ජීවිතය කරනුයේ ඔහුගෙන් එකිනෙක පැහැර ගැනීමය. පළමුව එසේ පැහැරගන්නා ලද්දේ ඔහුගේ මසැසය. එවිට හේ සැරයටියද ගෙන ගමන් ඇරඹීය. දැන් ඔහුගේ පාදයද පැහැරගෙනය. එහෙත් ඔහු රෝද පුටුවකින් අභියෝගයට මුහුණ දෙමින් සිටියි. මේ කවියා යනු පරාජය බාර නොගන්නෙකි. පෙරලා පහර දෙන්නෙකි. මසැස අහිමිවූ විට ඔහු නොසැලී සිය මනැස තියුණු කරගත්තේය. දියුණු කරගත්තේය. පාදය පැහැර ගත් විට හේ සිය ගමන තවත් වේගවත් කරගත්තේය. ඔහු වේගයෙන් ගමන් කරන්නේ වුවද ඔහුගේ ගමන මනා සංයමයෙන් යුක්තය. දැක්මෙන් පොහොසත්ය. රසයෙන් පිරිපුන්ය. පාඨක ආලෝලනයට සමත්ය. ඉදින් මේ උපුල් ගේ සයවැනි කාව්‍ය ප්‍රයාණයයි.
උපුල් යනු විඩා රහිත කියවන්නෙකි. නෙත් උදුරාගත්තද හේ දිගටම කියවයි. දෙනෙත් හිමිව තිබූ අවධියෙහි සිනමාව කෙරේ මහත් සේ ලොල්ව සිටි ඔහු තුළ ලාංකීය මෙන්ම ලෝක සිනමාවෙහිද ප්‍රබල මතකයන් ගබඩාවී පවතී. සංගීතය පිළිබඳ දැනුමද එපරිදිමය. එපමණක් නොවේ ඔහු දේශපාලනය සම්බන්ධයෙන්ද විඩා රහිත මැදිහත්කරුවෙකි. සංවාදකරුවෙකි. මේ සියල්ලේම එකතුව යනු ඔහුගේ පොහොසත් කවියයි. මේ තාක් ඔහුගේ කාව්‍ය සම්ප්‍රදානය නිසි ඇගයුමට ලක්ව නැතද හේ නොසැලී කවියෙහිම සිය සමත්කම් පායි. ඔහුගේ කවිය යනු දිනෙන් දින පරිකල්පනය තියුණු කරගන්නා නිර්මාණකරුවෙකුගේ උත්සාහයේ පලයයි.
අවසන ඔහුගේ ව්‍යායාමයට නිසි ඇගයුමක් ලැබී තිබේ. ඒ විදර්ශන සාහිත්‍ය අත් පිටපත් තරඟාවලියෙහිදීය. දිගු නිහැඬියාවකට නිමාව සටහන් කරමින් ඔහුගේ ඉඳුදුන්න ඉලක්කයටම ගමන් කර ඇත. ඒ මහත් සතුට කරුණකි.
උපුල්ගේ කවිය යනු දේශපාලන දැක්මෙන් පොහොසත්, කාව්‍යකරණයේ ශිල්පක්‍රම සමගින් ඔට්ටුවෙනු රිසි, මිනිසත් බවෙහි අසිරිය නොඅඩුව ගැබ්වෙන, පංති සමාජයේ කුරිරුබව, මිනිස් හැඟීම් හී ඉසියුම් තානය මනාව පලවෙන, ජිවිතයේ සංකීර්ණත්වයන් මෙන්ම නෙක භාවමය කලාපයන් ස්පර්ශ කරනා දැනුවත් ව්‍යායාමයකි. ඔහුගේ කවිය පාඨකයා හැඟුම්බර බවෙහි සිර නොකර බුද්ධිමය ආමන්ත්‍රණයකින් පොහොසත් කරයි.
ඔහුගේ මහළු පුරඟන යන කවිය නාගරිකරණය, මනුෂ්‍ය ජීවිතයේ දඩිබිඩි වියරු රිද්මය, සීග්‍ර පාරිසරික ව්‍යසන හමුවේ අප විඳින ඛේදය මෙන්ම මානව සබඳතාවන්හී ගරා වැටීම සහ මුදල්මය ලෝකයක අතුරුදන්ව යන වර්තමානය මනාව සිත්තම් කරන්නකි. ඔහු මේ සඳහා රූපකය කොට ගන්නේ මහරගම නගරයයි.
කුණප සම ඉවත හළ
ලාබ වත්සුනු තැවරූ
මහලු බව වසාගත්
වරඟනකි මහරගම
පැරණි බිම් මහල් සිඳ
සතර අත සල්පිල්ය
බාල ලතු කොකුමඟර
නෙත අඳුන් ගැල්වු ලෙද
සුළුම මුදලට නතුවු
පුරඟනකි මෙ නුවර
මේ ඔහු ඒ නගරය ගොදුරු බිමක්වන යථාර්තය දිග හරින ආකාරයයි.
දිග ඇදුණු මෝල් පිල්
විදුලි ඇස් දල්වමින්
හරපත්ද බැරපත්ද
අතැති ඩහ වැකි මුදල්
එක් සැණින් ගිල දමන
නපුරු වූ උරගයෙකි
මේ ඔහු ආර් ථික ඉලක්ක මත දිනුම පැරදුම තීරණය වන සමාජයේ අධ්‍යාත්මික කඩාවැටීම සංකේතාත්මකව දකින අයුරයි.
විටෙක බෝ පත් හළ
විටෙක නිල් දලු ලන
මුනිවෘතයෙහි පිහිටි
බෝ මැඩද අසරණය
උප තැපැල් නෝනාද එවන් රූපකාර්ථවත් කවියකි. එහිදි ඔහු සමාජයේ විපරිණාමය සහ මනුෂ්‍ය ජීවිතයේ වියවුල සාකච්ඡාවට ගනියි. නූතන තාක්ෂණය හමුවේ නාය යන මිනිස් සංවේදනයන් සහ සුනාමියක් සේ කඩා වදිනා වෙනස්කම් හමුවේ ඔහු හුදෙකලා උප තැපැල් කාර්යාලයක නිලධාරිණිය වාහකය සේ ගෙන පාඨක හැඟුම් ලෝකය මෙන්ම බුද්ධියද ආමන්ත්‍රණය කරයි.
ඉඳ හිට මෙහි යනෙන
පෙහෙකාර කෙල්ලනගෙ
කෙසඟ පණිවුඩ යැවෙන
නොතිත් සොර නෙතු ඉඟිය
සුහුරු තෙලබණු ඇති
යුවතියන සිනහ මුව
හෙළන අරුමැසි බැලුම්
ඒ කිසිත් නොතකා
නොසැලී ගිරි කුළක් බඳු
උප තැපැල් නෝනාය
කෙටි, සියුම් කාව්‍යමය යෙදුම් හරහා විස්තීර්ණ කලාපයන් ආවරණයේ ලා උපුල් සමතෙකි. එහෙයින්ම ඔහුගේ කවිය සංක්ෂිප්ත බවෙහි ආනන්දයද බුද්ධිගෝචර බවෙහි වටිනාකමද එකවර අපට ගෙන එයි. පෙහෙකාර කෙල්ලනගෙ කෙසඟ පණිවිඩ- මේ එවන් එක් යෙදුමක් පමණි.
ඉන්ද්‍රජාලික පොල් බිඳින්නා යනු උපුල් තුළ සිටිනා සංවේදී කවියා ගැන වටහා ගැනීමට මනා කවුළුවකි. ඒ අතරම ඔහු කළු දිවියා නම් කවෙහිදී මිනිස් ස්වභාවය විමසුමට ලක් කරන්නට උත්සුක වෙයි. දූලි වැකි අඹ මැයෙන් එන කවිය පංති සමාජයෙහි ස්වභාවය මේ තරගකාරී ලොවට යළි තමන් අවට විමසන්නට කවුළුවක් තනයි. මාවත අද්දර අඹ විකුණනා වෙළෙන්දිය සහ ඇය සමග සිටිනා දැරියක කවියාගේ පරිකල්පනීය ලෝකය තුළ බුද්ධිමය සංවාදයකට ඉඩ විවර කරයි.
යනෙන සීතල රියක
කවුළුවෙන් හිස යොමන
නුඹ වන්වූ දැරියකට
සිතෙහි නැත ළතැවුලක්
උපහාස මුසු බවින්
අඹය කේවල් කරන
ඉසුරුමතුනට නැතිය
සසල හද පසුතැවුම
වන ගමක නෙතැන වැද
අඹ දිවුල් සොයාගෙන
තාපයෙන් හිත දැවෙන
ගැහැනියක ගැන වගක්
ඔහු ඇන් ඇම් නමින් රචනා කරන කවියද අගනා කවියකි. ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ දැවැන්ත රුකක් බඳුවූ ඇන් ඇම් රූපකය සේ ගෙන ඔහු ගෙවුන දශක ගණනාවක අපෙ දේශපාලන බිමෙහි අප සාක්ෂි දරනා විපරිණාමය සිතුවම් කරයි. පැරණි වමෙහි උරුමය බිඳ වැටීම, ඒ දේශපාලන ව්‍යාපාරය ගරා වැටෙද්දී බිහි වන නව ලොවෙහි ඛේදය මෙන්ම ඒ වම නියෝජනය කල කාඩර් වරුන්ගේ ඉරණම මේ කවෙහි කදිමට නිරූපිතය.
රොඹු රැවුලු අතගගා
අතීතය සමරනා
රතු කමිස ජරපත්ව
සුසුම් ඉපලින් ගහන
අඳුරු අහුමුලු වලින්
දත් ගැටෙන හඬ නැගේ
ගොදුරු පසුපස හඹන
නිය පඳුරු දිගහැරේ
උපුල් යනු ජීවිත අභියෝග හමුවේ සිය නිර්මාණ ලාලසාව නොනසා ඒ වෙනුවට පරිකල්පනීය ලෝකයේ සීමා බිඳ හෙලමින් කවිය සිය ප්‍රකාශනය කරගන්නට සාර්ථකව වෙර දරන මිනිසෙකි. ඔහු තමන් වෙත පැනවෙන සීමාවන්ට යට නොවී ඒ බිඳලන්නට තම නිර්මාණ මගක් කරගනියි. එසේම ඔහු කිසි විටෙකත් තැවුලට ඉඩ දී පසු බසින්නට සූදානම් නැති කවියෙකි. එහෙයින්ම ඔහුගේ කවිය නව අපේක්ෂාවන් දරා සිටින්නට සමත් වෙයි. මේ ඊට උදාහරණ සපයන කවියකි. ඔහු එය නම් කරනුයේ ඇපොකලිප්ස් මොහොත යනුවෙනි. මේ ඔහු සිය කවිය අවසන් කරනා අයුරයි.
උතුම් මිනිසත් නගුල් පෝරුද
දැති යකඩ තල බිඳැ‘ර බිම්කඩ
මතුවනා පැල සුහුඹුල්
පැන නැගිය යුතුය තැන තැන
උපුල්ගේ කාව්‍ය එකතුවෙහි සෑම කවියක්ම පාහේ වෙන වෙනම කතා කළ යුතු තරම් වන නිර් මාණයන් වුවද ඉතිරිය බාර කළ යුත්තේ පාඨකයන්ටය. යළි කියමි. බෝ කලක් අමතක කර දමන ලද කවියා අවසන ඇගයුමට පත්ව සිටීම සතුටක්මය.