පාර්ලිමේන්තු ඡන්ද දිනයේ තීන්දුව සහ චුන්නාකම් නඩු තීන්දුව ගලපාගන්නේ කොහොමද?

Share post:

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය වැරදි බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාද උල්ලංඝනය කරන බවත්, එමගින් තම මූලික අයිතිවාසිකම් කඩ වන බවත් සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබිණි. එම පෙක්සම සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළේය. මේ පෙත්සම විභාගයට ගන්නේද යන්න සම්බන්ධයෙන් සලකා බැලූ අවස්ථාවේදී වැදගත් කරුණු කිහිපයක් මතු විය.

පෙත්සම්කරු විසින් අවධාරණය කර ඇති ආකාරයට සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් නිවැරදි කරුණු දැක්වීමක් පෙත්සමෙන් පෙනෙන්නේ නැත. ඒ සම්බන්ධයෙන් විනිසුරුවරුන් කරන ලද ප්‍රශ්න කිරීමට ඔහුගේ පාර්ශ්වයෙන් සාර්ථක පිළිතුරක් ලැබුණු බවක් පෙනුණේ ද නැත. නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මේ පෙත්සම සලකා බැලීමේදී කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අවධාරණය කරන ලද කරුණු අතර ද මෙය තිබිණි. ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් අවධාරණය කරන්නේ මෙය නිශ්චිත එල්ලයක් පිළිබඳ ගැටලු‍වක් බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පළකරන ලද පළමු ගැසට් පත්‍රයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යොජ්නා කැඳවීම සහ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම සිදු කෙරිණි. එමගින් මූලික අයිතිවාසිකම් කඩවන්නේ නම්, නිශ්චිතව තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන ආකාරය දැක්වාය යුතුව තිබූ බව ද ඔවුහු පෙන්වා දෙති.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අවධාරණය කළේ මැතිවරණයක් පැවැත්වීම මගින් මූලික අයිතිවාසිකම් කඩ නොවන බවත්, මැතිවරණයක් කල්දැමීම හෝ නොපැවැත්වීම මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ය. එය පැහැදිලිව දැක්වුණු අවස්ථාවක් වූයේ පළාත් පාලන මැතිවරණය අවස්ථාවයි. 2023 මාර්තු 08 වැනිදා පැවැත්වීමට දින නියම කරන ලද පළාත් පාලන මැතිවරණය මෙතෙක් පවත්වා නැත. එය අවස්ථා ගණනාවකදී කල්දැමීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය. හිටපු ජනාධිපතිවරයාගේ එම තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් අවධාරණය කෙරුණේ ද මැතිවරණයක් නොපැවැත්වීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයයි.

ඒ පිළිබඳ තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබුණේ ද මැතිවරණයක් පැවැත්වීමේ වැදගත්කමයි. එහිදී මැතිවරණ කොමිසමට අධිකරණය නියෝග කර තිබුණේ කඩිනමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි. එසේම අධිකරණයේ නඩු විභාගයේදී මැතිවරණ කොමිසම යම් දෝෂදර්ශනයකට ලක්වුණේ ද එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කොමිසම අවශ්‍ය පරිදි කළේද යන්න සම්බන්ධයෙන් ය. මැතිවරණය කල්දැමීමෙන් පසු කොමිසම මුදල් අමාත්‍යංශයට මාසිකව දැනුම් දී තිබුණේ මැතිවරණයට අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙසයි. එහෙත් අමාත්‍යංශය එසේ කර තිබුණේ නැත. එහි ඇමැතිවරයා වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය. අධිකරණය මෙහිදී අවධාරණය කර තිබුණේ කොමිසම ලියුම් ලිවීමෙන් පමණක් නොනැවතී ඒ පිළිබඳ අධිකරණයට දැනුම් දිය යුතුව තිබූ බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව නිවැරදිව නියම කර ඇති බවත් මේ වනවිට මැතිවරණයට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවත් 04 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණ ගැසට් පත්‍රය පිළිබඳ පෙත්සම සලකා බැලීමේදී නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නීතිපති දෙපාර්තමේන්තුව මෙසේ පැවසුවද, එම පෙත්සම ගොනුකර තිබූ පෙත්සම්කරුගේ පාර්ශ්වයෙන් සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ අර්ථ නිරූපණවලට අනුව නාම යෝජනා දුන් දිනයට පසු දින සිට දින 35ක් ගත වන දිනයේ මැතිවරණය පැවැත්විය යුතු බවයි. එනම් මැතිවරණය පැවැත්විය යුත්තේ නොවැම්බර් 15 වැනි දින බව ඔවුන්ගේ තර්කය විය. කෙසේ වෙතත් මෙහිදී අධිකරණයේ අවධානයට යොමු වී තිබුණේ අර්ථ නිරූපණවලට පෙර මැතිවරණ පනතේ සඳහන් කරුණු සලකා බැලීම සම්බන්ධයෙනි.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වැනි වගන්තියේ නාම යෝජනා කාල සීමාව සහ ඡන්ද විමසීමේ දිනය සම්බන්ධයෙන් වන කොටසේ මෙසේ දැක්වේ.

‘(10)(02) නාම යෝජනා කාල සීමාව ගැසට් පත්‍රය පළකරනු ලැබූ දිනයෙන් පසුව එළඹෙන දහ හතරවැනි දිනයෙන් ආරම්භ ව ඒ ප්‍රකාශනය හෝ නියමය පළකරනු ලැබූ දිනයෙන් පසුව එළඹෙන විසි එක්වැනි දිනයේ මධ්‍යහ්න දොළහට අවසන් විය යුතුය.’

එනම්, එහි සඳහන් වන්නේ නියමය පළකරනු ලැබූ දිනයෙන් පසු දිනයේ සිට බවයි. එහෙත් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් පනතේ මෙසේ සඳහන් වේ.

‘(10)(02)(ආ)(01) නාම යෝජනා කාල සීමාව අවසන් වන දිනයේ සිට සති තුනකට නොඅඩු වූ ද, සති අටකට නොවැඩි වූ ද, කාලයක් ඇතුළත වූ දිනයක් විය යුතුය.’

එනම්, එහි දැක්වෙන්නේ නාම යෝජනා කාල සීමාව අවසන් වන දිනයේ සිට බවයි.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් පැහැදිලිව ප්‍රශ්න කර ඇත්තේ මැතිවරණය පැවැත්වෙන දිනයයි. එනම්, නොවැබ්මර් 14 වැනිදා දිනයයි. එහි නාම යෝජනා කැඳවන දිනය සම්බන්ධයෙන් සඳහන් නොවේ. ඒ අනුව පනතේ සඳහන් වන ආකාරයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා කැඳවූ අවසාන දිනය වූ ඔක්තෝබර් 11 දිනය ද මෙහිදී අදාළ කරගත යුතුය. එවිට පනතට අනුව නොවැම්බර් 14 දිනයේ ගැටලු‍වක් මතු නොවේ.
විනිසුරුවරුන් පෙරේදා පෙත්සම සලකා බලන අවස්ථාවේ පැහැදිලිව පෙත්සම්කරුගෙන් විමසුවේ පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද යන්න පැහැදිලි කරන ලෙසයි. එහිදී පෙත්සම්කරු පැවසුවේ මැතිවරණය පවත්වන දිනය පිළිබඳ ගැටලු‍ව බවයි. ඇතැම් විට ඔහුට ඊට වඩා පුළුල් තැනකට යෑමේ හැකියාව ද තිබිණි. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ‍ කැඳවුම්කරු එච්.එම්. ප්‍රියන්ත හේරත් විසින් පෙත්සම ගොනුකර තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි පරිච්ඡේදයේ පාර්ලිමේන්තුවේ සභාවාර යටතේ මෙසේ දැක්වේ.

‘(70)(1) ජනාධිපතිවරයා විසින් කලින් කල ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය.’

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න පෙක්සම සලකාබැලීමේදී මුලින්ම පෙන්වා දුන්නේ මේ 70 ව්‍යවස්ථාව පිළිබඳ කරුණයි. එනම් ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වේ. එය මූලික කරුණයි. තීරණය ව්‍යවස්ථානුකූල ය. ඉන්පසු සලකා බලනු ලැබුවේ එය පාර්ලිමේන්තු මැතිවරණ පනතේ නීතියට අනුකූල ද යන්නයි. ඉහත දැක්වූ ආකාරයට එය ද නිවැරදි ය. ව්‍යවස්ථාවට අනුව ඡන්ද බලය යනු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමකි.

මූලික අයිතිවාසිකම් නඩු ගොනුකිරීමේ අයිතිය සියලු‍ පුරවැසියන් සතු වේ. මෑත කාලීන ඉතිහාසයේ තීරණාත්මක මූලික අයිතිවාසිකම් නඩුවකි, චුන්නාකම් නඩුව. මෙහිදී සලකා බැලු‍ණේ ඡ්නද බලය සම්බන්ධයෙන් නොවුණද, පුරවැසියකුට මෙවැනි නඩුවක් මගින් යා යුතු දුර පිළිබඳ පැහැදිලි විග්‍රහයක් මෙමගින් ලබාගත හැකිය. එහිදී සලකා බැලු‍ණේ ව්‍යවස්ථාපිත අධිකාරීන් එනම් රාජ්‍ය ආයතන මගින් රාජ්‍යයේ ස්වභාවික සම්පත් ජනතාව වෙනුවෙන් ආරක්ෂා කිරීමේ වගකීමයි. එම වගකීමේ තරමයි.

1958 වසරේ සිට චුන්නාකම් ප්‍රදේශයේ සහ යාපනය අර්ධද්වීපයේ ප්‍රදේශවාසීන්ගේ විදුලිබල අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් නිෂ්පාදනය කෙරුණේ රජයට අයත් විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලැබූ චුන්නාකම් බලාගාරය මඟින් වන අතර, යුද සමයේදී මෙම චුන්නාකම් බලාගාරයේ ක්‍රියාකාරිත්වයට බාධා එල්ල වීම නිසා එමඟින් නිපදවන විදුලි බලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු විය.

මේ හේතුවෙන් වෙනත් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් දෙදෙනකු විසින් කරන ලද ඉල්ලීම් අනුව ඔවුන් වෙන-වෙනම හිමිකාරීත්වය දරන තවත් තාප විදුලි බලාගාර දෙකක් යාපනය අර්ධද්වීපයේ සහ කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටුවනු ලැබීය. මෙම තාප බලාගාර තුනෙන් ලබාගත් ඒකාබද්ධ විදුලි නිෂ්පාදනය යුද්ධ කාලයේදී යාපනය අර්ධද්වීපයේ පදිංචිකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවුණි. එම නිසා වෙනත් සමාගමක් විදුලිබල උත්පාදනය හා සැපයුම් ව්‍යාපාර කටයතු කරගෙන යාම සඳහා 2007 වසරේදී පිහිටුවන ලදි. මේ බලාගාරය විදුලිය උත්පාදනයට යොදාගත්තේ බැර ඉන්ධන/ඩීසල් වේ. යුද්ධය අවසාන වීමත් සමග ලංකා විදුලිබල මණ්ඩලය මගින් චුන්නාකම් විදුලි බලාගාරය 2012 වසරේ අග භාගයේදී නවතා දමා, බැර ඉන්ධන භාවිත කරනු ලබන උතුරු ජනනී නම් නව තාප බලාගාරයකි පිහිටුවන ලදි.

මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද්දේ සමාගම විසින් චුන්නාකම් ප්‍රදේශයේ ඉදිකරන ලද චුන්නාකම් තාප විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා බැර ඉන්ධන යොදාගැනීම නිසා ඉන් නිකුත් කරන අප-ඛනිජ තෙල් පරිසරයට හා ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් චුන්නාකම් ප්‍රදේශයේ භූගත ජලය මිනිස් ප්‍රයෝජනයට නුසුදුසු බවට පත්කරමින් සිදුවන විශාල පරිසර දුෂණයට එරෙහිවයි. මීට අමතරව 2007 වසරේදී චුන්නාකම්හි තාප බලාගාරයක් ආරම්භ කිරීමට පෙර මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් හෝ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තාවක් හෝ සකස් කර නොමැති බව ද නඩුවේදී හෙළි විය.

නඩුවේ තීන්දුව මගින් පුරවැසියන්ට පිරිසිදු පරිසරයකට ඇති අයිතිය, පිරිසිදු ජලය ලබාගැනීමට ඇති අයිතිය, දූෂණය කළ පුද්ගලයා හෝ ආයතනය විසින් එම වරද සඳහා වන්දි ගෙවීම යන කරුණු අවධාරණය කෙරිණි. මේ නඩු තීන්දුව මෑත කාලයේදී බොහෝ තීන්දු ලබාදීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් උපුටා දක්වනු ලැබේ.
එම නිසා කවර තත්ත්වයක් යටතේ හෝ පුරවැසියා නීතිය පිළිබඳ දැනුවත් වීම සහ පවතින නීති ප්‍රතිපාදනවලින් උපරිම ප්‍රයෝජනය ගැනීම අතිශය වැදගත් වන අතර, ඒවා දේශපාලන කරුණුවලදී යොදාගන්නා ආකාරය ද සමාජයේ සංවාදයට බඳුන් විය යුතුය.

  • ශාලික විමලසේන

Related articles

බලය වෙනුවෙන් කළ තවත් අපරාධයක අවසානය : වඳ චෝදනාවෙන් වෛද්‍ය සාෆි නිදහස් !

සිසේරියන් සැත්කම් කිරීමේදී නැවත දරු උපතක් සිදුවිය නොහැකි ලෙස මව්වරුන් වඳභාවයට පත්කරන බවට ඇතැම් පාර්ශ්ව විසින් චෝදනා කරනු...

බල්ලෝ අනිති. මීහරක් බුරති. නරියෝ සිනාසෙති. සිංහයෝ බලා හිඳිති – ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා සහ ඇමැති විජිත !

අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා මේ...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ තිබෙන ආකාරය පිළිබඳව මම ඊයේ ලිව්වා.නමුත් ඇතැමෙකුට එය අවබෝධ...

‘සීනි මුරුක්කු’ – කසුන් මහේන්ද්‍ර හීනටිගල

ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෑත භාගය වෙසෙසින්ම හැත්තෑ හතෙන් පසු කාලය යනු රටෙහි එතෙක් පැවති අර්ථක්‍රමය මුළුමනින්ම වෙනස් මගකට...