‘නිහඬ සිහින’- පාලිත අරවින්ද වීරක්කොඩි

Share post:

දිනක මට මැසෙන්ජරය හරහා පණිවුඩයක් ලැබිණි. ඒ පාලිත ගෙනි. මගේ ලිපිනය ඉල්ලමිනි. ඒ ඔහුගේ අලුත් තවි පොතේ පිටපතක් එවනු පිණිසය. එහෙත් මා ඔහුගේ කවි පොත සතු කරගෙන ඒ වන විටද සෑහෙන කලකි. මට දුකක් දැණුනි. ඒ මෙතෙක් ඒ කියවීමට වෙලාවක් වෙන් කරගත නොහැකිවූ බැවිනි. දිනපතා අලුතින් එකතු වන පොත් අතර බොහෝ පොත් යට යයි. මමද කාලය සමග අසාර්ථක තරගයක යෙදෙමින් වයසට යමින් සිටිමි. කෙසේ වෙතත් ඉකමනින්ම පාලිතගේ පොත කියවන්නට තීරණය කළෙමි. ඒ තීරණය කෙසේවත් පසුතැවිල්ලට හේතු නොවන්නක් බව සනාථ වූවේ කාර්යාල දුම්රියක සිරව එහි කවි කියවන්නට පටන් ගත් පසුවය. ඒ කවි කියවන්නට ගත් විට දැනුන පසුතැවිල්ල මේ කෘතිය කියවීම මෙතෙක් කල පමාවීම පිළිබඳවය.
කෙටියෙන් මෙසේ ලියමි. පාලිතගේ කාව්‍ය කෘතිය මේ වසරේ පළවූ කාව්‍ය කෘති අතර ඉදිරියෙන්ම තැබිය හැක්කකි. එහෙත් ඒ කිසිදු අවධානයකට ලක්වී නොමැත. වර්තමාන කාව්‍ය සුනාමිය අතරේ මෙවන් කාව්‍ය කෘති ගණනාවක්ම ගසාගෙන ගොසිනි. එහෙයින් හැකි පමනින් ඒවා යළි ගොඩ ගත යුතුය. නැතිනම් පැරෑලියේ සුනාමි ස්මාරකය මෙන් කල් පසුවී සමරන්නට සිදුවනු ඇත.

පාලිත තමන්ගේ කාව්‍ය එකතුවක් පලකරනුයේ 2009 වසරට පසුවය. ගතවූ කාලය වසර පහලොවකි. එහෙත් ඒ කාලය අපතේ හැර නොමැති බවට ඔහුගේ කවි සාක්ෂියකි. කාර්ය බහුල වෘත්තීය ජීවිතය මැද ඔහු හෙමිහෙමිහිට තම කවි සැරියෙහි යෙදී ඇති බවට මෙ කව් දෙස් දෙයි. පාලිතගේ කවිය යනු කවියකු ලෙස තම සළකුණ තබන්නට හදිසි නොවනා, කවිය ගැන මනා අධ්‍යානයක නිරත, කවි බස ගැන දැඩිව වෙහෙසෙන, කවි කුලකයන්හී හෝ දායක සභාවන්හී සාමාජිකයකු නොවන කවිය, කවිය වෙතම ඇලුණ අව්‍යාජ කවියෙකුගේ අභ්‍යාසවෘද්ධ ව්‍යායාමයකි. ඔහුගේ කවි කියවන විට මට එක්වරම මුණිදාස කුමාරතුංග, දයාසේන ගුණසිංහ, එරික් ඉලයප්පාරච්චි, පරාක්‍රම කොඩිතුවක්කු යන සියළු කවියන් සිහිවිණි. පාලිතගේ කවිය ගැලෙනුයේ, හැඩගැසෙනුයේ, පදම් වනුයේ සහ අවසන පරිපූර්ණ නිර්මාණයක් ලෙස පාඨකයා හමුවට එනුයේ දීර්ඝ පරිශීලනයක මෙන්ම සියුම් නිරීක්ෂණයක පලය ලෙස බව ඉතා පැහැදිලිය.

ඔහු තම කවියට අපේ වර්තමානය රැගෙන එන ආකාරය අපූරු ය. අද අපේ බොහෝ ජීවිතවල සැම තත්පරයක්ම ගෙවෙනුයේ මිහිපිට ස්වර්ගයකැයි අපම වර්ණනා කරනා එහෙත් ඉන් මිදී යන්නට ඇඟිලි ගණිනා සිහින අතරිනි. අපට බැරි නම් අවම තරමින් අපේ දරුවන් හෝ සත් සමුදුරින් එතෙර කිරීම අපේ දෛනික සිහිනය වී හමාරය. එහෙත් අපි රට ගොඩනැගුම ගැන නිති කතා කරන්නෙමු, වාද කරන්නෙමු, ගෝෂා කරන්නෙමු, උපදෙස්ද දෙන්නෙමු. එහෙත් මේ කලිකලහය මැද තවමත් සියල්ල ඉවසා දරා මෙහිම රැ‍ඳෙන්නෝද සිටිති. පාලිත මෙතෙර වාසය යනුවෙන් අපට ගෙනෙනුයේ එවන් අත්දැකීමකි.

වලා රොදක් මිස නිල් ගුවනත ඇඳෙන
කලා තුරින් හෝ වැසි පොද නැත තෙමෙන
පලා පොළව සුසුමක උණුසුම රැගෙන
හඬා වැටෙන කතරකි මුඩුබිම දෙරණ

එහෙත් මේ එහි රැඳී සිටින්නකුගේ තතුය.

රඳන තැනක් නැත දිය කඳුළක් පමණ
මියෙන තුරක් මත එකලාවම වෙසෙන
සකුණ රුවකි පියපත් අඩකින් දැවුණ
අසණි පුපුරතත් ඉන් ඉගිලී නොයන

ඔහුගේ කවිය තියුණු ව්‍යංගයන්ගෙන් පොහොසත්ය. එසේම ඒ ව්‍යංගයන් එක එල්ලේම අර්ථයෙහි පොහොසත් බවට මග තනයි. ඔහු මවන රූපකයන් මගින් කවියෙහි අර්ථය තවත් සරු කෙරෙයි.

නුඹට සරිය අන් කුරුලුද මෙහි වසන
නටති උන් කකා කා දී අඬහැරය
කුරුලු කූජනය මෙහි තහනම් බැවින
සිටිති නෙක කොවුල් මුනිවත රැක යෙහෙන

ඔහු සමකාලීන ජීවිතය කවියට ගෙනෙනුයේ අප හිතාමතා අමතක කරනා කටුක යථාර්තයක් අපට අභිමුඛ කරමිනි.

දමා එතොත් මේ බිම පිලිකුල් සිතින
අමා පලාපල සෙමි ඇත දිව බොජුන
කියා අඩගසති නෑයෝ අන් දෙසින
මිදී යන සිතක් නැත්තේ ඇයි සකුණ?

මේ ඔහු සිය කවිය ගෙන යන ගිරි මුදුනයි.

ගොදුරු නොවී ඉච්ඡා බසකට කවර
නොකර පියාසර ගව්සිය ගව් එදුර
මියෙන මිටි තුරක හුරු පුරුදුව ඇසුර
ඔබය කුරුල්ලා වියපත් වන මෙතෙර

පාලිත තම කවියෙහිදී බෙහෙවින් නිවුනු ස්වරයක් කවියෙහි රඳවන්නට උත්සුක වෙයි. ඔහුගේ බසෙහි ඇත්තේ මනා කොට පදම් කරගන්නට සමත්වූ බස් වහරකි. එහෙත් ඒ සෑම විටකම නොවේ. සිය කාව්‍යානුභූතිය අනුව ඔහු කිසිදු බියකින් තොරව එතෙක් පවත්වා ගත් සංයමශීලී බස බිඳ දමා වර්තමාන් කලබලකාරී සමාජයේ වේගී බසට පිවිසෙයි. එහෙත් ඒ කවියෙහි රුව සහ ගුණ තවත් ඉහල නංවන්නටමය. මේ ඔහු වැසි මැද ගමන දකින අයුරයි. ඒ කවිය සමකාලීන පහල මධ්‍යම පංතික ජීවිතවල බිඳුණු කැඩපතකි.

වැඩ ඇරුණාමයි ගෙදර දුවන්නේ
අඩුපාඩුත් තව ගන්න තියෙන්නේ
පියෙකු එනතුරා මග බලමින්නේ
පොඩි පැටවුන් හා පියඹ සිටින්නේ

මහ බස් කැපි කැපි ඇඟටයි එන්නේ
ට්‍රැෆික් එකේ වාහන තද වන්නේ
සැප යානේ අය ඇයිද රවන්නේ
ලැබුනු ඉඩකඩින් රිංගා යන්නේ

ඔහු මී මුනුබුරාගේ කවිය යනුවෙන් කරන රචනාව දියුණුව යයි අප වර්ණනා කරනා නූතන සමාජයේ විපරිණාමීය ස්වභාවය සහ ඒ මැද මැකී යන ජීවිත ගැන ස්මරණයකි. නුවර යනුවෙන් අපගේ පරිකල්පනීය ලෝකය තුල කුඩා වියේ සිට මවනු ලබනා අති රමණීය බිම්කඩ යනු තවදුරටත් අපට හමුනොවනා අප නිබඳ රවටනු ලබනා මුලාවකි.

ඇහැල මහේ මංගල්ලෙට පේ වෙනවා වෙළඳ සෙනග
කැමරා අල්ලන් තැන තැන චැනල් හැමෝටම හරි වැඩ
එතෙර මෙතෙර දෙනෝ දහක් එතී නැටුම් බලා යන්න
බලන ඉඩක් සොයා ගැන්ම තමයි අමාරුම කාරිය

මී මුනුබුරා එනුයේ අතීතය සොයා ගෙනය. එහෙත් ඒ අතීතය යනුද විසල් අපේක්ෂා මත නොව පෑගී තැලෙන සමාජ පංතියක හිසගසාගෙන සිටීමය. නුවර යනුවෙන් අප දකිනා මහා සිත්තම තුළ පබු දනන්ගේ සැපත සහ සන්තුෂ්ඨිය වෙනුවෙන් සෙක්කුවේ ඇඹරෙන ජීවිත සහ සමකාලීන ජීවිතය එකිනෙක තබමින් පාලිත රචනා කරන කවිය අවධානයට ලක් විය යුතු නිරමාණයක් බව කිව යුතුය.

සාමාන්‍යයයෙන් කවර කවි පොතක වුව සෑම කවියක්ම එක සේ පරිපූර්ණත්වයෙන් යුක්ත වනු ඇතැයි අපේක්ෂා නොකළ යුතුය. එහෙත් එක කෘතියක එන නිර්මාණ අතුරින් වැඩි කොටසක් එවන් අවසානයකට ළඟා වන්නේ නම් සමස්තයක් ලෙස කෘතිය ගැන සෑහීමකට පත්විය හැකිය. පාලිතගෙ කවි එකතුවෙහි එන බොහෝ කවි අවධානයට ලක්විය යුතු මට්ටමක පවතී යයි කිව යුතුය. ඔහු තනි පොල්කිච්චාට යනුවෙන් රචනා කරන කව අපේ විශ්වාසයන් සහ ජීවිතය ඉතා සියුම් ලෙස විනිවිදින නිර්මාණයකි. රජ තෙදස නමින් එන කවියෙහි දැනෙන සියුම් උපහාසය සහ උත්ප්‍රාසය පාලිතගේ කවියෙහි සමාජ විචාරක භූමිකාවේ දිග පලල පවසයි.

පොහොර බීජ ගොවි දනන්ට රජු නමින් ලැබී
නිසි කලට වැසිත් වැටී කෙත් නිලෙන් දිලී
නෙළූ අස්වනු සියල්ල නිසි මිලට ගැනේ
ගෙවිලි ගත රනින් චිලේ සිනා මුවින් පිපී

මහල්ලන්ගෙ විලි සිඳී කිතිකවා ඇසින්
බිළින්දන්ද දැන් රඟන්නෙ රාග රති සුරල්
සේදුවත් කුනු සියල්ල විසි හතර පැයේ
වැසනවලදි බඩු බෙදන්නෙ මෙහි චැනල් වලින්

පාලිතගේ නව කව් එකතුවෙහි කවි 43කි. ඒ අතර ඇතැම් කවියක ඇත්තේ අපට අහිමි කරන ලද අපූරු මිනිසුන් ගැන සංවේදී මතක සටහන්ය. එසේම ඔහු විටෙක දීර්ඝ කවියකට එළඹෙන්නේ යළි සංක්ෂිප්ත කවියක් වෙත යොමු වෙයි. එහෙත් මේ කවර කාව්‍යාකෘතියක් තුළ වුව ඔහු කවිය නොනසා රැකගන්නට සමත්වෙයි. පාලිත අරවින්ද වීරක්කොඩි යනු හෙමිහිට එහෙත් තිර ලෙස සිය කවිය පාඨකයන්ගේ මතක තුළ රඳවන්නට සමත් කවියෙකි. එහෙත් ඇගයුමට ලක්විය යුතු නිර්මාණ බොහොමයක් වාණිජ කලහය තුළ අකාලේ අමතක කර දමනු ලබනා සමාජයක පාලිත වැන්නන්ගේ කවිය කවදා අවධානයක් ලබාවිද?

චූලානන්ද සමරනායක

Related articles

කච්චතිව් නඩුව සහ මෝදිගේ ලංකාගමනය !

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන 05 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත ය. එහිදී ඔහු සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර...

කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙයි !

වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්‍රමුඛයෙකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි...

“නාඔටුන්නගෙ කවි බහුතරය ගේන්නෙ වළ දාපු දුකක්” – ‘කළු පැහැති කුඩා පොත’

කළු පැහැති කුඩා පොත - සචින්ත ප්‍රමෝද් නාඔටුන්න මම වැඩිපුරම ආස පෙම් කවි කියවන්න. දැන් මං ආස පෙම් කවි...

මහාධිකරණ විනිසුරුවරුන්ට අධිකරණ සේවා කොමිසමෙන් වත්කම් ගැන ලිඛිත දැනුම්දීමක් !

විනිසුරුවරුන් නොවන අධිකරණ නිලධාරීන් 2024 සඳහා වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන...