ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය අද (18) දිවුරුම් දුන්නේය. එහි සංඛ්‍යාව 21කි. 22 අගමැති ය. 23, 24 සහ 25 යනු ආරක්ෂක, මුදල් සහ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ ඇමැති ධුරයයි. එම ඇමැති ධුර 03 ඇත්තේ ජනාධිපති යටතේ ය.
මීට පෙර ආණ්ඩුවල කැබිනට් ඇමැතිවරු සිටියහ. නියෝජ්‍ය ඇමැතිවරු සිටියහ. රාජ්‍ය ඇමැතිවරු සිටියහ. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු සිටියහ. විශේෂ ව්‍යාපෘති ඇමැතිවරු සිටියහ. කාර්යභාරයක් නැති ඇමැතිවරු සිටියහ. අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රීවරු සිටියහ. අමාත්‍යංශ භාර උපදේශකවරු සිටියහ. ඔවුන්ට දීමනා සමග සියලු වරප්‍රසාද ලැබිණි.
මේ ආණ්ඩුවේ ද නියෝජ්‍ය ඇමැතිවරුන් අනිද්දා (20) පත්කිරීමට නියමිත ය. අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රීවරුන් හෝ ඒ හා සමාන වගකීමක් දරන පිරිසක් ද පත්කිරීමට නියමිත ය. එහෙත් ආණ්ඩුව පවසා ඇත්තේ මේ පිරිසට විශේෂ වරදාන නොමැකි බවකි.
අමාත්‍යංශ විෂයයන්
හරිනි අමරසූරිය අගමැතිවරිය යටතේ ඇත්තේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ධුරයයි. එය මෙසේ එකතු කිරීම ම වැදගත් ය. ඊට හේතුව වන්නේ මීට පෙර ආණ්ඩුවලදී වෘත්තීය කටයුතු වෙනම පැවතීම නිසා අධ්‍යාපන විෂය සමග සම්බන්ධ නොවීමත්, එකට ගමනක් නොයෑමත් ය. තවදුරටත් විෂය නිර්දේශවල න්‍යාය පමණක් මුල්කරගත් අධ්‍යාපනය ප්‍රායෝගික නොවන අතර, වෘත්තීය කටයුතු සමග එය බද්ධ කළ යුතුය.
විජිත හේරත්ට පවරා ඇත්තේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති ධුරයයි. ලංකාව මේ වන විට ඇති තත්ත්වයත්, ලෝකයේ භූදේශපාලන තත්ත්වයන් ක්‍රියාත්මක වන තත්ත්වයත් බලන විට වැදගත්ම සහ භාරධූර ම අමාත්‍යංශය පවරා ඇත්තේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති විජිත හේරත්ට ය. ඉන්දියාවේ අදානිලාගේ ව්‍යාපෘති සමග මෙන්ම චීන – ඇමෙරිකා බල අරගල අතරත්, බ්‍රික්ස් මෙහෙයුම් අතරත් උපක්‍රමශීලීව කටයුතු කරන්නට විජිත හේරත් ඇමැතිවරයාට සිදු වේ.
ලංකාවට වැඩිම ආදායමක් ලැබෙන ක්ෂේත්‍ර දෙකකි, විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍ර. සංචාරක ක්ෂේත්‍රයේ ඉලක්ක වෙත අනිවාර්යෙන්ම යා යුතුය. ඒ අතර පාලනය කළ නොහැකි ඊශ්‍රායල් ප්‍රශ්න වැනි ඒවා ද එයි. අනෙක් පැත්තෙන් පුරුදු වී ඇති, සිදු කර ඇති මෙරට පරිසර විනාශයන් පිළිබඳ ලෝකයේ ධනවත් සංචාරකයන් අතර ඇත්තේ අප්‍රසායකි. මේ තත්ත්වයන් වෙනස් කළ යුතුය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී සජින් වාස් ගුණවර්ධන ද ලෝකය පුරා ගොස් සුබේරි නම් ලෝක ප්‍රකට ඩීලර්වරයකු සමග සංචාරක කටයුතු ප්‍රවර්ධන මෙහෙයුම් ක්‍රියාත්ම කළ බව කිව්වේය. ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ ගණනක් වැය කර තිබිණි. අනෙක් පැත්තෙන් විදේශ රටවල් සමග ගිවිසුම් ය. නැගෙනහිර වෙරළේ ඇති දැවැන්ත වටිනාකමකින් යුත් ඛනිජ සම්පත් සම්බන්ධයෙන් එක් පැත්තකින් අත්තනෝමතික ලෙස ගැසූ ගිවිසුම් ය. ඒවා රාජ්‍ය තාන්ත්‍රික ගැටලු මතු නොවන පරිදි බැලන්ස් කරගැනීමට සිදු වේ. අනෙක් පැත්තෙන් අලුත් ව්‍යාපාරික අවස්ථා විවෘත කළ යුතුය.
මේවායේදී පරිසරය නොගැටෙන පරිදි ඉදිරියට යා යුතුය. පරිසරය හිලව් කොට ණය ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ගෝඨාභය රාජපක්ෂ පලාගිය ජනාධිපතිවරයාත්, රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාත් සැලසුම් සකස් කළහ. ඇතැම් තැන්වල ඒවා ක්‍රියාත්මක කිරීමට අවශය කටයුතු ද කළහ. ඔය සියල්ල අතර සංහරාජය වැනි වටිනා පරිසර සම්පත් විනාශ වන ආකාරයට ඉදිකිරීම් කළේය. උමා ඔය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් පරිසර ඇගයීම් වාර්තා සකස් කර තිබුණේ දින කිහිපයකින් ය. රටේ හදවත වන මධ්‍යම කඳුකරය වනසන තවත් මෙවැනි වැඩ රාශියකි.
රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී, රටක් ලෙස ඉදිරියට යෑමේදී භූදේශපාලනික මැදිහත්වීම් බැලන්ස් කිරීමේ, ඊට මුහුණ දිය හැකි ශක්තිමත් අනාගත පරපුරක් ගොඩනැගීමේ වගකීම හරිනි සහ විජිතගේ කරපිට පැටවී තිබේ. එනම් මේ වගකීම් සහ වගවීමේ අවසාන ප්‍රතිඵලය පොහොසත් – ලස්සන රටකි.
මෙය සාමූහික වගකීමකි. සියලු අමාත්‍යංශ එකිනෙකට බැඳී තිබෙන අතර, ඒවා අතර බැඳීම් ශක්තිමත් කිරීම ද අත්‍යවශ්‍ය වේ.
ඒ ගැන එකින් එක අපි ලියන්නට බලාපොරොත්තු වෙමු.