අපේක්ෂකයන් 849ක් ආදායම් – වියදම් වාර්තා බාරදී නෑ : පනතට අනුව නීතිය කඩපු අයට මොනවද කරන්න පුළුවන් ?

Share post:

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 849 දෙනකු මැතිවරණයේ ආදායම් – වියදම් වාර්තා පනතට අනුව ලබාදී නැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

නොවැම්බර් 14 වැනිදා පැවැති එම මැතිවරණයේ ආදායම් – වියදම් වාර්තා බාරදීමේ කාලය පසුගිය දෙසැම්බර් 06 වැනිදා අවසන් විය. එදින වන විට අදාළ වාර්තා බාර නොදුන් අපේක්ෂකයන් පිළිබඳ අද (09) කොමිෂන් සභාව මගින් නිවේදනයක් නිකුත් කර තිබිණි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට දිස්ත්‍රික් මට්ටමින් අපේක්ෂකයන් 8,361ක් තරග කළ අතර, ඒ අතරින් 7,412ක් ආදායම් – වියදම් වාර්තා බාරදී ඇත. මේ අතරින් මාතර, කෑගල්ල දිස්ත්‍රික්කවලින් මැතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයන් සියල්ල ආදායම් – වියදම් වාර්තා බාරදී තිබීම ද විශේෂත්වයකි.

නීතිඥවරයකු වන නාගානන්ද කොඩිතුවක්කු ජනාධිපතිවරණයට තරග කරන බව කිව්වේය. එම ප්‍රචාරය විදෙස් රටවල පුළුල් ව පැතිරවූ අතර, ඒ ඔස්සේ ඔහුට විශාල මුදලක් ලැබුණු බව පැවසිණි. එහෙත් මෙතෙක් ඔහු තරග කළ ජනාධිපතිවරණයක් නැත. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වරක් සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් සියයේ ව්‍යාපාරයක් ඇරඹීය. ජනතාවගෙන් රුපියල් සියය බැගින් ඇරඹූ ඒ ව්‍යාපාරයෙන් සියයේ ඒවා කීයක් ලැබුණේ දැයි අවසානයේදී කිව්වේ නැත.

මෙවැනි උදාහරණ රැසක් පෙන්විය හැකිය. ලංකාවේ මැතිවරණයක් පැවැත්වීම යනු රුපියල් කෝටි ගණනක දැවැන්ත ව්‍යාපෘතියකි. කළු සල්ලි සුදු කිරීමේත්, ඊළඟ අවුරුදු 5ක රජයේ ව්‍යාපෘති කොන්ත්‍රාත් සිදුකරන්නේ කවුද යන්න තීරණය කරන්නේත් මේ ව්‍යාපෘතියයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියක අවශ්‍යතාව වරින්-වර මතු වුවද,සියලු‍ දේශපාලන පක්ෂවලට එය ගැටලු‍වක් නිසා ඉදිරියට ආවේ නැත. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් මීට අදාළ කෙටුම්පත සකස් කිරීමෙන් පසුව එය පාර්ලිමේන්තුව හරහා නීතියක් බවට පත්කිරීමට ගතවූ කාලයෙන් ම එය පස්සට ඇදි තරම පෙනේ. කෙසේ වෙතත් දැන් එය නීතියකි. මේ නීතිය කඩකිරීම ධුරය අහිමි වීමට හේතුවකි.
මේ නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණේ 2023 මාර්තු 09දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේදී ය. එය අලු‍ත් නීතියක් ක්‍රියාත්මක කිරීමට කදිම තැනකි. ඊට හේතුව ප්‍රාදේශීය වශයෙන් පැවැත්වෙන මෙවැනි මැතිවරණයකදී ප්‍රධාන මැතිවරණයකට වඩා මුදල් වියදම් කරන ආකාරය නියාමනය කළ හැකි වීමයි. ජනතාව දන්නා අසල්වැසියන්, අසල්වැසියන්ගේ මුදල් එකතු කරගනිමින් ඡන්දය කිරීමයි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද තහවුරු කළ ආකාරයට ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම මගින් ඒ ඡන්දය පැවැත්වීමට කටයුතු කළේ නැත.

අධිකරණයේදී අනාවරණය වූ වැදගත් කරුණක් වූයේ ඒ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සැලසුමක් මැතිවරණ කොමිසම සතුව නොතිබූ බවයි. ඒ කියන්නේ මැතිවරණ වියදම් නියාමන පනත, නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු කොමිසම, අඩු තරමේ අලු‍ත් නීතිය කෙසේ වෙතත්, පැවති නීතියට අනුව ඡන්දය පවත්වන්නට අවශ්‍ය කටයුතු කර නැත.

පනතට අනුව හිතවතුන් කරන ප්‍රචාරක කටයුතු අපේක්ෂකයාගේ අනුදැනුමකින් තොරව සිදු වූ බව තහවුරු කළ හැකි නම්, ගැටලු‍වක් නැත. නැතහොත් ඒවා කොමිසම මගින් තීරණය කරන ලද ඡන්දදායකයන් වෙනුවෙන් කරන ලද වියදම් ගණයට ඇතුළත් වේ. පනතේ එය මෙසේ සඳහන් වේ.

‘ඒ අපේක්ෂකයා විසින් එම වියදම් එම අපේක්ෂකයාගේ යම් අනුදැනුමක් හෝ අනුබලදීමක් නොමැතිව සිදු කළ බවට ඔප්පු කර ඇත්නම් මිස නීතිවිරෝධී ක්‍රියාවක් වන යම් වරදක් සම්බන්ධයෙන් ඒ නීතිය යටතේ පනවා ඇති යම් දණ්ඩනයකට යටත් විය යුතුය.’

මෙහි ඇති ගැටලුව වන්නේ එය ඔප්පු කරන්නේ කෙසේද යන්නයි. අපේක්ෂකයා වරදක් කළ බවත්, එම ප්‍රචාරක ව්‍යාපෘතිය පිළිබඳව ඔහු කිසිවක් දැන නොසිටි බවත් තහවුරු කළ යුතුය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරක ව්‍යාපෘතිවලදී මෙය තහවුරු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව වෙනම සිතාබැලිය යුතුය.

අනෙක් අතට රජයේ දෙපාර්තමේන්තු, සමාගම් පනත යටතේ ලියාපදිංචි නමුත් රජය හෝ රාජ්‍ය සංස්ථා කොටස් හිමිකරගෙන ඇති සමාගම්වල පුද්ගලයන් හෝ ඒවායින් ලැබෙන පරිත්‍යාග මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීම පනත යටතේ තහනම් ක්‍රියාවකි. මේ වනවිටත් එය ඇති තරම් සිදුවෙමින් පවතී. රාජ්‍ය ආයතනවල වාහන ප්‍රචාරක කටයුතු සඳහා නොනිල මට්ටමින් යොදාගැනීම සිදු වේ. ඒවා තහවුරු කරන්නේ කෙසේද?
2023 වසරේදී 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක වීම ඇරඹිණි. මැතිවරණවලදී දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් විසින් සිදුකරන වියදම් පිළිබඳ සීමා පැනවීම සහ ඔවුන්ගේ වියදම් සඳහා මුදල් ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳ විනිවිදභාවයක් පවත්වාගෙන යෑම මේ නීතිය ගෙන ඒමේ අරමුණයි.
ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සම්මතය වන්නේ මැතිවරණයක් පැවැත්විය යුතු වන්නේ සමබිමක යන්නයි. මේ සමබිම විනාශ කිරීමට එක් එක් අපේක්ෂකයන්ගේ මුදල් වියදම් කිරීමේ හැකියාව බලපායි. මැතිවරණ වියදම්වලට සීමාවක් පැනවිය යුත්තේ ඒ නිසා ය. ප්‍රථම වරට මේ නීතිය හරියටම ක්‍රියාත්මක වන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ය.

නීතියට අනුව මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීමෙන් දින 05කට පසු මැතිවරණ කොමිසම විසින් වියදම් සීමාව පැනවිය යුතුය. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සමග සාකච්ඡා කර, ඒ වන විට රටේ පවතින ආර්ථික තත්ත්වය, මිල දර්ශක ඇතුළු වෙනත් කරුණු ද සලකා බලා, කොමිසම විසින් වියදම් සීමාව තීරණය කළ යුතුය.

මුදල් ලබාගත හැකි සහ නොහැකි අවස්ථා සහ මූලාශ්‍ර මොනවාද යන්නත් මේ පනතේ පැහැදිලිව සඳහන් වේ. රජයේ මුදල් ලබාගත නොහැකිය. විදේශීය රාජ්‍යයකින් හෝ විදේශීය සමාගමකින් ලබාදෙන මුදල් ද ලබාගත නොහැකිය. ලංකාවේ ලියාපදිංචි වුවද, විදේශීය සමාගමකට කොටස්වලින් සියයට 50ක් හිමි නම්, එවැනි සමාගම්වලින් මුදල් ලබාගැනීම ද කළ නොහැකිය. අනෙක් අතට අනන්‍යතාවක් නොමැති පරිත්‍යාග ද ලබාගත නොහැකිය. එම නිසා මෙහිදී පුළුල් විනිවිදභාවයක් බලාපොරොත්තු වේ.

කෙසේ වෙතත් මෙහිදී යම් වියදම් ප්‍රමාණයක් නිදහස් කර ඇත. ඒ අතරින් ප්‍රධාන වන්නේ අපේක්ෂකයාගේ ගමන් වියදම් ඉදිරිපත් නොකර සිටීමට අවස්ථාව ලබාදී තිබීමයි. මෙවර ජනාධිපතිවරණයට අදාළ ව ගත් විට එහි බරපතළ ගැටලුවක් තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස රජයේ හෙලිකොප්ටර් භාවිත කරමින් ය, මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට ගියේ. ඒ සඳහා ඔහු මුදල් ගෙව්වේද යන්න අනාවරණය කළ යුතුය. මුදල් ගෙවා ඇත්නම් ගැටලුවක් නැත. එසේ නැතහොත් ඔහු රජයේ මුදල් භාවිත කිරීම යන තහනම් කොටසට අදාළ වරදක් කර තිබේ. එසේ ම අපේක්ෂකයන් විසින් කරන ලද ලිපි යැවීම් වැනි දේවල් ද පනත මගින් නිදහස් කර ඇත. ප්‍රචාරක රැස්වීම්, වෙළෙඳ දැන්වීම්, මුද්‍රණ කටයුතු, සංග්‍රහ වියදම් ඇතුළු ඉහතින් නොකී සියලු වියදම් පිළිබඳ වාර්තා මේ යටතේ ඉදිරිපත් කළ යුතුය.

මැතිවරණයේ වියදම් නියාමන පනතට අනුව අපේක්ෂකයන්ගේ වියදම් වාර්තාව ප්‍රතිඵල නිකුත් කොට දින 21කදී මැතිවරණ කොමිසමට බාරදිය යුතුය. එම වාර්තා සාමදාන විනිශ්චයකාරවරයකු විසින් සහතික කර තිබිය යුතුයි. ජනාධිපතිවරණයේදී මේ සියල්ල කොළඹ පිහිටි මැතිවරණ කොමිසමේ ප්‍රධාන කාර්යාලයට බාරදිය යුතු අතර, පාර්ලිමේන්තු මැතිවරණයකදී එම වාර්තා බාරදිය යුතු වන්නේ දිස්ත්‍රික් තේරීම් බාර කාර්යාලවලටයි.
මැතිවරණ කොමිෂන් සභාව මගින් තමන්ට ලැබුණු එම වාර්තා පිළිබඳ ව දින 10කදී ජාතික පුවත්පතක පළකළ යුතුය. අපේක්ෂකයාගේ නම සහිතව එම නිවේදනය පළකළ යුතු අතර, මහජනතාවට එම වාර්තා පරිශීලනය කළ හැකි බව එහි දැක්විය යුතුය. ඉන්පසු ජනතාවට ඒවා පරිශීලනය කිරීමට මෙන්ම ඒවාගේ අවශ්‍ය පිටපත් ලබාගැනීමට ද හැකියාව ලැබේ. මේ පිටපත් අදාළ ගෙවීමකින් පසු ජනතාවට ලබාදිය යුතු බව ද මැතිවරණ වියදම් නියාමන පනතේ දැක්වේ. එහිදී ජනතාව තොරතුරු පනත අදාළ කරගත යුතු නැත. එමගින් තොරතුරු ඉල්ලා සිටියහොත් එම තොරතුරු ලබාදීමට දින 14ක් හෝ ඊට වැඩි කාලයක් ගත වේ.

තොරතුරු පරිශීලනය කරන ජනතාවට අපේක්ෂකයා වැරදි ලෙස මුදල් ගෙන තිබේ නම්, යම් වියදමක් අඩංගු නොවේ නම් මැතිවරණ කොමිසමට පැමිණිලි කළ හැකිය. එසේ නැත්නම් පොලිසියට ඒ ගැන පැමිණිලි කළ හැකිය. එම පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ බලය තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවටයි. නඩු පැවරීමේ බලය නීතිපති දෙපාර්තමේන්තුවට පැවරී තිබීම ඊට හේතුවයි.

ජනතාවට මේ ලේඛන පරීක්ෂා කිරීමට නිශ්චිත කාලයක් නැත. එහෙත් මැතිවරණය සම්බන්ධයෙන් නඩුවක් හෝ මැතිවරණ පෙත්සමක් ගොනුකරන්නේ නම්, එය දින 42කදී සිදු කළ යුතුය. මැතිවරණ වියදම් පිළිබඳ නඩුවක් ගොනුකරන්නේ නම් ඊට දින නියමයක් නැත. එම නිසා කිසිවකු මැතිවරණයට අදාළ නඩුවක් ගොනුකිරීමට අපේක්ෂා කරන්නේ නම්, ප්‍රසිද්ධ කළ විගස ඒවා ලබාගැනීම වැදගත් ය.

මෙහිදී බලයට පත්වූ ජනාධිපතිවරයාට අදාළ ව යම් පැමිණිල්ලක් ගොනුකරන්නේ නම්, එහිදී ගැටලුවක් මතු වේ. ඒ, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතිපතිවරයාට ජනාධිපතිවරයාට චෝදනා ගොනු කළ නොහැකි වීම නිසා ය. එහෙත් මැතිවරණ පෙත්සමකදී බලයට පත්වූ ජනාධිපතිවරයාට එරෙහිව වුවද, මේ තොරතුරු භාවිත කළ හැකිය. එහි ඇති ගැටලුව වන්නේ මේ තොරතුරු මත පදනම්ව පමණක් මැතිවරණ පෙත්සමක් ගොනු කළ නොහැකි වීමයි. එවැනි සීමාවක් පනත මගින් පනවා තිබේ.

දින 21කදී මේ වියදම් ප්‍රකාශ නිවැරදිව ලබාදීමට අපොහොසත් වුවහොත්, එය මේ පනත යටතේ වරදක් වේ. එසේම අසත්‍ය තොරතුරු සැපයීම, තහනම් මූලාශ්‍රවලින් මුදල් ලබාගැනීම ඔප්පු කළහොත් එය ද බරපතළ වරදකි. එම නිසා මැතිවරණයේ ප්‍රතිඵලයට මෙන්ම මැතිවරණයේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ද ජනතාවගේ මැදිහත් වීම වැදගත් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යය යන කොටසේ පැහැදිලිව දැක්වෙන්නේ මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය පරමාධිපත්‍යය බලයට අයත් වන බවයි. එම නිසා තමන්ගේ පරමාධිපත්‍ය බලය නිවැරදිව ක්‍රියාවේ යෙදවීමට මැදිහත් විය යුතුය.

ලංකාවේ මැතිවරණ පිළිබඳව මෙන්ම මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳව ද ජනතාවට ඇත්තේ අවිශ්වාසයකි. ජනතා සේවය වෙනුවට ඔවුන් තමන්ට සේවය කරගන්නා බවත්, මැතිවරණවලදී වියදම් කරන අතිවිශාල මුදල් ප්‍රමාණය නැවත සොයාගැනීම ඔවුන්ගේ එක ම අරමුණ බවත් ජනතාව පවසයි. එහි සත්‍යයක් තිබේ. ඇතැම් අපේක්ෂකයන් කුඩා මැතිවරණවලදී පවා විශාල ලෙස වියදම් කරනු අප දැක තිබේ. එම නිසා මේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට මැදිහත් විය යුතුය.

එසේ ම නිවැරදි සහ වගකීම් සහගත ලෙස එම තොරතුරු ඉදිරිපත් කොට තමන්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරගැනීම ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්ගේ වගකීමකි.

Related articles

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂවරයා අපරාධ වැරදිවලින් බේරුවේ අල්ලස් කොමිසමේ දැන් කොමසාරිස්වරයෙක් !

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මීට පෙර...

පාස්කු වන්දි නඩුවට පූජිත් – නිලන්ත පොලිස් ආඥා පනත පෙන්වමින් ගොනුකළ විරෝධතා අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි !

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ ව පවරා ඇති වන්දි නඩු පොලිස් ආඥා පනතට අනුව කාලාවරෝධී බවට ඉදිරිපත් වූ...

පළාත් පාලන ඡන්දය ගැන කැබිනට් මණ්ඩලය දුන් උපදෙස් මොනවාද? – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට සියල්ල කියයි !

තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි 2024 ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කරමින් පළාත් පාලන ඡන්දය...

‘නිහඬ සිහින’- පාලිත අරවින්ද වීරක්කොඩි

දිනක මට මැසෙන්ජරය හරහා පණිවුඩයක් ලැබිණි. ඒ පාලිත ගෙනි. මගේ ලිපිනය ඉල්ලමිනි. ඒ ඔහුගේ අලුත් තවි පොතේ පිටපතක්...