මහා මැතිවරණය හමාර වූවේ ලාංකික ඡන්දදායකයා සියළු දේශපාලකයන්ට කන කීස් ගානා පිලිතුරක් ලබා දීමෙනි. එය සියයට තුනෙන් හතලිස් දෙකට වර් ධනයක් අත් කරගත් මාලිමාව පවා අපේක්ෂා නොකළ ප්‍රතිචාරයක් බව මගේ හැඟීමයි. තමන් ජය ලබන බව ඔවුන් තිර ලෙසම දැන සිටියද ඒ ජය මෙරම් උත්කර් ශවත් ස්ථානයක් කරා ජනතාව විසින් ගෙන යනු ලබන්නේය යන තක්සේරුව නම් ඔවුන්ටද නොවී යයි මම සිතමි. එහෙත් ලංකාවේ ජනතාව දේශපාලනයේ නිරත වන්නන්ට සහ ඉදිරියේදී එසේ එන්නට අපේක්ෂා කරන්නන්ට කදිම සංඥාවක් දී තිබේ.
මේ සංඥාවේ වැදගත්ම සංධිස්ථානය දෙමළ ප්‍රජාවෙන් ලද ප්‍රතිචාරයයි. උතුරු නැගෙනහිර මෙන්ම කඳුකරයේද දෙමළ ජනතාව විසින් මෙවර දැක්වූ ප්‍රතිචාරය රැවටීම සිය දේශපාලන දහම කරගත් දෙමළ දේශපාලකයන්ට පමණක් නොව ඒ දේශපාලකයන්මෙහෙයවමින් උතුරේ දෙමළ ජනයා තම අත් අඩංගුවේ තබාගැනීමට ඉන්දීය දේශපාලනය විසින් මෙතෙක් ගෙන ගිය වැඩ පිලිවෙලද පිලිකෙව් කිරීමක් සටහන් කරයි. එසේම එය තමන් ලාංකිකයන් බවත් තමන්ගේ අනන්‍යතාව අභියෝගයට ලක් නොකල යුතු සහ නොකලහැකි බවටත් ඔවුන් විසින් පෙන්වන ලද සංඥාවක් ලෙසද ගත හැකිය.
මේ දෙමළ ජනයා එක් රටක් ලෙස ජීවත්වීමට තමන් සූදානම් බව සහ තමන්ද අභිමානවත් මිනිසුන් බව පෙන්වන්නට දැරූ දෙවන උත්සාහයයි. පලමුවර ඔවුන් එසේ තමන්ගේ කැපවීම පෙන්වා සිටියේ තමන් මත යුද මෙහෙයුම් පතිත කළ හමුදාපති හට ජනපතිවරණයේ දී තම කතිරය පාවිච්චි කරමිනි. දැන් දෙවන වරටත් ඔවුහු තමන් වෙත එල්ල වූ සියළු පීඩනයන් සහ පෙළඹවීම් මෙන්ම අනාගතය ගැන් දැක්වූ බිය දනවන මුසාවන් පිලිකෙව් කරමින් මාලිමාවට සිය කතිරය පාවිච්චි කර තිබේ.
දකුණේ දේශපාලකයන්ගේ පළමු උත්සාහය වූවේ මාලිමාවට පහරදී මැතිවරණයෙන් ඔවුන් පරාජය කර අනුර තනි කර කොටු කිරීමය. එහෙත් ජන මතය වෙනස්වන ආකාරය දුටු විට ඔවුන් සිය මතය වෙනස් කළේ පාලනය සඳහා මාලිමාවට අසීමිත බලයක් දීම භයානකය යන තැනට මාරුවෙමිනි. ඉන්පසුව ඔවුන් උපරිම උත්සාහ දැරුවේ මාලිමාවට තනි බලයක් ගැනීමට ඉඩ නොදී සභාගයකට පාර කැපීම හෝ එය නොහැකි නම් අවම වශයෙන් යාන්තම් බහුතරයක් ලැබෙන තැනට වැඩ සැලසීමය. එහෙත් ජනයා ඒ සියළු උත්සාහයන් පරාජය කළේ මාලිමාවටද කිසිදු නිදහසට කරුණු කීමට ඉඩ නොලැබෙන ඓතිහාසික බලයක් හිමි කර දෙමිනි.
මේ බලය ලබාදීම පිටුපස ඇත්තේ ජනතාව ඉතිහාසය පුරා අත්විඳි කටුක අත්දැකීම් හී තිත්තය. මට මේ මෙහොතේ එක් තරුණියක පල කළ අදහස් සිහියට එයි. මේ මැතිවරණ ප්‍රතිපලය යනු ඇගේ අදහස පොදු අදහස බවට සාක්ෂියකි. ඇය කියා සිටියා තමන්ට වැදගත් වන්නේ ඉන්ධන මිල වැනි දේ නොව තමන්ට අනාගතයක් ඇති දූෂණයෙන් තොර අවංක පාලනයක් බවයි. සැබැවින්ම මේ මැතිවරණ ප්‍රතිපලය යනු දිගුකාලීන දූෂිත දේශපාලනයට එරෙහි දරුණුතම ප්‍රහාරයයි.
දැන් මාලිමා රජය සිටිනුයේ තමන් වෙත පල කරන ලද සහාය වෙනුවෙන් තම වගකීම් ඉටු කිරීමේ අසීරු සහ අභියෝගාත්මක සංධිස්ථානයෙහිය. එහෙත් අන් කවර ආණ්ඩුවකට හෝ නොවූ ජනතා සහයක් තමන්ට හිමිව තිබෙන තත්වයක් යටතේ ඔවුනට තම අභියෝගය ජය ගැනීමට ඇති අවකාශය පුළුල්ය. ඔවුන් කළ යුතුව ඇත්තේ ජනතාවට සත්‍යය පහදා දෙමින් ඔවුන්ද මේ ගමනේ කොටස්කරුවන් බවට පත් කරගැනීමය. රටක් වශයෙන් තමන් පත්ව සිටිනා තත්වය මෙන්ම රට වෙනුවෙන් මෙතෙක් ඇතිකරගෙන ඇති ගිවිසුම් යනාදියේ වාසි අවාසි සහ ඒවා සම්බන්ධයෙන් ගත හැකි යථාර් තවාදී පිලියම් ද ඇතුළුව ඉදිරියේ තමන්ගේ මාර් ග සිතියම කවරාකාර වන්නේද යන්න දැන් ඔවුන් ජනතාවට පුළුල් ලෙස දැනුවත්භාවය ලබාදිය යුතුය. සහල් මිල සහ බිත්තර මිල එක රැයින් සතයට බස්ස්න වුවමනාව ඇත්තේ ජනතාවට නොව මාලිමාව පරාජය කර තම මජර දේශපාලනය ගෙනයාමට තැත් කළ තක්කඩි දේශපාලකයන්ටය. එහෙත් දිගින් දිගටම මාෆියාවන්ට යටවී අසාධාරණ මිල ගෙවන්නට තරම් ජනතාව ඉවසිලවන්ත වන්නේද නැත. එහෙයින් මෙවන් අර් බුද හමුවේ ආණ්ඩුව පළමුවෙන්ම පවත්නා තත්වය ජනතාවට අවබෝධ කරවමින් ඒ සමග එකී අභියෝගය ජයගැනීම උදෙසාවන තාර් කික මාර් ග සිතියමද ඉදිරිපත් කළ යුතුය. පොරොන්දු දේශපාලනයෙන් සැබෑ බිමට බසින්නට හැක්කේ එවිට පමණි. ජනතාව ආණ්ඩුව මුහුණ දී සිටිනා සැබෑ තත්වය ගැන මනාව දැනුවත් නම් සහ අර් බුද ජය ගැනීමට ආණ්ඩුව තාර් කික සහ අවංක පියවර ගන්නට යන බව විශ්වාස කරන්නේ නම් එහිදී ඇතිවන අසීරු තත්වයන්හිදී ජනතාව ආණඩුවේ සහයට එනු ඇත්තේය. එහෙත් ජනතාවට ඒ විශ්වාසය ඇති කරන්නට ආණ්ඩුව අසමත් නම් ජනයා ඊට එරෙ හිව නැගීමද කිසිසේත්ම වලක්වාලන්නටද නොහැකි වනු ඇත්තේය.
සියළු අන්තවාදයන් පරාජය කිරීමට ජනතාව තුළ වන සූදානමද මේ මැතිවරණ ප්‍රතිපලය මගින් කියාපායි. කෙතරම් උත්සාහ දැරුවද ජාතිවාදය සහ ආගම්වාදය අවලංගු කරන්නට ජනයා සූදානම් බව පැහැදිලිව කියා ඇත්තේ අවස්ථාවාදී ලෙස කටයුතු කළ ඇතැම් පූජකයන් සහ දේශපාලකයන් හට විලිවැද සැඟවෙන්නට තරම් උත්තරයක් දීමෙනි.
මේ එළඹ ඇත්තේ රටෙහි සංහිඳියාව ස්ථාපිත කරමින් නව ගමනක් ඇරඹිය යුතු අවස්ථාව බව ආණ්ඩුව වටහා ගත යුතුය. මේ සැබෑ ලෙසම වෛරය වෙනුවට ආදරය පල කර සිටිය යුතු මොහොතයි. අප පිලිගත යුතු සත්‍යය වනුයේ මෙතෙක් රටෙහි සියළු බෙදීම් හටගත්තේ දේශපාලකයන්ගේ බල වියරුවේ ප්‍රතිපල ලෙසට බවයි. ඒ බල වියරුවේ ගොදුරු බවට පත්ව තම ජීවිතය යපොලු අතර ගෙවනා උතුරේ මෙන්ම දකුණේද පිරිස්වලට යළි සමාජයට පිවිසෙන්නට මේ අවස්ථාව කළ හැකි නම් එය ඉතාම වටනා පියවරක් වනු ඇත. උතුරේ මෙන්ම දකුණේද වෛරය වෙනුවට ආදරය තහවුරු කළ හැකිනම් එය යළි පටු බෙදීම් සඳහා ඉඩ නොලැබෙන පවුරක් බවට පත්වනු ඇත්තේය.
ආණඩුවට උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරී තිබේ. මට මෙහිදී සිහිපත් වන්නේ අසූව දශකයේ අග සහ අනූව දශකයේ මුල මා සිරගතව සිටි අවධියෙහි මා සමග සිර කුටිය බෙදාගත් දෙමළ තරුණයෙකු ගේ වදන්ය. අයියා උඹලට නිදහස් වෙළඳ කලාප, පැක්ටරි තව මොනවද නැත්තෙ අපිට තිබ්බෙ සිමෙන්ති පැක්ටරිය විතරයි. අද ඒකත් නෑ. අපි සටන් නොකර වෙන මොනවා කරන්නද?
මේ තරුණයාගේ කතාවෙහි විශාල ගැඹුරක් තිබේ. නව ආණ්ඩුව සිය න්‍යාය පත්‍රය තුළ මේ පලාත්හී සංවර්ධනය සහතික කිරීම මෙන්ම විෂමතා ඉවත් කිරීමද ප්‍රම්‍රඛතාගත කළ යුතුව තිබේ. ඔවුන්ට සිය භූමියෙහි නිදහසේ ආර් ථික ක්‍රියාකාරකම්හී නියැලෙන්නට අවශ්‍ය නීතිමය, සහ වෙනත් අවකාශ සැසීමද, අවශ්‍ය සැලසුම් සම්පාදනය පිණිස ඔවුන්ගේ සහභාගීත්වය අනිවාර් ය කිරීම, ඔවුන්ගේ අදහස් තේරුම් ගැනීම සහ කන්දීමද මෙහිලා අත්‍යවශ්‍යය. සංචාරක කර් මාන්තයෙහි වර් ධනය හරහා අපට යාමට ඇති ඉදිරි ගමනේදී උතුරු නැගෙනහිර ජනයාට එහි අවස්ථා පුළුල් කිරීම සහ ඒ සඳහා ඔවුන්ට සිය ඉඩම් ඇතුළු සියළු පහසුකම් සැලසීම මෙහිලා එක් පියවරකි. දැනට ආණ්ඩුව සහ හමුදාව යටතේ පවත්නා රටේ උතුරු නැගෙනහිර සංචාරක කලාප වශයෙන් වැදගත් වන ස්ථානයන් ඔවුන්ට නිදහස් කරදීම සහ ඒ දියුණු කිරීමට වැඩ පිලිවෙල සැකසීම මගින් උතුරු නැගෙනහිර සංවර් ධනයට විශාල දායකත්වයක් සැපයිය හැකිය. ඒ සඳහා ආයෝජනය කිරීමට දෙමල ජනයාට අවසර මෙන්ම පහසුකම්ද ලබාදිය යුතුය. බෙදී වෙන්වීම උදෙසා වන අභිලාෂයන් ආහෝසි කළ හැක්කේ අවි බලයෙන් නොව තමන්ද මෙ රටෙහි පුරවැසියන්නය යන විශ්වාසය තහවුරු කිරීමෙන් පමණි. අප ඒ සත්‍යයට මුහුණ දිය යුතුය.
ජනතාව තමන්ට මිනිසුන් ලෙස ජීවත්වීමට අවශ්‍ය බව ඉතා පැහැදිලිව කියාදී තිබේ. දැන් ආණ්ඩුවට ඒ සඳහා ඇවැසි බලයද කැපී පෙනෙන ලෙස ලබා දී තිබේ. විදෙස් බලවේගයන්ට පවා අත පොවන්නට පෙර දෙවරක් සිතන්නට සිදුවන තරම් ජනතා විශ්වාසයක් දැන් ආණ්ඩුවට හිමිව හමාරය. ආණ්ඩුව කළ යුත්තේ එකී විශ්වාසය රැකීම පිණිස උපරිමයෙන් කැපවීමය. තමන්ගෙ පාලනය පවතිනුයේ ජනතාවගේ යහපත උදෙසාම පමණක් බව සිය ක්‍රියාවෙන් තහවුරු කරන්නට සහ එය ජනතාවට අවබෝධ කරවන්නට ආණ්ඩුව සමත්වන තාක් ජනතාව කවර දුෂ්කරතා විඳිමින් වුව ආණ්ඩුව ආරක්ෂා කරනු ඇත.
දැන් අප කළ යුතුව ඇත්තේ වෙනත් ජනතාවක් පත් කරගැනීම යයි බ්‍රෙෂ්ට් ගේ කියමන සත්‍යය ලෙස විශ්වාස කරන්නට සැරසෙමින් සිටි මොහොතක ජනතාව තමන්ට වෙනස් වන්නට හැකි යයි උස් හඬින් කියා තිබේ. අප ඒ ස්වරය තේරුම් ගත යුතුය. ඉදිරියේ ඉන්නා ඡන්දදායකයා යනු කැපුවත් නිල් කොල රතු නොව අවංක දේශපාලන ව්‍යාපාරයන්ට සිය මනාපය පල කරනා පිරිසක් පමණක් බව දේශපාලකයන් වටහා ගත යුතුව තිබේ. ඉදින් තම අවංකභාවය රැකගන්නට නව ආණ්ඩුව සමත්වන තුරු ඔවුන්ට තිබෙනු ඇත්තේ ජයගත හැකි අභියෝගයන් ය. ජනතාව සිය කොටස ඉටු කර හමාරය. දැන් ඇත්තේ ඔවුන්ද කොටස්කරුවන් කරගනිමින් ගමන ඇරඹීමයි. එවිට හාල් මලු, අරක්කු දේශපාලනය අවසන් වනු ඇති අතර අපේ කැපවීම මත අපේ දරුවන්ට අපට අහිමි කරන ලද ලෝකය දිනාගත හැකිවනු ඇත්තේය.