ගොවීන්ගෙන් රු. 45ට අරන් රු. 42ට ඇලෝෂියස්ගේ මෙන්ඩිස් එකට වී විකිණූ වී අලෙවි මණ්ඩලයේ කෙරුවාව !

Share post:

1971 වී අලෙවි මණ්ඩල පනතේ ප්‍රතිපාදන යටතේ 1972 වසරේදී වී අලෙවි මණ්ඩලයක් පිහිටුවන ලදි. මේ මණ්ඩලය පිහිටුවීමේ අරමුණ ලෙස දැක්වෙන්නේ සහල් මිල පාලනය කිරීමයි. පනතේ දැක්වෙන ආකාරයට එම අරමුණු තවත් පුළුල් ය. වී සහ සහල් මිලදී ගැනීමේ, අලෙවි කිරීමේ, බෙදාහැරීමේ, කෙටීමේ, පෑහීමේ වගකීම ඔවුන්ට පවරා තිබේ. ඔවුන් එම වගකීම පසුගිය දශක කිහිපයේදී කොතරම් සාර්ථකව ඉටු කළේද යන්න ගැන අමුතුවෙන් කිව යුතු නැත. අඩු තරමේ එම මණ්ඩලය පිළිබඳ නිශ්චිත තොරතුරු ලබාගැනීමට ඇති වෙබ්අඩවිය පවා මේ වන විට වැඩ කරන්නේ නැත.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව දැන් සම්බා සහල් කිලෝවක මිල රුපියල් 245කි. නාඩු සහල් කිලෝවක මිල රුපියල් 243කි. සුදු කැකුළු රුපියල් 232කි. රතු කැකුළු රුපියල් 240කි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ වාර්තාවලට අනුව මෙහි රුපියල් 5ක හෝ 6ක වෙනසක් ඇත. මේ තත්ත්වයත් සමග ඉන්දියාවෙන් සහල් මෙටි්‍රක් ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පෙරේදා (02) තීරණය කළේය. එයින් මෙටි්‍රක් ටොන් 50,000ක් රජය යටතේත්, ඉතිරි මෙටි්‍රක් ටොන් 20,000 පෞද්ගලික අංශයෙනුත් ගෙන්වීමට සැලසුම් කර තිබේ. මහා පරිමාණ වී මෝල් හිමියන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ 70,000ක් නොව 100,000ක් ආනයනය නොකළහොත්, වෙළෙඳපොළේ මතුවෙමින් පවතින සහල් හිඟය පාලනය කළ නොහැකි බවයි. ඇතැම් වෙළෙඳසැල් සහල් අලෙවිය සීමා කර ඇත. ඇතැම් සුපිරි වෙළෙඳසැල් එක් පාරිභෝගිකයකුට අලෙවි කරන්නේ සහල් කිලෝ 03ක් පමණි.

කෙසේ වෙතත් පුළුල්ව සාකච්ඡා කළ යුතු කාරණය වන්නේ මෙසේ තාවකාලික සහල් ආනයනය මගින් මේ වී සහ සහල් අර්බුදයට ස්ථිර විසඳූම් සෙවිය හැකිද යන්නයි. ලබන වසරේ පෙබරවාරි මාසය වන විට මේ මහ කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ වේ. සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වන තෙක් වී අලෙවි මණ්ඩලය කන්නයකට මිලදී ගත් වී ප්‍රතිශතය සමස්ත අස්වැන්නෙන් සියයට 5 – 6 මට්ටමේ පවතී. ඔවුන් වැඩියෙන්ම මිලදී ගෙන ඇත්තේ සියයට 9.2ක ප්‍රතිශතයකි. මහා පරිමාණ වී මෝල් හිමියන් සමස්ත අස්වැන්නෙන් සියයට 25 – 30 අතර ප්‍රමාණයක් මිලදී ගනී. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මිලදී ගන්නා ප්‍රතිශතයත්, නිවෙස්වල තබාගන්නා ප්‍රතිශතයත් අතර ඉතිරි ප්‍රමාණය බෙදී යයි. කෙසේ හෝ රුපියල් 105 – 120 අතර මිලකට වී කිලෝවක් අලෙවි කරන ජනතාව, සහල් කිලෝවක් රුපියල් 240කට මිලට ගනී.

දීර්ඝ කාලීනව මේ වී සහ සහල් අර්බුදය විසඳීමට නම් කළ යුතු ප්‍රධාන කරුණක් ඇත. එනම් ආණ්ඩුව පාර්ශ්වයෙන් ජනතාවට ඇත්ත කීමයි. නිවැරදි තොරතුරු ලබාදීමයි. මේ ප්‍රශ්නය විසඳීමට ජනතාවගෙන් නිශ්චිත කාලයක් ඉල්ලීමයි. එය ඇතැම් විට කන්න 03 සිට 05 දක්වා කාලයක් විය හැකිය. තමන් මේ කාලයේදී මේ ගැටලුව විසඳන්නේ කෙසේද යන්න ආණ්ඩුව නිශ්චිතව පැවසිය යුතුය. එසේ නොකොට පසුගිය ආණ්ඩුවලින් කළ ආකාරයට තාවකාලික පිළියම් යෙදීමෙන් පමණක් මේ බරපතළ අර්බුදය විසඳීය හැකි බව හෝ සමනය කළ හැකි බව හෝ විශ්වාස කරන්නේ නම්, එය පැහැදිලි වරදකි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ ප්‍රගාමී තොරතුරු යනුවෙන් කොටසක් තිබේ. ප්‍රගාමී තොරතුරු යනුවෙන් හඳූන්වන්නේ ඉල්ලීමකින් තොරව ලබාදිය යුතු රජයේ තොරතුරු ය. ටෙන්ඩර් පිළිබඳ, වියදම් පිළිබඳ, වී මිලදී ගැනීම් පිළිබඳ ආදී වශයෙන් ප්‍රසිද්ධ කළ හැකි සියලු තොරතුරු ඊට ඇතුළත් වේ.

වී අලෙවි මණ්ඩලය මගින් රුපියල් 45ට වී කිලෝවක් මිලදීගෙන, මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනයට එම වී ලබාදී ඇත්තේ කිලෝව රුපියල් 42 බැගින් ය. ජාතික විගණන කාර්යාලය මගින් 2022 වසර වෙනුවෙන් නිකුත් කළ වාර්තාවක මේ බව පැහැදිලිව දැක්වේ. එම මෙන්ඩිස් සමාගම ය, බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු වූයේ. නිවැරදි තොරතුරු ජනතාවට ලබානොදීමේ ගැටලුවේ ඇති බරපතළ තත්ත්වය මෙවැනි ඉලක්කම් මගින් පැහැදිලි වේ. ජනතාවට ප්‍රශ්න කරන්නට ඇති අවස්ථාව අහුරා දිගින්-දිගටම මේ වී සහ සහල් ප්‍රශ්නය ඔඩුදිවීමට අවස්ථාව සලසා ඇත. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට අනුව ඔවුන්ට මහා පරිමාණ වී සහ සහල් මෝල් සතු තොග පරීක්ෂා කිරීමේ හැකියාවක් නැත. මේ ව්‍යාපාරිකයන් ආණ්ඩුවටත් වඩා බලවත් ය. එම නිසා මෙහි පවතින සත්‍ය තත්ත්වය තොරතුරු සහිතව ජනතාවට පැවසිය යුතුය. ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසූ ආකාරයට ජන සහභාගිත්ව පාලනයක් ස්ථාපිත කළ යුතුය.

වී අලෙවි මණ්ඩලය සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ව ප්‍රධාන සහ ප්‍රාදේශීය වශයෙන් වී ගබඩා 200කට වැඩි ප්‍රමාණයක් ඇත. අක්කරෙයිපත්තු – තිරුක්කෝවිල් අතර පිහිටි තම්බැට්ටෙයි ප්‍රාදේශීය වී ගබඩාව වැනි බහුතරයක් ගබඩා වී ගබඩා කිරීමට සුදුසු තත්ත්වයක දැන් නැත. හසලක ප්‍රධාන වී ගබඩාව පිහිටුවීමෙන් පසු වසා දමා තිබේ. එම නිසා මහ කන්නයේ වී මිලදී ගැනීමට සැලසුම් කරන්නේ නම් මේ වී ගබඩා ප්‍රතිසංස්කරණය කිරීම දැන් ම ආරම්භ කළ යුතුය. ඒ වෙනුවෙන් මුදල් වැයකිරීම ආණ්ඩුව සිදු කළ යුතු දැවැන්ත ඉදිරි ආයෝජනයකි.

වී සහ සහල් මිලදී ගැනීමේ ක්‍රියාවලිය රජයට තනිව කළ නොහැකිය. එම නිසා එය පෞද්ගලික සහ රාජ්‍ය එකතුවක් ලෙස සිදු කළ යුත්තකි. එහෙත් පෞද්ගලික අංශයේ ඒකාධිකාරය කැඩිය යුතුය. ඒ සඳහා වී අලෙවි මණ්ඩලය මැදිහත් කළ යුතුය. තියෙනවාට ඔහේ වැනෙන මණ්ඩලයක් වෙනුවට, ශක්තිමත් ආයතනයක් ස්ථාපිත කළ යුතුය. 1971 වී අලෙවි මණ්ඩල පනත ක්‍රියාත්මක කිරීම පමණක් වුවද ඒ සඳහා සෑහේ.
මෙසේ තරගයක් ඇතිකිරීමේදී ජනාධිපතිවරයා පැවසූ ජනසහභාගිත්ව ක්‍රියාවලිය අතිශය වැදගත් වේ. ඒ සඳහා සුදුසු ම තැනකි, සමූපකාරය. වෙළෙඳ අමාත්‍යංශය යටතේ ඇති සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවත් මේ වන විට වී අලෙවි මණ්ඩලය වැනි ම එකකි. එහෙත් රට පුරා සමූපකාර 10,000කට වැඩි ප්‍රමාණයක සාමාජිකයෝ 8,800,397ක් ඔවුන් සමග කටයුතු කරති. මේ හරහා වී අලෙවි මණ්ඩලයේ සහල් බෙදාහැරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම එතරම් අසීරු කටයුත්තක් නොවේ. අවශ්‍ය නිවැරදි සහ විධිමත් සම්බන්ධීකරණයක් පමණි. එසේම පොහොර සහනාධාරය ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 11,76,000කි. මෙය ද සැලකිය යුතු ඉලක්කමකි.

අනෙක් අතට තවත් වැදගත් කාරණයක් තිබේ. ඒ වී නිෂ්පාදනය සඳහා ජනතාවට දැරීමට ඇති අධික පිරිවැයයි. මේ වන විට වී කිලෝ එකක මිල මෙන් සියයට 150කට ආසන්න වියදමක් එම වී කිලෝව නිෂ්පාදනය සඳහා ගොවීන්ට දැරීමට සිදු වී ඇත. එවැනි තත්ත්වයක් යටතේ මේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම සඳහා සහාය දීම ද ආණ්ඩුවේ වගකීමකි. එය ද දීර්ඝ කාලීන විය හැකිය. ගොවියකුට අක්කරයක් සීසෑම සඳහා ආසන්න වශයෙන් රුපියල් 30,000ක මුදලක් වැය කිරීමට සිදුවන්නේ නම්, බිත්තර වී මිල දිනෙන්-දින ඉහළ යන්නේ නම් වී ගොවිතැනින් ජනතාව ඈත්වීම වළක්වාලිය නොහැකිය. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයට, බතලගොඩ වී පර්යේෂණ ආයතනයට මෙහිදී විශාල වගකීමක් තිබේ.

එසේම ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය මගින් 2022 වසරේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් වර්තමානයේ පවතින වීවල අස්වැන්න සියයට 10කින් පමණ අඩු විය හැකි බවයි. එම නිසා ලෝකයේ වැඩියෙන්ම වී නිෂ්පාදනය කරන චීනය සහ ඉන්දියාව වැනි රටවල් මෙන්ම තමන්ගේ රටට කෑමට පමණක් වී නිෂ්පාදනය කරන වියට්නාමය වැනි රටවල් ද නව වී ප්‍රභේද පිළිබඳ පර්යේෂණ වේගවත් කර ඇත. එහෙත් දැනට තොරතුරු ඇති ආකාරයට ලංකාවේ තවමත් එවැනි පර්යේෂණ විධිමත්ව සිදුවන්නේ නැත.

මේ පර්යේෂණ ක්‍රියාවලිය සමග සම්බන්ධ තවත් කරුණක් වන්නේ ජලය පිළිබඳ ගැටලුවයි. පසුගිය සතියේ ෆෙන්ගන් සුළි කුණාටුවත් සමග පැමිණි අධික වර්ෂාවෙන් ගංවතුර ඇති වුවද, මාස දෙකක් යෑමට මත්තෙන් එම ගංවතුර ඇති වූ ප්‍රදේශවල ම දැඩි වියළි පොළොවක් දැකිය හැකි වනු ඇත. එම නිසා විශේෂයෙන්ම වී වගා කිරීමේදී වව්නියාවෙන් එහා උතුරු පළාතේ එම පරිසරයට සහ පසට සුදුසු පරිදි වගාකරන්නේ කුමන වී වර්ගය ද, මහවැලි කලාපවල ජලාශ සහ ඇළ මාර්ග ඇති නිසා ඒවායේ වගාකරන්නේ මොනවාද, කුරුණෑගල ඇතුළු වර්තමානයේ වී ගොවිතැනට අවශ්‍ය ජලය පිළිබඳ ගැටලුවට වැඩියෙන්ම මුහුණ දෙන ප්‍රදේශවල වගාකරන්නේ මොනවාද යන්න පිළිබඳ නිශ්චිත සැලසුමක් සකස් කිරීමේ වගකීම ද ආණ්ඩුව සතු ය. මේ සියල්ල අධ්‍යයන මූලික කරගත් අනාගත සැලසුම් විය යුතුය.

මෙවැනි සැලසුම් නොතිබීම නිසා පසුගිය කාලයේ සම්බා වී මිල සීග්‍රයෙන් ඉහළ ගියේය. එවිට ගොවීහු බහුතරය ඊළඟ කන්නයේදී සම්බා වැපිරූහ. එයින් සිදු වූයේ සම්බා මිල අඩු වී නාඩු මිල ඉහළ යෑමයි. පසුගිය කාලය පුරා සිදු වූයේ එවැනි අවස්ථාවකදී ගොවීන් බහුතරය නාඩු වැපිරීමයි. මේ ඉල්ලුම සහ සැපයුම අතර සමබරතාව පවත්වාගනිමින් වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගැනීමේ වගකීම ආණ්ඩුවට තිබේ.
ලංකාවේ සමස්ත සහල් පරිභෝජනයට වඩා සමස්ත සහල් නිෂ්පාදනය වැඩි ය. එහෙත් වී සහ සහල් මාෆියාව විසින් නිර්මාණය කරන ලද හිඟයක් සෑම වසරක ම ඇති වේ. මේ සියලු කරුණුවලින් පැහැදිලිව පෙනෙන්නේ ලංකාවේ වී සහ සහල් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටලුවයි.

1972 පිහිටවූ වී අලෙවි මණ්ඩලය වසාදැමීම සඳහා 1999 ජූලි 14 වැනිදා වන විට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරිණි. 2001 අප්‍රේල් 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක් මගින් මේ මණ්ඩලය අහෝසි කිරීමට සැලසුම් කෙරුණද, එය සම්මත වූයේ නැත. 1999 සිට 2008 දක්වා වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක වූ බවට වාර්තා නැත. 2006 වසරේදී යළිත් කෘෂි නිෂ්පාදන මිලදීගැනීම සඳහා වෙනම මණ්ඩලයක් පිහිටුවන ලදි. 2007 ජූලි 10 වැනිදා නැවතත් කැබිනට් පත්‍රිකාවක් මගින් මේ නව මණ්ඩලය අහෝසි කොට වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනිණි. ඒ අලුත් කරන ලද වී අලෙවි මණ්ඩලයේ වාර්තා අනුව 2008 සිට 2018 දක්වා එක දිගට පාඩු ලබා තිබේ. වී මිලදී ගැනීම සඳහා එක දිගට මහා භාණ්ඩාගාරයෙන් ණයට මුදල් ගෙන ඇත. එහෙත් විගණන වාර්තා අනුව බලන විට එසේ ලබාගත් මුදල්වලට සමානව වී මිලයට ගෙන නැත.
එම නිසා අවශ්‍ය වන්නේ ගැටලුව නිසි පරිදි හඳූනාගෙන ස්ථිර විසඳූමක් සෙවිය හැකි ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමයි.

Related articles

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂවරයා අපරාධ වැරදිවලින් බේරුවේ අල්ලස් කොමිසමේ දැන් කොමසාරිස්වරයෙක් !

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මීට පෙර...

පාස්කු වන්දි නඩුවට පූජිත් – නිලන්ත පොලිස් ආඥා පනත පෙන්වමින් ගොනුකළ විරෝධතා අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි !

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ ව පවරා ඇති වන්දි නඩු පොලිස් ආඥා පනතට අනුව කාලාවරෝධී බවට ඉදිරිපත් වූ...

පළාත් පාලන ඡන්දය ගැන කැබිනට් මණ්ඩලය දුන් උපදෙස් මොනවාද? – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට සියල්ල කියයි !

තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි 2024 ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කරමින් පළාත් පාලන ඡන්දය...

‘නිහඬ සිහින’- පාලිත අරවින්ද වීරක්කොඩි

දිනක මට මැසෙන්ජරය හරහා පණිවුඩයක් ලැබිණි. ඒ පාලිත ගෙනි. මගේ ලිපිනය ඉල්ලමිනි. ඒ ඔහුගේ අලුත් තවි පොතේ පිටපතක්...