ඉන්දියාවෙන් පාඩමක්

Share post:

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී වී සිටියා.
වර්තාමන චෙස් ක්‍රීඩාවේ රජු ලෙස හැඳින්වෙන මැග්නස් කාර්ල්සන් ද ඒ අතර සිටියා.
ටාටා ස්ටීල් චෙස් තරගාවලිය සංවිධානය කළේ ඉන්දියාවේ චෙස් ක්‍රීඩාව තවතවත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්.
මන් හිතන්නේ ඒ අරමුණ බොහෝ සාර්ථකයි. පසුගිය දිනවල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමටත් වඩා මේ තරගාවලියට සහ ඊට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉන්දීය මාධ්‍යයේ ඉඩ වෙන් වී තිබුණා.
එමෙන්ම පසුගිය දින කිහිපයේ ගෝලිය චෙස් ප්‍රජාවේත් ප්‍රධාන මාතෘකාවක් වී තිබුණේ මේ තරගාවලියයි.
ඒ අර්ථයෙන් සංවිධායකයන් සහ රටක් ලෙස ඉන්දියාව සාර්ථක බව කිව යුතුමයි.
තරගාවලියේ සිත් ගත් තැන් දෙකක් තිබුණා.
එකක් වයස අවුරුදු තුනක් වන අනිෂ් සර්කාර්.
වයස අවුරුදු තුනක දරුවෙකුට කුමක් කළ හැකිද ? ඒ ඔවුන් තවමත් ඉතාම සුරතලයෙන්, දෙමාපියන්ගේ උකුලෙ නැලවෙන වයසේ දරුවන් නොවෙද ?
නමුත් අනිෂ් සර්කාර් වෙනස්.
ඔහු චෙස් ක්‍රීඩාවේ ගැඹුරු ගැටලු විසඳන චෙස් ක්‍රීඩකයෙක්. තරගාවලියේ කණිෂ්ඨ අංශයට සහභාගී වූ අනිෂ් ලොවෙම අවධානය දිනා ගත්තා.
සිය කුඩා සිරුර නිසා චෙස් ලෑල්ලට අපහසුවෙන් ලඟා වී ක්‍රීඩා කරන තුන් හැවිරිදි ක්‍රීඩකයා සැමගේ ආදරය දිනා ගත්තා. එපමණක් නොවෙයි. එහිදී අන්තර්ජාතික චෙස් ශ්‍රේණිගත කිරීම් (FIDE Ratings) තුළට එක් වූ ලාබාලම ක්‍රීඩකයා බවට පත් වීමටත් ඔහුට හැකි වුණා.
එය අනිෂ් ශර්මා මෙන්ම රටක් ලෙස ඉන්දියාව ද ලබා ගත් ජයග්‍රහණයක්.
දෙවැන්නා කණිෂ්ඨ කාන්තා අංශයකින් ජයග්‍රහණය කළ බ්‍රිෂ්ටි මුකර්ජී.
ඈ තමන්ට හිමි කුසලානය ලබා ගත්තේ චෙස් ලොව රජු, මැග්නස් කාර්ල්සන් අතින්.
එහිදී බ්‍රිෂ්ටි කළේ මැග්නස් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. ඇය තමන්ට හිමි කුසලානය ලබා ගනිද්දී මැග්නස් ගේ පාද ස්පර්ශ කරමින් ඔහුට ගෞරව කළා. සරල අර්ථයෙන් ඇය මැග්නස් ට වන්දනා කළා.
වැඩිහිටියන්ට වැඳුම් සිදු කිරීම ඉන්දීය මෙන්ම ශ්‍රී ලංකා සංස්කෘතියේ ද කොටසක්. නමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ නම් ඒ සම්බන්ධ මත දෙකක් ගොඩනැගුණා.
නමුත් කිසිදිනෙක ඉන්දියාව සිය සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් ප්‍රශ්න කරන හෝ අත් හරින රටක් නොවෙයි. බ්‍රිෂ්ටි ගේ එම ක්‍රියාව ඉන්දියාව තුළත්, ඉන් පිටතත් කතාබහට ලක්ව තිබුණා.
එහිදී ඉන්දියානුවන් සිය සංස්කෘතිය පිළිබඳව ආඩම්බර වී තිබුණා. විදේශිකයන් ද ඉන්දීය සංස්කෘතිය අගය කර තිබුණා.
චෙස් යනු තවත් එක් ක්‍රීඩාවක් නොවෙයි. එය යම් ප්‍රජාවක බුද්ධිය මනිනා ගෝලිය බල තුලනයේ එක් මිණුම් දන්ඩක්.
එහි ඉතා සංකීර්ණ ගණිත සුළු කිරීම් භාවිතා වෙනවා. එමෙන්ම චෙස් ක්‍රීඩකයෙකු ලෙස සාර්ථක වීමට නම් උසස් මතකයක් සහ එක් අරමුණකට සිත යොමු කිරීමේ හැකියාව ද (Focus) බොහෝ විශාල විය යුතුයි.
සෝවියට් රුසියාව සහ ඇමෙරිකාව අතර ශීත යුද්ධය පැවැති සමයේ රුසියාව සිය බලය පෙන්වීමට චෙස් ක්‍රීඩකයන් ද භාවිතා කළා.
මේ මොහොතේ ඉන්දියාව ද එය කරමින් සිටින ආකාරයක් පෙනෙනවා.
ඔවුන් චෙස් ක්‍රීඩාව සඳහා විශාල රාජ්‍ය අනුග්‍රහයක් ලබා දෙමින් සිටිනවා.
දැනට ලොව ප්‍රධාන චෙස් ක්‍රීඩකයන් 20 අතර ඉන්දියානුවන් සිව්දෙනෙක් සිටිනවා.
ඉන්දියාව ඔවුන් ප්‍රවර්ධනය කිරීමට ජාතික මාධ්‍ය න්‍යාය පත්‍රයේ විශාල ඉඩක් වෙන් කර තිබෙනවා.
තුන් හැවිරිදි අනිෂ් ශර්මා ලා චෙස් ක්‍රීඩා කිරීමේ රහස එයයි.
ඇතැමෙකු සිතා සිටින්නේ ඉන්දියාව යනු ක්‍රිකට් උන්මාදයකින් පෙළෙනා, ක්‍රිකට් පමණක් ප්‍රවර්ධනය කරනා රටක් ලෙසයි.
නමුත් එය අසත්‍යයක්.
ඔවුන් ක්‍රිකට් වලට සමගාමීව තවත් බොහෝ ක්‍රීඩා සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටිනවා.
ජනතාව අතර ජනප්‍රිය නොවන ක්‍රීඩා ප්‍රවර්ධනයට රාජ්‍ය අනුග්‍රහය පවා ලබාදී තිබෙනවා.
පා පන්දු, හොකී, මළල ක්‍රීඩා, කබඩි සහ චෙස් ඉන් කිහිපයක්.
ඉන්දියාවේ ප්‍රධාන පුද්ගලික ව්‍යාපාරයක වියදමින් මැග්නස් කාර්ල්සන් ඉන්දියාවට පැමිණ, ඉන්දියානුවන් සමග චෙස් ක්‍රීඩා කරන්නේ අහම්බයෙන් නොවෙයි.
මේවා ජාතික සැලසුමක ප්‍රතිඵල.
මින් ටාටා සමාගමට ඇත්තේ ප්‍රවර්ධන අභිලාෂයකට වඩා ජාතික අභිලාෂයක්.
ප්‍රවර්ධන අභිලාෂයක් ඇත්නම් ඔවුන් ක්‍රිකට් හෝ පා පන්දු වැනි ක්‍රීඩාවකට මේ මුදල් යෙදවීමට තිබුණා.
නමුත් ඔවුන් චෙස් තෝරා ගන්නේ ඒ සඳහා ජාතික අරමුණක් ද ඇතිවයි.
අවාසනාවකට ශ්‍රී ලංකාව චෙස් ක්‍රීඩාවෙන් කිසිඳු පිළිගත් ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව නැහැ.
චෙස් ශ්‍රේණිගත කිරීම් හි ප්‍රධාන ක්‍රීඩකයන් වන “ග්‍රෑන්ඩ් මාස්ටර්” ශ්‍රේණිගත කිරීම ලබා ගැනීමට එකඳූ හෝ ශ්‍රී ලාංකිකයෙක් සමත් ව නැහැ.
වත්මන් ලෝක කණිෂ්ඨ චෙස් ශ්‍රේණිගත කිරීම් හී පිරිමි සහ කාන්තා අංශ දෙකෙන්ම පෙරමුණේ සිටින්නේ ඉන්දියානුවන්.
21 හැවිරිදි අර්ජුන් ඉරිගේසි ලොව චෙස් ශ්‍රේණිගත කිරීම් හි සිව්වැන්නා.
18 හැවිරිදි ගුකේෂ් දොම්මරාජු ලෝක චෙස් ශ්‍රේණිගත කිරීම් හී පස්වැන්නා.
රමේෂ්බාබූ ප්‍රඥානන්ද දහ අට වැන්නා. ඔහුගේ සොහොයුරිය වයිශාලි ලෝක ශ්‍රේණිගත කිරීම් හි 16 වැන්නා.
ඔවුන් සියලූම දෙනා බොහෝ යොවුන් ක්‍රීඩකයන්. එහි ගෞරවය ඉන්දියානුවන්ගේ දක්ෂතාවයට මෙන්ම එහි ජාතික චෙස් ප්‍රවර්ධන වැඩසටහනටත් හිමිවිය යුතුයි.
එය එක්තරා අන්දමකට ඉන්දියානුවන්ගේ සහ අපගේ වෙනස පෙන්වන එක් සාධකයක්.
ඓතිහාසිකව ඉන්දියාව ලොව එක් දැනුම් උල්පතක්. පෙරදිග දැනුමේ කේන්ද්‍රස්ථානයක්.
බ්‍රහ්මගුප්ත යනු බිංදුව හඳුනාගත් ගණිතඥයා. ඔහු ඉන්දියානුවෙක්.
ගණිතයේ අනන්තය නිර්වචනය කළේ ශ්‍රේෂ්ඨ ගණිතඥ ශ්‍රීනිවාස රාමනුජන්.
ඔහු ලොව බිහි වූ විශිෂ්ටතම ගණිතඥයෙක්. එතෙක් විසඳිය නොහැකි යැයි සැලකෙන ගණිතයේ ගැටළු ගණනාවක් ඔහු විසින් විසඳුවා.
ඉන්දියානුවෙක් වූ ඔහු තමන්ගේ සියලූම දැනුමේ මුල්තැන ලෙස හැඳින්වුවේ මහා ලක්ෂ්මි දෙවඟනයි.
ලක්ෂ්මි මෑණියන් සිහිනයෙන් පැමිණ ගණිත ගැටලු විසඳන අයුරු තමන්ට ඉගැන්වූ බව මේ ශ්‍රේෂ්ඨ ගණිතඥයා ප්‍රකාශ කළා.
ඉන්දියානුවන් ලොව කොතරම් ඉහළට ගියත් සිය අක්මුල් අමතක කරන සහ ප්‍රතික්ෂේප කරන ප්‍රජාවක් නොවෙයි.
රාමේෂ්බාබු ප්‍රඥානන්ද ලා පැවැත එන්නේ ශ්‍රීනිවාස් රාමනුජාන් ලාගෙන්.
ඔවුන් සාර්ථක වීමට ඒ ජාන උරුමයත් එක් හේතුවක් වන්නට ඇති.
ඒ සඳහා සිය සංස්කෘතියට සහ සම්ප්‍රදායන්ට ඔවුන් ලබා දෙන වටිනාකම් ද එක් විශාල හේතුවක්.
ශ්‍රී ලංකාවට ද ඔවුන්ගෙන් ඉගෙනීමට බොහෝ දෑ තිබෙනවා.
වර්තමානයේ ඉන්දියාව අප පසුකර බොහෝ දුර ගිහින්. බොහෝ කාරණා වලින් අප ඔවුන්ට සමීපයි.
අප, සංස්කෘතිකව සහ ජෛව විද්‍යාත්මකව අපට වෙනස් රටවල් අනුගමනය කරමින් මෙතෙක් අසාර්ථක වූ රටක්.
ක්‍රීඩාවෙන්, ආර්ථිකයෙන්, විද්‍යාවෙන් අපට සාර්ථක වීමට අවශ්‍ය මොඩලය සොයා අප සිංගප්පූරුවට හෝ යුරෝපයට යා යුතු නැහැ.
අපට ගැලපෙන, අපට කළ හැකි මොඩලයක් අසල්වැසි රාජ්‍යයෙන් සොයා ගත හැකියි.
ඔවුන්ගේ ජාතික වැඩපිළිවෙල තුළ අපට ඉගෙනීමට බොහෝ දෑ තිබේ. ඒවා උකහා ගැනීමට තරම් නිහතමානි වීම අප ඉදිරියේ ඇති සැබෑ අභියෝගයයි.

ඉරේෂාන් සිරිවර්ධන
       2024. 11. 20

Related articles

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...

දුර්ගා යන්නම ගිහින්! Uma Dasgupta (1940-2024)

සත්‍යජිත් රායි අධ්‍යක්ෂණය කළ Pather Panchali චිත්‍රපටයේ අපට හමුවන සුවිශේෂී ස්ත්‍රී චරිතයක් දුර්ගා. දුර්ගා යනු මෙහි ප්‍රධාන චරිතය...