යකඩ යකා අලි මැරුවා හොඳටම ඇති

Share post:

ලංකාවේ ස්වභාවික වන රක්ෂිත මැදින් වැටී ඇති දුම්රිය මාර්ග වලදී අලි ඇතුන් දුම්රියේ ගැටී මරණයට පත්වීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ. මෙම විනාශය දින දෙක තුනක මාතෘකාවක් බවට පත්වී ඉන්පසු අමතක කර දැමීම බොහෝවිට සිදුවේ. එක් අතකින් ලංකාවේ සොබා සම්පතට බරපතල විනාශයක් සිදු කරන අතර අනෙක් පැත්තෙන් දැනටත් පාඩු පිට දුවන දුම්රිය දෙපාර්තමේන්තුවට ඔරොත්තු දිය නොහැකි දැවැන්ත පාඩුවක් දුම්රිය පෙරළි යාමෙන් සිදුවේ.

ලෝකයේ වඳ වී යන සත්ව සම්පතට අයත් අලි ඇතුන් මෙලෙස අකාලයේ විනාශ වීම අප ජීවත් වන දූපතට පමණක් නොව මුළු පෘථිවියටම දැරිය නොහැකි පාඩුවකි. ලොව අලි ඇතුන් දහස් ගණනින් ජීවත් වන එකම දූපත ශ්‍රී ලංකාවය. ඒ අසිරිමත් දුර්ලභ සම්පතෙහි වටිනාකම එතෙක් මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවකට වැටහුණේ නැත. පරිසර සම්පතෙහි වටිනාකම හොඳින් දන්නා ජනාධිපතිවරයෙකු අතට රට පත්වී ඇති නිසා අපි බලාපොරොත්තු සහගතව මේ කනගාටුදායක ප්‍රශ්නය ගැන වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරන්නෙමු.

කලා වැව සිට මින්නේරිය වැව් තාවුල්ල දක්වා විහිදෙන වන රක්ෂිතය අලි ඇතුන්1500 කගේ පමණ සංචරණ මාර්ගයකි.
කවුඩුල්ල පසුකර මින්නේරිය වැව් තාවුල්ලට අලි ඇතුන් පිවිසෙන මාර්ගය වැටී තිබෙන්නේ පසුගියදා අලින් දෙදෙනෙකු මරාගෙන දුම්රිය පෙරළුණු අලිමංකඩ ඔස්සේය. මේ ස්ථානයේම මෙයට පෙරද මෙලෙසම දුම්රියේ ගැටී අලි ඇතුන් මරණයට පත්ව තිබේ. ඒ නිසා මෙය අහඹු සිදු වීමක් නොවන බව ඉතා පැහැදිලිය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමහරු කියන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ තීරණ ගන්නා උදවිය දුම්රිය සමග තිබෙන අලින්ගේ හැසිරීම නොදන්නා බවය. එසේම ඔවුන්ට දුම්රියක යාන්ත්‍රික ස්වභාවය ගැන ද අවබෝධයක් නැති බවය.

අලින් හෝන් ගැහුවට, හෙඩ් ලයිට් ගැහුවට ඒකට බය වෙන්නෙවත් ප්‍රතිචාර දක්වන්නේවත් නැති බව නොදන්නා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දුම්රිය රියදුරන්ටම වරද පවරන බව ඔවුහු කියති. දුම්රිය රියදුරන් පවසන්නේ අලියා කෝච්චි පාර හරහා යන්නේ කහ ඉරේ ගැහැණු උදවිය පනිනවා වගේ එක පාරට බවය. කැලේ අස්සේ ඉඳලා අලින් මතුවන විට දුම්රිය එම ස්ථානයට අදාළ අඩු වේගයෙන් පැමිණියත් ඈතට නොපෙනෙන බව ඔවුහු පවසති.
“අලියා ගස් අස්සේ ඉන්නකොට. කල් ඇතිව දැක්කොත් නවත්වන්නෙ නැතුව ඉන්නේ නෑ. ඕන තරම් වීඩියෝ තියෙනවා අලි දැක්කම කෝච්චි නවත්වන “ඔවුන් කියති.

දුම්රිය රියදුරන් පැහැදිලි කරන්නේ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ඒකාකාර නැග්මක් හෝ බැස්මක් නැති බවය. දුම්රිය මාර්ගය ශේෂ කඳු අතරින් තිබෙන්නේ එක දිගටම ඔටු මොල්ලිය පරිද්දෙන් බව ඔවුහු පෙන්වා දෙති.

“කන්දයි , පල්ලමයි මාරුවෙන් මාරුවට, පල්ලම ඉවර වෙනකොටම කන්ද, ආයෙත් පල්ලම. ලෝකයේ තියෙන බලය වැඩිම එන්ජිම ගෙනාවත් ඔය පල්ලම ඉවර වෙලා කන්ද පටන් ගන්න තැන ( ඔටු මොල්ලි දෙකේ මැද වගේ තැන) එක ප්‍රමාණෙකට වඩා වේගය අඩු වුනොත් කන්ද අද්දගන්න බැරුව හිර වෙනවා ඔය වලේ. මොකද එන්ජිම කොච්චර බලවත් වුනත් පීල්ල සහ රෝදය අතර ඝර්ශන බලය එකමයි. ස්ලිප් වෙනවා.”

වනජීවීන් දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග හරහා ගමන් කිරීමේදී පරිසර පද්ධතියට කිසිම හානියක් නොවන අයුරින් උමං මාර්ගයක් ඔස්සේ දුම්රිය හා රථ වාහන ගමන් කරවීම ලොව පුරා පිළිගත් සිද්ධාන්තයකි. බෙලිඅත්ත දක්වා වැටුණු දකුණු දුම්රිය මාර්ගයේ කැකනදුරේ රක්ෂිතය හරහා ලංකාවේ එවැනි මාර්ගයක් ඉදිකර තිබේ. එම උමගේ දිග මීටර් 615 කි. හිටපු ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන ගල්ගමුවේ අලිමංකඩ හරහා බෝක්කුවක් දමා අලින්ට එහි රිංගන්නට කීම වැනි මෝඩ වැඩ ඉදිරියට නොකළ යුතුය.

ලොව බොහෝ රටවල මෙම ගැටලුවට විසඳුම් දී ඇති අයුරු ආදර්ශයට ගෙන දුම්රිය මාර්ගයට ඉහලින් අලිමංකඩ වැටෙන සේ වන තීරුවක් ඇති කිරීම මීට ඇති හොඳම විසදුමය. ඒ සඳහා වැය වන්නේ දුම්රිය පෙරළී විනාශ වීමෙන් දරන්නට සිදුවන පාඩුවට වඩා අඩු මුදලක් බව ඉතා පැහැදිලිය. මින්නේරිය අලිමංකඩෙහි එම ඉදිකිරීම
ප්‍රථමයෙන් ආරම්භ කරන මෙන් අපි අලුත් ආණ්ඩුවේ ජනාධිපති අනුර දිසානායක සහෝදරයාගෙන් ඉල්ලා සිටිමු.

උදේනි සමන් කුමාර(fb)

මෙවන් විසඳුමක් දෙන්න පුළුවන් නම්

Related articles

Capturing Realism Asia 2024 හැරල්ඩ් පීරිස් කලාගාරයේ දී

නොමිලේ කලාව උගන්වන මාතර, රත්මලේ ඇමරිකාවේ කලා ඇකඩමිය විසින් ප්‍රථම වතාවට පවත්වනු ලබන ඉහත ප්‍රදර්ශනය මේ දිනවල හැරල්ඩ්...

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගේ ‘ඇතුළු වියමන්’

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර දේශපාලනය,සංස්කෘතිය සහ සාහිත්‍ය වැනි අඩවි ගැන උනන්දුවක් ඇති ලේඛකයකු වන අතරම එකී අඩවි ආශ්‍රිත නූතන...

‘සුදු හූරා’ ගේ දියණිය රිස්ටීන් ස්පිට්ල් විල්සන්

ලේඛිකා ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් විසින් රචිත තිත්ත කෝපි' The Bitter Berry නම් වූ ඉංග්‍රීසි නවකතාව ලියූ හා එහි...

‘මතු මතක’ සුනිල් විජේසිරිවර්ධන

මේ කවි පොත, මේ අවුරුද්දෙ කියවපු කවි පොත්වලින් මගේ අවදානය ඉහළින්ම දිනාගත්ත එකක් කියන්න පුළුවන්. හරිම මෘදු, ගැඹුරු...