මේක ඓතිහාසික කතාවක්. මේක ඓතිහාසික බවට පත්වෙන්නෙ ආකාර කීපයකින්. ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අවුරුදු 76කට පස්සෙ ආබාධ සහිත පුද්ගලයකුට පාර්ලිමේන්තු වරම් හිමිවෙනවා. ආබාධ සහිත පුද්ගලයකුට පාර්ලිමේන්තු වරම් හිමිවෙන්නෙ අහඹු ලෙස හෝ ආකාශ්මිකව හෝ අහසින් පාත්වුණු දෙයක් ලෙස නොවෙයි. මේ ඓතිහාසික මොහොත උදාකරගන්න වෙහෙසුණු කණ්ඩායමක් ඉන්නවා. දේශපාලන නායකත්වයක් ඉන්නවා. ඔවුන්ට මගේ ප්‍රජාව වෙනුවෙන්, ලක්ෂ 17කට ආසන්න ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ස්තූති කරන්න මට අවශ්‍යයි. ආබාධ සහිතවූවන් නියෝජනය කරන්න සෘජු නියෝජනයක් මේ උත්තරීතර සභාවට අවශ්‍යයි කියලා තේරුම්ගත්තෙ ජාතික ජන බලවේගය විතරයි. ඔවුන්ට ඒ සංවේදීතාව ඇති වුණේ කොහොමද?
මේක දේශපාලන සැරසිල්ලක්, ජාතික ලැයිස්තුවට ලකුණු ලබාගැනීමේ වැඩක් විදිහට තමයි පහුගිය දේශපාලන ප්‍රචාරණ යන්ත්‍රණය තුළ හැඳීන්වුවෙ. නෑ, ඒක සැරසිල්ලක් නොවන බව මම මේ පාර්ලිමේන්තුව තුළ පෙනීසිටීම තුළින් ඔබට පේනවා ඇති.
කරන්න පුළුවන් මොනවාද?
අනෙක් පැත්තෙන් ආබාධ සහිත පුද්ගලයකුට මෙතැනට ඇවිත් කරන්න පුළුවන් මොනවද කියලා ගොඩක් අය කිව්වා. මම ඒක අපේ සහෝදර මන්ත්‍රී කණ්ඩායමත් එක්ක ඉදිරි අවුරුදු පහේදි ඔශඕපු කරලා පෙන්වනවා කියලා පැහැදිලිව කියන්න ඕනෙ. මේ කර්තව්‍යයට දායක වුණු ජාතික ජන බලවේගයේ නායකත්වයට සහ ආබාධ සහිත ලක්ෂ 17ක ප්‍රජාවට මම ස්තූතිවන්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ කටයුත්ත කරගෙන යෑමට මට පහසුව සලසන මූලාසනය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට ස්තූතිවන්ත වෙන්න ඕනෙ.
මම කලින් කිව්වා වගේම මේ ශ්‍රී ලංකාව තුළ දාහත් ලක්ෂයක් ආබාධ සහිත මිනිස්සු ඔබත් එක්ක එකට හුස්ම ගන්නවා. පාර්ලිමේන්තු සභා ගර්භය තුළත් මම ආබාධිත පුද්ගලයකු විදිහට, ඔබ අනාබාධිත පුද්ගලයකු විදිහට ජීවත් වෙනවා. අපි තොරතුරු බෙදාගන්නවා. වාද විවාද කරනවා.
ආබාධ සහිත පුද්ගලයා යනු කවුද?
මේ ආබාධ සහිත පුද්ගලයා කියන්නෙ කවුද? මම පෞද්ගලිකව විශ්වාස කරනවා, ආබාධ සහිත පුද්ගලයා කියන්නෙ මේ ලෝකෙට ලස්සන කැන්දගෙන ආපු දූත පිරිසක්. අපි දන්නවා, ඔබ දකින ලස්සන නිර්මාණය වෙන්නෙ විවිධත්වය තුළ. විවිධත්වය තුළ තමයි විචිත්‍රත්වය නිර්මාණය වෙන්නෙ. ඇස් පේන ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමා ප්‍රමුඛ මේ මන්ත්‍රීවරුන් අතර ඇස් නොපෙනෙන මම ඉන්නවා. ඒකෙන් විවිධත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ එක්කම මේ සංඥා භාෂාවෙන් මගේ කතාව පරිවර්තනය කරන්නෙ ඇයි?
මට ඇහුණත්, මට වගේ ඇහෙන්නෙ නැති ලක්ෂ සංඛ්‍යාත කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතාව ඉෂ්ඨ කරන්න, මේ පණිවුඩය ගෙනයන්න තමයි ඒක කරන්නෙ. මේ වගේ විවිධ ස්වභාවයන් තියෙන මිනිස්සු ඉන්න නිසා තමයි මානව සමාජයේ විචිත්‍රත්වය, ලස්සන නිර්මාණය වෙලා තියෙන්නෙ. අන්න ඒකට දායක වෙන කෙනෙක් මම. මා ඇතුළුව මේ රටේ ජීවත් වන ලක්ෂ 17ක ආබාධ සහිත කණ්ඩායම තමයි මේ සමාජයට ලස්සන ගේන්නෙ.
අපගේ උරුමය කුමක්ද?
හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ මේ ලස්සන ගේන ආබාධ සහිත කණ්ඩායමට කොයි වගේ තත්ත්වයක් ද උරුම වෙලා තියෙන්නෙ කියන එකයි. මීට අවුරුදු හතළිස් ගාණකට එහා පැත්තෙ මේ පාර්ලිමේන්තුව විවෘත කරන වෙලාවෙ එදා කුඩා ළමයෙක් විදිහට මම ඒ සිදුවීම රේඩියෝ එකෙන් අහගෙන හිටියා. මට තවමත් මතකයි, සරත් මුත්තෙට්ටුවේගම මන්ත්‍රීතුමා, ඔහු කරපු කතාවෙ කොටස්. හැබැයි පහුගිය අවුරුදු හතර-පහ ඇතුළෙ අපිට ඇහුණෙ මගේ ආබාධිතතාව හෑල්ලු කරන වචන. වෙනත් ආබාධිතතාවන් හෑල්ලු කරන වචන. මූලාසනයෙන් මම ඉල්ලා සිටිනවා, අනේ පිංසිද්ධවෙයි වාග් හිංසනයට ලක්කරන වචන භාවිතාවට නම් මේ පාර්ලිමේන්තුවෙ ඉඩදෙන්න එපා. ලක්ෂ සංඛ්‍යාත ආබාධ සහිත ජනතාවක් ඒ වචනවලින් තැවෙන බව, වේදනාවට පත්වන බව ඔබ හිතන්න ඕනෙ.
මේ ආබාධිතතාව කියන එක අපි බලෙන්, කැමැත්තෙන්, බලහත්කාරයෙන් උරුම කරගත් දෙයක් නෙමෙයි. හැබැයි අපි මේ ආබාධිතතාව සමග ජීවිතය අත්නොහැර, ජීවිතයට පෙම් බඳීමින් අනවරත අරගලයක් කරන මිනිස්සු. මේ මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය මොකක්ද?
නීති සහ චක්‍රලේඛවල ඉරණම
ඔබ විශ්වාස කරනවද, රැකියාවලින් සීයට තුනක් ආබාධ සහිත තැනැත්තන්ට දෙන්න ඕනෙ කියලා චක්‍රලේඛයක් ඇවිල්ලා තියෙනවා, 1988. අද වන විට අවුරුදු කීයක් ගිහිල්ලද? ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙ පහුගිය වාර්තාවට අනුව ආබාධ සහිත පුද්ගලයන්ගෙන් සීයට 71ක් රැකියා විරහිතයි. මේකට අපි ආණ්ඩුව විදිහට අනිවාර්යෙන් පිළිතුරු හොයනවා.
මේ තත්ත්වය උරුම කරලා දීපු පහුගිය ආණ්ඩු මේ කරුමක්කාර ජීවිතෙන් මේ ප්‍රජාව මුදවාගන්න කිසිම වැඩක් කළේ නෑ. මම එක උදාහරණයක් කියන්නම්. ලංකාවෙ පළාත් සභා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. පළාත් සභාවෙන් පළාත් සභාවට ක්‍රියාත්මක වෙන්නෙ එක නීතියක් නෙමෙයි. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. කැබිනට් තීන්දුවක් අනුව උපාධිධාරී ගුරුවරුන්ට රැකියා දීමේ තීන්දුවක් තියෙනවා. මධ්‍යම පළාත් සභාව ඒක ක්‍රියාත්මක කළේ නෑ. බස්නාහිර පළාත් සභාව ඒක ක්‍රියාත්මක කළේ නෑ.
දුක, තවත් දෘෂ්‍යාබාධිත කණ්ඩායමක්, විශාල පිරිසක් උපාධිය ලබාගෙන තමන්ගෙ අම්මා පොවපු කිරිවල ණය ගෙවන්න බැරිව ගෙවල්වලට කොටුවෙලා දුක් විඳීන එකයි. වෙම්ට විසඳූම් අවශ්‍යයි. උපාධියක් නැතුව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආබාධිත දීමනාවෙන් යාන්තමින් යැපෙමින් ඉන්නවා.
අප කළ යුත්තේ කුමක්ද?
අපි ඉදිරිපත් කරන ඉදිරි අයවැය ලේඛනයෙන් ආබාධ සහිත ප්‍රජාවට දෙන දීමනාව 7,500 සිට 10,000 දක්වා වැඩි කරන බව මම ඉතා පැහැදිලිව අවධාරණය කරන්න කැමතියි.
හැබැයි මේ දීමනාව දෙන්නෙ සීයට සීයක්ම යැපුම් මානසිකත්වයකින් ඉන්න නෙමෙයි. සමාජ බලගැන්වීමක් තුළින් ඔවුන් රැකියා කරමින් ශ්‍රම බලකායට, රටේ සංවර්ධනයට තීරණාත්මකව මැදිහත් වන පුරවැසියන් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු කිරීමේ වගකීම ජාතික ජන බලවේග ආණ්ඩුව බාර අරන් තියෙනවා.
පෙර රජයයන් ඉෂ්ඨ නොකරපු ජාතික සහ ජාත්‍යන්තර වගකීමක් ඉෂ්ඨ කරන්න. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාතික ප්‍රඥප්තියට ලංකාව 2006දී අත්සන් කරනවා. ඊට අවුරුදු 10කට පස්සෙ ඒක අපරානුමත කරනවා. හැබැයි මේකට ගැළපෙන නීතියක් හදාගන්න තවමත් අපොහොසත් වෙලා තියෙනවා. ඒ හදන නීතිය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගැලපිය යුතුයි. එහි ප්‍රතිපත්ති තියෙනවා, අයිතිවාසිකම් 25ක් අන්තර්ගතයි. අනෙක් පැත්තෙන් එම ප්‍රඥප්තියේ 33 වැනි වගන්තිය මගින් අපිට බලකරනවා, අපට ඒත්තු ගන්වනවා, අපි රාජ්‍ය අංශය විදිහට කොහොමද ආයතනික රටාවක් ගොඩනගන්නෙ කියලා. ඒ ආයතනික රටාව මගින් ආබාධ සහිත තැනැත්තන්ගේ සක්‍රීය දායකත්වය ඉල්ලා සිටිනවා. ඒ සක්‍රීය දායකත්වය ලැබුණෙ නැත්නම් නියම ප්‍රතිඵලයක් භුක්ති විඳීන්න මේ ආබාධ සහිත ප්‍රජාවට ලැබෙන්නෙ නෑ. අන්න ඒක වළක්වගන්න තමයි, මේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හරහා නව පනතක් ගේන්න ඕනෙ කියලා අපි යෝජනා කරන්නෙ.
අත්‍යවශ්‍ය ප්රවේශයන්ගෙන් ගිලිහෙන ආබාධ සහිත ප්‍රජාව
අපට දැනට ක්‍රියාත්මක වන පනත අවුරුදු 28ක් පරණයි. 1996 ඒක ගෙනාවෙ. මේ පනතින් අපිට ලැබුණෙ අයිතිවාසිකම් තුනයි. අධ්‍යාපනයට ප්‍රවේශය. රැකියාවට ප්‍රවේශය. වෘත්තීය පුහුණුවට ප්‍රවේශය. රැකියාවට ලැබුණු ප්‍රවේශයේ තරම අර මම කියපු රැකියා විරහිත යැපුම් තත්ත්වයේ ඉන්න සීයට 71න් පැහැදිලි වෙනවා. අධ්‍යාපනයට ප්‍රවේශය කොහොමද ලැබිලා තියෙන්නෙ. අපට අන්තර්කරණය වුණු පන්ති කාමරයක් තුළ ඉගෙනගන්න පහසුකම් නෑ. ඒක සියලුම ආබාධ සහිත කණ්ඩායම්වලට අදාළයි.
සන්නිවේදන පහසුකම් නැති නිසා බිහිරි ප්‍රජාව අධ්‍යාපනයෙන් ගිලිහිලා තියෙනවා. දෘෂ්‍යාබාධිත ප්‍රජාව අධ්‍යාපනයෙන් ගිලිහෙනවා, ආර්ථික ගැටලු සහ ඔවුන්ට අවශ්‍ය මෙවලම් නැති නිසා. පන්ති කාමරයට ප්‍රවේශ වෙන්න බැරි වෙනත් ආබාධ සහිත ප්‍රජාවන් අධ්‍යාපනය හැරයනවා. බුද්ධි වර්ධන ඌණතා සහිත කණ්ඩායම්වල තත්ත්වය මීටත් වඩා බරපතළයි. මේ වගේ වටපිටාවක් තුළ අධ්‍යාපන ප්‍රවේශය කියන එක පනතක විතරක් තිබිලා වැඩක් නෑ. වෘත්තීය පුහුණුව ගත්තත් එහෙම තමයි. අපිට ගැළපෙන විදිහට වෘත්තීය පුහුණු පාඨමාලා නවීකරණය වෙන්නෙ නෑ. ඒ විදිහට නවීකරණය වුණේ නැත්නම් ආබාධ සහිත පුද්ගලයව ජාතියේ නිෂ්පාදනයට අවශ්‍ය පරිමාවෙන් දායක කරගැනීමේ අවස්ථාව ලැබෙන්නෙ නෑ.
ප්‍රශ්නය තියෙන්නෙ 1996 හදපු පනත, අවුරුදු 26ක් ගතවෙලා තියෙන පනත ආබාධ සහිත වූවන් පිළිබඳ කිසිදු අයිතිවාසිකමක් උල්ලංඝනය වුණා කියලා උසාවි යන්න අවස්ථාව සකස්කරලා දීලා නෑ. ප්‍රතිපාදන හදලා දීලා නෑ. හැබැයි ගෞරවයෙන් කියන්න ඕනෙ, ආචාර්ය අජිත් සී. පෙරේරා මහත්මයා ආබාධ සහිත වූවන්ගේ ප්‍රවේශ ගැටලුව අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ තීන්දුව දීලා අවුරුදු 14ක්. හැබැයි පහුගිය ආණ්ඩු එකක්වත් ඒ තීන්දුව භූමියේ යතාර්ථයක් කරලා, මේ ආබාධ සහිත ප්‍රජාවට පොදු පහසුකම් භුක්ති විඳීන්න අවශ්‍ය වාතාවරණය නිර්මාණය කළේ නෑ. ඉතා කනගාටුයි. මේ තරම් ආබාධ සහිතවූවන් හිටියට ඔවුන්ට ප්‍රවේශ පහසුක ම්තියෙන එක බස් එකක්, එක කෝච්චි පෙට්ටියක් පොදු ප්‍රවාහනයේ නෑ. පාරෙදි දෑස් ඇරලා බැලුවට ආබාධ සහිත ප්‍රජාව පේන්නෙ නැත්තෙ ඇයි කියන එකට උත්තරය එතැන ම තියෙනවා.
අපි කැපවෙන්න සූදානම්
අපි යෝජනා කරනවා, පොදු ප්‍රවාහනය, පොදු ආයතනවලට ප්‍රවේශ වීමේ හැකියාව, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දැන්වත් ක්‍රියාත්මක කරන්න කියලා. රජයේ ආයතනවලට ඒ උපදෙස් දෙන්න කියලා. ආබාධ සහිත පුද්ගලයන්ට භෞතික පරිසරය විසින් අත්කර දී තිබෙන බාධක ඉවත් කරන්න, ඔවුන්ට ඒ ජයග්‍රහණය උරුම කරලා දෙන්න, ඔවුන්ට ඒ අවශ්‍ය භාණ්ඩ මිලදීගැනීමේදී බාධාවක් වන මිල සම්බන්ධ කාරණය විසඳන්න බදු සහන ලබාදෙන්න කියලා අවධාරණය කරනවා. ආබාධ සහිත ප්‍රජාව අභිමානවත් ජීවිතයක් ගතකරන්න සූදානම්. ඒ වෙනුවෙන් අපි ආණ්ඩුව විදිහට කැපවෙනවා කියමින් මේ ඓතිහාසික මොහොත ලබාදුන් ඔබ සියලුදෙනාට ස්තූති කරමින් මම නවතිනවා.
බොහොම ස්තූතියි.