‘මතු මතක’ සුනිල් විජේසිරිවර්ධන

Share post:

මේ කවි පොත, මේ අවුරුද්දෙ කියවපු කවි පොත්වලින් මගේ අවදානය ඉහළින්ම දිනාගත්ත එකක් කියන්න පුළුවන්. හරිම මෘදු, ගැඹුරු කවි ගොඩක් පොතේ තියෙනවා. ඒ වගේමයි බහුතරයක් කවිවලින් අපිට ගෙනෙන සුවදායී හැඟීම ලොකු වෙලාවක් අපිත් එක්කම ඉන්නවා.
කවි පොත කොටස් 5ට බෙදලා තියෙන්නෙ. ඒක කියවගෙන යන අතරේ හැඟීම් ඛණ්ඩනය කරගන්න ලොකු උදව්වක් දෙනවා. නැවතීම් ඉබේම වැටෙනවා. මේ කොටස් පහ නම් කරලා තියෙන විදිහටත් මං මනාපයි. ඒවා මෙන්න මෙහෙමයි;

i. සාමූහික බිම් පෙදෙස්
ii. ජීවවාසික කාංසාව
iii. සෙනෙහෙ මංකඩ
iv. චමත්කාර අබියස
v. ඇතුළු ගැබ කවුළු

කොහොමත් ‘සාමූහික බිම් පෙදෙස්’ අතරෙ කරක්ගහන්න තරමක් පහසුයි. කවි නිමිති වගේම කවි ශරීරයත් අපිට ස්පර්ෂ කරන්න පුළුවන්මයි කියලා හිතෙනවා. මේවා සෙස්සන්ටත් කියන්න ඕන කරපු දේවල්, ඒත් කියන විදිහෙ දැනගෙන හිටියෙ නැහැනෙ වගේ එකක් හිතමින් ඉදිරියට යද්දි කළුගලේ ඔළුව ගහගන්න වෙන ප්‍රමාණෙ කවියක් ඇවිත් යෝධයෙක් වගේ අපේ ඉස්සරහා අවුරනවා. මෙන්න මේ තියෙන්නෙ ඒ කවිය, ඒක ඉතා විශාලයි; ලේයර් සහිතයි; යෝධයි; එක විටම අලංකෘතයි.

5 අපේම මකරෙක්

මගේ සබඳ
සුරතල් මකර පැටියා කියා
කවා පොවා-
(මුලින් මුලින්
බිලි දුන්නේ හොඳටම පොඩි සතුන්)
ඔබ ලොකු මහත් කළ මකරා
ඉගිළ ගොස් ඔබේ වැට මායිමෙන්
ගොදුරු සොයා සරයි දැන්
හිතුමනාපෙට-මෙන්න…තනියෙන්!

දැන සිටියේ නැතිද ඔබ
මොන මකරාත් වැඩුණු පසු
කෙතරම් මුදු කාලගුණයක නමුත්,
මදුරුවෙකුගෙන් හෝ ගැහැටක් නැතිවත්
මීයෙන්, පලින්, වන නිම්න පිරුණත්
නර බිල්ලක් නැතිව ගුහාවට නොයන බව?

කපුටෙකු ගියත් හිසට ඉහළින්
වියරු වී කෝපෙන්
ගිනි පිඹින බව ගිනි බට දහසක වැරෙන්?
අනිත් මකරෙකු පැමිණ සැඟවේදෝ සැකෙන්
යුද ටැංකි දහසක වෙයින් වනාන්තර පෙරළන බව?
වෙරඹුව මෙන් සූරනා’තරේ අහස වානේ තටු දහසකින්,
අග්නි වායු සුළඟට, විෂ දිය ඇළ දොළට වගුරන බව?

මගේ සබ‍ඳ,
ගොදුරු ගිලින මකරෙක්
ලොකුවෙනවා විනා පොඩි වෙන්නේ නැතිය-
ඒ බව දැන සිටියේ නැතිද ඔබ?

දැන් දැන් ගම් දනව් ජනයා
‘අපේම මකරෙක් ඉන්න එක වාසනාවක්’ කියති,
මකරෙක් නැති රටක් ගැන හීනයක් හෝ නොදකිති.

පිටු 11-12

මේ කවියේ දැවැන්ත ගතිය නිසාම ඊළඟ කවි කීපයට යද්දි මම වේගය ටිකක් අඩු කරගත්තා. පළමුව, කලින් කවිය ගැන හිතන්න. දෙවැනුව ඉස්සරහින් එළැඹෙන කවි ගැන අර කවියෙන් ගැලවිලා ඇවිල්ලා හිතන්න. මේක ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් මම කවි පොතක් එක දිගට කියවනවා. ඒක මගේ කියැවීමේ විලාසය. කවි පොතට හිත ගියොත් මම නැවත, නැවත ඒ පොත කීප වතාවක් සම්පූර්ණයෙන්ම, එක දිගට කියවනවා. ඒ නිසයි මේ කියැවීමේ අතරමැද වේග අඩාලවීම් මට ඕනෑකරන්නෙ.
‘මගීන් තිදෙනා’, හත් වැනි කවියේ මැදක මෙන්න මෙහෙම පේලි කීපයක් තියෙනවා,

“….එහෙත් ඉන් ඔබ්බෙහි
අත්හළ නොහැකි සිහිනෙකි;
පාළුවට ගිය සදා පල බර උයනකි…”

මේ අත් හරින්න බැරි සිහිනය, පාළුවට ගිය පල බර උයන මේ මොහොතෙ බහුතරයක් ගෙවන ජීවිතේට කණ්ණාඩියක් අල්ලනවා වගෙයි. හරිම නිශ්චිත මොහොතක මෙතන පහු කරන හැමෝගෙම මුහුණු මේ කණ්ණාඩියෙන් පේන්න ගන්නවා. ඒක තකන අය වගේම නොතකා එක්තරා පරිමාවක විනෝදයකින් පහුවෙන අයව මම සටහන් කරලත් තියාගන්නවා. සමහර විට ඒ පස්සෙ ප්‍රයෝජනයට ගන්න හෝ පළිගන්න වෙන්නත් පුළුවන්. කාටවත් කියන්න බෑ, ඒ මොකටද කියලා. ඔයාටම කියලා මකරෙක් ඉන්නෙක ගැන සතුටු වෙන අතරේ ජීවිතයේ මගාරින්න බැරි ශෝකීම මොහොතක් එක්ක නවතින එකත් එකම හැඟීමකින් මිනිස්සු සිද්ධ කරන්නෙ. පරස්පර විරෝධී සංවේදනා කීපයක්ම ‘එක මිටට’, ‘එකම මේසයක’ තියලා එකම ආකාරයකින් සලකන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ. ඒ අභාග්‍යසම්පන්න හැඟීම් ගල්ගැහුණු බව කිසි තැවීමක් නැතිව මේ දැනුත් අපි දරාගෙන ඉන්නවා. කවිය, මේ සියල්ල එකට කලතනවා. සමහර ප්‍රශ්නවල, ප්‍රශ්නකාරී තැන් ‘මෙන්න’ කියලා පෙන්නනවා.

‘මැතිතුමනි’, 17 පිටුවෙන් මතුවෙන්නෙත් එහෙම කපටි සූටි එකක් ඇඳගෙනමයි. හැඟුවුම්කාරක එකෙන්, දෙකෙන් කියවන්නා ඒක අල්ලගන්නවා.

“…එහෙත් ඔබ නම් යන්නේ
ඔබ ඔය යන දිසාවටයි.
……………..

මාර්ග සිතියම ඔබමය,
ඉතින් බියට පත්වෙන්න
යන දිසාව දැන් වෙනස් නොකළොත්
ඔබ යන්නේ
ඔය දිසාවටමයි.”

පිටුව 17

ජීවවාසික කාංසාව, දෙවැනි කොටසින් මේ කවි පේලි දෙක උපුටාගත්තේ.

“….මේ තරම් එළිය මොකටද රෑට
රෑට රෑ වෙන්න දෙන්න..”
සෙනෙහෙ මංකඩ, තුන්වැනි කොටසෙ ‘පැරැණි ආදර කවියක්’ අග්ගිස්සෙන් මං මේ පද කීපය උපුටනවා.

“…එහෙත් ඔබ පැමිණියේ
මටත් අමතකව ගොස් තිබුණ
කිසිවෙක් කිසිදින
නෑරී දොර ඇරගෙන,….”

ඉතිං මහ සද්දෙන් නොවෙද ඒ දොර ඇරුණේ? කිසිවෙක් කිසිදින නෑරි දොරක් කවුරුහරි අරිද්දි එහෙම තමයි. ශබ්ද බහුලයි. අවදානය බෝමයි.
දැන් මං ඇතුළු වෙන්නෙ ඇතුළු ගැබ කවුළු, පස් වැන්නට.

මුලින්ම අපිට ස‍ංඥාවක් ලැබෙනවා. ඒ නොතකා යන්න අසීරුයි. ‘දෙවියකු වීම අසීරුයි’
මේක සයිෆයි කතාවකින් එන එළැඹුමක්.

“…තුවාල නොවී ඉන්නට
නොහැකියි දෙවියෙකුට,
එනමුත් අපට හැකියි
නැවත නැවතත් බිඳෙන කල හද
සුව කරන් හද බිඳුම් යළි යළි
පලිහක් කිණිස්සක් අත නොගෙන
නපුර මැදට යන්නට තව වරක්’

ඔන්න අපි ආයෙත් සමූහයක් විදිහට එකතු වෙලා අපේ මිනිස්කම දෙවියන්ට පාවා දෙනවා. කැමැත්තෙන්ම තුවාල වීම, කැඩීම, බිඳීම බාරගන්නවා. අන්න එතකොට මං නොසතුටෙන්. හැබැයි ඒ ස්වල්ප මොහොතකට.

කවියාගේ ඇල්ම, බැල්ම වැටිලා තියෙන්නෙ දුර ඈත නිම්නයකට කියලයි මට හිතෙන්නෙ. ඒ නිම්නයේ පෞද්ගලික සිහිනත්, පොදු සිහිනත් දෙකම අරගෙන අපිට ඇවිදින්න පුළුවන්. කවියා යෝජනා කරන මේ කලබල අඩු, මද පමණින් ස්ලෝ ජීවිතයට ඇතුළුවෙන්න අපි ඕන කෙනෙකුට ඉඩ තියෙනවා. ඒක හැමෝටම විවෘත දොරක්. හැබැයි ප්‍රවේසම ඔබ සතුයි.

පසුව ලියමි:
කවි පොතේ තැනින් තැන කළු පසුබිමේ සුදෙන් ඇන්ඳ චිත්‍ර කවි පොතට හොඳ පෙරගමන් සහ පසුගමන් සගයෙක් වෙලා තියෙනවා. කවි අතර මූඩ් හදන රාජකාරියෙන් කොටසක් මේ චිත්‍ර කිසි කලබලයක් රහිතවම, ඉතාම අපූරුවට සිද්ධ කරලා තියෙනවා.
කාංචනා අමිලානි . දහයයි විස්ස . 2024

කාංචනා අමිලානි

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...