‘ආදරය කියන්නේ පැරණි සංවේදනාවක්’ – Fallen Angels

Share post:

”කෙනෙකුගේ වෘත්තිය බොහෝ වෙලාවට තීරණය වෙන්නේ ඒ කෙනාගේ පෞරුෂය අනුව. මැරෙන්නේ කවුද? මැරෙන්නේ කවදද? කොහෙදිද?…ඒ සියල්ල වෙනත් අය විසින් තමයි සැලසුමි කරන්නේ.”

එක මොහොතකදි මෙි කතාව කියන්නේ කූළියට මිනී මරන හාදයෙක්. Hit Man කෙනෙක්. මෙි තරුණ හාදයා කරන්නේ සමාජයට වෙස් මුණක් පෙන්නමින් මිනී මරණ එක. මෙි අපුරු චරිතය මුණ ගැහෙන්නේ ‘ෆෝලන් එන්ජල්ස්’ කියන හොංකොං චිත්‍රපටයේ. චිත්‍රපටය ප්‍රධාන කථා දෙකකට බෙදා වෙන් වෙනවා. එකකට එකක් සමිබන්ධ නොවන මෙි කථා දෙක පවතින්නේ වෙන් වෙන්ව. මෙි කථා ද්විත්වය, එකම චිත්‍රපටයක් තුළ ඇතුළත් කිරීමෙන් අධ්‍යක්ෂ වොන් කා – වායි අපේක්ෂා කරන්නේ මොකක්ද? චිත්‍රපටයේ එන චරිත සියල්ලම, ඔවුන් එකිනෙකා හමුවනු ඇතැයි අප අපේක්ෂා කළ ද එවැන්නක් සිදු වන්නේ නැහැ.

පළමුවැන්නා කුලී ඝාතකයෙකි(Hit Man). දෙවැන්නා ඔහුගේ නියෝජිත කාන්තාවයි. තෙවැන්නා නන්නත්තාර ජීවිතයක් ගෙවන ජීවිතයෙන් හුදෙකලාමය තත්ත්වයට පත් ගණිකාවක්. සිව්වැන්නා රෑට වහපු කඩ සාප්පුවලට හොරෙන් රිංගලා පාරිභෝගිකයන්ට බලෙන් බඩු විකුණන ගොළු හාදයා ය. පස්වැන්නා තමයි ගොලු හාදයාගේ උරහිසේ එල්ලිලා කඳුළු පෙරන ප්‍රේමයෙන් උන්මන්තක වුන තරුණිය. මෙි චරිත සියල්ලම ශීඝ්‍රයෙන් නවීකරණය වන හොංකොං රටෙි තනිකම, අනන්‍යතාවය සහ ක්ෂණික මානව සම්බන්ධතා ගැන හරි අපුරුවට නිරූපණය කරනවා. හොංකොං හි පාට පාට නියොන් එළිවලින් තෙමුණු වීදි, මහල් නිවාස සහ වාහනවලින් ගහණ කාර්යබහුල නගර දර්ශන ප්‍රේක්ෂකයාගේ සිත් ගන්න රූප ගොනුවක් බවට පත්වෙනවා.
දේශපාලනික සහ සාමාජීය ලෙස කලවං වූ බටහිර සංස්කෘතියට හසු වීම චිත්‍රපටයේ යටි පෙළින් ප්‍රේක්ෂකයාට ස්පර්ශ කරවන ප්‍රකාශන කිහිපයක්. හොංකොං සංස්කෘතිය ඇමරිකානුකරණයට හසුවීම පිළිබඳ ප්‍රබල රූපකයක් ලෙස චිත්‍රපටයේ නිතරම පෙන්වන මල්බැරෝ සිගරටි ලාංජනය සහ මැක්ඩොනල්ඩ් අවන්හල්වලින් ආහාරයට ගැනීම ඇමරිකානු සංස්කෘතිය තුළට කිඳා බැස ඇති ආකාරය සුවිශේෂි වෙනවා. තේමා කීපයක් සහිත ඉසවි රාශියක සිදුවන මෙහි ආඛ්‍යානමය (Narrative) වශයෙන් සැලකූ විට කතාංග කිහිපය එකිනෙකට විරුද්ධ බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.
“Fallen Angels” ක්‍රියාදාම කතාවක්ද? නැතිනමි මෙය රොමැන්තික කතාවක්ද? යන මංමුලා වු ප්‍රශ්නයට ප්‍රේක්ෂකයා හසුකරන්නට වොන්ග් කා වායි සමත් වී තිබෙනවා. මන්ද චිත්‍රපටයේ පළමු කතාංගයේ සිටින කුලී ඝාතකයා පැළඳ සිටින ඇඳුමි, පාවහන්, අඳුරු අවිකණ්ණාඩිය වැනි දේවල් ද, වෙඩිතබා ගැනීමි දර්ශන නිසා එකවරම තේමාව සොයා ගැනීම තුළ අප මංමුල වෙනවා.

මෙි අපුරු සිනමාලංකාරය අධ්‍යක්ෂණය කරනු ලබන හොංකොං මහා සිනමාකරු ‘වොංන්ග් කා වායි (Wong kar – Wai)’ රූපය නමැති සාධකය පෙරටු කරගනිම්න්, රූප රාමුවෙන්(frame), රූප රාමුවට, රූප ඛණ්ඩයෙන්(shot), රූප ඛණ්ඩයට සංස්කරණය වීමෙන් නරඹන්නා යථාර්ථයෙන් පලා යාමට ඉඩ නොතබයි. හස්තගත කැමරා(handhelding Camera) භාවිතාව මඟින් කැමරාව ගැස්සීම සහ සෙලවීමෙි කැමරා චලන මඟින් චිත්‍රපටයේ එන කලබලකාරීබව(chaotic) තීව්‍ර කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දී ඇති බව පෙනේ. චිත්‍රපටය පුරාවටම අප දකින විශේෂත්වය වන්නේ රාත්‍රි දර්ශන පමණක් ඔස්සේ මෙම සිදුවීමි පෙළ දැකීම. සමීප රූප සහ අති සමීප රූප බහුලව චිත්‍රපටය තුළ ට යොදාගෙන තිබෙනවා. අතරින්පතර පොප් ශෛලියේ පසුබිමි සංගීතයක් නාද කිරීමට සැලැස්වීමෙන් විවිධාකාරයෙ මනෝභාවයන් ඉස්මතු වෙනවා.

ආදරයෙන් ඇද වැටෙන්නට නිශ්චිත වු මොහොතක් නැත. එය ක්ෂණික බැල්මකින් වුව ද අනෙකා කෙරෙහි ප්‍රේමයක් උපදී. නොසන්සිඳෙන ජීවන පිපාසාව තාවකාලිකව සන්සිඳවීම කියන දේ ආදරයේ ප්‍රමුඛ කාර්යයයි. ප්‍රේමය වෙනුවෙන් වෙනසක් අපේක්ෂා කිරීම තුළ වෙනස් වීමම ආදරයේ ඇති ලක්ෂණයකි. ප්‍රේමයේදී තමන් මෙතෙක් අකැමැති දේවල් අනෙකාගේ මැදිහත් වීමෙන් කැමති දේවල් බවට නිරායාසයෙන්ම පත් වෙයි. ඔබ පීසා කෑමට අකැමැති නමි ප්‍රේමයේදී තම ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තයාගේ පීසා කෑමට ඇති ප්‍රියතාවය මත මෙතෙක් වෙලා සිටි අකැමැතිබව, කැමතිබවට නිරායාසයෙන්ම පෙරලෙනු ඇත. එය ඇඳුමක්, ආහාරයක්, වර්ණයක්, වාහනයක්, පුරුද්දක් මෙි ඔිනැම දෙයක් විය හැකියි. ප්‍රේමයේදි වෙනසක් අපේක්ෂා කරනවා යනු මෙහි එක් තත්ත්වයකි. එය අපේක්ෂාවට වඩා පරිවර්තනයකි. ‘ෆෝලන් ඒන්ජල්ස්” යනු ආදරය සොයා යන මිනිසුන්ගේ කතාවකි. සිනමාව යනු ජීවිතය දෙස එබී බලන කවුළුවකි. එම කවුළුවෙන් එබී බලන්නට වොන්ග් කා වායි අපට බල කරයි.

මලින්ත විතානගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...