‘වැහි පීල්ලක අතරමංව’ – යසස් සමන්ත වීරසිංහ

Share post:

අපි සියළු දෙනාම සමනළ ගිරක නගිමින් සිටිමු. අපේක්ෂා බොහෝය. බාධකද එමටය. පය ලිස්සන තැන්, විඩා දැනෙන තැන්, අතහරින්නට හිතෙන තැන්ද එමටය. සමහරු අතර මග හති අරිති. සමහරු ගමන අතහරිති. ආපසු හැරෙති. ඒ අතර තවත් සමහරු මුදුනටම නගිති. ඉන්පසුව විපිළිසරව බලති. තවත් සමහරු මහත් ප්‍රහර්ෂයෙන් ඇලලී යලි පල්ලම් බසිති. කිසිවකුදු මුදුනෙහි නොනැවතෙති. යසස්ගේ නවකතාවේ අග හරියේ ස්වප්නය කියවද්දී මට දැනුනේ එවන් දෙයකි. ලංකාවේ නවකතා අතරට මෑතකදී එකතු වුන අපූරු නවකතාවක් ගෙස යසස්ගේ වැහි පීල්ලක අතරමං ව සෘජුවම හඳුන්වා දිය හැකිය. ඒ හුදෙක් එය විදර්ශන අත් පිටපත් තරගයෙන් ජයගත් නිසා නොවේ. එහි විනිසුරු මඩුල්ලටද ගරු කරතහැකි තරමට ඔවුන්ගේ මේ තේරීම ප්‍රශස්තය. යම් හෙයකින් එවන් තරගයකට ඉදිරිපත් කරන්නට නොලැබුණි නම් යසස්ගේ නවකතාව ඔහේ වැළලි යන්නටද ඉඩ නොතිබුනා නොවේ. කෙසේ වෙතත් මේ විනිශ්චය පසෙක ලා පාඨක ඇහින් බැලුවද යසස්ගේ නවකතාව යනු අපේ නවකතා අතර ඉහලම අවධානයක් දිනාගත යුත්තක් බව කිව හැකිය.

යකඩ ගොඩක් සේ නුදුරේදීම පසෙකට තල්ලු කරන්නට නියමිත එහෙත් මේ මොහොතේ ස්වකීය හාම්පුතාගේ සේවය වෙනුවෙන් කැපවෙන ජීවී යතුරු පැදියක් සහ එහි හිමිකරුවාගේ ජීවන අත්දැකීම පදනම් කරගෙන රචිත මේ නවකතාව අපේ මෑතම ඉතිහාසයේ අඳුරුතම කාලයක් ගැන පුළුල් කියවීමක් ලෙස දැක්විය හැකිය. සමස්ත කතාවම ඇදී යන්නේ අප කාගේත් නළල් රැළි නංවන තෙල් පෝලිමකය. ඒ අප ජීවිතයේ ගෙවූ අසීරුතම කායක් බවට විවාදයක් නැත. මේ තෙල් පෝලිම හා සබැඳි උප සංස්කෘතිය ඉතා කෙටි කාලයකින් අභාවයට ගියද, එසේම එය අද වන විට අප හාස්යසය මුසු හැඟුම් වලින් යළි සිහි කළද ඒ වනාහී කේවල මනුෂ්‍ය ජීවිතය මෙන්ම අපේ සමාජ දේශපාලන ජීවිතයද පුළුල් කියවීමතට ලක් කළ හැකි අවස්ථාවකි.

යසස් සිය නවකතාවට පෝලිමක ජීවිතය කේන්ද්‍ර කර ගත්තද මේ අත්දැකීම නවකතාවට නැගෙනුයේ පළමු වතාවට නොවේ. මෙලෙසින්ම රටක අර්බුද සමයක පෝලිමක කල් ගෙවනා ජීවිත ගැන කියවෙන අගනා නවකතාවක් තිබේ. ඒ රුසියානු ලේඛක ව්ලැදිමීර් සොරෝකින් විසින් රචිත පෝලිම නම් කෘතියයි. විස්තර කථනයන් කිසිත් නැති, මුළුමනින්ම දෙබස් මත දිවෙන ඒ නවකතාව සෝවියට් යුගයේ භාණ්ඩ හිඟය හමුවේ ජනයා පෝලිම් වල ගත කළ කාලය පදනම්ව රචනා කෙරෙයි. ඒ දෙබස් මතින් නමුදු දිගහැරෙනුයේ කඩා වැටෙන්නට නියමිත්ව පැවති සෝවියට් පාලනයේ නග්න දිරාපත් බවයි. එසේම නවකතාකරුවා භාවිතා කරන ආකෘතියද නැවුම් බවක් දනවයි. ඒ කතාවේ අතරමැද හිස් පිටු අපට මුණ ගැසෙයි. ඉන් අදහස් වන්නේ කතාවේ චරිත දෙකක් වන තරුණයෙකු සහ ඔහු පෝලිමේදී හඳුනාගන්නා තරුණියක යහන්ගත වන අවස්ථාවයි. මේ මුළු කතාවම සෝවියට් පාලනය ගැන කෙරෙන දැඩි විවේචනයකි.

යසස්ගේ කතාවද එපරිද්දෙන්ම නැවුම් අත්දැකීමක් අපට ගෙන එයි. ඒ කතාව යතුරු පැදියේ කථනයන්, එහි හිමිකරුගේ කථනයන් මෙන්ම විවිධ විදෙස් සාහිත්යු චරිත සමග වන සංවාදයන් ආදියෙන් අලංකෘතය. ඒ අතර ඔහු භාවිතා කරනා උපහාසය මුසු භාෂා ශෛලිය කතාවේ ඛේදය තවත් තීව්ර කරයි. පාඨකයා නොදැනුවත්වම යළිත් පෝලිමක සිර කරනු ලබනා මේ නවකතාව ඒ හරහා අපට අපේ ජීවිත යළි කියවන්නට අවස්ථාවක් සලසා දෙයි. වීරයෙක් නැති දුෂ්ඨයෙක්ද නැති එහෙත් සැම තැනම වීරයන් සමගින්ම දුෂ්ඨයන්ද හමුවන යසස්ගේ වියමන මිනිස් ජීවිතයේ සංකීර්ණත්වය මෙන්ම එහි ඇති විසුළුසහගත බව සහ අවසන මිනිසා කෙතරම් අසරණ ගොදුරක්ද යන්න අපට සිහි කැඳවයි.

පිටු 200කට සීමාවන මේ නවකතාව යසස් තුළ ඉන්නා සාර්ථක සංස්කාරකවරයා ගැනද ඉඟි සපයයි. ඔහු කතාව ආරම්භ කරනා තැනින් ඉදිරියට යද්දී මේ නවකතාව විශාල පිටු ගණනාවක් පුරා දිවෙන මහා නවකතාවක් කරන්නට වුව සමත්කම යසස් සතු බව පෙනෙී යයි. එහෙත් ඔහු ඉතා සංයමයෙන් කතාව එහි සාර්ථකත්වය උපරිමයට ගෙන එන්නට හැකි අයුරින් සංක්ෂිප්ත කරන්නේ ඒ සංස්කරණය හරහා පාඨකයා මුළුමනින්ම ඇද බැඳ ගැනීමට සමත් වෙයි. ඔහු සිය කතාව තුළ භාවිතා කරනා භාෂාවෙහි ඇති උපහාසය බෙහෙවින් තියුණුය. එය කෙලින්ම ඉලක්කයටම වදින්නේ මිනිස් ස්වභාවය සහ මිනිසා එවන් තත්වයකට පත්වීමට බලපානා ආර්ථික සාධකද සාකච්ඡාවට ගනිමිනි.

යසස්ගේ නවකතාව කියවන්නාට සැලකිය යුතු ගෙදර වැඩ ටිකක්ද තිබේ. ඒ ඔහුගේ කතාව හා සම්බන්ධ වන විදෙස් සාහිත චරිත හා කතාව අතර සම්බන්ධය ගොඩනගා ගැනීම පිණිසය. ගාර්ෂියා මාකේස් ගේ සියක් වසක හුදෙකලාව කෘතියේ බුවෙන්ඩියා යසස්ගේ කෘතිය හා සම්බන්ධ කරන ආකාරය. එක්සත් පළතුරු සමාගමේ මහා මිනිස් ඝාතනය සහ බැඳුනු කුරිරු ඉතිහාසය ඔහු අපේ වර්තමානය හා සම්බන්ධ කරමින් පාඨක කියවීම වෙනත් අතකට ගෙන යන් අතරම කුවණ්නා සහ විජය කැඳවමින් අපේම ඉතිහාසය සහ එහි ප්‍රබන්ධයද ඒ අතර අප සිරව සිටිනා වංගගිරියේ තරමද සිහිපත් කරවයි.
යසස් තම පළමු නවකතාවෙන්ම තමන් ශූර ලියන්නෙක් බව පෙන්වා තිබේ. ඔහුගේ රචනා විලාශය මෙන්ම ඔහු සිය නවකතාවට කේන්ද්‍ර කරගන්නා අර්බුද සමය මගින් කරනා සමාජ පරීක්ෂාව පාඨකයා හට මදක් නැවතී මේ චරිත හරහා තමන්ගේ සැබෑ භූමිකාව ගැනද සොයන්නට බල කරයි. ඒ නොදැනීම පාඨකයාද පෝලිමට තල්ලු කිරීම මගිනි. අර්බුදයක් හමුවේ මිනිස් හැසිරීම මෙසේ නවකතාවක් තුළින් විචාරයට ලක් කිරීම සහ එය බෙහෙවින් සාර්ථකව කිරීම ගැන යසස් අවධානයට ලක් විය යුතුය.

අප සැමවිටම කතා කරනුයේ සමාජය වෙනස් කිරීමක් ගැනය. ඒ සඳහා අපි විවිධ දේශපාලන විසඳුම් ක්‍රමවේදයන්, උපාය මාර්ගයන් යෝජනා කරමින් සිටිමු. එහෙත් අප කිසි විටෙකත් නොකරන දෙය වනුයේ වෙනස අප තුළින්ම ඇරඹීමයි. අප සැම විටම උත්සාහ කරනුයේ මගේ පැවැත්ම එලෙසින්ම පවත්වා ගනිමින් අනෙක් අය වෙනස් කිරීම හරහා සමාජය වෙනස් කිරීමට යත්න දැරීමයි. එහෙයින් අපේ දේශපාලන ප්‍රයත්න බොහෝ විට ආඬි හත් දෙනාගේ කැඳ හැලි බවට පත්වෙයි. යසස් ආමන්ත්‍රණය කරනා එක් කරුණක් වනුයේ මෙයයි. ඔහු ඉතා මැනවින් ඒ නග්න කිරීම සිදු කරයි. ඒ නිසාවෙන් අපට මෙහි චරිතයන් තුළ අප සොයා ගැනීමකින් තොරව ඉදිරියට යාමට අසීරුය. මේ පෝලිම තුළ අපට අප හමුවන මොහොත යනු වැහි පීල්ලේ අතරමංභාවයෙන් අපට මිදෙන්නට හැකි ද්වාරයයි.

චූලානන්ද සමරනායක

Related articles

නීතිපති ස්ථාවරය අබිබවා යන්න මට බෑ : ඒත් අභියාචනාධිකරණයේදි මේ ඝාතන ගැන මහෙස්ත්‍රාත් අධිකරණය දැරූ මතය අදාළ කරගන්න – වැලිසර මහෙස්ත්‍රාත්ගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට අතුල්...

නීතිපති ස්ථාවරය අබිබවා නඩු කටයුතු පවත්වාගෙන යෑමට මහෙස්ත්‍රාත් අධිකරණයට අධිකරණමය බලයක් නැති නිසා මහර බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ...

‘මගෙ කොරියානු පෙම්වතී’ – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

2020 ජනවාරි 8වන දින ඔස්ට්‍රේලියානු පරිසර සහ ජලසම්පත් දෙපාර්තමේන්තුවේ තීරණයක් පරිදි දින පහක වැඩ සටහනක් තුළ හෙලිකොප්ටර් වල...

මාසික වැටුප රුපියල් 150,000 දක්වා උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් : වැඩි ආදායම් ලබන අයට අඩු සහනයක් – අඩු ආදායම් ලබන අයට වැඩි සහනයක්...

උපයන විට බදු සීමාව (බදු රහිත) මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

PTA – OSA ඇතුළු මර්දන අණ-පනත් වහාම අහෝසි කරන්නැයි වෘත්තීය සමිති – සිවිල් සංවිධාන 66ක් ජනපතිගෙන් ඉල්ලයි !

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සහ මර්දනකාරී නීති අහෝසි කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සිවිල්...