දිලීපගේ ගමන – “MY JOURNEY”

Share post:

මේ, සිරගතව සිටිය සිත්තරා සහ එහි සිටි තවත් මිනිසුන්ගේ ජීවිත ගැන සිතුවමෙන් ලියැවුණු ගමන යි.
ගමන පටන්ගන්නේ, වම් පසින් මාංචුවක් (සිරගත වීම) සහ දකුණු පසින් යතුරක් (නිදහස ලැබීම) අතරින් වැටුණු ගෘහ අභ්‍යන්තරයක පටු මාවතකින්.
සිතුවම් බැලීමේ පහසුවට අපි ඒවා වෙන්කරගත්තොත්, සිරගතව ඉන්නා අයගේ මුහුණු පළවෙනි කොටසිනුත්, දිලීපගේ මුහුණ ඇති සිතුවම් දෙවනි කොටසිනුත්, සිරගතව සිටිද්දී දකින කියන (මිනිසුන් නොවන) සෙසු දේවල් තෙවන කොටස ලෙසිනුත් ගන්න පුළුවන්. අවසානයට කිවූ කොටසට අදාළව ප්ලාස්ටික් බෝතල්, අපිළිවෙළ සෙරෙප්පු, වාඩිගත් පරෙවියන් රෑන, අහස, දෙව් රූ සලකන්න පුළුවන්.

මුහුණු –

ඇස් කන් පියා, තදින් වසාගත් (එක් කාන්තාවක් සහ සෙසු පිරිමි රූ ඇති) මිනිසුන්ගේ රූප පසුකර සිතුවම් පෙළ බලාගෙන යද්දී, දිලීපගේ භාව විරේඛ පෙන්වන රූ පෙළක් ද අපට දකින්න ලැබෙනවා. මනුස්සයෙක්, කැමරාවෙන් එළියේ ප්‍රකෘති ලෙසින් ඉන්නේ කොහොමද, දිලීපගේ මිනිසුන් ඉන්නේ ඒ ලෙසිනුයි. කට ඇද කරගෙන, දිව එළියට දමාගෙන, මූණු බෙරි කරගෙන, විප්‍රකාර විහිලු මුහුණුවලින්.
දිලීප අඳින සිතුවම්වල ඉන්නා මිනිසුන්ගේ මුහුණු කියවාගෙන යද්දී, ඒවායේ තට්ටුවෙන් තට්ටුව කම්මුල්වල වල ගොඩැලි, ඇස් යට කළුවීම්, කඩතොලු වූ තොල් ආදිය ඒ ගිලුණු තැලුණු ජීවිතවල ඇත්තම නිරූපණ වගෙයි. ඒ ඒ කෙනාගෙ ගති ලක්ෂණ, ඒ ඒ කෙනාට වෙන් වූ කතන්දර, ඒ ඒ කෙනා වින්ද දුක්, සිරගත වුණු හේතුව අපිට කියවාගන්න පුළුවන් තරමට, ඒ දුක් කතන්දරය ඔවුන්ගේ මූණුවලින් පෙන්වන්න ඔහුගෙ සිතුවම් සමත්.

වර්ණ –

කළු, දුඹුරු, කහ ප්‍රධාන වර්ණ විදියට අරගෙන, ඒවයෙ ප්‍රභේදවලින් ඇඳ ඇති චිත්‍රවල සායම් ඉහළට නෙරපා ඇති විදියකින් සිතුවම් කර තිබෙනවා.
වර්ණ මුහුකිරීම් සහ දැඩි පින්සල් පහරවල් ආකර්ෂණීයයි.

සිතුවම් පිහිටුවීම් –

ඛණ්ඩ ලෙසින් බෙදෙන නමුත්, ඒවා එක් කළවිට තනි සිතුවමක් ලෙස පෙනෙන විදියට ඇඳ තිබෙනවා. ඒ පලක වඩාත් ළංකර අවසාන නිමැවුමක් දකින්න පුළුවන්.
මීට කලින් දිලීපගේ සිතුවම්වල මුද්‍රා සලකුණක් වූ භාවගීත සිහිකරවන හිස මත රැඳුණු කහ මල, මෙවර “ගමනේ” දී දෙවියන් ඉදිරියේ මල් අසුනක රඳවා තියා ඇත්තේ, ඒ සිත්තමට ඉදිරියෙන් තියෙන බිත්තියේ මදක් දකුණට වෙන්නට, නිදහස පෙන්වන අහසේ සිත්තම ස්ථානගත කිරීමෙන්, ඒ සිතුවම් දෙක අතර හුය අපට ගැටගසාගන්නට ඉඩ තබමින්.
එනම්,
සිරගත කළ සිතිවිලිවල පියවි මොහොතක් –
මුහුණ බොඳ වූ නමුත් හඳුනන දෙවියන් –
අහස –
ගමනෙන්(සිර ගෙදරින්) ඉවතට පැමිණීම, නොහොත් නිදහස.
ඒවගේම, සිරගත මිනිසුන් පේළිය පෙන්වන දීර්ඝ සිතුවමට ඉදිරියෙන් ගැලරියේ තියෙන ගසට වම් පසින්,
එළියේ සිට සිරගෙය බලන කෙනෙකුට පෙනෙන දෙය සහ සිරගෙය ඇතුළේ සිට එළිය බලන කෙනෙකුට පෙනෙන දෙය නිරූපණය වෙනවා.

ගමනේ අවසානය (නිදහස නොවේ) –

සිරගතව හුන් සිත්තරා තමාගේම මුහුණ යොදමින් ජේලර්වරයෙකුගේ හිසක් සිත්තම් කරමින්, සිරකරුවෙකුව සිටි ගමනේ අවසාන සිතුවම අඳිනවා.
ඔහුට වුවමනා නිදහස් වෙන්න කලින්(අහස ගාවට එන්න කලින්), තමන් සමඟ ඉන්නා සෙසු සිරකරුවන්ගෙන් තමන්ව වෙන් කරගන්නයි, ඒ කොහොමද? ඔවුන්වත් තමන්ට පාලනය කළ හැකි කෙනෙක් – ජේලර් කෙනෙක් – වෙන්නයි!

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...