පාර්ලිමේන්තුව විසුරුවලා තියෙනවා. ඊළඟ මහ මැතිවරණයේ දී කුමක් වෙයිද කියලා හුඟක් අය අහනවා. මට තේරෙන දේශපාලනය අනුව නම් සිදුවන්නේ එක දෙයයි.
මාලිමාවට කිසිම කරදරයක් නැතිව පාර්ලිමේන්තුවේ පහසුවෙන් වැඩ කරගෙන යා හැකි විදියේ බහුතරයක් ලැබෙනවා. ඒක 2/3 බහුතරයක් නොවෙයි. ඒත් පාර්ලිමේන්තුවේ පහසුවෙන් වැඩ කළ හැකි බහුතරයක් මාලිමාවට ලැබීම අනිවාර්යයෙන් ම සිදුවෙනවා.
සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් අවසන් වූ වහා ම මහ මැතිවරණයක් පැවැත්වෙනකොට ජයග්‍රාහකයාට අමතර වාසියකුත් පරාජිතයාට අමතර අවාසියකුත් ලැබෙනවා.
උදාහරණයක් විදියට මොන තරම් විශාල රැල්ලක් ගෝඨාභයට 2019 ජනාධිපතිවරණයේ දී පැවතියත් ඔහුට ප්‍රතිශතයක් විදියට ලැබුණේ සියයට 52යි.
ඒත් 2020 මහ මැතිවරණයේ දී පොහොට්ටුවට කිසි ප්‍රශ්නයක් නැතුව 2/3 බහුතර බලයක් ලැබුණා.
2019 ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාසට ඡන්ද පක්ෂ 55ක් ලැබුණා. 2020 මහ මැතිවරණයෙන් සජිත්ට ලැබුණේ ලක්ෂ 27ක් විතරයි. ආසන 54යි. සජිත් ගේ ජනාධිපතිවරණ ප්‍රතිශතය සියයට 42යි. මහ මැතිවරණ ප්‍රතිශතය සියයට 23.90යි.
2020 සජිත්ට සහ ඔහු ගේ පක්ෂයට එක්සත් ජාතික පක්ෂ ගෙඩිය පිටින් ම ලැබුණා. පැරණි එජාපයට ඉතුරු වුණේ ඡන්ද 150000ක් විතරයි.
ඔබ අමතක නොකළ යුතු කරුණ වන්නේ 2020 මහ මැතිවරණය පැවැත්වුණේ ජනාධිපතිවරණය පවත්වා මාස 09 කින් පසුව බවයි. මෙවර මහ මැතිවරණය එන්නේ ජනාධිපතිවරණයෙන් මාස 02කට පසුවයි.
ඒ නිසා 2024 මහ මැතිවරණය සම්බන්ධයෙන් මට තියෙන්නේ ඉතා ම සරල දේශපාලනය ගණනය කිරීමක්.
සමගි ජන බලවේගය මුහුණ දෙන ලොකු ම අභියෝගය වන්නේ ඔවුන් ගේ ජනප්‍රියත්වය කොතෙක් පිරිහී ඇත්දැයි ඔවුන්ට ම තක්සේරුවක් නොමැතිකමයි.
උදාහරණයක් විදියට ඔවුන්ට ඡන්ද ලක්ෂ 43ක් ලැබුණා යැයි මේ වෙලාවේ ඔවුන් කිසියම් සිඟිති චූන් එකක ඉන්නවා. මේ ලක්ෂ 43න් ඔවුන් උතුරු නැගෙනහිර ලබාගත් ඡන්ද ගණනයෙන් ඉවත් කළ යුතුයි. ඒවා ඔවුන් ගේ සන්ධාන පාර්ශ්වකරුවන් ගේ ඡන්ද මිස සමගි ජන බලවේගයේ ඡන්ද නෙවෙයි.
ඒ වගේ ම වතුකරයේ ඔවුන් ලබාගත් ඡන්දත් අඩු කළ යුතුයි. හේතුව එතැන වැඩි හරියක් තියෙන්නෙත් දිගම්බරම් වැනි සන්ධාන පාර්ශ්වකරුවන් ගේ ඡන්ද මිස සජබ ඡන්ද නොවන නිසයි.
සජබ ඇත්ත ඡන්ද පදනම එළියට එන්නේ මේ සියල්ල අඩු කොට සජබට පමණක් තියෙන ඡන්ද ප්‍රමාණය කීයදැයි සැලකිල්ලට ගන්නා විටයි.
එය කලිසමේ සුළු දිය පහවන තරම් අඩු ඡන්ද සංඛ්‍යාවක්. 2019ටත් වඩා සැළකිය යුතු ලෙස එම ඡන්ද හෝදා පාළු වී තියෙනවා.
බොහෝ ග්‍රාමීය ඡන්ද බල ප්‍රදේශවල සජබ ලබා ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 20ට අඩුයි. තවත් තැන්වල සියයට 25ට අඩුයි.
මේකේ බරපතළකම තේරුම් ගන්න නම් මහින්ද රාජපක්ෂ 2010 සහ 2015 උතුරේ ලබා ගත් ඇතැම් ඡන්ද ප්‍රතිශත එල්ල සජබ දකුණේ ලබා ගත් ඡන්ද ප්‍රතිශත සංසන්දනය කොට බලන්න. ඒවා හුඟක් සමාන බව ඔබට තේරෙයි. ඒ කාලය උතුරේ ජනතාවට රාජපක්ෂලා පෙන්වන්නට බැරිව සිටි කාලයක්.
සජිත් මනුෂ්‍යයෙකු වශයෙන් ඉතා ම හොඳයි. මට ඔහු ගැන ලොකු ආදරයක් ඇති වුණේ ජනාධිපතිවරණයෙන් අනුර ජයගත් දවසේ අවසන් ප්‍රතිඵල නිවේදනය කරන තැනට ඇවිත් ඔහු පෙන්වූ මහත්මා හැසිරීම නිසයි. ඒක ඕනෑම මනුස්සයෙකුට විශාල අපේක්ෂා භංගත්වයක්, මානසික කඩාවැටීමක් දැනෙන වෙලාවක්. ඒත් එහෙම වෙලාවක වුණත් සජිත් ඉතා ම මහත්මා ලෙස එය භාරගත්තා. ඉතා ම පරිණත කතාවක් කළා. ඒ කිසි දෙයක් බොරුවට කළ ඒවා නොවන බව මං පුද්ගලිකව දන්නවා. සජිත් කියන්නේ මොන සීමාසහිතකම්, දුර්වලකම් තිබුණත් ඉතා හොඳ හදවතක් තියෙන, අහිංසක මනුස්සයෙක්. ඔහුට මේ තරම් විවේචන එල්ල කරන මට වුණත් හෙට කුමක් හෝ ප්‍රශ්නයක් වුණොත් මා වෙනුවෙන් මුලින් ම කතා කරන දේශපාලනඥයා සජිත් බවත් මා දන්නවා. ඔබට කවදාවත් රනිල් වික්‍රමසිංහ ගැන ඒ වගේ වචන පාවිච්චි කරන්නට බැහැ.
ඒත් ප්‍රශ්නය වන්නේ සජිත්ලා ගේ දේශපාලනය නූතන ලෝකයට නොගැළපෙන, යල් පැන ගිය, තරුණ පරම්පරාව සහ මධ්‍යම පංතිය කළකිරවන විදියේ දේශපාලනයක් වීමයි. ඔවුන් ගේ පක්ෂ ආකෘතිය නූතන ලෝකයට නොගැළපෙන වැඩවසම් පන්නයේ එකක් වීමයි. 2022න් පසු උදාවුණේ ලංකාවේ දේශපාලනයේ අලුත් යුගයක්. ධන බලය, ප්‍රභූ බලය, මැර බලය, කුල සාධක වගේ කිසිවක් මේ මොහොතේ දේශපාලනයේ ලොකුවට වලංගු වන්නේ නැහැ. දැන් ලංකාවේ තියෙන්නේ මහජන දේශපාලනයක්. ඒකට අවශ්‍ය වන්නේ සවිඥානක මිනිසුන් විතරයි. මේ කිසිවක් ගැන අබමල් රේණුවක කියවීමක් සජිත්ට හෝ ඒ පක්ෂයේ කිසිවෙකුට නැහැ. මේ පරිවර්තනය තේරුම් ගන්නට පක්ෂයකට කිසියම් ගැඹුරු බුද්ධිමය ධාරිතාවක් අවශ්‍යයි.
සජිත් වුණත් මේ වෙලාවේ හිතනවා ඇත්තේ ආසන සංවිධායකයන් හරියට වැඩ නොකළ නිසා තමන් මේ ඡන්දය පරජය වුණා වැනි අති සරල කතාවක්. මේ කියන දේ ගැනත් ඔහු හිතනවා ඇත්තේ කිසියම් යටි අරමුණක්, සැඟවුණු න්‍යාය පත්‍රයක් නිසා මා මේවා කියනවා ඇති කියලයි. ඔහු ගේ දුර්වලකම්, සීමාසහිතකම් වන්නේ ඒවායි.
යම් හෙයකින් මා මේ කියන කාරණය තේරුම් ගත්තත් ඔවුන්ට වෙනස් වන්නට පුළුවන්කමක් ඇතැයි මම හිතන්නේ නැහැ. ඒකට හේතුව දේශපාලනය කළ හැකි වෙනත් ක්‍රමයක් ඔවුන් දන්නේ නැහැ. වෙනත් ආකෘතියක් ඔවුන් දන්නේ නැහැ. ඔවුන් මුහුණ දෙන විශාල ම අර්බුදය ඒකයි.
මාස දෙකකින් හොයන්නට පුළුවන් කෙටි උත්තරයක් ඒ ප්‍රශ්නයට නැති වුණත් ඊට සැබෑ සහ තිරසර උත්තරය වන්නේ මේ ප්‍රශ්නයේ ගැඹුර තේරුම් ගත හැකි දක්ෂිණාංශයේ කොටස් විසින් නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම විතරයි.
අනුරට මෙය ගැඹුරින් කියවා ගැනීමට තරම් බුද්ධිමය ධාරිතාවක් තියෙනවා. වෙනස් වෙන්න ඕනැ තැන්වලදී වෙනස් වෙන්නත්, අඩියක් පසුපසට ගත යුතු තැන දී පසුපසට ගන්නත්, මහජන දේශපාලන යුගයකට ගැළපෙන විදියේ දේශපාලන brand එකක් නිර්මාණය කරන්නත් ඔහුට පුළුවන් වුණා.
මම මේ ටික කිව්වේ අනුර දිනන්නත්, සජිත් දරුණු ලෙස පරදින්නත් හේතුව හුදු අහම්බයක් නොවන බව කියන්නයි.
එය දේශපාලනය තේරුම් ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.
මෙය තේරුම් නොගන්නා කෙනෙකු දිගින් දිගට ම ගමන් කරන්නේ ප්‍රපාතයට පමණයි. දේශපාලනයේ මොන මොන වෙනස්කම් පෙරළි සිදුවුණත් ඒ ප්‍රපාතයට යන ගමන වෙනස් වන්නේ නම් නැහැ.
රසික ජයකොඩි
25 – 09 – 2024