හරිම බඩු තුනක් – උදයසිරි එක්ක හතරයි!

Share post:

උදයසිරි වික්‍රමරත්නගේ “හරිම බඩු තුනක්” බැලුවෙ ටික දවසකට කලින්. පොඩියට හරි සටහනක් ලියා තියන්න අවශ්‍යයි, උදයසිරි ඇතුළු නාට්‍ය පිරිවරේ මහින්සියට කරන ගෞරවයක් විදිහට.

ලංකාවෙ වේදිකා නාට්‍ය කලාව ඇතුළෙ උදයසිරි වික්‍රමරත්න කියන්නෙ හිතුවක්කාරයෙක්. බොහෝ දෙනෙක් කරන්න පසුබාන දේවල් කරන්න ඔහුගෙ මේ දඩබ්බරකම නිසා පෙළඹෙනවා.

වේදිකා නාට්‍ය අකෘති පැත්තෙන් ගත්තම ඔහුගෙ ආකෘති නාට්‍යකරුවාට පහසු ඒවා නෙවෙයි. උදයසිරිගෙ සෑහෙන කතබහට ලක් වුණ “සුද්දෙක් ඔබ අමතයි” ආකෘතිය ගත්ත ම කථිකයෙක් සභාවක් ඇමතීම. නාට්‍යයක සම්මත ආකෘතිවලින් පැනපු පිම්මක්. “තුන්සිය හැට එක” වගෙ එකක් ගත්තමත් කඨෝර ගතියක් තියන ආකෘතියක්. පොදුවෙ ඔහුගෙ ආකෘතිය සංවාද මත පදනම් වෙනවා.

නාට්‍යමය විවිධ සිද්ධි, ගැටුම් නැතිව මුළු නාට්‍යයක් ම සංවාදයක් එක්ක ගෙනියන එක සෙල්ලමක් නෙවෙයි. විශේෂයෙන් හවුස්ෆුල් ඔඩියන්ස් එකක් එක්ක. ඒක ප්‍රහසනාත්මක බවක් අපේක්ෂාවෙන් ආව එකක් වුණාම වැඩේ බරපතළ වෙනවා.

“හරිම බඩු තුනක්” මුළු නාට්‍යය ම දිවෙන්නෙ, යම් කිසි මධුහලක මධුපැන් පානය කරන මිතුරන්තිදෙනක්ගෙ දෙබස් කථන එක්ක. කිසිම අවුලක් නැතුව අවසාන පැය භාගය විතර වෙනකම් ප්‍රේක්ෂකයාව අල්ලගෙන ප්‍රහසනාත්මක ගැඹුරක් සමාජ, දේශපාලන, සංස්කෘතික හතරවටටම එල්ල කරන්න උදයසිරි සමත් වෙනවා. මේ සියල්ල පිටුපස තියන්නෙ නාට්‍යකරුවගෙ අසීමාන්තික කියවීම කියන හේතුව වෙන්න ඕනැ. කොහොම වුණත් අවසන් පැය භාගය නම් නාට්‍ය ඇදෙන, බෝරින් ගතියක් තියනවා.

උදයසිරි සාර්ථක නාට්‍යයක් ඉදිරිපත් කරලා තියනවා. ප්‍රේක්ෂකාගාරය පැත්තෙනුත් හවුස්ෆුල්. සීරියස් වේදිකාව සහ “කුරුල්ලා”, “රැල්ල”, “නල්ලතම්බි” අතර මැද තැනක් මෙතනදි අල්ලගෙන ඒකට අනන්‍ය ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරගන්න ඔහු සමත් වෙනවා.
කාලයක් තිස්සෙ මෙරට සංස්කෘතික භාණ්ඩාගාරයෙ රැඳිලා තියන ගීත ටිකත් නිර්මාණාත්මක විදිහට පාවිච්චි කරන එක නාට්‍යය සාර්ථක කරගන්න නාට්‍යකරුවාට උදව් වෙනවා.

ඉෂාර ප්‍රමුදිත, තිලාන් වර්ණජිත්, කුසල් මධුරංග කියන තිදෙනගෙ රංගනය සෑහෙන අගය කළ යුතු මට්ටමේ තියනවා. එකිනෙකට වෙනස් පුද්ගලභාවයන් තුනක් අපූරුවට වේදිකාවෙ ප්‍රතිරූපණය කරන්න ඔවුන් සමත් වෙනවා. ඇත්තටම මේ හාදයො තුන්දෙනා හරිම බඩු තුනක් තමා රංගනයෙදි.
පමණක් තැන්වලදි නාට්‍ය විසින් ගොඩ නංවන කතිකාවට නොගැලෙපන පන්නයේ ශාරීරික අඩුලුහුඬුතා ගැන බාල විහිළු, ප්‍රසිද්ධ කලාකරුවන් හරහා ගොඩනගන උපහාස කිහිපයක් තියෙනවා. මධුසාදයක මිතුරන් තිදෙනෙක්ගෙ කතාවක් අස්සෙ එහෙම ඒවා තියෙන්න පුළුවන් නේද කියලා ආපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන් වුණත් – නාට්‍යය අස්සෙ මේ දේවල් නම් නාට්‍යයට හානි කරන බවක් තමා දැනුණෙ.

කලින් “හරිම බඩු තුනක්” කියන්නෙ, 1976 තිරගත වුණ “ඔබගේ රුව මාගේමයි” වගෙ ලස්සන ගීත ඇතුළත් වුණ සිනමාපටයක්. “හරිම බඩු හයක්” කියලා සුගතපාලද සිල්වාත් නාට්‍යයක් නිර්මාණය කළා. ඒ අතරට උදයසිරිගෙ “හරිම බඩු තුනක්” වේදිකා නාට්‍යය ඔහුගෙ නාට්‍යය ගොන්නටත් ලංකාවෙ වේදිකා නාට්‍ය අතරටත් එක් වුණ තවත් උදයසිරිමය හොඳ නාට්‍යයක් කියලා අවසාන වශයෙන් සටහන් කළ යුතු යි.

සඳුන් ප්‍රියංකර විතානගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...