කොදෙව් කණ්ඩායම සමඟ වූ දෙවන එක්දින තරගය ශ්‍රී ලංකාව ජය ගත්තා. ඒ අනුව තරගාවලි ජයග්‍රහණයත් හිමි වූයේ ශ්‍රී ලංකාවටයි.
එය ශ්‍රී ලංකාව මේ වසරේ ලැබූ පස්වන තරගාවලි ජයග්‍රහණයයි. එමෙන්ම මවුබිමේ දී පිට පිට ලැබූ නවවන තරගාවලි ජයග්‍රහණය ද වනවා.
ශ්‍රී ලංකාව ඉතා හොඳින් සත්කාරකත්වයේ වාසිය භාවිතා කරමින් සිටින බවත්, ඊට ගැලපෙන කුසලතාවයන්ගෙන් යුත් කණ්ඩායමක් සිටින බවත් ඉන් පැහැදිලියි.
සත්කාරකත්වයේ වාසිය ලබා ගැනීමට හැකි කුසලතා සපිරි ක්‍රීඩකයන් නොමැති නම් සත්කාරත්වයෙන් ඵලක් නැහැ. මින් වසර කිහිපයකට පෙර සිදුවූයේ එයයි.
නමුත් ඇතැමෙකු මෙම ජයග්‍රහණ අවතක්සේරු කරමින් සිටින බව පෙනෙනවා.
ඔවුන්ට අනුව මව්බිමේ දී, ශ්‍රී ලාංකික තනතීරු මත ලබනා ජයග්‍රහණ එතරම් ඉහළින් සැලකිය යුතු නැහැ.
කලකට පෙර මේ අදහස සමස්ත උප මහද්වීපයටම පොදු වූ අදහසක්. පසුව ඉන්දියානුවන් එම ආකල්පයෙන් මිදුනා.
එපමණක් නොවෙයි, සිය ක්‍රීඩා තත්ත්ව සහ තනතීරු සෙසු රටවලටත් වඩා අසීරු සහ නියම ක්‍රිකට් තත්ත්වයන් යැයි කීමට ආරම්භ කළා.
ඒ ඉන්දියානුවන්ටම ආවේණික ඔවුන්ගේ දේශප්‍රේමීත්වයයි.
නමුත් ඇතැම් ශ්‍රී ලාංකියන් මව්බිමේ ක්‍රීඩා තත්ත්ව සහ තනතීරු තවමත් අවතක්සේරු කරමින් සිටිනවා.
ඔවුන්ට අනුව ඒ ‘කුඹුරු’. ඒවායේ ලබනා ජයග්‍රහණ එතරම් මායිම් කළ යුතු නැහැ.
පැහැදිලිවම මේ අදහස ‘දේශීය දෑ’ ඉදිරියේ පවතින හීනමානයේ දිගුවක් මිසෙක එහි වෙනත් ගතයුත්තක් නැහැ.
වෙනත් රටවල ක්‍රිකට් තත්ත්වයන්ට හැඩ ගැසිය යුතු යැයි ද, ඒවායේ ද ජයග්‍රහණ ලබා ගත යුතු යැයි ද, මෙරට පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩා කරනා තනතීරු වෙනස් විය යුතු යැයි ද වන අදහස් සත්‍යයි, තර්කානූකුලයි.
මම ද එම අදහස් පිළිගන්නවා.
එනමුත් දඹුල්ලේ හෝ පල්ලෙකැලේ හෝ ප්‍රේමදාස පිටියේ හෝ ලබනා ජයක් අවතක්සේරු කිරීමේ අදහස එය නොවෙයි.
එය අපගේ තනතීරු සැබෑ ක්‍රිකට් තනතීරු නොවේ ය, සැබෑ ක්‍රිකට් තනතීරු පවතින්නේ ඕස්ට්‍රේලියාවේ හෝ එංගලන්තයේ ය යන හීනමානය පමණයි.
එය ඕනෑම විදේශීය දෙයක් කෙරෙහි ගෞරවාන්විත බියකින් යුත් ලාංකික හීනමානයේ තවත් එක් දිගුවක් පමණයි.
සැබැවින්ම සත්කාරකත්වයේ වාසිය යනු ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සංකල්පයක්.
සෑම රටක්ම සත්කාරකත්වයේ වාසිය භාවිතා කරනවා. එය ක්‍රිකට් මූලධර්මයක් මිසෙක අසාධාරණයක් නොවෙයි.
ක්‍රිකට් ක්‍රීඩාව සුන්දර වන්නේ ද විවිධ රටවලට අනුකූල වූ ක්‍රීඩා තත්ත්වයන් නිසයි.
ඒ බව ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටක්ම පිළිගන්නවා.
අවාසනාවකට පරාජය දරා ගැනීමට නිහතමානී නොවූ ඩැරන් සැමී සහ කොදෙව් නායකයා හැරෙන්නට අතිබහුතරයක් වූ වෘත්තීමය කණ්ඩායම් ඒ බව දන්නවා.
ගාල්ලේ ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම එහි දී ඕවල් තනතීරුව බලාපොරොත්තු වන්නේ නැහැ.
ඒ වෙනුවට ඔවුන් වැඩි වශයෙන් ‘ස්වීප්’ පහර ක්‍රීඩා කිරීමට පුහුණු වෙනවා.
ශ්‍රී ලංකාවට පැමිණෙන නවසීලන්ත කණ්ඩායම දඹුල්ලේ දී, ඊඩ්න් පාර්ක් තනතීරුව බලාපොරොත්තු වන්නේ නැහැ.
ඒ වෙනුවට ඔවුන් අතිරේක දඟ පන්දු යවන්නන් රැගෙන එනවා.
2016 වසරේ ශ්‍රී ලංකාව ඉදිරියේ 3-0 ක් ලෙස ටෙස්ට් තරගාවලියක් පරාජය වූ ඕස්ට්‍රේලියාව, තමන් දඟ පන්දුව ඉදිරියේ වැඩි වශයෙන් පුහුණු විය යුතු බව කිව්වා.
ක්‍රිකට් යනු එයයි.
කවුරුන් පිළිගත්තත් නැතත් ශ්‍රී ලංකාව යනු ගෝලිය ක්‍රිකට් සංස්කෘතියේ විශේෂ තැනක් හිමිවන රටක්.
මෙරට ක්‍රීඩා තත්ත්ව, මෙරට ක්‍රීඩා පිටි ගෝලීය ක්‍රිකට් සංස්කෘතියේ වැදගත් කොටසක්.
ශ්‍රී ලංකාව යනු බොහෝ ආසියාතික නොවන රටවල ක්‍රීඩකයන් සංචාරය සඳහා ප්‍රිය කරන රටක්.
ගාල්ල යනු ඔවුන් ප්‍රිය කරන නවාතැනක්.
ඔවුන්ට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම අසීරු අභියෝගයක් පමණයි. එය කිසිසේත්ම ‘සැබෑ ක්‍රිකට් තත්ත්ව’ නොවේ යැයි හඳුන්වන්නේ නැහැ.
දකුණු අප්‍රිකානුවන් සහ කිවියන් කොල පැහැති තනතීරු භාවිතා කරන්නේ යම් සේද, ශ්‍රී ලංකාවට ද වියලි තනතීරු භාවිතා කළ හැකියි.
එය අප රටෙහි දේශගුණයට, භූ විද්‍යාත්මක ලක්ෂණ වලට අදාල ස්වාභාවිකත්වය මිසෙක කෘතීම නිපැයුමක් නොවෙයි.
සත්කාරකත්වයේ වාසිය යනු මේ දේශගුණය, භූ විද්‍යාත්මක වෙනස්වීම් මත ඇතිවන්නක්.
ක්‍රිකට් ලෝකය එයට ගරු කරනවා.
සැබැවින්ම ICC ය විසින් හඳුන්වා දුන් මූලික ප්‍රමීතින් මිසෙක, ‘සැබෑ ක්‍රිකට්’ තනතීරු යැයි වන තනතීරු ලොව නැහැ.
මුම්බායි පිටිය ද, ප්‍රේමදාස පිටිය ද, ඕවල් පිටිය ද, ඩර්බන් තනතීරුව ද ක්‍රිකට් ක්‍රීඩාවේ සම මට්ටමේ සැලකෙන තත්ත්වයන්.
ඉන් එකක් උසස් වී, සෙස්ස පහත් වන්නේ නැහැ.
එවැනි ආවේණික ක්‍රීඩා තත්ත්වයන් සහ තනතීරු “කුඹුරු” ලෙස හඳුන්වමින් අවතක්සේරු කිරීම තුළ සැඟව ඇත්තේ ලාංකිකයාට බොහෝ හුරු හීනමානය පමණයි.
ඉරේෂාන් සිරිවර්ධන
2024.10. 24