කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා විදේශ රටකට ලබාදීම අනිවාර්යෙන් ම කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඊයේ (05) කොළඹදී පැවති ආර්ථික සමුළුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ‘අපිට ඇත්තටම ඒක කරන්න අවශ්‍ය නම්, නැගෙනහිර පර්යන්තය දිය යුතුයි’ යනුවෙනි. එය ජපානයට ලබාදීමට කටයුතු කරන බවත්, ජපානය එය ලබාගැනීම ප්‍රතික්ෂේප කළහොත් පමණක්, අනෙක් පාර්ශ්ව සඳහා එය විවෘත කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජපන් රජය මෙම යෝජනාවට එකඟ වනු ඇති බවයි. මීට පෙර මේ සම්බන්ධයෙන් ජපාන ආයෝජකයන් කණ්ඩායමක් සමග සාකච්ඡා කර ඇතැයි ද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
පර්යන්ත පහක්
කොළඹ වරායේ ක්‍රියාත්මක පර්යන්ත පහක් තිබේ. ජායා පර්යන්තය (Jaya Container Terminal), සමගි පර්යන්තය (Unity Container Terminal), SAGT (South Asia Gateway Terminal) පර්යන්තය, CICT (Colombo International Container Terminal) පර්යන්තය සහ නැගෙනහිර පර්යන්තය (EAST Container Terminal – ECT) ඒවා වේ. තවමත් ඉදිකර නොමැති යෝජිත පර්යන්තය වන්නේ WCT (Western Container Terminal) හෙවත් බටහිර පර්යන්තයයි. මේ අතරින් දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරායට අයිති පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක වන්නේ ජායා පර්යන්තය (JCT) පමණි.
ගෝඨාභය පැරදවූ මහින්ද
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඒ සම්බන්ධ සියලුම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් හදිසියේ නිකුත් කළේය. ඊට හේතු වූයේ කොළඹ වරායේ මෙම නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමේ තීරණයට වරාය වෘත්තීය සමිති ඇතුළු බහුතර වෘත්තිකයන්ගෙන් එල්ල වූ බරපතළ විරෝධයයි. ඊට එරෙහිව දැවැන්ත විරෝධතා රැසක් කොළඹ දී පැවැත්විණි. ඒ අතර වරාය සේවකයෝ වැඩ වර්ජන සහ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් ද ක්‍රියාත්මක කළහ.
විරෝධය උත්සන්න වීමත් සමග, එවකට අගමැති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නැගෙනහිර වරාය විකුණන්නේ නැති බවයි. එය වරාය අධිකාරිය සන්තකයේ ම තබාගන්නා බව ද ඔහු එහි දී අවධාරණය කළේය.
දැඩි තීරණ දිය වූ හැටි
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එවකට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක ද පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සීයක් රජයේ පාලනය යටතේ පවතිනු ඇති බවයි. එහෙත් අගමැතිවරයාගේ නිවේදනයට පෙර සභාපතිවරයා දැඩි ව අවධාරණය කර සිටියේ නැගෙනහිර පර්යන්තය සඳහා ආයෝජන කැඳවීමක් අනිවාර්යෙන්ම සිදුකරන බවත්, වෘත්තීය සමිති පවසන ආකාරයට එම තීරණ ගැනීමට ආණ්ඩුව කිසිසේත්ම සූදානම් නැති බවත් ය.
සභාපතිවරයා එසේ පැවසීමට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද අවධාරණය කළේ නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට පැවරීමේ තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බවයි.
හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයත් සමග නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරන ආකාරය සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ද ඉදිරිපත් කෙරිණි. එහෙත් එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන නොගියේ බහුතරයෙන් එල්ල වූ විරෝධය නිසා ය. මේ පර්යන්තය විදෙස් රටකට පැවරීමට විරුද්ධ බව එවකට ආණ්ඩු පක්ෂයේ පක්ෂ 10ක නියෝජිතයෝ ද පැවසූහ.
නැගෙනහිර සිට බටහිර දක්වා
ඉන්පසු එවකට ආණ්ඩුව පාර්ශවයෙන් වරායේ බටහිර පර්යන්තය ආයෝජන සඳහා විවෘත කිරීමට අදාළ යෝජනාවක් වෘත්තීය සමිති වෙත ඉදිරිපත් කළේය. ඊට වෘත්තීය සමිතිවලින් ද බරපතළ විරෝධයක් එල්ල වූයේ නැත. ඉන්පසු ඉන්දියාවේ අදානි සමාගමට එම පර්යන්තය පැවරීමට අදාළ ගිවිසුම් අත්සන් කෙරිණි. එය අලුතින් ම ඉදිකරන පර්යන්තයකි.
වෘත්තීය ක්‍රියාකාරිත්වය
මේ අතර නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුව ලිඛිත ප්‍රකාශයක් ලබාදෙන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ග අත්නොහරින බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ එකමුතුව එහිදී සඳහන් කළේය. එහි සම කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මේ සම්බන්ධයෙන් එවකට පැවසුවේ මෙසේ ය.
‘ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය සියයට සියයක් මෙහෙයවිය යුතුයි කියන යෝජනාවලිය කැබිනට් අනුකාරක සභාව වෙත අපි බාරදීලා තියෙනවා. මේ අවස්ථාව වන විට නැගෙනහිර පර්යන්තය සියයට 51ක් සහ සියයට 49ක් ලෙස ආයෝජනය කිරීමක් යැයි පවසමින් රජය මුසාවක් පවසන බව පැහැදිලියි. ඒ නිසා තමයි අපි අකුරට වැඩකිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළේ. ආණ්ඩුව පවසන ආකාරයට නැගෙනහිර පර්යන්තයේ සියයට 51ක් සහ සියයට 49ක් ලෙස ආයෝජනය කරනවා කියන යෝජනාව අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. මොකද අපි සොයාගත් කරුණු අනුව එහෙම දෙයක් නැහැ. මේ ආයෝජනයත්, කොටස් වෙළෙඳපොළේ ආයෝජනයත් නිසා ශ්‍රී ලංකාවට ලැබෙන්නෙ සියයට 15යි කියලා තියෙනවා. මේ ක්‍රියාවලියට අපි විරුද්ධයි.’
ටෙන්ඩර් දූෂණය
එහිදී ආණ්ඩුව අනුගමනය කිරීමට සූදානම් වූ ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන් ද වෘත්තීය සමිති ජනතාව දැනුවත් කළේය.
‘නැගෙනහිර ජැටිය සම්බන්ධ කැබිනට් පත්‍රිකාවට ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අදානි කියන නාමය ඇතුළත් වුණේ කොහොමද කියන එක ගැන විශාල ගැටළුවක් තියෙනවා. මේ තුළ දූෂණයක් සිදුවෙලා තියෙනවා කියලා අපි කියන්නෙ ඒ නිසයි. අදානි සමූහ ව්‍යාපාරය ඉන්දියාව තුළ වරායන් 11ක් මෙහෙයවනවා. ඉන්දියාවට අයිති එකම වරායත් ඔවුන්ට ලබාදෙන්න කියලා ඉන්දීය ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අදානි සමාගමට ඉන්දියාවෙ විශාල විරෝධයක් තියෙනවා. ඒ සමගම ඉන්දියාවෙ රජයේ වරාය වන ජවහර්ලාල් නේරු වරාය පාඩු ලබන තත්ත්වයට පත්කරන්න ඉන්දියාවෙ අගමැතිවරයා කටයුතු කරලා තියෙනවා. ඉන්දියාවෙ සම්පත් අදානි සමාගමට පැවරීමට එරෙහිව එරට වැසියෝ කරන අරගලය නිසා මේ වන විට ජීවිත 150ක් පමණ අහිමිවෙලා තියෙනවා. මෙහෙම තියෙද්දි ඉන්දියාවෙ කොලනියක් නැගෙනහිර පර්යන්තයේ හදන්න යනවාද කියන බරපතළ ගැටළුව අපිට තියෙනවා. රටේ ජාතික සම්පත් විනාශ කරන මෙම අදානි සමාගම අපිට ලොකු හිසරදයක් වෙයි කියලා අපි හිතනවා.’
කෙසේ වෙතත් බටහිර පර්යන්තය අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලින් දැඩි විරෝධයක් එල්ල වූයේ නැත.
2029දි මොකද වෙන්නෙ?
ඉන්දියානු මහාද්වීපය තුළ ඇති විශාලතම සහ කාර්යක්ෂම වරාය අතරින් කොළඹ වරායට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
එස්ඒඑජීටී (SAGT) සමාගම ශ්‍රී වරාය අධිකාරිය සමග අත්සන් කර ඇති ගිවිසුම 2029දී අහෝසි වේ. ඉන්පසු එස්ඒජීටී (SAGT) ජැටිය වරාය අධිකාරියට හිමිවීමට නියමිත ය. එසේම වරාය අධිකාරියේ ඉංජිනේරුවන් පෙන්වාදෙන්නේ මීටර් 18ක් ගැඹුරු පර්යන්තයක් ඉන්දියාවේ ද නොමැති බවයි. එම නිසා එක ම මොහොතේ විශාල ප්‍රමාණයේ නැව් 06ක සහ සාමාන්‍ය නැව් 04ක මෙහෙයුම් කිරීමේ හැකියාව කොළඹ වරාය සතු බව ද ඔවුහු පෙන්වා දෙති. ඔවුන් අවධාරණය කරන්නේ පවතින ආර්ථික අස්ථාවරත්වය මත ඇතැම් තත්ත්වයන් වෙනස් වුවද, නැගෙනහිර පර්යන්තය සියයට සීයක් වරාය අධිකාරියේ පාලනය යටතේ තබාගැනීම මගින් විශාල ලෙස ඩොලර් උත්පාදනය කළ හැකි බවයි.
නැගෙනහිර ප්‍රමාදය දිගටම
නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2020 ඔක්තෝබර් 27දා ය. මෙම පර්යන්තයට දොඹකර 04ක් සහ ජංගම දොඹකර මිලදීගැනීම සඳහා 2020 / 2021 කාලයේදී මුදල් වෙන්කෙරුණද, දිගින්-දිගටම එම උපකරණ ප්‍රමාණවත් පරිදි මිලදී ගැනීම ද ප්‍රමාද කෙරිණි.
කඩිනම් සාකච්ඡාවක්
කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ මෙම පර්යන්තය ජපානයට පැවරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟ බව වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහසයි. එය අවසාන අදහස නොවන බවත්, වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මේ සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡාවක් පවත්වන බවත් ඔවුහු පවසති.
ඇමති සද්ද නෑ !
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නිල තීරණය සම්බන්ධයෙන් දැනගැනීමට වරාය, නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා සම්බන්ධ කර ගැනීමට thetime.lk අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද, එය ව්‍යර්ථ වූයේ ඔහු දිගටම දුරකතනයට ප්‍රතිචාර නොදැක්වූ නිසා ය.
ත්‍රයිපාර්ශ්වික භූදේශපාලනික ගිවිසුමක්
මේ අතර 2019 වසරේ සිට සාකච්ඡා වෙමින් පැවති ත්‍රයිපාර්ශ්වික භූදේශපාලනික ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද අලුත් කතාබහක් ආරම්භ වී තිබේ. එම ගිවිසුම් සාකච්ඡාවලට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ සමාගමක් පිහිටුවීමට නියමිත ය. 2021 පෙබරවාරි මාසයේදී මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ NDTV නාලිකාවට අදහස් දක්වමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ කොළඹ වරාය සංවර්ධනය පිළිබඳව ජාත්‍යන්තර දායකත්වය ලබාදීමේ සාකච්ඡා ශ්‍රී ලංකා රජය සමග අඛණ්ඩව පවත්වන බවයි.
ගෝඨාභය අසමත් තැනින් ඉදිරියට
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, එරට විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර් සහ ඇමෙරිකාවේ එවකට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද මෙම වරාය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කළ බව NDTV නාලිකාව අවස්ථා කිහිපයකදී වාර්තා කර තිබේ. කෙසේ වෙතත් රට තුළින් ආ විරෝධයට මුහුණ දෙන්නට ගෝඨාභය රාජපක්ෂට නොහැකි වූ බව ද ඒ සමයේදී විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රනිල්ගේ අලුත් ආරම්භය
රාජ්‍ය තාන්ත්‍රික විශ්ලේෂකයන් අවධාරණය කරන්නේ මේ තත්ත්වය යටතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊයේ (05) ආර්ථික සමුළුවේදී කළ ප්‍රකාශය භූ දේශපාලනික වශයෙන් තීරණාත්මක මෙහෙයුමක ආරම්භයක් වනු ඇති බවයි.