පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

Share post:

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ තිබෙන ආකාරය පිළිබඳව මම ඊයේ ලිව්වා.
නමුත් ඇතැමෙකුට එය අවබෝධ ගැනීමට අපහසු වී තිබූ බව පෙනෙනවා. ලේනෙකු වැදගත් මැතිවරණ ප්‍රතිඵලයකට සම්බන්ධ වීම කියවා ගැනීමට ඔවුන් අපොහොසත් වී තිබුණා.
එය සාධාරණයි. මෙය තරමක් සීරුවෙන් කියවා ගත යුතු තත්ත්වයක්.
ඒ සඳහා ඇමෙරිකානු දේශපාලනය මෙන්ම ජන මනස සහ එරට ඉතිහාසය ද කියවා ගැනීම වැදගත්.
සුරතල් සත්ත්වයෙකු ඝාතනය කිරීම සහ ඉන් සමස්ථ රටම කම්පාවට පත් වී, එයින් රජයට එරෙහිව දැඩි මහජන විරෝධයක් ගොඩ නැගීම පසුපස ඇත්තේ ඇමෙරිකානු ජනතාවගේ සත්ත්ව ප්‍රේමය ම නොවෙයි.
එමෙන්ම එය අතාර්කික, හැඟීම්බර විරෝධයක් ද නොවෙයි.
ඇමෙරිකාව අතිශය පැහැදිලි එමෙන්ම ශක්තිමත් පාදමක් මත ගොඩනැගුණු ජාතික රාජ්‍යයක්.
එම පාදම නම් ඔවුන්ගේ ශක්තිමත් ව්‍යවස්ථාවයි.
ඔබ ඇමෙරිකානු ඉතිහාසය අධ්‍යයනය කර ඇත්නම්, තමන්ට හිමිව නොතිබූ භූමියක අවි බලයෙන්, ජාතික රජයක් ගොඩනැගු සුදු ජාතිකයන් පිළිබඳව ඔබ දැනුවත්.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව කැරැල්ලක් ඇතිකර, ඉන් ජය ලබා, පසුව ස්වදේශිකයන්ගේ ඉඩම් කොල්ල කා, ඇමෙරිකාව බිහි කළ කැරළි නායකයන් එරට ආරම්භක පියවරු (Founding fathers) ලෙස හැඳින්වෙනවා.
ඔවුන් විසින් රාජ්‍ය ආරම්භයේදීම සම්මත කළ ජාතික ප්‍රතිපත්තීන් ඇමෙරිකානු ව්‍යවස්ථාවයි. ඒ අනුව ඇමෙරිකාව සදාතනික ධනවාදී රටක්.
එමෙන්ම ඔවුන්ගේ ශක්තිමත් ව්‍යවස්ථාවේ පළමු වගන්තිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසයි.
මේ නිදහස ලොව සෙසු ජාතික රාජ්‍යවල පවතින නිදහසෙන් වෙනස්.
වෙනත් ජාතික රාජ්‍යයන් හි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විවිධ වැට කඩුලු වලින් සීමා කර තිබෙනවා.
ඇමරිකානු අදහස් ප්‍රකාශ කිරීම නිදහසට සීමා හෝ බාධක නැහැ. ඔබට ඕනෑම අදහසක් පැවසිය හැකියි.
එය ඔවුන්ගේ ව්‍යවස්ථාපිත අයිතියක්.
ඇමෙරිකානු ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය ගිනි අවි දැරීමේ අයිතියයි. ඒ අනුව ඇමෙරිකාව, සාමාන්‍ය පුරවැසියන්ට නිදහසේ ගිනි අවි වලට හිමිකම් කිව හැකි රටක්.
ඔවුන්ගේ රට ගොඩනැගුණේ ද ගිනි අවි තුළින්මයි.
ඔබ කුඩා කළ “කව්බෝයි” කාටූනය නරඹා ඇති. පිස්තෝලය ඉනෙහි රුවා, අශ්වයා පිටින් ගමන් යන ගොපල්ලා සැබෑ ලෙසටම ඇමෙරිකානු ඉතිහාසයේ කොටසක්.
ඔවුන් කාලය සමග කොතරම් දියුණු වූවත් එම අවි දැරීම අත්හැරියේ නැහැ.
ඔවුන් රාජ්‍යයෙන් ලබා දෙන ආරක්ෂාවට වඩා, පුද්ගලිකව අවියක් අත දරා සිය ආරක්ෂාව තහවුරු කර ගැනීම විශ්වාස කරනා ප්‍රජාවක්.
මේ නිදහස සහ ආකල්පය ඔවුන්ටම ආවේණික, ඔවුන්ගේම සංස්කෘතියක්.
ඇමෙරිකානුවන් නියාමනය (Censorship) වචනය පිලිකුල් කරනවා.
නමුත් 2020 බලයට පැමිණි ඩිමොක්‍රටික් රජය එතෙක් බලයට පැමිණි ආණ්ඩු වලින් වෙනස්.
සුළු ජාතික අයිතීන් පිළිබඳ සටනකින් බලයට පැමිණි ඔවුන් පසුපස සිටියේ වාමවාදී, රැඩිකල් බලවේගයි.
සාම්ප්‍රදායික ඇමෙරිකානු සහ ක්‍රිස්තියානි විශ්වාස වලට වඩා ගෝලියවාදී ප්‍රතිපත්ති ඔවුන් විශ්වාස කළා.
එම රජය විසින් ඉතිහාසයේ පළමු වරට ඓතිහාසික ඇමෙරිකානු පාදමට අත තැබීමට උත්සාහ කළා.
ඒ අනුව ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමට යම් සීමාවන් පැනවූවා.
සෙසු ජාතීන්, ආගමිකයන්, සංක්‍රමණිකයන්, විවිධ ලිංගික අනන්‍යතා සහිත ඇත්තන් කෙරෙහි විවේචන, වෛරී ප්‍රකාශ යටතේ නියාමනය කළා.
එවැනි ප්‍රකාශ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව විවිධ දඬුවම් ලබා දුන්නා.
විශාල ව්‍යාපාර, මාධ්‍ය, චිත්‍රපට කර්මාන්තය ආදිය ද දැරුවේ රජයේ මතයමයි.
තවද ඩිමොක්‍රටික් රජය පුරවැසියන් අවි දැරීමට එරෙහිව නව නීති සම්මත කිරීමට උත්සාහ කළා. ඒ ඔවුන්ගේ මූලික ව්‍යවස්ථාවට ද එරෙහිවයි.
ඇමෙරිකානුවන්, විශේෂයෙන්ම සුදු ජාතිකයන් සිය දෛනික ජීවිතයට සහ නිදහසට රජයේ බලපෑම් ඉවසන්නේ නැහැ.
ඔවුන්ට රජයක් අවශ්‍ය බොහෝ සීමිත කාරණා සඳහා පමණයි.
සෙසු බොහෝ දෑ ඔවුන් විසින්ම සම්පූර්ණ කර ගන්නා ප්‍රජාවක්.
ඔවුන්ගේ ආරක්ෂාව සහ ආර්ථිකය ඔවුන් රජය මත තබන්නේ නැහැ.
සුප්‍රසිද්ධ ‘ඇමෙරිකානු සිහිනය’ තනිකරම පුද්ගලානුබද්ධව ඉටු කර ගත යුතු සිහිනයක්.
පසුගිය වසර හතරක කාලය තුළ සාමාන්‍ය ජන ජීවිතයට රජයේ බලපෑම් බොහෝ වැඩි වුණා.
ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා වුණා. අවි දැරීම නියාමනය වුණා. එය ඇමෙරිකානුවන් ප්‍රිය කරන්නේ නැහැ.
ඔවුන් නිදහස සහ හිතුවක්කාරකම මත ගොඩනැගුණු ප්‍රජාවක්. නීති මගින් ඔවුන් පාලනය කිරීම ඇමෙරිකානු ක්‍රමය නොවෙයි.
රජයේ බලධාරීන් නිවසකට කඩා වැදී, එම නිවසේ සුරතල් සත්ත්වයෙකු ඝාතනය කරන්නේ එවැනි පසුබිමකයි.
පීනට් නම් සුරතල් ලේනා මුල් කරගෙන ඇමරිකානු රජයට එරෙහිව නිර්මාණය වී තිබෙන විරෝධතාවයේ සැබෑ පසුබිම නම් සාමාන්‍ය දෛනික ජීවිතයට රජයේ අත පෙවීමට එරෙහිව පවතිනා විරෝධයයි.
සාමාන්‍යයෙන් මෙවැනි රාජ්‍ය විසින් සිදු කරන අත පෙවීම සහ නියාමනය සමාජවාදී ආණ්ඩු ක්‍රමයක ලක්ෂණයි.
දැන් නූතන යුරෝපයේත් එම නියාමනය ක්‍රියාත්මක වූවත්, නියම ධනවාදයේ ප්‍රිතෘ රාජ්‍ය වූ ඇමෙරිකාව කිසිදිනෙක ඒ මාවත තෝරා ගත්තේ නැහැ.
ඔවුන් සෙසු රටවල ආණ්ඩු වෙනස් කරමින්, තෙල් සහ සම්පත් කොල්ල කමින්, සමාජවාදී ආණ්ඩු පෙරළමින් කටයුතු කළත්, සිය රට තුළ ඇමෙරිකානුවන්ගේ ජීවිතයට අත තැබුවේ නැහැ.
නමුත් 2020 බලයට පැමිණි ඩිමොක්‍රටික් රජය රැඩිකල්, වාමවාදීයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ප්‍රතිවාදිනිය අමතන්නේ “කොම්රාඩ් කමලා” ලෙසයි.
සමාජවාදී නායකයන් ඇමතීමට භාවිතා කරන “කොම්රාඩ්” වචනය ශ්‍රී ලංකාවේ ගෞරව නාමයක් වූවත්, ඇමෙරිකාවේ එසේ නොවෙයි.
එමෙන්ම ට්‍රම්ප් ගේ ප්‍රචාරණ ව්‍යාපෘතියේ මූලික අදහස වූයේ ගෝලියවාදය පරාජය කර, ජාතිකවාදය දිනවීමයි.
පීනට් පසුපස ඇති සම්පූර්ණ චිත්‍රය එයයි.
කෙසේවෙතත් ජනාධිපතිවරණයේ හැසිරීම අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටින බව පෙනෙනවා.
දැනට ප්‍රකාශිත ඡන්ද අනුව ඇමෙරිකානු පිරිමින්ට වඩා කාන්තාවන් ඡන්දය භාවිතා කර තිබෙනවා.
මෙහි ට්‍රම්ප් ට එක් අවාසියක් පවතිනවා. එනම් කාන්තා ඡන්ද වැඩි වශයෙන් හිමිවන්නේ කමලා හැරිස් ට වීමයි.
එයට හේතුව පළමුවරට කාන්තාවක් ඇමරිකාවේ ජනාධිපති ධූරයට පත් කිරීම වැනි රෝමාන්තික අදහසක් නොවෙයි.
කමලා හැරිස් ගේ කඳවුර විසින් දිගින් දිගටම ප්‍රචාරණය කළ සටන් පාඨයක් තිබුණා.
එනම් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ රජයක් පැමිණි පසු ගබ්සාව තහනම් කරන බවයි.
එයා අසත්‍යයක්. ගබ්සාව තහනම් කිරීමට කිසිඳු අදහසක් නොමැති බවට ට්‍රම්ප් පැහැදිලිවම ප්‍රකාශ කළා.
නමුත් ඩිමොක්‍රටික් කඳවුර හිතාමතාම එම අසත්‍ය සමාජගත කරමින් සිටිනවා,
නමුත් මේ අසත්‍ය සඳහා ඇමරිකානු ප්‍රධාන මාධ්‍ය සියල්ල විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. එය අසත්‍යයක් බව මාධ්‍ය ද නොදන්නවා නොවෙයි.
ඒ අනුව අවසන් මොහොතේ කාන්තාවන් සැලකිය යුතු පිරිසක් ට්‍රම්ප් ට විරුද්ධව කඳවුරු බඳිනු දැකගත හැකි වුණා.
ට්‍රම්ප් කඳවුරේ ඉදිරිපෙළ ප්‍රචාරකයෙකු වන ඊලෝන් මස්ක්, මීට ස්වල්ප මොහොතකට පෙර ඇමෙරිකානු පිරිමින්ට ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිතා කරන ලෙසට ඉල්ලා තිබුණා.
ඒ කාන්තා ඡන්ද මගින් කමලා ජය ගැනීම වැළැක්වීමට බව පැහැදිලියි.
මේ අතර මැතිවරණ දිනය වූ අද දිනයේ ජෝ රේගන් ඩොනල්ඩ් ට්‍රම්ප් ට සිය සහාය පළ කළා.
එය ට්‍රම්ප් කඳවුර ලැබූ විශාල ජයග්‍රහණයක්.
ජෝ රේගන් යනු විශාල බලපෑමක් කළ හැකි ඇමෙරිකානු අන්තර්ජාල සළකුණයි.
ඇමෙරිකාවේ වැඩිම පිරිසක් නරඹන්නේ ඔහු විසින් සිදු කරන පොඩ්කාස්ට් වැඩසටහන.
ඔහුගේ සහය (Endorsement) විශාල බලපෑමක් කළ හැකියි.
මේ වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝ රේගන් ට පුද්ගලිකවම ස්තූති කර තිබුණා.
ජෝ රේගන්ගේ යූටියුබ් නාලිකාවේ අවසන් වීඩියෝ කිහිපයම සිදු කර තිබුණේ ට්‍රම්ප් කඳවුරේ ප්‍රධානීන් සමගයි.
එහි ඊලෝන් මස්ක් සහ උප ජනාධිපති අපේක්ෂක ජේ.ඩී වාන්ස් සමග සිදු කළ පොඩ්කාස්ට් වැඩසටහන් මේ මොහොතේ ඇමෙරිකාවේ ‘ට්‍රෙංඩින්’ වීඩියො ගොන්නට එක් ව තිබෙනවා.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නම් වැදගත් මැතිවරණයක අවසන් දින කිහිපය තුළ ඇත්තේ ඇල් මැරුණු ස්වභාවයක්.
අවසන් දින දෙක තුළ ප්‍රචාරණ කටයුතු තහනම් වීම එයට හේතුවයි.
ඇමෙරිකාවේ එවැනි නීතියක් හෝ නියාමනයක් නැහැ. එබැවින් මැතිවරණ දිනය පවා බොහෝ උණුසුම්.
ඇමෙරිකාවේ විශාල ලෙස පාවෙන ඡන්ද දායකයන් නැහැ. එහි ඇතැම් ප්‍රාන්ත අනිවාර්යෙන්ම ජය ගන්නා නිශ්චිත පක්ෂ තිබෙනවා.
එම ප්‍රාන්ත රතු ප්‍රාන්ත හෝ නිල් ප්‍රාන්ත ලෙස හැඳින්වෙනවා. මන්ද එම ප්‍රාන්ත අනිවාර්යෙන්ම ජය ගන්නේ අදාල පක්ෂ විසින් නිසයි.
උදාහරණයක් ලෙස කැලිෆෝර්නියා සහ නිව්යෝර්ක් ඩිමොක්‍රටික් පක්ෂය විසින් ජය ගන්නවා.
ටෙක්සාස් අනිවාර්යෙන්ම ජය ගන්නේ රිපබ්ලිකන් පක්ෂය විසින්.
නූතන ශ්‍රී ලංකාවේ නම් එවැනි ස්ථිර පක්ෂයකට අයිති ප්‍රදේශ අවමයි.
විශේෂයෙන්ම උතුරු නැගෙනහිර, මධ්‍යම කඳුකරයේ කොටසක් සහ කොළඹ ආසන කිහිපයක් හැරෙන්නට දකුණේ එවැනි පළාත් නැහැ. මෙරට බහුතර ප්‍රදේශ පාවෙන ඡන්ද දායකයන් සහිත ප්‍රදේශයි.
එම නිසා ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තීරණය කරන්නේ ස්වල්පයක් වූ පාවෙන ප්‍රාන්ත (Swing states) විසින්.
එම ප්‍රාන්ත වල බහුතර බලය ට්‍රම්ප් විසින් දිනාගත හැකි බව පෙනෙනවා.
එය නිශ්චිතවම තහවුරු කර ගැනීමට ඇත්තේ තවත් පැය විසි හතරකට අඩු කාලයක් පමණයි.

ඉරේෂාන් සිරිවර්ධන

  2024. 11. 05

Related articles

‘සීනි මුරුක්කු’ – කසුන් මහේන්ද්‍ර හීනටිගල

ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෑත භාගය වෙසෙසින්ම හැත්තෑ හතෙන් පසු කාලය යනු රටෙහි එතෙක් පැවති අර්ථක්‍රමය මුළුමනින්ම වෙනස් මගකට...

රුක්මල් නිරෝෂ්ගේ ‘අවාලූ පැහැ වලාකුලක්’ සහ ඉලංගෝ රාම් ගේ ‘නෙළුම් කුළුණ’

දෙරණ සිනමා සම්මාන උළෙලට සමාන්තරව පැවැත්වුණු Cinema of Tomorrow වැඩසටහන තුල තිරගත කෙරුණු චිත්‍රපට හතරෙන් දෙකක් නැරඹීමේ අවස්ථාව...

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025’ අත්පිටපත් භාර ගැනීම

''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' දෙවන අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම අද (2024 නොවැම්බර් 01) සිට 2025 වසරේ මාර්තු 31...

චන්දික හතුරුසිංහ ඉවත් කළා – ශකීබ් අල් හසන් රටෙනුත් නෙරපුවා

බංග්ලාදේශ රසිකයන්ට සහ ඔවුන්ගේ නව ක්‍රිකට් පාලනාධිකාරියට අනුව බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ පුහුණුකරු චන්දික හතුරුසිංහ.ඔවුන්ට අනුව හතුරුසිංහ...