පරාක්‍රම ඒකනායක අපට බොහෝවිට හමුවනුයේ රූපවාහිනී කැමරාව සමගිනි. මා හට ඔහු හමුවූ සෑම අවස්ථාවක්ම එපරිද්දෙනි. එහෙත් ඔහු ලේඛකයෙකු ලෙසද සිය අනන්‍යතාව සනිටුහන් කළ නිර්මාණකරුවෙකි. මේ මාධ්‍ය දෙකම ඔහුට සිය නිර්මාණ දිවියෙහිදී එකිනෙක පෝෂණය කරන්නට සහය වෙයි. කෙසේ වෙතත් මේ ඔහුගේ පළමු කාව්ය එකතුවයි. ඒ නිර්මාණ සමුච්ඡය සඳහා ඔහු තෝරාගන්නා නම ම ගැඹුරු ව්‍යං ගාර්ථවත් යෙදුමකි. සිය කවි එකතුවට දෙන නම හරහා ඔහු අපට මනුෂ්‍ය ජීවිතයේ එක් කටුක යථාර්තයක් පිලිබඳව ඉඟි කරයි. අප කෙතරම් සමාජය තුළ සක්‍රීය සේ කටයුතු කළද තනිකම හුදෙකලාව යනු අප සමග නිරතුරු සරන ගමන් සගයෙක් බවට පත්ව තිබේ. අප කතා කළද නොකළද වර්තමානයේ අපි දරුණු හුදෙකලාවකින් පීඩා විඳින බව සත්‍යයකි. ඔහුගේ කවි එකතුවේ නාමය ඒ හුදෙකලාව ගැන ඉඟි කරයි.
අනෙක් අතින් ඔහුගේ කවි කියවන්නට ගත් සැනින් පෙනී යන පළමු කරුණ වන්නේ ඒ කවි අතරින් අති බහුතරය වියෝව සහ ඒ සමග එන හුදෙකලාව එල්ල කර රචිත නිර්මාණ බවයි. විශේෂයෙන්ම මානව හදවතට බෙහෙවින් බරපතල ලෙස දැනෙනා ප්‍රේමයේ බිඳ වැටීම සමගින් වන හුදෙකලාව, චිත්ත වික්ෂෝපය ඔහු සිය කවියට විෂය කරගෙන තිබේ. මෙලෙස එකම තේමාවක් අරමුණු කරගෙන කවි ලිවීම යනු අසීරු අභ්‍යාසයකි. එවන් ව්‍යායාමයකදී පාඨකයා හට දැනෙන්නට බොහෝ සේ ඉඩ ඇති ඒකාකාරී බව ජයගැනීම කවියාට ඇති පළමු අභියෝගය වෙයි.
කෙසේ වෙතත් පරාක්‍රම කවියා ඒ අභියෝගය සැලකිය යුකතු දුරකින් ජයගෙන තිබේ. සමස්ත කාව්‍ය සංග්‍රහය පුරාම දැනෙනා වියෝ වේදනාව මධ්‍යයේ ඔහු අපට කියවන්නට රුචිකර කවියක් නිර්මාණය කරයි. එය ඔහු තුළ සිටිනා කවියාගේ සමත්කම ගැන සාක්ෂියකි.
ඔහු සිය පළමු කවිය ගේහසිත ජීවිතය සහ බැහැර ආකර්ශණයන් ගැන සිද්ධි දෙකක් එකිනෙක සම්මුඛ කරමින් රචනා කරන්නේ අවසන තමන් පත්වන හුදෙකලාව ගැන අපට පවසා සිටියි. ඔහු ආදරයේ වේදනාව මෙන්ම ආදරය සහ එහි ඇති කටුක අන්තයන් ගැනද කියන්නට සිය කවිය හරහා මගක් පාදා ගනියි.
විස කටු ඇති
හැඩ රෝස මල
මල කෑ සරනේරු ඇති
කවුලුව ළඟ
උදෑසන පෙති විහිදා
සීතල හාදු සුළඟින් විදියි
රෑ පුරා දුව පැන්න
ඒ මෘදු සුමුදු වත
ඇවිලෙන ලිප් ගින්න මැද
මිහිදුම් සිහිනයක එතෙයි
හාදුවක තෙරපුම
ළමැද මැද සළකුණ
ආදරයේ තරමද
තවම සැක සහිතයි
එහෙත් කවියා මේ ද්වී පාර්ශවය මැද ආදරය සහ ඒ විඳුම අතර ඇති කටුක බව ද මෙසේ පවසන්නට යුහුසුළු වෙයි.
රෝස මල නෙලුමට
ඉක්මන් වැඩිවූ විට
විෂ කටු විදගෙන
ඇඟිලි තුඩු පළුදු වෙයි…..
කවියාගේ නිර්මාණයන් තුළ පාඨකයාහට නිරතුරු හමුවනුයේ වෙන්ව යාමක වේදනාවෙන් තැවෙනා හුදෙකලා සිතක සංවේදනයන්ය. ඒ සංවේදනයන් බෙහෙවින් මුදුය, අතීතකාමී බවින් පිරී ගොසිනි. එහෙත් ඒ සංවේදනයන් තුළ ඇත්තේ අහිමි වීමේ ශෝකය මිස පශ්චාත්තාපය හෝ වෛරය නොවේ. ඔහුගේ කවිය සංවේදී වන්නේ එය විරහාලාපයක සුලබ දෙස් දෙවුල් තැබීමෙන් ඈත්ව මිනිස් සංවේදනයන් පල කරන්නට යොමුවීම හේතුවෙනි.
ඔබ ආවොතින් යළිත්
අපේ පා සටහන්
වියළි නුග පත්රන යට
හැංගිලා තවම ඇති
සීතලට දඟකෙරුව
ඒ පුංචි දිය පාර
තවම වෙව්ල වෙව්ලා
ගලනවා හීනියට හිනැහෙමින්
මේ පෙම අහිමි පෙම්වතා දැන් පසුවනුයේ දිවියෙහි මැදි වියට එළඹෙමිනි. එහෙත් ඒ පෙම තවමත් තරුණය, නමුදු පෙම්වතා ජීවිතාවබෝධයෙන් මුහුකුරා ගොසිනි. නමුණුකුළ පාමුල නම් කවිය කියවන්න.
මා ගැනත් මතක නැතිවම
කොහේ හෝ තැනක නුඹ ඇති
හමුවුනොත් මගතොට
හඳුනගන්නට හැකිද?
අප අපටම
කවුරු නම් දනී
සියවසකින් අඩක්
ඉගිලී ගොසින් දැන්….
ඔහු මේ වියොවෙහි වේදනාව පලඟැටියෙක් සහ මම කවියෙන් තවත් දුර රැගෙන යයි. ඒ පෙම්වතාගේ මනෝභාවයන් සහ ඔහු විඳින හුදෙකලාව සමගින් මුහුකොට පෙමෙහි මරණය ගැන ඔහු දකින ආකාරයයි.
අශෝක ග්ලාසයක නැළවී
රත් පැහැය කැලතෙනවා
මත් වුන
මනසක සුව
පළඟැටියෙක් දන්නේ කොහොමද
ඈ අවසනට උන්නු තැන
දැල්වූ මැටි පහනේද
තෙල් සිඳී පහන් වැටියද අළුව
නිශ්ශබ්දතාව විතරයි තවම
හෙමින් කොඳුරන්නේ
වෙසතුරු සිරිත….
මෙහි එන අශෝක ග්ලාසය යන්නද අතීත මතකයකි. අශෝක ග්ලාසයේ ලූ මධු විත යනු අපේ පරම්පරාව සහ ඊට පෙර පරම්පරාවේ මධු සම්ප්‍රදායේ කොටසකි. එය අද වන විට අභාවයට ගොසිනි. ඔහුගේ කවිය විමසුම් සහගත පාඨකයෙකුට වෙනත් කාලයක් සහ මානව සබඳතාවන් ගැන සොයන්නට අවස්ථාවක් කරගත හැක. එසේම වෙසතුරු සිරිත ගැයුම හා අවමගුල් සමග වන සම්බන්ධයද එක් යුගයක් පැවති අද අභාවයට ගිය අවමගුල් සිරිත් යළි සිහි කැඳවයි. කවියා මේ සියල්ල එක් කර භෞතිකව ජීවත් වුවද නොව එහෙත් මානසිකව අභාවයට ගිය සෙනෙහසක වේදනාව අප හමුවේ ගෙනහැර පායි.
සිය ප්‍රේමයේ ඛේදය වදනින් සිතුවම් කරන අතරේ කවියා විටෙක ඒ හරහාම සමාජ විපරිණාමය ගැනද සාකච්ඡාව අරඹයි. වෙනස්ව ඇත්තේ මානව සම්බන්ධතා පමණක්ම නොවේ. ආර්ථික තුරග තරගය මැද තවත් බොහෝ දේ සිදුව හමාරය.
කඳු පාමුල පාරේ දෙපසම
සෙවනට හිටපු අපේ ප්‍රේමයට
මාර ගස් ගිහින් මොරටුවට
පළලට වැටී කාපට්
දැන් සෙනග නෑ
පාළුව විතරයි එතන
දියුණුව යයි අප හඟිනා ඇතැම් වෙනස්කම් හරහා අපේ ජීවිතද වෙනස්ව යන ආකාර මෙහි දී ඔහු අතින් කවියට කැගෙයි. මේ කවිය අධිවේගී නමින් සුහර්ෂනී රේනුකා ධර්මරත්න කිවිඳිය විසින් රචිත කවියේ අදහස සිහියට කැඳවයි.
තවත් විටෙක කවියා පෙම අහිමිවීමේ වියෝ වේදනා අතරෙහිම සමාජ විචාරාත්මක ඇසකින්ද සමකාලීන ජීවිත දෙස බලන්නට තැත් දරයි. සිදුහත් නුඹේමද යන්න එවන් කවකි.
නුඹේ සිදුහත්
අතැර ගිය පසු ජීවිතය
සරණේරු මල කෑ
රාමුවද වේයන් කෑ
ජනෙල් පියන් හැර
කුනු ඇලෙන් හමනා
අනියත ජීවන පුසුඹ
දුක් පිරි ළයට පුරවා
මග බලන සඳ….
කවියා අපේ සම්භාව්‍ය සාහිත උරුමයන් වර්තමානයේ රූපක ලෙස ගෙන සමකාලීන ජීවිතයේ ඛේදය කවියට ගෙන එයි.
යළිත් කවියා කඩුගන්නා වෙහෙස හරහා වියෝගයේ සංතාපයන් වෙත පිවිසෙයි. නුවර වැව යනුද අපේ පෙම සහ වියෝගය හා බැඳුන සුලබ රූපකයකි. මේ අප කවියාගේ වදන්ය. මෙවර ඔහු ආශක්ත වනුයේ ජනකවි සම්ප්‍රදාය වෙතය.
වළාකුළු බැම්ම ළඟ නැවතී බලනවද
කිරි මුහුදේ රැළි ඔපනැලි තියනවද
මාළුන් ඇවිත් පෙම් පද ගයනවද
එතකොට මාත් හද පතුලේ ඉන්නවද
පරාක්‍රම කවියාගේ පළමු කාව්‍ය එකතුව මුළුමනින්ම පාහේ වෙන්ව ඇත්තේ වියෝගයේ සංතාපී බව සිත්තම් කරන්නටයයි ඇරඹුමෙහිදීම කීමි. මා මේ සටහන නතර කරනුයේ එහි අඩක් පමණ දුර කවි සමග කල සැරියෙන් පසුවය. එහෙත් ඉන්පසුවද පාඨකයාට මේ අභ්‍යාසය හරහා කවියා අප ගෙන යන සංතාප මාවත විවෘතය. එය විඳ බලන්නැයි පාඨකයාට ඇරයුම් කරමින් නවතිමි.