මහර බන්ධනාගාරයේ සිරකරුවන් 11 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමත්, එය අපරාධයක් බවට කරුණු අනාවරණය වී ඇති නිසා ඊට වගකිවයුතු පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසත් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාදුන්නේ 2023 අප්‍රේල් 26 වැනිදා ය. එහෙත් කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැත. ඉන්පසු 2024 අගෝස්තු 30 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේ මේ අපරාධය පිළිබඳ විමර්ශන දිගට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නැති බවයි. ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට දැනුම් දුන් අතර, එම දැනුම්දීමෙන් පසු නඩු භාණ්ඩ ලෙස තිබූ ගිනි අවි පවා එම දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයෙන් රැගෙන ගොස් ඇත.
බන්ධනාගාර ආඥා පනතේ 77 වැනි වගන්තිය යටතේ ය, නීතිපතිවරයා මෙවැනි දැනුම්දීමක් කර ඇත්තේ. එහි සඳහන් වන්නේ බන්ධනාගාරවල ඇති වන හදිසි තත්ත්වයක් පාලනය කිරීම සඳහා අවම බලය යෙදවීම පිළිබඳවයි. ඒ අවම බලය යනු දණහිසෙන් පහළට වෙඩිතැබීමයි. මහර බන්ධනාගාරයේදී ඝාතනය කෙරුණු රැඳවියන් 11 දෙනාගෙන් තිදෙනකුගේ හිසට වෙඩි තබා තිබිණි. අනෙක් සියල්ලන්ගේ වෙඩි වැදී තිබුණේ පපුවට සහ ඉණට ඉහළ කොටසට ය.
2020 නොවැම්බර් 29 වැනිදා මහර බන්ධනාගාරයේ මේ වෙඩිතැබීම සිදු කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේ ඊ/3118 නඩුව විභාග වේ. මහෙස්ත්‍රාත් නියෝග අනුව මේ පිළිබඳ විමර්ශනයක් කළ මහාචාර්ය ජීන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ මණ්ඩලය මේ මරණ සිදුවී ඇත්තේ වෙඩි තැබීම්වලින් බවත්, ඒවා හිසට සහ පපුවට වැදී තිබීම බරපතළ තත්ත්වයක් බවත් අධිකරණයට දැනුම් දී තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ නීතිපතිවරයා පෙනීසිටින්නේ අපරාධ නතරකිරීමට ද, අපරාධ වසන් කිරීමට ද යන බරපතළ ගැටලුව ජනතාවට මතුවන බවයි. අපරාධයක් බවට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තීන්දු කළ මහර බන්ධනාගාරයේ සිදු කළ වෙඩිතැබීම සම්බන්ධයෙන් වන නඩුව ඉවත් කරගැනීමට නීතිපතිවරයා කටයුතු කිරීම මගින් අපරාධකරුවන්ට මුක්තිය ලබාදීමට කටයුතු කර ඇති බවත්, මීට අදාළ ව අභියාචනාධිකරණයේ විභාග වන රිට් පෙත්සමේදී ද නීතිපති දෙපාර්තමේන්තුව මේ බව වසන් කර ඇති බවත් එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පවසයි.
කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුවට එම බලය තිබේ. යම් අපරාධ නඩුවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් සිදුකරනු ලබන විග්‍රහයකින් පසු එම නඩුව ඉවත් කර ගැනීමට බලය ඇතත්, වර්තමානයේදී එවැනි ඉවත් කර ගැනීම් සිදු වන ආකාරය පිළිබඳ සැක මතුවන්නේ යැයි නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සඳහන් කර සිටී.
මෑත කාලයේදී එම දෙපාර්තමේන්තුවේ ඇතැම් හැසිරීම් අනුමත කළ නොහැකි බව ද පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, නීතිපතිවරයා සතු බලය අවභාවිත කිරීමක් මෙහි දී සිදු වී ඇත්නම්, එය බරපතළ තත්ත්වයක් බව ද සඳහන් කළේය. කෙසේ වෙතත් මේ ක්‍රියාවලිය අනීතික නොවන බවත්, තමන් එම පියවර ගැනීමට තීරණය කළ හේතු විධිමත්ව විග්‍රහ කිරීමට නීතිපතිවරයා සමත් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
කොරෝනා වසංගත තත්ත්වය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබූ අවස්ථාවකදී මහර බන්ධනාගාරයේදී 11 දෙනෙකු ඝාතනය වීම අපරාධයක් බවට තීන්දු කරමින් ඊට සම්බන්ධ සියලු බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කිරීම යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් වන සටනේ තීරණාත්මක කඩඉමකි. මෙම සිදුවීම අපරාධයක් බව තීරණය කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ මියගිය පුද්ගලයන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් නොපෙනෙන බවයි.
මෙම සමූහ ඝාතනයේදී මියගොස් තිබුණේ ඇරැව්වලගේ භාවන්ත මහින්ද, අලංකාර දේවගේ අමිත් සුබසිංහ, වැලිකල විදානෙලාගේ කවිඳු සුළක්ෂණ විතානගේ, යකුපිටියගේ රසික හර්ෂණ කාරියවසම්, මාලන් ක්‍රේග්, විතානගේ අවිශ්ක මල්ශාන්, හෙට්ටිආරච්චිගේ ලහිරු නිමන්ත, සිංගක්කාර ලියනගේ සම්පත් පුෂ්පකුමාර, සුදු දේවගේ ප්‍රදීප් අතුල කුමාර, ඉන්දික පුෂ්පකුමාර, සරණප්‍රිය ජයසේකර පටබැඳිගේ සුමිත් කුමාර යන පිරිස ය.
මහර බන්ධනාගාරයේ සිදුවූ කලහකාරී හැසිරීමට හේතු සාධක වූයේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ එම රැඳවියන් විසින් භාවිත කිරීම බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය කර තිබිණි. මෙම ප්‍රකාශය ජනතාව තුළ වැරදි ආකල්පයක් මානසික රෝග සහ ඒ හා සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව ඇති කරන හෙයින් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පහත පැහැදිලි කිරීම සිදුකරන ලදි.
‘මානසික රෝගීන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්විය හැකි යැයි අද සමාජයේ තිබෙන මතයද මෙම පුවතට බලපාන්නට ඇති නමුත්, බොහෝ විට සිදුවන්නේ මානසික රෝගීන් නිසා අන් අයට කරදර සිදුවනවාට වඩා අන් අයගෙන් රෝගීන් අපහසුතාවට පත්වීමයි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානසික රෝගවලට භාවිත කරන ඖෂධ දැනට ලෝකය පුරා බහුලව භාවිත වන අතර, ඒවා අන්තර්ජාතික හා ජාතික වශයෙන් පිළිගත් නියාමනයන්ට යටත් වේ. මෙම ඖෂධ ලංකාවේ දැනට දශක ගණනාවක් තුළ අන්තර්ජාතික පිළිගැනීම්වලට අනුව නිර්දේශ කිරීම තුළින් අතිමහත් රෝගීන් සංඛ්‍යාවකගේ මානසික රෝග සමනය වූවා පමණක් නොව, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට හේතු විය. මෙම ඖෂධ කිසිවිටෙක ප්‍රචණ්ඩත්වය ඇති නොකරන අතර, කලහකාරී බව අඩු කිරීමට උපයෝගී කර ගැනේ.’
ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් මෙම නිවේදනය නිකුත් කර තිබිණි. සංගමය වෙනුවෙන් එම නිවේදනය නිකුත් කර තිබුණේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ, වර්තමානයේ කොතලාවල විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ අංශ ප්‍රධානී, මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් විසින් ය. බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණේ බන්ධනාගාර ඖෂධ ගබඩාවේ තිබූ මානසික ආතතියට භාවිත කරන පෙති සහ නිද්‍රාජනක පෙති රැඳවියන් විසින් ලබාගෙන ඇති බවත්, එය ඔවුන්ගේ කලහකාරිත්වයට හේතුවක් වී ඇති බවත් ය. දැනට තුවාල ලබා රෝහල්ගතව සිටින රැඳවියන් ද අදාළ පෙති ලබාගැනීම නිසා තවමත් ව්‍යාකූලත්වයෙන් හැසිරෙන බව ද කොමසාරිස්වරයා සඳහන් කර තිබිණි. මෙවැනි පෙති 21,000 ක් පමණ අදාළ ඖෂධ ගබඩාවේ තිබී ඇති බවත්, එපමණ ප්‍රමාණයක් එහි ගබඩා කර තිබුණේ ඇයි ද යන ගැටළුව මතුවන බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර තිබිණි.
මේ සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙවැනි අවස්ථාවලට මුහුණ දීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට වෙනම පුහුණුවක් ලබාදෙන බවයි. ඔවුන්ට පාලනය කළ නොහැකි අවස්ථාවකදී පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවීමේ බලය බන්ධනාගාර කොමසාරිස්වරයාට ඇති බව ද සඳහන් කළ ඔහු, මෙහිදී සාමාන්‍ය සිදුවීමක් ප්‍රචණ්ඩ වන තුරු බලාසිටීමේ තත්ත්වයක් දැකිය හැකි යැයි ද පැවසීය. බන්ධනාගාර නිලධාරීන්ට සිරකරුවන් සමග කටයුතු කරන ආකාරය, හදිසි අවස්ථාවකදී ඔවුන් පාලනය කරන ආකාරය සහ සිරකරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇති බවත්, පොලිසියට හෝ විශේෂ කාර්ය බලකාය වැනි ආරක්ෂක අංශවලට එවැනි පුහුණුවක් නොමැති නිසා මෙසේ වෙඩි තැබීම් සිදු වන බවත් සඳහන් කළ හිටපු කොමසාරිස්වරයා, කොවිඩ් තත්ත්වය හමුවේ කරන ලද ඉල්ලීමක් මූලික කරගෙන ආරම්භ වූ මේ තත්ත්වය බන්ධනාගාර නිලධාරීන් යොදවා පාලනය කිරීමට හැකියාව තිබූ තත්ත්වයක් බව පෙනෙන්නට ඇතැයි ද අවධාරණය කළේය.
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය අවම සනීපාරක්ෂක පහසුකම් පවා බන්ධනාගාරවල නොවීය. නිදසුනක් ලෙස බන්ධනාගාරවලට ඔරොත්තු නොදෙන තරමේ විශාල තදබදය නිසා රෝගය පාලනයකින් තොරව පැතිරී යමින් තිබිණි. අදාළ සිදුවීම ඇති වූ මහර බන්ධනාගාරයේ ඉඩ පහසුකම් ඇත්තේ රැඳවියන් 1,000කට පමණි. එහෙත් සිදුවීම අවස්ථාවේ රැඳවියන් 2,300ක් පමණ එහි රඳවා තිබිණි. පොදුවේ ලංකාවේ බන්ධනාගාරගත 26,000ක් පමණ වන රැඳවියන්ගේ පොදු තත්ත්වය එයයි.
මහර සිදුවීමට දින 04කට පමණ පෙර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ද, පසුව අඟුණකොළපැලැස්ස සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන්ද ඉහත තත්ත්වයන් පෙන්වාදෙමින් උද්ඝෝෂණ කිරීම ඇරඹූහ. මහර බන්ධනාගාරයේ රැඳවියන් ද එසේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ විය. රැඳවියන් පැවසූ ආකාරයට නොවැම්බර් 29 දා සවස පහට පමණ සිය ඉල්ලීම් පිළිබඳව බන්ධනාගාර පරිපාලනය සමග සාකච්ඡා කිරීමට රැඳවියන්ගේ නියෝජිත පිරිසක් ගොස් ඇත. ඔවුන් සමග සාකච්ඡා කිරීම වෙනුවට ඔවුන් දණ ගස්වා, පොලුවලින් පහර දීම නිසා කෝපයට පත් රැඳවියන් ගැටුමක් ආරම්භ කළ බව රැඳවියෝ පැවසූහ. එහිදී විශේෂ කාර්ය බලකාය පැමිණ අමානුෂික අයුරින් වෙඩි තැබූ බව ද ඔවුහු පැවසූහ. නමුත් පොලිසිය සඳහන් කළේ රැඳවියන් පිරිසක් ගැටුම අවස්ථාවේ ප්‍රධාන දොරටුවෙන් පළායෑමට පැමිණීම නිසා තත්ත්වය පාලනය කිරීමට වෙඩි තැබීමට සිදු වූ බවයි. කෙසේ හෝ මෙම සිදුවීමෙන් 11 දෙනෙකු මියගියේය. 71 දෙනෙකු බරපතල තුවාල ලබා තිබිණි.
1983 ජූලි 25 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේදී කුට්ටුමනී හෙවත් සෙල්වරාජා යෝගචන්ද්‍රන් ඇතුළු සිරකරුවන් 35 දෙනෙකු අධිකරණය විසින් රාජ්‍ය ආරක්ෂාව භාරයට පත්කර තිබියදී ඝාතනය කෙරිණි. ඉන් දින 02කට පසු තවත් 17 දෙනකු එහිදී ම ඝාතනය කෙරිණි. 1997 දෙසැම්බර් 12 වැනිදා කළුතර බන්ධනාගාරයේදී රැඳවියන් තිදෙනකු, 2000 ඔක්තෝබර් 25 වැනිදා ගලෙන්බිඳුණුවැව පුනරුත්ථාන මධ්‍යස්ථානයේදී රැඳවියන් 28 දෙනකු, 2012 නොවැම්බර් 09 සහ 10 දෙදින රැඳවියන් 27 දෙනකු ද ඇතුළුව අවස්ථා ගණනාවකදී රාජ්‍ය ආරක්ෂාව භාරයට පත්කර සිටි රැඳවියන් ඝාතනය වූ අතර, මහර බන්ධනාගාරයේ සිදුවීම ද එහි තවත් දිගුවකි.
ඉහත සියලු සිදුවීම්වලට අදාළව විධිමත් විමර්ශනයකින් පසු චූදිතයන්ට දඬුවම් ලබාදීමක් සිදු නොවීය. ගලෙන්බිඳුණුවැව සිදුවීමේදී පොලිස් නිලධාරීන්ට දඬුවම් ලැබුණද, පසුව ඔවුන් නිදොස් කොට නිදහස් කෙරිණි. සියල්ලන්ට එක සමාන නීතියක් සහිත, නිදහස් රටක් වෙත යෑමට මේ අපරාධ රාජ්‍යයේ තවත් සැතපුම් කණු කීයක් පසුකරන්නට සිදුවේද?
- ශාලික විමලසේන