හරහා කරනුයේ එම ඉතිහාසය සාහිත්‍යය හරහා යළි ස්ථාපිත කිරීමකි. ඉතිහාසයෙහි කුරිරු පරිච්ඡේදයක අඳුර සිහිපත් කිරීමකි.
ප්‍රසාද් සිය කාලයෙන් වැඩි කොටස වැය කරනුයේ මාධ්‍යවේදියෙකු වශයෙනි. එහිදී වාර්තාකාර භූමිකාව ඔහුට බෙහෙවින් සමීපය. ඒ භූමිකාවෙන් තවත් පියවරක් ඉදිරියට තබමින් ඔහු නිර්මාණාත්මක ලේඛණය වෙත පිවිසෙනුයේ කවිය මාධ්‍යය කරගනිමිනි. ඔහුගේ කවි අතර බහුලව හමුවනුයේ ප්‍රේමයේ නන් පැහැයන් සිත්තම් කරන ලද අවස්ථා ලෙසිනි. අනුරාගික ලියන්නකු ලෙස ඔහු රූපක සහ ව්‍යංගාර්ථ බහුල බසකින් තරුණ දිවිය, සමාජ ජීවිතය මෙන්ම ස්නේහයේ ආලෝකය සහ අඳුර කවියෙහි කැටි කරන්නට යත්න දරයි. ඔහුගේ කවියෙහි ඇති මූලිකම ගැටළුවක් වනුයේ සිය කවි තුළ භාවිතා කරනා සංකේතාත්මක භාෂාව විසින් ඔහුගේ කවිය පාඨකයා හට තරමක් දුරවබෝධ තත්වයකට පත් කිරීමේ අනතුරය. එසේම කවියෙහි රිද්මය රකින්නට වෙහෙස ගන්නා ඔහු ඒ රැකුම උදෙසා දරනා ප්‍රයත්නය හමුවේ කවියෙහි පිලිවෙල විටෙක බිඳ ගනියි. නමුදු සමස්තයක් ලෙස ගත් කළ ඔහුගේ කවි යනු කාව්‍යකරණය මෙන්ම සමාජ ජීවිතයද හොඳින් දකිනා නිර්මාණකරුවෙකුගේ මැදිහත්වීමකි.
ඔහු සිය කවි අතර සංඥා නමින් කවියක් රචනා කරයි. ඒ කවිය මගින් ඔහු අප හමුවට පමුණුවන්නේ වනාන්තරයක කඳු මුදුනක ඇති සැතපෙන පිළිමයකි. ඔහු ඒ පිළිමය හා පවත්වන සංවාදය හරහා නූතන සමාජයේ විපරීතබව ගැන කියවීමකට මග පාදා ගනියි. පිලිමයේ නෙත් යුග අකම්පිත වුවද සමාජයම මුළුමනින්ම සසල සහ වියවුල් බව ඔහු කියයි.
අකම්පිතයි නෙත් යුග
ගන වනාන්තරයක
උසම උස මුදුනක
සිංහ සෙයියාවෙන් සැතපුණ
හිමි ඉඳී එකලාව
මේ කඳුමුදුනේ හිමි සිටිනුයේ තනිවමය. එහෙත් රට පුරා බැතිමතුන්ගේ කෝහාහලය ය. සමිඳු පුදන්නට යන ජනතාවකට මග හැරෙනුයේ එ හිමිසඳුම ය.
පිරිසිඳ ඉගැන්වූ දහම
තනිවම සිහිකරනවද
මේ පිලිම වහන්සේ සිටිනුයේ නූතන වාණිජවාදී දහමට පිටු පාමිනි.
අසපුවට පිටු පෑ දිසාවකටම
කිමද හිමියනි මේ නැඹුරුව?
නොපෙනෙද ඇදෙන ජන ගඟ
බැති සිත් ශ්වේතවර්ණයෙන් තවරා
මල්වට්ටි හඳුන්කූරු
වීද අඩුවෙක් සමිඳ කිස මොනයම්
ඔහු රවුන්ඩ් අප් යන වල් නාශකය කවියට නිමිති කරගෙන ඒ හරහාද පරිසරය මෙන්ම ජීවිතයද විමසන්නට උත්සුක වෙයි. මේ වල් නාශකය යනු අපේ පරිසර පද්ධතියෙහි මරණය ක්‍රමයෙන් ළඟා කරවන එසේම මිනිස් ජීවිතයෙහි අවසානයටද විටින් විට දායක වන සහ සමස්ත මනුෂ්‍යය ප්‍රජාවෙහිම මරණය හෙමිහිට ළඟා කරවන රසායනයකි. කවියා මේ වල් නාශකය තුළින් පරිසරයේ අවසානය මෙන්ම ප්‍රේමයේ ඛේදජනක අවසානයක්ද සංකේතවත් කරන්නට තැත් දරයි.
නයි බිම්මලක කතාවද ඔහුගේ කවි අතර අවධානය ලැබිය යුත්තකි. ඔහු බිම්මල් සංකේතයක් සේ ගෙන එමගින් ජීවිතයේ හරසුන් පැවැත්ම ප්‍රශ්ණ කරන්නට පෙළඹෙයි. එය ජීවිතය සහ දේශපාලනය යන කලාප දෙකටම එකසේ අදාල බව ඔහුගේ කවිය හෙමිහිට කියවන විට පාඨකයා වටහා ගනියි. ඔහු සිය කවිය අවසන් කරනුයේ මෙලෙසිනි.
පැළඳ ආඩම්බර මුහුණු පොඩි
අරටුගත බව පෙන්නන්
වූ නමුත් බිම් මලක් යැයි නුඹ
බිමට දුරවූ අන්දම්
ප්‍රසාද්ගේ කවි තුළ විටෙක කවිය විසින් ඉල්ලා සිටින දුර ඉක්මවා යන සෙයක් දකින්නට හැකිය. කවියකු තුළ සිටිය යුතු අනුරාගික ලියන්නා හට සංස්කාරක භූමිකාවෙහිද පරිණත බව ඇවැසි මෙවන් විටකය. කවියා ගේ මේ කව් එකතුව තුළ විටෙක අපූරු කතන්දර කියන්නෙකුද හමුවෙයි. එහිදී ඔහු කරනුයේ කිය කවිය හරහා කතනදරයක් කියමින් එක් සිදුවීමක අනාවරණය වූ පසුබිම තුළ යටපත් කරන ලද නැතිනම් වල දමන ලද තවත් පැත්තක් හෙලි කිරීමය. එය එක් අතකින් අපේ සමාජයෙන් තුරන්ව ගිය කවිකොලකරුවාගේ බූමිකාව සිහිගන්වයි. එගොඩවැල්ලේ ඇන්ටනී නමින් එන මේ කවියෙහි ප්‍රසාද් කරනුයේ සිය මාධ්‍යවේදී භූමිකාව තුළ තමන් අත පත් අත්දැකීමක් වෙනත් මානයකින් කවිය හරහා විදාරණය කිරීමය.
අද වන විට අපට හිමිව ඇත්තේ කැබලි වී ගිය ජීවිතයකි. අප කෙතරම් උත්සාහ දැරුවද එය පුරුද්දා ගැනීම ලෙහෙසි නැත. ඒ වෙනුවට වනුයේ ජීවිතය තවත් කඩව යාම පමණි. අපේක්ෂා භංගත්වය අපේ දෛනික අත්දැකීම වන විට පාවාදීම මෙන්ම අත්හැරීමද අප ඉදිරිපිට හමුවෙයි. ප්‍රසාද් සිය කවිය තුළ මේ කැබලි වී ගිය ජීවිත ප්‍රතිනිර්මාණය කරන්නට යත්න දරයි. ඉදින් ඔහුගේ මේ ප්‍රයත්නය කෙතරම් සාර්ථකද යන්න විමසීම බාර පාඨකයා හටය.