තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුවක් ජාතික ජන බලවේගයට හිමිකර දී තිබේ. එය සිදුවූයේ කෙසේද, එහි ඉදිරි ගමන කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සකස් කරන ලදි.
පාර්ලිමේන්තු මැතිවරණයේ තීරණාත්මක වෙනසට බලපෑ හේතු
නිදහසින් පසු ලංකාවේ දේශපාලන සම්ප්‍රදාය හා සංස්කෘතිය තුළ ඇති වූ ගැඹුරු වෙනස්වීමක් ලෙස මෙය සැලකිය හැකිය. සියයට තුනක් වැනි අවම ඡන්ද පදනමක තිබූ පක්ෂයක් මේ වනවිට ඉතා ඉහළ ඡන්ද පදනමක් දක්වා වර්ධනය වී තිබේ. ජනාධිපතිවරණයෙන් පසු මේ ඡන්ද පදනම තව-වත් තීව්‍ර විය. ඊට සාපේක්ෂව අනෙකුත් පක්ෂවල නායකයන්ගේ සහ අනෙකුත් දේශපාලනඥයන්ගේ තිබූ මන්දෝත්සාහී බව ද මේ ප්‍රතිඵලයට හේතු විය. එවැනි බොහොමයක් ඡන්ද පොළට ගියේ නැත. කවර තත්ත්වයක් යටතේ වුවද දැනට ලංකාවේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය අනුව මෙය අතිවිශාල ජයග්‍රහණයකි. සංඛ්‍යාත්මකව සහ සාධකමය වශයෙන් ගත් විට එය කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය.
ජනතාව අනෙකුත් පක්ෂ සහ දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කිරීම සඳහා ගෝලීය වශයෙන් සිදුවන සිදුවීම් ද බලපෑවේය. දශක දෙකක පමණ කාලයක සිට ලෝකයේ රටවල ජනතාවගේ ඇති වූ වෙනස්කම්, ඔවුන් මුහුණ දෙන අර්බුද අපේ සමාජයට ද කාන්දුවෙමින් පැවතිණි. ඒ සමාජවල සාම්ප්‍රදායික දේශපාලන, ආර්ථික ව්‍යූහයන්වල පසුගිය කාලයේ තීරණාත්මක වෙනස්කම් සිදු විය. ලංකාවේ ද දශක හයක කාලයක් තිස්සේ බලය හුවමාරු කරගනිමින් පැවැති මේ දේශපාලන පක්ෂවලට මෙයින් ගැලවීමට හැකියාවක් නොවීය. එය ඇත්ත වශයෙන්ම අපේ රටට පමණක් සිදු වූ තත්ත්වයක් නොවේ. එය එක් වැදගත් කරුණකි.
අනෙක් අතට අප ජීවත් වන මේ යුගය සංකීර්ණ සහ දැවැන්ත පරිවර්තන යුගයකි. සාමාන්‍යයෙන් ලෝකයේ අවුරුදු සීයකට වරක් ආර්ථික ක්‍රමය වෙනස් වන බව සලකයි. ඒ වගේම එක් එක් රටවලත් සෑම අවුරුදු හතළිහකට හෝ පනහකට හෝ වරක් දේශපාලන ක්‍රමය වෙනස් වෙයි. උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ දීර්ඝ කාලයක් පැවැති ඩිමොක්‍රටික් පක්ෂයේ පාලනය අවසන් කරමින් 2016 වසරේදී රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් බල හුවමාරුව සිදු විය. සම්පූර්ණයෙන්ම පිටස්තරයකු ඇමෙරිකානු දේශපාලන සම්ප්‍රදායට ඇතුළුවීමක් ලෙස මෙය සැලකිණි. මෙවර ද එරට මැතිවරණය ජයග්‍රහණය කළේ ට්‍රම්ප් ය.
ලංකාවේ ද නිදහසින් පසු ඇති වී තිබූ ලිබරල්වාදී නව ආර්ථික මොඩලය ද අර්බුදයට ගියේය. එය ලෝකයට ද පොදු තත්ත්වයකි. එම ක්‍රමය නියෝජනය කළ දේශපාලන පක්ෂ ද ඊට සාපේක්ෂව අර්බුදයට ගියේය.
මේ වන විට ලංකාවේ අපි තීරණාත්මක අර්බුද කිහිපයකට මුහුණදෙමින් සිටිමු. ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදය, ජීවනෝපාය පිළිබඳ අර්බුදය, මානවවාදී අර්බුදය, සමාජ පරිනාමය පිළිබඳ අර්බුදය යන කරුණු මතයි, අප මේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කියවාගත යුත්තේ.
නව ආර්ථික – දේශපාලන මොඩලයක්
පැරණි ක්‍රමය අපේ රටට මෙන්ම ලෝකයට ද තවදුරටත් වලංගු නැත. එම ආර්ථික – දේශපාලන මොඩලයට වර්තමාන ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීමට හැකියාවක් නැත. ලංකාවේ ණය බර ඩොලර් බිලියන ඉක්මවා ඇත. සෑම ආණ්ඩු පාලන කාලයක් අවසානයේදී රාජ්‍ය බදු ආදායම් අඩු වී තිබේ. මේ කාරණා සියල්ල අපේ අර්බුදයට හේතු විය. එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී පුපුරා ගියේය. එම පුපුරායෑමත් සමග ආර්ථික, දේශපාලන අවිනිශ්චිත බව ඇති විය. එම සමාජයීය ගතිකත්වය විසින් මේ නව දේශපාලන ව්‍යූහය බිහිකරලීය. එසේ නැත්නම් ජාතික ජන බලවේගය නම් මේ පිරිස තමන්ට විසඳුම් ලබාදෙනු ඇතැයි ජනතාව විශ්වාස කරන්නට විය.
ජයග්‍රහණයේ සවිඥානික හෝ අවිඥානික හේතුව
අනෙක් පැත්තෙන් ජාතික ජන බලවේගය දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගෙන ගිය ඉතා සැලසුම්සහගත පූර්ව ප්‍රචාරක මැතිවරණ වැඩපිළිවෙල ද මේ ජයග්‍රහණයට තීරණාත්මක හේතුවක් විය. කොවිඩ් ව්‍යසනයෙන් සහ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව තුළ විහ්වාසය ඇති කරවිය හැකි වැඩපිළිවෙළක් ඔවුන් සතු විය. එය නිවැරදිව සන්නිවේදනය කිරීමට ද ඔවුහු සමත් වූහ. ලංකාවේ පමණක් නොවේ. බි්‍රතාන්‍යයේ ද ටෝනි බ්ලෙයාර් විසින් මේ උපක්‍රමය භාවිත කළේය.
ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා 1977 බලය ගන්නා අවස්ථාවේදී ඉදිරිපත් කළේ හත් වසරක සාපය පිළිබඳ කතාවයි. ජාතික ජන බලවේගය එය හැත්තෑ වසරක් දක්වා පුළුල් කළේය. යම් සාධනීය තැන් තිබුණද, සමස්තයක් ලෙස ප්‍රචාරණය මගින් මෙය ඉදිරියට ගැනීම ද මේ නව තත්ත්වය ඇතිවීමට හේතු විය.
ජාතික ජන බලවේගයේ සාර්ථක සැලසුම
නිදහසින් පසු අපට ප්‍රශ්න 03ක් තිබිණි. ඒ ප්‍රශ්නවලට ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් සාර්ථක පිළිතුරු සැපයීය. එයින් එක් ප්‍රශ්නයක් වන්නේ අපට රාජ්‍යයත්වයක් ගොඩනගා ගැනීමට නොහැකිවීමයි. එනම් අපේ ආණ්ඩුවක් සකස් කර ගැනීමට අපට නොහැකි විය. එම කාලයේදී ම නිදහස ලබාගත් ඉන්දියාව ඒ ගැටලුව විසඳාගෙන ඉදිරියට ගොස් තිබේ. අපේ රටේ සමස්ත ජන සහභාගිත්වය නියෝජනය කෙරෙන විධිමත් රාජ්‍ය ක්‍රමයක් ගොඩනගාගැනීමට අපට නොහැකි විය. එයින් අපි දිගටම පීඩාවින්දෙමු. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපි සංශෝධන 21ක් සිදු කර ඇත. එය සංකීර්ණ තත්ත්වයකි.
අනෙක් පැත්තෙන් අපට ගැලපෙන සමාජ – ආර්ථික මොඩලයක් ගොඩනගා ගැනීමට අපි අසමත් වීමු. එම නිසා අපට නිතරම අනුගමනය කරන ලද්දේ තාවකාලික මොඩලයන් ය. අඩුම තරමේ රුපියල පවා අපට නැති විය. රටේ දෛනික වියදම් පවා කරගත නොහැකි විය. ජාතික ජන බලවේගය ඉතාමත් ආකර්ෂණීය ලෙස මීට විසඳුමක් ඉදිරියට ගෙනාවේය. එය නව මොඩලයක් විය.
නිදහසින් පසු අපට උරුම වූ අනෙක් ගැටලුව වන්නේ ශ්‍රී ලාංකිකයා නම් අනන්‍යතාව නැතිවීමයි. ශ්‍රී ලාංකිකයකු ලෙස අපට නිශ්චිත තැනක් නොමැතිව වාර්ගික, ආගමික බෙදීම් සංස්කෘතියක් බිහිකිරීම ද මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියේ ම කොටසකි. පසුගිය ආණ්ඩු තමන්ගේ බලය පවත්වාගෙන යෑම සඳහා මේවා භාවිත කළේය. උතුරු – දකුණු ප්‍රශ්නය ඒ අතරින් එකකි. සිංහල – මුස්ලිම් ප්‍රශ්නය තව එකකි. ජාතික ජන බලවේගය පසුගිය කාලයේදී මේ තත්ත්වය වෙනස් කළේය. එය ඡන්ද ප්‍රතිඵලයෙන් ද පැහැදිලි වෙයි. මඩකලපුව හැර උතුර සාර්ථකව ආමන්ත්‍රණය කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ.
එසේ ම භූදේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික ස්ථාවරත්වය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සමග ජාතික ජන බලවේගයේ මැදිහත්වීම කෙසේ සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් ඔවුන් කළ පැහැදිලි කිරීම් ද ජනතාව නිවැරදිව සන්නිවේදනය කරගෙන තිබේ.
මෙවැනි තත්ත්වයන් සමග ගත් විට මේ ජයග්‍රහණයේ විශාල ආස්වාදයක් ද නැත. විද්‍යාත්මක ප්‍රවේශයකට ගොස් බැලූ විට එය විය යුතුව තිබූ දෙයකි.
ඡන්දදායකයාගේ දේශපාලන සාක්ෂරතාව
මෙහිදී අප සාකච්ඡා කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ලංකාවේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව පිළිබඳ කරුණයි. මේ මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ හැසිරීම තාවකාලිකව සිදුවූවක් ද යන්න තීරණය කළ හැකි වන්නේ එමගින් ය. ලංකාවේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඇතැම් විට ඇමෙරිකාවේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවට වඩා ඉහළින් තිබෙන බව අපට කිව හැකිය. මෙරට ජනතාව සමාජමාධ්‍ය ඇතුළු විවිධ තැන්වල සිය අදහස් පළකරති. එමගින් පෝෂණය වෙති. එකිනෙකා සංවාද කරති.
ජාතික ජන බලවේගය සිය පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට පෙර සිටම ලංකාවේ විකල්ප දේශපාලන සංස්කෘතියක් වර්ධනය කළේය. වංචාව, ඥාති සම්බන්ධතා, කොමිස්, පවුල් බලය වැනි ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය වෙනුවට ඔවුන් නව ආකර්ෂණීය සංස්කෘතියක් හඳුන්වා දුන්නේය. ඔවුහු එයට කොන්දේසි විරහිතව අභියෝග කළහ. එහි නිර්මාපකයන්ට, එය පවත්වාගෙන යන්නන්ට අභියෝග කළහ. මතුපිටින් යම් – යම් ගැටලු සංවාදාත්මකව හඳුනාගත හැකිව තිබුණද, ඔවුන් පසුගිය මාසයක කාලය තුළ කළ දේවල් ද වැදගත් විය. මේ පිරිසට යමක් කළ හැකිය යන විශ්වාසය එමගින් ජනතාව තුළ ඇති විය. ඔවුන්ගේ නව දේශපාලන සංස්කෘතික මතවාදය පැරණි මතවාදය සහ එහි ක්‍රියාකාරිත්වය පරාජයට පත්කර දැම්මේය.
මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ජනතාවගේ මේ හැසිරීම තාවකාලික විය නොහැකිද යන්නයි. ඇත්තටම මේ වෙනස කළේ මෙරට බිහිවූ නව මධ්‍යම පන්තියයි. මාලිමාවේ දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ නායකත්වය යටතේ ඔවුහු එය සිදු කළහ. එම නව මධ්‍යම පන්තිය මේ වෙනස කළහ. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාවේත්, මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙනාවේත් මේ නව මධ්‍යම පන්තියයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගෙනාවේද ඔවුන් ය.
ජනතා විමුක්ති පෙරමුණ වටා ගොනුවී තිබුණේ ලක්ෂ තුනක පමණ පිරිසකි. ඊට වඩා මාලිමාව වටා විශාල පිරිසක් දිනපතා ගොනුවූහ. ජාතික ජන බලවේගය යනු විවිධ වෘත්තිකයන්ගෙන්, දැනුමැත්තන්ගෙන් සමන්විත වෙනස් පිරිසකි. මේ පිරිස ය, නව මධ්‍යම පන්තිය දිගටම පවත්වාගනෙ යන්නේ.
ඇත්තටම මේ අයගේ අවශ්‍යතාව කුමක්ද?
ඔවුන්ට අවශ්‍ය වන්නේ විවෘත ආර්ථිකය මගින් අපට දායාද කරන ලද පාරිභෝගික වටිනාකම් වෙනුවෙන් පෙනීසිටීම ය. එම වටිනාකම් ළඟාකර ගැනීම ය. එම නිසා අනාගත ආණ්ඩුවට ඇති ප්‍රධාන අභියෝගය වන්නේ ආණ්ඩුව ගෙන යන කෙටි කාලීන – මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම්වලට අනුව රඳවාගන්නේ කෙසේද යන්නයි. ඔවුන්ට වෙනත් පැත්තකට හැරෙන්නට නොදිය යුතුය. ඔවුන් බලාපොරොත්තු වූ දේශපාලන සංස්කෘතිය මෙහි පැළ කළ යුතුය.
- ශාලික විමලසේන