සංස්කෘතික නිදහස පිළිබඳ කතිකාව මිනිස් ශිෂ්ටාචාරයයේ ආරම්භය තරම්ම පැරණි ය. එය මිනිස් පැවැත්මේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස නිරන්තරයෙන් වර්ධනය වෙමින් පවතී. මෙම සංස්කෘතික නිදහස මිනිසුන්ගේ සකලවිධ හැඟීම් සමඟ සමීපව බැඳී තිබේ. සංස්කෘතික නිදහස රජයන සමාජයක සතුට සහ සැහැල්ලුව නිබඳව විකසිත වන ආකාරයත් එවන් නිදහසක් අවම සමාජයක අසහනය , පීඩාව මෙන්ම වෛරය ගොජ දමන ආකාරයත් ලෝකයේ විවිධ කලාප සහ රටවල් දෙස නිරීක්ෂණාත්මකව බැලීමේදී මැනවින් පැහැදිලි වේ. මෙම සංස්කෘතික නිදහස පිළිබඳ තේමාත්මකය ප්‍රබන්ධ ආකෘතියට හසු කර ගැනීමට ගන්නා ලද මාහැඟි ප්‍රයත්නයක් ලෙස චන්ද්‍රරත්න බණ්ඩාරගේ අලුත්ම නවකතාව වන ‘පියාසර සමය’ හැඳින්විය හැකිය.
මෙහි කතාපුවත චරිත හතරක් කේන්ද්‍ර කරගෙන ගොඩනංවා තිබේ. චමත් යනු තාරුණ්‍යයේ පසුවන 2022 මෙරට පැවති අරගලයේ ප්‍රමුඛ ක්‍රියාධරයෙකි. පුෂ්පදේව එම අරගලය මර්දනය කිරීමට ක්‍රියා කළ ආණ්ඩුවේ ඇමතිවරයෙකි. මිලංකා එම ඇමතිවරයාගේ භාර්යාවයි. මිලංකාගේ මව රටේ ඉහළම දේශපාලකයන් සමඟ සෑම ආකාරයකම සබඳතා පවත්වන අයෙකි. මොවුන් සිව්දෙනාගේ ජීවිත තුළ දක්නට ලැබෙන පොදු ගුණාකාරය වන්නේ ඒ සැවොම අසම්මත දිවිපෙවෙතක් ගත කරන්නවුන් වීමය. අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව පතා චමත් සරණාගතයෙකු ලෙසද මිලංකා සිය ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ද කැනඩාව වෙත සංක්‍රමණය වෙති. කැනඩාවේ දී චමත් සහ මිලංකා අතර හටගන්නා සබඳතාවත් ලංකාවේ දී පුෂ්පදේව ගතකරන ජීවිතයත් මව ඔවුන්ගේ ජීවිතවලට කරන ලද බලපෑමත් ඔස්සේ කතාපුවත ගලා යයි .
නවකතාවේ වැඩි කොටසක් ආවරණය වන්නේ චමත් සහ මිලංකාගේ කැනේඩියානු සංස්කෘතික සවාරිය මගිනි. කලාව , සාහිත්‍ය , සංගීතය , ආගම , පරිසරය ,උත්සව, ප්‍රේමය , සරාගය යන සියල්ලෙන් ම මෙම සංස්කෘතික සවාරිය පිරී පවතී. එය කැනඩාව ඉක්මවා කියුබාව දක්වා පැතිර යන්නකි. මෙහිදී කතුවරයා මූලික වශයෙන් රේඛීය ආඛ්‍යානයක් යොදා ගත්ත ද එම රටාව ඛණ්ඩනය කිරීමට අතීතය අන්තර්ඡේදන ලෙසින් වර්තමානය අතරට කැඳවයි. එමෙන්ම කැනඩාවේ සහ ලංකාවේ සිදුවීම් සමාන්තරව ද ඡේදනය වේ.මෙම ආඛ්‍යාන රටාව නිසා මහාද්වීපික සහ දූපත්මය සංස්කෘතික සිතීම පිළිබඳ තුලනාත්මක විවරණයක යෙදීමට පාඨකයාට අවකාශ සැලසේ.එය සංස්කෘතික නිදහස පිළිබඳ තේමාත්මකය දෙස විවෘත මනසකින් බැලීමට ඉඩ සලසන ආඛ්‍යානයකි. කතුවරයා මෙහිදී සත්‍ය සහ ප්‍රබන්ධය අතර තුලනයක් පවත්වා ගෙන යාමට උත්සාහ කරයි.එම උත්සාහය බොහෝ විට සාර්ථක වන මුත් එය බිඳවැටෙන අවස්ථා ද නැතුවා නොවේ. එවන් අවස්ථාවලදී ප්‍රබන්ධය පසුබිමට තල්ලු වී සංස්කෘතික විස්තර පෙරබිමට පැමිණේ. එහෙයින් ඇතැම්විට මෙය සංචාරක ආඛ්‍යානයක් වෙතට ද පොලා පනී.
මෙම සංස්කෘතික සවාරිය හරහා කතුවරයා ලාංකීය සමාජයට වැදගත් වන කතිකාමය අවකාශයක් නිර්මාණය කරයි. දෘෂ්ටිවාද සංස්කෘතික නිදහසට බලපාන ආකාරය එයින් ප්‍රමුඛ වේ.මේවා ආගමික , දේශපාලනික හෝ සංස්කෘතික දෘෂ්ටිවාද විය හැකිය. චමත් දැඩි ලෙස වාමාංශික දෘෂ්ටිවාද කරපින්නා ගත් තරුණයෙකි. කියුබාව ඔහුට පරමාදර්ශී දේශයකි. එහෙත් මිලංකා නියත දෘෂ්ටිවාදී රාමුවක සිරගතව සිටින්නියක නොවේ. සංස්කෘතික නිදහස අර්ථවත් ලෙසත් වින්දනීය ලෙසත් භුක්ති විඳිය හැක්කේ දෘෂ්ටිවාදී සීමාමායිම් පුපුරුවා හරින තරමට බව චමත් – මිලංකා සුසංයෝගය අපට පෙන්වා දෙයි. පද්ධතියක සිරකරුවන් වීමෙන් වැලකිය හැක්කේ එවිටය.එමෙන්ම ආගම අධිනිශ්චය වූ සමාජයක සහ සාහිත්‍ය , කලාව උත්කර්ෂයට නැංවූ සමාජයක පවත්නා සංස්කෘතික නිදහසේ වෙනස තුලනාත්මකව දැකීමට කවුළුවක් පියාසර සමය පාඨකයාට විවර කර දෙයි.කෙනෙකුට ජීවිතය මුණගැසෙන්නේ දෘෂ්ටිවාදවල වහලෙකු වීමෙන් නොව ඒවායෙන් නිදහස් වීමෙන් පමණක් බවත් තමන්ට තමන් විය හැක්කේ එවන් නිදහස්වීමකින් පමණක් බවත් යන අදහස පාඨකයාට සමීප කිරීමට කතුවරයා සමත් වේ. සැබැවින්ම පියාසර සමය යනු ප්‍රබන්ධයේ රසායනයට ජීවිතයේ රසායනය නියමිත පදමට මුසු කළ සංස්කෘතික නිමේෂයකි ; සංස්කෘතික විවිධත්වයේ මහිමය තුළ පාඨකයා ගිල්වා දමන මෙහෙයුමකි.