කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං යන කෝච්චිය පානදුරේ රේල් පාලම උඩින් දඩං බඩං සද්දෙන් කොළඹ බලා දුවනවා. නිදියන, තම පෙම්වතාගේ පෙම්වතියගෙ අත අල්ලගෙනම මොබයිල් එක්ක හුරතල් වෙන, කලකිරුණු මූණු එල්ලගෙන, බරපතල වගේ පේන ලුහුඩු සාකච්ඡාවල නිරත දහක් අතර පාලම යටින් ජපන් ජබර කුට්ටි පාවෙවී අලස ගමනින් මෝය කටට යනවා. හරියට කුමුදුගේ කතා වල චරිත වගේ. ගලන වගක් නොපෙනෙන බොල්ගොඩ ගඟේ පලින් පල පාවෙන ජපන් ජබර දකින විට මට ඒක දැනුනෙ කුමුදුගෙ කතාවල එන චරිත විධිහට. ඒ චරිතත් මේ නොපෙනෙන තාලෙට ගලන සමාජ ප්‍රවාහයක් ඇතුලෙ හෙමිහිට ඔහේ ගලා යනවා. විටෙක එකතු වෙනවා, වෙන් වෙනවා, හැපෙනවා, ගැටෙනවා, ආයෙම සමහන් වෙනවා, ජීවිතේ ගලාගෙන යනවා. නොපෙනෙන වේගෙකින්.
කුමුදු ගෙ කතා සියල්ලේම කේන්ද්‍රීය චරිත ගැහැණු. මේ කාන්තා ලෝකය වටා, ඒ තුළ රළ නගන වඳ බහින, පෙන නගන, රොඩු බුදින දහක් ජීවිත වල කතාව ඊට කේන්ද්‍රීය වන කාන්තාවන් ඇසුරින් ගෙන ඒම තමයි කුමුදු කරන්නෙ. එයාගෙ කතා රටාව කතන්දර කියන්නියක වගේ කියාගෙන යාම. එකම තාලයකට, කුමුදු අපිට කතන්දරයක් කියාගෙන යනවා. මට ඒක දැනෙන්නෙ කුමුදු අපි ඉදිරිපිට වේදිකාවක පුටුවක් තියාගෙන කතන්දරයක් කියන ගානට. මේ චරිතවල තියෙන විශේෂත්වය වෙන්නෙ ඒ හැමදෙනාම ජීවිතවලට මුහුණ දෙන ආකාරයේ තියෙන සැහැල්ලු නැතිනම් වගකට නොගන්නා ගතිය. අපිට අපේ සාහිත්‍ය තුළ හමුවෙන ගැමි සීරියස් කම (හුඟ වෙලාවට එහෙත් එහෙම නෑ) වෙනුවට ඕනැ පුකක් ලූණු බිකක් වගේ තාලයකින් කුමුදු මේ ජීවිත අපේ ඉස්සරහා දිගහරිනවා.
නෙලුම් කුළුනෙන් විභූෂිත, අහසට නැගෙන මහා කොන්ක්‍රීට් පවුරු අතරෙ ඉදිවෙන ස්වර්ගයක් අස්සෙම වෙන ස්වර්ගයක් කුමටද වගේ එකම තැන පල්වෙන ඒ අතරෙම කැලතෙන නාගරික ජීවිතයෙන් පිටුවහල් කෙරුණ අමතක කිරීමම උරුමය කරගත් ජීවිත වල පුවත් කුමුදුගෙ කතා අස්සෙන් දිගහැරෙනවා. මේ මිනිස් රොඩුබොඩු, කසල, නැත්නම් රොන්මඩ. අවශ්‍ය වෙලාවට පාවිච්චියට අරගෙන පසුව වීසි කරන වලං අල්ලන කඩමලු වගේ. කුමුදු මේ ජීවිත අතරින් ඒ ඒ වෙනස් ජීවිත වල පොදු ස්වභාවය අපට ගේනවා. අදහාගන්න බැරි තරම් ඉවසීමකින් තමන් මත පැටවෙන ජීවිතය බාර ගන්න නිමලාවතීලා වගේම අපිට මතක දවසෙ ඉඳලම එකම වයසෙ හිටිය ආච්චිලා හරහා කුමුදු ඉතාම සියුම් විධිහට අපේ සිත් තුළ තැන්පත් කරන තද කාරමක් වගේ දෙයක් තියෙනවා. ඒ තමයි මේ නොතකා හරිනු ලබනා කාන්තාවන්ගේ ශක්තිය. මතුපිටින් පෙනෙනකොට මහ නෝංජල් වගේ පෙනුනට මේ ජීවිත තුළ තියෙන අවබෝධය ඉවසීම වගේම ආදරයත් කුමුදු තමන්ගෙ කතන්දර හරහා ඉස්සරහට ගන්නවා.
කුමුදුගෙ ලියවිලි තුළ දකින්න ලැබෙන එක විශේෂත්වයක් වෙන්නෙ එයා තම කතාවන් තුළ ඉතාම පුංචි අවස්ථාවට පවා යොමුවෙන ගතිය. හැමදෙයක් ගැනම මොකක් හරි මගහැරෙයි කියලා බයකින් වගේ එයා පුංචිම දේවල් ගැන පවා දිගිටම ලියනවා. චරිතයක් ගැන ඉතාම සුළු කරුණ පවා ලියන්න උත්සුක වෙනවා. ඇඳුම පැලඳුමේ ඉඳලා ලිංගික ජීවිතය දක්වාම කෙරෙන විස්තර අතරෙ මේ විස්තරාත්මක බව කැපිලා පේනවා. කුමුදු කිසිම ආයාසයකින් තොරව ලියාගෙන ලියාගෙන යනවා වගේ ගතියක් ඒකත් එක්ක පාඨකයට දැනෙන්න ගන්නවා. තමන්ට නොදැනිම මේ නාගරික වතු ජීවිතයේ විවිධ අවස්ථා එක්ක පාඨකයට සම්බන්ධයක් ගොඩනැගෙනව වගේම ඔහු එහි සක්‍රීය නිරීක්ෂකයෙක් බවටත් පත්වෙනවා.
කුමුදු කියන්නෙ ඉතාම දක්ෂ කතන්දරකාරියක්. හැබැයි කෙටිකතාව තියෙන්නෙ කතන්දරය ඉක්මවා යන තැනක. ගෙවෙන දවසක් ගානෙම ලංකාවෙ වගේම විදේශයන්වලත් නිර්මාණකරුවො කෙටිකතාව ගැන විවිධ අත්හදා බැලීම් කරනවා. ඒ නිසාම කෙටිකතාව අද දවසේ දැවැන්ත අභියෝගයක් බවට පත්වෙලා ඉවරයි. සිංගර් වගේ කතන්දරය ගැන විශ්වාසය තියෙන නිර්මාණකරුවන් වගේම කෙටිකතාව හරහා පුළුල් දේශපාලන මැදිහත්වීමක් කරන වොනෙගට් වගෙ අය කෙටිකතාව කතන්දර කීමේ කලාවෙන් බොහෝ ඉස්සරහට ගෙනත් තියෙනවා. මේ සඳහා දායකත්වය සැපයූ අය බොහොමයි. කුමුදු තම සිවුවන නිර්මාණයට එද්දි අපට තවමත් කොළඹ මතක 1 සහ 2 යන දෙකේම දිගුවක් වගේ මේ කෙටිකතාත් දැනෙන එක ගැන කුමුදුට හිතන්න කාලය ඇවිත් කියලයි මට හිතෙන්නෙ. කුමුදුගෙ එක කෙටි කතාවක් ඇතුලෙ තවත් කතා ගණනාවකට අමුද්‍රව්‍ය තියෙනවා. ඒ නිසාම කුමුදු තමන්ගේ නිර්මාණ කලාව තුළ තවත් පැති කරා අවධානය යොමු කළ යුතු තැනක ඉන්නවා කියලා මට හිතෙනවා. එහෙම නොවුනොත් ඇගේ ලියවිලි තුළ දකින ඒකීය රටාව ඇයටම බාධකයක් වේවි.
මට මේ සම්බන්ධයෙන් මතක් වෙන්නෙ උස්බෙක්- රුසියානු- ඉංග්‍රීසි ලේඛක හමීඩ් ඉස්මායිලෝව්. ඔහු කිසිම විටෙක තමන්ගේ එක කෘතියකට භාවිතා කළ ආඛ්‍යාන රටාය ආයෙම යොදාගන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු වැඩියෙන්ම මහන්සි වෙන්නෙ අලුත් රටාවක් සොයා ගන්න. ඔහුගේ රේල්වේ කෘතියෙ සිට අවසනට රචනා කළ ඩෙවිල්ස් ෆීස්ට් දක්වාම මේ වෙනස දකින්න ලැබෙනවා. ඔහුම වරෙක පැවසූ ආකාරයට මේ අන්තිමට කී කෘතිය තුවෙන් දෙකකටත් වඩා හමාර කළාට පස්සෙ ඔහු ආයෙම ඒ සියල්ල ඉරලා අලුතින් පටන් ගන්නවා. ඒ ඔහු තම රචනාව ගැන දක්වන අතෘප්තිය.
කුමුදු තමන්ගෙ ඇතුලෙ ඉන්න කතන්දරකාරිව වඩා ඔප මට්ටම් කරගත යුතු කාලය මේ. ඇයට ඒ නොහැකි දෙයක් නෙවෙයි. ඇගේ කතන්දර තුළින් අපට හමුවෙන නාගරික ජීවිතයේ නොතකා හරින ලද මිනිස් ජීවිත පිලිබඳ අන්දරය නාගරික ජීවිතයේ සාහිත්‍යමය කියවීමට අත්‍යවශ්‍ය අඩුපාඩුවක් සම්පූර්ණ කරනවා. මේ සියල්ල අතරේ කැපී පෙනෙ දේ වෙන්නෙ දිගින් දිගටම පීඩනයට, අවභාවිතාවට, අපහරණයට හිංසනයට වගේම සූරාකෑමටත් ලක්වෙන මේ කාන්තාවන් ජීවිතයට මුහුණ දෙන ආකාරය. එය බැලූ බැල්මට ඔහේ ඉවසාගෙන ඉන්වා වගේ දෙයක්. ඒත් ඒ ඉවසීම ඇතුලේ බාරගැනීම ඇතුලෙ පැසවන ගිනි කන්දක් තියෙනවා. ආගමික සංකල්ප වත් කරමින් පදම් කරන ජීවිත වෙනුවට මේ විවෘත බවෙහි ගැලුන ජීවිත ගැන කියවීම කාලය සම්බන්ධයෙන් ඉතා වැදගත් යෙදවුමක්. ඒ නිසා ඇගේ කතන්දර කියවන්න ගන්නා කාලය අපතේ යන්නෙ නෑ.